යාපනයේ සරසවි සිසුන් මැර ප‍්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරනු!

Statement of the International Students for Social Equality (Sri Lanka) , 4 November 2011

යාපනය සරසවියේ ශිෂ්‍යයන්ට විරුද්ධව පසුගිය මාස තුන තුල උග‍්‍ර කර ඇති මැර ප‍්‍රහාර සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) තරයේ හෙලා දකියි. රාජපක්ෂ ආන්ඩුව දැඩි කර ඇති මිලිටරි වාඩිලා ගැනීම් තුල එල්ල වන මෙම ප‍්‍රහාර, ආරක්ෂක බල ඇනිවල ද ඒවා සමග ක‍්‍රියා කරන අර්ධ මිලිටරි කල්ලිවල ද සහභාගිත්වයෙන් සිදුව ඇත.

*සැප්තැම්බර් 3 දා, "නාඳුනන පුද්ගලයන්” කීප දෙනෙකු සරසවි කාන්තා නේවාසිකාගාරයට ඇතුලු වූ බව සැල වීම නිසා ඔවුන්ගේ ආරක්ෂාවට ගිය සිසුන් හය දෙනෙකුට හමුදා භටයෝ පහර දුන්හ. නේවාසිකාගාරයට ඇතුලු වූ නාඳුනන පුද්ගලයන් ද හමුදා භටයින් විය හැකි බවට සැක කෙරේ. කුප‍්‍රකට "ගී‍්‍රස් යකුන්” නමින් මෙම ප‍්‍රකෝපකාරී සිද්ධීන් වැඩිපුර ම ඇති කලේ දෙමල ජනයා බහුතරයක් ජීවත් වන උතුරු නැගෙනහිර සහ වතුකරයේ ප‍්‍රදේශවල ය. හමුදාවේ හා පොලීසියේ සාමාජිකයන් මෙම සිද්ධීන්ට සම්බන්ධ බවට මහ ජනයාට තොරතුරු ලැබීමෙන් පෙන්නුම් කෙරෙන්නේ දෙමල ජනයා භීතියට පත් කිරීමට ඔවුන් මෙම දාමරික කි‍්‍රයා සංවිධානය කල බවයි.

*යාපනය සරසවි ශිෂ්‍ය සංගමයේ සභාපති සුබ‍්‍රමානියම් තවබාලසිංහම්ට ඔක්තෝබර් 16 දා මැර පිරිසක් විසින් බරපතල ලෙස පහර දීම නිසා රෝහල් ගත වී ප‍්‍රතිකාර ලබන්ට සිදු විය. ප‍්‍රහාරය සිදු වූයේ හමුදා මුර පොලකට මීටර් 300ක් නුදුරිනි. ප‍්‍රහාරකයන් මුහුනු වසා ගෙන යතුරු පැදිවලින් පැමින යකඩ පොලුවලින් තවබාලසිංහම්ගේ හිසට හා ශරීරයට පහර දුන්නේ ඔහු මරා දැමීමට යි. නමුත් එල්ලය වැරදී ගියේ අසල නිවෙස්වල ජනයා එක් රොක් වූ බැවිනි. මෙම මැර පිරිස හමුදාවේ හෝ පැරා මිලිටරියේ සාමාජිකයන් බවට සැක කෙරේ.

personකවිරාජන්

*ඔක්තෝබර් 23 දා යාපනය සරසවි සිසු ක‍්‍රියාකාරිකයකු වන අවසන් වසරේ ඉගෙනුම ලබන රාජවරෝදයම් කවිරාජන්ට මැර ප‍්‍රහාරයක් එල්ල විය. පුද්ගලික උත්සවයකට සහභාගි වී එන අතර කිලිනොච්චි දිස්තික්කයේ පරන්තන් පෙදෙසට නුදුරුව රාත‍්‍රි 9 ට පමන ඔහුගේ යතුරු පැදිය හරස් කල ති‍්‍රරෝද රියකින් පැමිනි මැරයෝ කවිරාජන්ගේ හිසට හා මුහුනට පහර දුන්හ. ඔහු දිව ගොස් බේරුනු නමුත් රොහල් ගත වී ප‍්‍රතිකාර ගැනීමට සිදුවිය. යාපනය නගරයටත් වඩා හමුදා මුරකාවල් තර කර ඇති මේ පෙදෙසේ පහර දීමක් කර නිදැල්ලේ යාහැක්කේ හමුදා සාමාජිකයන්ට බව සිසුහු පෙන්වා දෙති.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ තමන්ට එල්ල වන ප‍්‍රචන්ඩකම්වලට විරුද්ධව නැවත නැවතත් උද්ඝෝෂනවලට එලඹුන හ. ශිෂ්‍ය සංගම් සභාපතිට එල්ල කල මැර ප‍්‍රහාරය හෙලා දකිමින් ඔක්තෝබර් 17 සිට සිසුන් හය දහසක් පමන සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ පන්ති වර්ජනයේ යෙදෙමින් විරෝධය පල කලහ. ශිෂ්‍යයන්ගේ නිදහස් කි‍්‍රයාකාරකම් මැඩීම නතර කරනු! සරසවි හා පාසල් අසලින් හමුදා ඉවත් කරනු! ප‍්‍රහාර එල්ල කලවුන්ට විරුද්ධව නීතිමය පියවර ගනු! ආදී ඉතා සාධාරන ඉල්ලිම් ශිෂ්‍යයෝ ඉදිරිපත් කලහ.

ආන්ඩුව හෝ පොලීසිය මෙම මැරකම් ගැන මොනම පරීක්ෂනයක් වත් නොකිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් ඒවා අනුමත කරන බව යි. යාපනය සරසවි සිසුන්ගේ පන්ති වර්ජනය ඔක්තෝබර් 28 අවසන් කෙරින. එහෙත් අඛන්ඩ සිසු මර්දනය හා පහර දීම් හෙලා දකිමින් ඔවුන් අරක්ෂා කිරීමට ද ඔවුන්ගේ ඉහත කී ඉල්ලීම්වලට ද සහයෝගය දීමට කම්කරුවන් ඉදිරිපත් විය යුතු බව සසජාශි ඉල්ලා සිටී.

අවශේෂ දෙමල පීඩිත ජනයා මෙන්ම යාපනය සරසවි සිසුහු ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් උත්සන්න කෙරුනු තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයේ දී ජීවිත අහිමි කිරීම්, සිරගතවීම් ආදි වූ අනේක විධ මර්දනයන්ට ගොදුරු වූහ. 2009 මැයි මාසයේ දී එල්ටීටීඊය පරාජය කරමින් හා ලක්ෂ සංඛ්‍යාත ජනයා මත ඉමහත් ව්‍යසනයක් පටවමින් යුද්ධය කෙලවර කල ද මර්දනය දිගටම ගෙන යන රාජපක්ෂ ආන්ඩුව හා මිලිටරිය සරසවි සිසුන් එහි එක් ඉලක්කයක් කර ගෙන ඇත.

ඊට හේතු දෙකකි.

ඉන් පලමු වැන්න නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මඩිමින් පවත්වාගෙන යන මිලිටරි වාඩිලා ගැනීමට සිසුන් අතර පැතිර පවත්නා විරුද්ධත්වය යි.

දෙවැන්න, විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව දකුනු පලාත්වල මෙන්ම උතුරු නැගෙනහිර ද සිසුන් අතර වැඩෙන විරෝධය යි. නිදහස් අධ්‍යාපනය කපා හෙලීමේ කොටසක් ලෙස විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය අරඹා ඇති ආන්ඩුව මාලබේ වෛද්‍ය විද්‍යාලය ද ඇතුලු විදේශීය සරසවිවල ශාඛා කිහිපයක් දැනටමත් පටන් ගෙන ඇත.

යාපනය සරසවි සිසුන් මුහුන දී සිටින ආන්ඩුවේ මිලිටරි මර්දනකාරී පාලනය පරාජය කිරීම හා නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම කල හැක්කේ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකිනි. සිසුන්ට එම අරගලය සාර්ථකව දියත් කල හැක්කේ උතුරේත් දකුනේත් ආන්ඩුවේ ප‍්‍රහාරවලට ලක්ව සිටින කම්කරු පන්තිය සමග එක්ව බව සසජාශි කියා සිටී.

යාපනය සරසවි සිසු අරගලය දියත් වෙද්දී, පිහිටු වන ලද "සිවිල් සමාජ සම්මේලනය” නම් වූ සංවිධානයක් "සිසුන්ට අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්නා ලෙසට” ද පන්ති වර්ජනය අවසන් කරන ලෙසට ද උපදෙස් දී තිබේ. මේ මැදිහත් වීම නිසා සිසු වර්ජනය නතර කෙරිනි. මෙම සංවිධානයේ නායකත්වය ගෙන ඇති ඇතැම් අය ආන්ඩුව සමග දේශපාලන ගනුදෙනුවලට සම්බන්ධ අය යි. ඇතැමුන් ධනපති දෙමල ජාතික සන්ධානයට සම්බන්ධ ය.

මෙම සංවිධානය සිසුන්ගේ හෝ අනෙකුත් ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් දිනාගැනීමේ කිසිදු වැඩපිලිවෙලක් ඉදිරිපත් කර නැත. ඔවුන් ඉදිරිපත් වී සිටින්නේ ආන්ඩුවට හා මිලිටරියට සිසුන් හික්මවා දීමේ කටයුත්තකට යි. සිසු අධ්‍යාපනය කඩාකප්පල් කරන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සාමකාමී වාතාවරනය බිඳ දමන ආන්ඩුව හා මිලිටරිය යි, විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කරන ආන්ඩුව යි. ගැඹුරුවන ලෝක ධනවාදයේ අර්බුදය තුල අනිකුත් රටවල පාලක පන්තීන් මෙන්ම ලංකාවේ ධනපති ආන්ඩුව ද වැඩ කරන ජනයාගේ හා තරුනයන්ගේ ජීවන හා සමාජ අයිතීන් කපා දැමීම උග‍්‍ර කරමින් සිටී.

මෙම තත්ත්වය අවසන් කල හැක්කේ උතුරෙන් හා නැගෙනහිරෙන් පීඩක හමුදා ඉවත් කර දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිහිටුවා ගැනීමෙනි. දෙමල ජනයාට එරෙහි වාර්ගික වෙනස්කම් පවත්වා ගෙනයන නීති රාමු බිඳ දැමීමෙනි. දෙමල ජනයාට එරෙහිව වර්ගවාදී වෙනස්කම් ගෙන යන්නේ ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන් පීඩිතයන් බෙදා පාලනය කරන රාජපක්ෂ ආන්ඩුව ඇතුලු කොලඹ ධනපති පාලක පන්තිය යි.

මෙම ධනේශ්වර පන්ති පාලනය පෙරලා දමා සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් එනම්, ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනක් ම දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කල හැකිය. මෙම අරගලය ජාත්‍යන්තරව සමාජවාදය සඳහා කරන සටනේ කොටසකි.

අනෙක් අතට, නිදහස් අධ්‍යාපනය රැකගෙන සරසවිවල ද පාසල්වල ද අධ්‍යාපනය ජරාජීර්නත්වය කරා ඇද දැමෙන වත්මන් කොන්දේසිවලින් බේරාගත හැක්කේ බිලියන සංඛ්‍යාත මුදල් ඊට වෙන් කිරීමෙනි. එබඳු සම්පත් මුදාහැරීමක් කලහැක්කේ ලාභ ගරන ධනපති ක‍්‍රමය සමාජවාදී ක‍්‍රමයකින් විස්ථාපනය කිරීමෙන් පමනක් ම ය.

උතුරේ ද දකුනේ ද සරසවි සිසුන්, තරුනයන් හා කම්කරුවන් ධනපති ක‍්‍රමය තුල තමන් හිර කරන දේශපාලන පක්ෂ හා වැඩපිලිවල්වලින් බිඳී වෙන් විය යුතු ය. මෙහිලා එල්ටීටීඊ පරාජයේ දේශපාලන පාඩම් ඉගෙන ගැනීම වැදගත් ය. එහි පරාජය හුදු මිලිටරිමය කාරනාවක් නො වේ.

එල්ටීටීඊය දෙමල ධනපති පන්තියේ සංවිධානයක් ලෙස තම ඉදිරිදර්ශනය පදනම් කලේ ඉන්දියාව හෝ බටහිර අධිරාජ්‍යවාදී රටවල උදව්වෙන් කුඩා ධනපති රාජ්‍ය කැබැල්ලක් අටවාගැනීමට ය. ඊට සහය දුන් ටීඑන්ඒ හා දෙමල ජාතික ජනතා පෙරමුන ආදී සංවිධාන දැන් වෙනත් මගකින් තම වරප‍්‍රසාද රැකෙන සම්මුතියක් හෝ ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කර ගැනීමට මහ බලවතුන්ගේ සහාය පතයි. ඔවුන්ගේ පිලිවෙත් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති කිරීමට සතුරු, ධනපති පන්තියේ වරප‍්‍රසාද තහවුරු කර ගැනීමේ පිලිවෙත් ය.

කොලඹ අධිරාජ්‍ය ගැති රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා සිසුන්ගේ සමාජවාදී එකමුතුවක් ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) වෙත හැරෙන ලෙස අපි ඉල්ලමු. සසප හා සසජාශි දෙමල පීඩිත මහ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීමට ද යුද්ධයට එරෙහිව ද සමාජවාදී පිලිවෙත් මත අරගල කිරීමේ දීර්ඝ ඉතිහාසයක් දරා සිටිති. සසප හා සසජාශි යුද සමයේ සහ එහි අවසන අත්අඩංගුවට ගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ උද්ඝෝෂනයක මේ වන විට නියුතුව සිටිති.

සරසවි තුල ද අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල ද පාසල්වල ඉහල පන්තිවල සිසුන් අතර ද මේ පිලිවෙත් මත සසජාශි ශාඛා පිහිටුවීමට එක් වෙන ලෙස අපි ඉල්ලමු.

Share this article: