යුරෝපීය ඉතිහාසඥයෝ සූර්කාම්ප් විසින් රොබට් සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානය පලකිරීමට විරෝධය පල කරති

European historians oppose publication by Suhrkamp of Robert Service’s Trotsky biography

By Wolfgang Weber , 23 November 2011

ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ ප්‍රමුඛ ඉතිහාසඥයින්, දේශපාලන විද්‍යාඥයින් හා ලේඛකයන් 14 දෙනෙක් 2011 ජූලි 30 දින දරන ලිපියකින්, ජර්මනියේ ප්‍රධාන පෙලේ පොත් ප්‍රකාශක සමාගමක් වන සූර්කාම්ප් වර්ලැග්හි ප්‍රධානියා වන උල්ලා අන්සෙල්ඩ්-බර්කෙවික්ස් වෙත, ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳ රොබට් සර්විස්ගේ චරිතාපදානය එම සමාගම විසින් පලකිරීමට සැලසුම් කිරීම ගැන විරෝධය පලකලහ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය අද මෙම ලිපිය ප්‍රකාශයට පත් කරයි.

මෙම ලිපියෙහි කතුවරුන් හා මුලින්ම ඊට අත්සන් තැබූ අය වන්නේ, මෑන්හෙයිම් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා සමකාලින ඉතිහාසය පිලිබඳ මහාචාර්ය, ආචාර්ය හර්මන් වෙබර් හා ඩම්ස්ටාඩ් තාක්ෂනික විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා මහාචාර්ය ආචාර්ය හෙල්මුට් ඩාහ්මර් ය.

2010 වසරේදී මේරිංග් ප්‍රකාශකයින් විසින් පල කරන ලද In Defense of Leon Trotsky ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා යන ඩේවිඩ් නෝර්ත් විසින් ලියන ලද සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානය පිලිබඳ විවේචනයන්ට මොවුහු සහාය දැක්වූහ. මේ වසරේ ජූනි මාසයේදී ඇමරිකානු ඉතිහාසඥ ‍බර්ට්‍රන්ඩ් පැටිනෝඩි, නොර්ත්ගේ විවේචනය සමග එක් වෙමින්, සර්විස්ගේ කෘතිය පිලිබඳව විමර්ශනයක්, කීර්තිධර American Historical Review ඇමරිකානු ඓතිහාසික විමර්ෂන (ඒඑච්ආර්) සඟරාවෙහි පල කලේය. සර්විස්ගේ කෘතිය, විද්‍යාත්මක කටයුතු පිලිබඳ මූලික ප්‍රමිතීන් පවා උල්ලංඝනය කල, කඩිමුඩියේ ගොතන ලද අපභාෂනයක් හා පොතේ ප්‍රකාශකයින්, සංස්කරනයේ සැලකිල්ල හා පරිපූර්නත්වය පිලිබඳ වෘත්තීය ප්‍රමිතීන් සපුරාලීමට අසමත්ව ඇතැයි යන්න ගැන ඔහු එකඟත්වය පල කරයි. (ඇමරිකානු ඓතිහාසික විමර්ෂනය රොබට් සර්විස්ගේ ලියොන් ට්‍රෙට්ස්කි චරිතාපදානය අපකීර්තියට පත්කරයි. බලන්න.) අද වන තෙක්ම සර්විස් හෝ ඔහුගේ ප්‍රකාශකයින් මෙම විවේචනයට ප්‍රතිචාර දක්වා හෝ එය බිඳහෙලා හෝ නැත.

සුර්කාම්ප් වර්ලෙග්ට යැවූ ලිපිය මෙසේ සඳහන් කරයි. “නොර්ත් හා පැටිනෝඩි, සර්විස් විසින් සිදුකල කාරනාමය වැරදි රාශියක් පෙන්වාදී තිබේ.... සර්විස්ගේ මූලාශ්‍ර විශ්වාසයට ගත නොහැකි ය. කර ඇති ප්‍රකාශයන්ට කිසිදු සම්බන්ධයක් නැති බොහෝ පාඨකයින්ට, එම මූලාශ්‍රයන්ට ප්‍රවිෂ්ට වීම හෝ ඒවා විමසුමට ලක්කිරීම බහෙවින් දූෂ්කරය. නැතිනම් පෙන්නුම් කරන්නේ කනපිටය. සුර්කාම්ප් නිවේදනය කර තිබෙනවාට විපරීතව සර්විස්, ට්‍රොට්ස්කි හා ස්ටැලින් පිලිබඳව ‘අපක්ෂපාතී හා අව්‍යාජ’ ලෙසින් කටයුතු කර නැත. ඒ වෙනුවට ඔහුගේ කෘතියෙහි අරමුන, ට්‍රොට්ස්කි අවමානයට පත් කිරීම ය. අවාසනාවකට මෙන් ඔහු බොහෝවිට විශ්වාසය තැබුවේ ස්ටැලින්වාදී ප්‍රචාරනයට හුරු පුරුදු සූත්‍රයන් මතය.”

ලිපියේ කතුවරුන් හා එහි අත්සන්කරුවෝ, සර්විස් යුදෙව් විරෝධී ප්‍රාග් විනිශ්චයන්ට ආමන්ත්‍රනය කරන විවිධ ඡේද වෙත හා ඒවා සනාථ කිරීමට ගෙනහැර දක්වන සෘජු උද්ධෘත මාලාවක් වෙත විශේෂ අවධානය යොමු කරයි. ප්‍රකාශකයාට යොමු කල ලිපියේ අවසන දී ඔවුන් ඉදිරිපත් කරන විනිශ්චය නම්, “සර්විස් විසින් කල කෘතිය ඔබගේ කීර්තිමත් ප්‍රකාශන ආයතනයෙහි අහලකටවත් වැද්ද නොගත යුතුය යන්න අපගේ අදහසයි.” යන්නය.

එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලය හා මහා බ්‍රිතාන්‍යයේ මැක්මිලන් ප්‍රකාශකයින් විසින් 2009 වසරේ පලකල ඔක්ස්ෆර්ඩ් මහාචාර්ය රොබට් සර්විස්ගේ චරිතාපදානයට, දක්ෂිනාංශික ශාස්ත්‍රාලිකයින්ගෙන් මෙන්ම හිටපු රැඩිකල් බුද්ධිමතුන්ගෙන් පලවූ ප්‍රීතිඝෝෂාවන් බොහෝ මාධ්‍ය ප්‍රකාශන විසින් ප්‍රසිද්ධ කලේය. 2010 වසරේදී එය, ස්පාඤ්ඤයේ හා ලතින් ඇමරිකවේ එඩිසියෝන්ස් බී විසින්ද සති ගනනාවකට පසුව ප්‍රන්සයේ පෙරින් විසින් ද පල කලේය. සූර්කාම්ප් විසින් එලඹෙන ජර්මානු සංස්කරනය පිලිබඳව නිවේදනය කලේ සැලකිය යුතු කාලයකට පෙර ය.

අසූ හය හැවිරිදි මහාචාර්ය හර්මන් වෙබර්, විසිවන සියවසේ කොමියුනිස්ට් ව්‍යාපාරය හා ස්ටැලින්වාදය පිලිබඳ පරියේෂන කල ප්‍රමුඛ පුද්ගලයෙක් ලෙස යුරෝපය පුරාම පිලිගැනීමට ලක්ව තිබේ. 1975 සිට 1993 දක්වා ඔහු මෑන්හෙයිම් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා සමකාලීන ඉතිහාසය පිලිබඳ සභාපතිත්වය ඉසිලීය. පැරනි නැඟෙනහිර ජර්මනියේ ජර්මානු කොමියුනිස්ට් පක්ෂ‍යේත් (කේපීඩී) සමාජවාදී එක්සත් පක්ෂ‍යේත්, කොමින්ටර්නයේ හා ස්ටැලින්වාදී ත්‍රස්තයේත් ඉතිහාසය පිලිබඳව ඔහු වැදගත් පොත් රාශියක් ලියා ඇත. Geschichte der DDR නැ‍ඟෙනහිර ජර්මනියේ (ජීඩීආර්) ඉතිහාසය නමැති ඔහුගේ කෘතිය, තවමත් වැඩිම අලෙවියකින් ඇති පොතකි. යුරෝපීය සමාජ පරියේෂනයේ මෑන්හෙයිම් මධ්‍යස්ථානයේ ඉතිහාසඥයින්ගේ ජර්මානු-රුසියානු කොමිසමෙහි පරියේෂන ව්‍යාපෘතියක්වූ “කොමින්ටර්න්” හි ප්‍රධානියා ලෙසත්, Jahrbuch für historische Kommunismusforschung (Yearbook for historical research on communism), කොමියුනිස්ට්වාදය පිලිබඳ ඓතිහාසික පරියේෂනයේ වාර්ෂික සංග්‍රහයෙහි සහකාර කතෘ ලෙසත් ඔහු, තවමත් විද්‍යාව හා පරියේෂන පිලිබඳ විවාදයන්හි ක්‍රියාශීලී කොටස්කරුවෙකි.

මහාචාර්ය හෙල්මුට් ඩාහ්මර්, ලියොන් ට්‍රොට්ස්කිගේ කෘතීන් පිලිබඳ කැපී පෙනෙන විශේෂඥයෙක් හා විසි වසරක් පුරා ඒවායේ වෙලුම් දහයකින් යුක්ත ශාස්ත්‍රාලීය විවේචනාත්මක ප්‍රකාශනයන්හි වගකිව යුත්තා ද වෙයි. ලිපියට පලමුවෙන් අත්සන් තැබූ අයෙකු වන්නේ ආචාර්ය හාර්මට් මේරිංග් ය. අවාසනාවකට තුන්වන රීචය තුල සමාජවාදී විපක්ෂය පිලිබඳ මෙම ප්‍රකට විශේෂඥයා මේ වසරේ ඔක්තෝබර් 17 දින රෝගීව සිට මිය ගියේය. මේරිංග් සිය ආචාර්ය උපාධියේ නිබන්ධය ලිව්වේ 1848-1907 අතර කාලයේ නොනවතින විප්ලවයෙහි න්‍යායික වර්ධනය පිලිබඳව ය. 1970 ගනන්වල දී ඔහු, ලියොන් ට්‍රොට්ස්කිගේ කෘතීන් ප්‍රකාශයට පත්කල අතර පසුව මියුනිච් හා බර්ලින්හි සමකාලීන ඉතිහාසය පිලිබඳ ආයතනයේ ප්‍රමුඛ තනතුරක් හෙබවී ය.

අත්සන් තැබූ අනෙකුත් අය අතර, කොලෝන් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් හා පොට්ස්ඩෑම්හි සමකාලීන ඉතිහාසය පිලිබඳ මධ්‍යස්ථානයේ පරියේෂකයෙක් ද වන බර්න්හාර්ඩ් බේයර්ලේන්, ජර්මන් කොමියුනිස්ට් ව්‍යාපාර‍ෙය් හා ස්ටැලින්වාද‍ෙය් ඉතිහාසය පිලිබඳව පලකල පොත්පත් ගනනාවක කතුවරයා ද වෙයි.

හෙයිකෝ හව්මාන්, නැ‍ඟෙනහිර යුරෝපීය හා නූතන ඉතිහාසය පිලිබඳ බැසල් විශ්ව විද්‍යාලයේ ගරු බාහිර කථිකාර්යවරයෙකි.

ඉතිහාසඥයෙක් හා ලේඛකයෙක් වන බර්ලින්හි වාසය කරන ව්ලැඩිස්ලාව් හෙඩිලර්, සෝවියට් සංඟමයේ ඉතිහාසය පිලිබඳ විශේෂඥයෙකි.

වියානාහි වාසය කරන ඇන්ඩ්‍රියා හර්ටන් ඉතිහාසඥයෙක් හා ලේඛිකාවකි. පොට්ස්ඩෑම්හි සමකාලීන ඉතිහාස මධ්‍යස්ථානයේ පරියේෂකයෙක් හා ආචාර්ය වරයෙක් වන මහාචාර්ය මාරියෝ කෙස්ලර්, තම ශාස්ත්‍රාලික කටයුතු ආරම්භ කලේ නැ‍ඟෙනහිර ජර්මනියේ ය. ජර්මනිය ඒකාබද්ධ කිරීමෙන් පසුව ඔහු දෙවන වතාවටත් තම සුදුසුකම් තහවුරු කරගත් අතර ඔහුගේ පරියේෂන හා ප්‍රකාශනයන් ‍දිගු කාලීනව යොමුව තිබුනු තේමාව, කම්කරු ව්‍යාපාරය හා යු‍ෙදව් ප්‍රශ්නයයි.

ඔස්කා නෙග්ට්, හැනෝවර් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිලිබඳ ගරු බාහිර මහාචාර්ය වරයෙකි. 1956 ආරම්භවූ ජර්මානු සමාජවාදී ගිෂ්‍ය සංඟමයේ සාමාජිකයෙක් ලෙස ඔහු, 1960 ගනන්වල පාර්ලිමේන්තුවෙන් පිට, විපක්ෂයේ කථිකයෙකු විය.

මහාචාර්ය ඔලිවර් රත්කොල්බ්, සමකාලීන ඉතිහාසය පිලිබඳ මහාචාර්ය වරයෙකු හා වියානා විශ්ව විද්‍යාලයේ සමකාලීන ඉතිහාසය පිලිබඳ ආයතනයේ අධ්‍යක්ෂකය. ඔහු, නාසි යුගය හා ඔස්ට්‍රියාව හා යුරෝපය පිලිබඳ සිය පරියේෂනයන් වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් අයෙකි.

හෑන්ස් ස්කාෆ්‍රානෙක් වියානාහි ඉතිහාසඥයෙකි. ස්ටැලින්වාදය, ට්‍රොට්ස්කිවාදය හා ස්පාඤ්ඤ විප්ලවය පිලිබඳ මාතෘකා මුල්කොටගෙන පලකල විවිධ ප්‍රකාශන තුල ඔහුගේ මූලික යොමුව පිලිබිඹු විය.

මේන්හෙයිම් විශ්ව විද්‍යා‍ලයේ මහාචාර්ය වරයෙකු වන පීටර් ස්ටෙයින්බැක්, සමකාලීන ඉතිහාසය උගන්වන අතර බර්ලින්හි ජර්මානු ප්‍රතිරෝධයේ අනුස්මරනය පිලිබඳ විද්‍යාත්මක අධ්‍යක්ෂක වෙයි.

ටොස්ඩෝෆ් රෙයිනර්, ඩාම්ස්ටාඩ් තාක්ෂනික විශ්ව විද්‍යාලයේ නැඟෙනහිර යුරෝපීය ඉතිහාස කථිකාර්ය වරයෙකි.

රොල්ෆ් වර්ස්ඩෝෆර්, ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් හා නැ‍ඟෙනහිර යුරෝපය හා යුගෝස්ලාවියාව පිලිබඳ විශේෂඥයෙකි.

මෙම ලැයිස්තුව පෙන්නුම් කරන පරිදි, කතුවරු හා අත්සන්කරුවෝ ඉතා වෙනස් දෘෂ්ටීන් හා විද්‍යාත්මක ගුරුකුලයන් නියෝජනය කරන නමුත්, ඔවුන්ට පොදු එක් දෙයක් ඇත. ඒ ඔවුන්, ඓතිහාසික සත්‍ය‍ය හා ඓතිහාසික ලේඛන කලාව පිලිබඳ විද්‍යාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කිරීමේ වගකීම පිලිබඳ හැඟීමකින් යුක්ත වීමයි.

ලිපිය, ප්‍රකාශක සූර්කාම්ප් කෙරෙහි යම් බලපෑමක් ඇතිකර තිබේ. එය ලැබුනායින් පසුව පොත මුද්‍රනය කිරීම කල් දමා තිබේ. මහාචාර්ය හෙල්මුට් ඩාර්මර් වෙත ප්‍රකාශන සමාගමේ ෆ්‍රාවු අන්සෙල්ඩ්-බර්කිවික්ස් පිලිබඳ කලමනාකරනයේ නියෝජිතයෙකු වන ආචාර්ය ස්පාර් විසින් යවන ලද ලිපියකින්, චෝදනා ඉතා බැරෑරුම්ව සැලකිල්ලට ගන්නා බවත් තවදුර විශේෂඥ අදහස් ලබාගැනීමට උත්සාහ කරන බවත් දන්වා සිටියේ ය.

එහෙත් අද දක්වා ම ප්‍රකාශනය අතහැර දැමීමට සූර්කාම්ප් විසින් තීරනයකට එලඹ නැති බව පැහැදිලි ය. ඉතිහාසඥයින්ගේ කාරනා ගත ලිපියට ප්‍රතිචාර වශයෙන් ආයතනය කිසිදු සවිස්තර ප්‍රකාශයක් කර නොමැති වීමේ කාරනය පවතින අතර ම, පොත් සාප්පු හා බෙදාහැරීමේ නියෝජිතයින් 2012 ජනවාරි 12දා පොත බෙදාහරින බව දැනටමත් නිවේදනය කර තිබීම පෙන්නුම් කරන්නේ, පොත පලකිරීමේ අභිලාෂය යි.

සුර්කාම්ප්, පොත පලකරනු ලැබුවත්, බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හුවාදක්වන ලද “දෙවන වරට ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට” කැපවෙමින්, ඓතිහාසික මුසාකරනයේ හා මඩගැසීමේ මාධ්‍ය තුලින් ඓතිහාසික ප්‍රතිරූපයක් ලෙස ට්‍රොට්ස්කි “මකා දමන” රොබට් සර්විස්ගේ උත්සාහයට ලිපිය බරපතල ප්‍රහාරයක් වී අවසන්ය.

ලියොන් ට්‍රොට්ස්කි තරම් දඩයමටත්, හෙලා දැකීමටත් ලක්වූ, 20 වන සියවසේ වෙනත් කිසිදු ඓතිහාසික චරිතයක් ඇත්තේ නැත. ඓතිහාසික මුසාකරනයත්, වෛරයෙන් පිරි ප්‍රචාරක ව්‍යාපාරයත් පිටිවහල් කරගෙන ස්ටැලින්වාදී යාන්ත්‍රනය, ඔහුට පහර දුන් අතර ඔහුගේ ආධාරකරුවන් දස දහස් ගනනක් මරා දමා අවසානයේ ට්‍රොට්ස්කි ද ඝාතනය කලහ. එසේම බටහිර කොමියුනිස්ට් විරෝධීන් ද වෛරී සහගතව ට්‍රොට්ස්කිගේ චරිත ඝාතනයට වෙර දැරුවේ ඔහු, ප්‍රමුඛ හා අදූෂිත මාක්ස්වාදියා ද සමාජවාදියා ද වූ බව ඔවුන් මනාව වටහාගෙන සිටි බැවින්ය.

21වන සියවසේ දී ද ට්‍රොට්ස්කි, රුදුරු ප්‍රහාරයටත් මඩ ගැසීමටත් ඉලක්ක කර ගැනීමේ කාරනය, ඔහුගේ සමකාලීන අදාලත්වය පිලිබඳ තෙස්තමේන්තුවකි. 1930න් පසුව එලඹි ලෝක ධනවාදයේ ප්‍රගාඪ අර්බුදයේ කොන්දේසි යටතේ පාලක පන්තීහු, සමාජවාදී අදහස් පුනර්ජීවන වීම කෙරෙහි බියපත්ව සිටිති. බොහෝ ඉතිහාසඥයින් හා මාධ්‍යවේදීන් දැන් මෙම මඩ ගැසීම්වලට මුහුන දෙමින් ඓතිහාසික සත්‍ය‍යේ ආරක්ෂාවට ඉදිරිපත්වීම සාදරයෙන් පිලිගැනේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලියොන් ට්‍රොට්ස්කිගේ පුද්ගලිකත්වය හා අදහස් වලට නව ජීවයක් දෙමින් ඒවා දිරිගැන්වීමටත් පෝෂනය කිරීමටත් කැපවී සිටියි. ඉතිහාසඥයින්ගේ ලිපිය හැකිතාක් ප්‍රචාරය කිරීමටත් හැකිතාක් පුලුල් සාකච්ඡාවකට බඳුන් කිරීමටත් අපි කටයුතු කරන්නෙමු.

Share this article: