වෝල්වීදි විරෝධතා රාජ්‍ය මර්දනයට එරෙහි විරෝධය වර්ධනය වේ

Growing anger over state repression of anti-Wall Street protests

By Bill Van Auken , 28 October 2011

ඔක්තෝබර් 28 වන දින කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හි පොලීසිය වෝල්වීදියට එරෙහි විරෝධතාවක යෙදී සිටි තරුන හිටපු යුද භටයකුට එල්ල කල මරනාසන්න පහර ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි වැඩෙන්නා වූ රාජ්‍ය ප‍්‍රහාරයට එරෙහිව රට පුරා ම මහජන විරෝධය ජනිත කර ඇත.

විසිහතර හැවිරිදි ස්කොට් ඔල්සන් නම් මෙම පෙලපාලිකරුවා ඉරාකයේ අවුරුදු 2ක් යුද සේවයෙන් පසු ද පන බේරාගෙන තිබුන ද දැන් පොලීසිය විසින් කපා හෙලනු ලැබී ය. ඔල්සන්ට එල්ල කල කුරිරු පහරට එරෙහි පෙලපාලිකරුවෝ ඕක්ලන්ඩ්, නිව්යෝක් සිටි සහ වෙනත් එක්සත් ජනපද නගරවල වීදිවලට බැස විරෝධය ප‍්‍රකාශ කලහ.

ඔල්සන් හෙලනු ලැබුවේ මරනීය නො වන්නේ යයි කියනු ලබන පොලිස් උන්ඩයක් කෙලින් ම ඔහුගේ ඔලුවට එල්ල කිරීමෙනි. ඔල්සන්ට පහර එල්ල කරන ලද්දේ ඔක්ලන්ඩ් නගරයේ ප‍්‍රෑන්ක් ඔගාවා ප්ලාසා නම් ස්ථානයෙහි පෙලපාලිකරුවන් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ ඔක්‍යුපයි ඕක්ලන්ඩ් ( ඕක්ලන්ඩ් වාඩිලාගනු) කඳවුර තුල දී ම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන එතනින් ඔවුන් පලවා හැරීම සඳහා සිදු කරන ලද පොලිස් කැරැල්ලකට නො අඩු ප‍්‍රහාරයක් මධ්‍යයේ ය. ඔහුට ආධාර කිරීමට ගිය අනිකුත් පෙලපාලිකරුවන්ට ද කඳුලු ගෑස් පහර දෙන ලදි.

ඔල්සන් ඕක්ලන්ඩ් හි හයිලන්ඩ් රෝහලට ඇතුල් කරන ලදි. ඔහුගේ හිස්කබල පුපුරා අවදානම් තත්වයක සිහිසුන් වූ ඔහුට හුස්ම ගත හැකි වූයේ ආධාරකයක් මාර්ගයෙන් පමනි. බ‍්‍රහස්පතින්දා ඔහුගේ තත්වය තරමක් යහපත් වූ බව වාර්තා කරන ලදි. කෘත‍්‍රිම ශ්වසන යන්ත‍්‍රයෙන් ඔහු ඉවත් කරනු ලැබූ නමුත් ඔහුට තවමත් වේදනා නාශක බෙහෙත් දෙනු ලැබේ. විස්කන්සින් සිට ගුවනින් පැමිනි ඔහුගේ දෙමව්පියෝ ඔහු සමග වූහ.

ඔල්සන් දවල් වරුවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝවේ මෘදුකාංග සමාගමක වැඩ කරමින් සිටි අතර රාත‍්‍රි කාලයේ වෝල් වීදි විරෝධී පෙලපාලිවලට එක්ව සැන් ෆ‍්‍රැන්සිස්කෝවේ සහ ඕක්ලන්ඩ්හි විරෝධතා කඳවුරු තුල රාත‍්‍රි ගත කල බව ඔල්සන් සමග ඉරාකයේ යුද සේවයේ යෙදී සිටි ෂැනන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තා කලේ ය.

"ඔහු වැඩ ඇරුනු පසු කෙලින් ම යන්නෙ එතනට ය. එහි රැය ගත කොට ඊලඟ දවසේ වැඩපලට යයි” ෂැනන් මෙසේ ද කීය. "ස්කොට්, සෙන්ට් ෆ‍්‍රැන්සිස්කෝ වාඩිලාගනු ව්‍යාපාරයට සහභාගි වූයේ ආර්ථික බිඳවැටීමට බැංකු සහ මහසංගත වගකිව යුතු බව කිසිසේත් ම නොතැකී ම ගැන ඔහු විරුද්ධ වූ හෙයිනි. ඇත්ත වසයෙන් ම දේශපාලකයින් කරන්නේ බැංකු සමග අත්වැල් බැඳගෙන පොහොසතුන්ට ආධාර වන තව තවත් නීති සම්පාදනය කිරීම ය. රැකියා නැතිව ගොස් සෞඛ්‍ය සංරක්ෂනය නැතිව සිටින්නා වූ ඒවා නැතිව ම බැරි දහස් ගනන් ජනයාට ඔවුන් උදව් කරන්නේ නැත.”

වෝල් වීදියේ වාඩිලා ගැනීමේ ව්‍යාපාරය කෙරෙහි ස්කොට්ගේ ආකල්පය ඉරාකයේ යුද්ධය පිලිබඳව ඔහු දැක් වූ විරුද්ධත්වයත් සමග එකට වර්ධනය විය. 2006 දී ඇමරිකානු මැරයින් භටකායට එකතු වූ ඔහු ඉරාකයෙහි දෙවතාවක් සේවයෙහි යෙදීමෙන් පසුව යුද්ධයට විරුද්ධ ආස්ථානයක් කරා එලඹුනි. "ඔහුට ඉබේට ම හැඟී ගියේ අප මෙහි නො සිටි ය යුතු ය යන්න ය. අප එහි සිටීම ඉරාක මහජනතාවට පමනක් නො ව ඇමරිකානු මහජනතාවට ද හොඳ දෙයක් නො වන බව ඔහු වටහා ගත්තේ ඉරාක ආක‍්‍රමනය හොඳ ජාවාරම්කරුවන්ට පමනි.”

පොලිස් අංශ 18 කින් තෝරා ගත් පොලිස් භටයන් කැරලි මර්දන සන්නාහ යොදවා ඕක්ලන්ඩ් හි කරන ලද මර්දනය වනාහි ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරලේ සිට නැගෙනහිර වෙරල දක්වා ලිහා හරිනු ලැබ තිබෙන දරුනු මර්දනය පිලිබඳ ආන්තික උදාහරනයක් පමනි.

බදාදා රාත‍්‍රි නිව්යෝක් නගරයේ සිය ගනනක් ජනයා ලිබර්ටි ප්ලාසාවේ වෝල් වීදිය අල්ලා ගැනුනු කඳවුරේ සිට නගර ශාලාව කරා ඕක්ලන්ඩ් හි මර්දනයට එරෙහිව පෙලපාලියක් යාමට උත්සාහ කලහ. මග හරහා පොලිස් බැරිකේඩ් යෙදවීමෙන් ද දිගින් දිගට ම ශාරීරික ප‍්‍රහාරයන් එල්ල කිරීමෙන් ද පොලීසිය පිලිතුරු දුනි. අඩු ගනනේ මිනිසුන් දස දෙනෙක් අත් අඩංගුවට ගැනුනු අතර සැප්තැම්බර් 17 දා පෙලපාලි ආරම්භවීමෙන් පසුව නිව්යෝක් නගරයේ පමනක් නවසියයකට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇත. මේ අතර නගරයෙන් නගරයට පොලීසිය මහජනකායට පහර එල්ල කිරීම අත ලඟ බව පෙනී යයි. පසුගිය බ‍්‍රහස්පතින්දා සෙන්ට් ෆ‍්‍රැන්සිස්කෝවේ වාඩිලා ගැනීමේ කඳවුරට පහර එල්ල කිරීම සඳහා ටෙ‍්‍රෂර් අයිලන්ඩ් නම් ස්ථානයේ සිය ගනන් හෙල්මට් දාගත් අතිරේක පොලිස් බලකාය ඒකරාශී කරන ලදි. කඳවුර පිහිටි ජස්ටින් හර්මන් ප්ලාසා නම් ස්ථානයට එල්ල කිරීමට සැලසුම් කරන ලද ප‍්‍රහාරය නවත්වන ලද්දේ අවසාන මොහොතේ ය.

ලොස් ඇන්ජලීස්හි නගරාධිපති ඇන්ටෝනියෝ විලරයිගෝසා නගරශාලාව පිටත පවත්වාගෙන යන වාඩිලා ගැනීම "දිගින් දිගට ම පවත්වා ගත නො හැකි යයි” ද එයින් තන පිට්ටනිය විනාශ වේ යයි ද ප‍්‍රකාශ කලේ ය.

එසේම ෆිලඩෙල්ෆියාවේ නගර පාලනාධිකාරය එහි නගර ශාලාව ඉදිරියේ දිල්වර්ත් ප්ලාසා නම් ස්ථානයේ පිහිටුවා ඇති ටෙන්ත් සිටි (කූඩාරම් නගරය) වහාම ඉවත් කල යුතු යයි කියා සිටියේ ය. ෆිලඩෙල්ෆියාවේ පාලනාධ්‍යක්ෂ, රිචඩ් නෙග්රින්, "ඔවුන් අපට වඩාත් බරපතල පියවර ගන්නට සිදු කලොත් නගර සභාව එසේ කරනු ඇත”යි කී ය.

රෝඩ් අයිලන්ඩ් හි ප්රොවිඩන්ස් නගරයේ මහජනාරක්ෂක කොමිසාර් බ‍්‍රහස්පතින්දා නිකුත් කල නිවේදනයකින් වෝල් වීදියේ වාඩිලා ගැනීම් විරෝධතා කරුවන්ට අනතුරු හඟවමින් නගර මධ්‍යයේ ඔවුන් රැඳී සිටි උද්‍යානයෙන් පැය 72 ක් ඇතුලත ඉවත් විය යුතු යයි බල කර සිටියේ ය. බැල්ටිමෝරයේ පාලකයෝ ද මෙබඳු ම පියවර ගනිමින් සිටිති. නිව්යෝර්ක් ප‍්‍රාන්තයේ ඇල්බර්නි හි ඩිමොක‍්‍රටික් ආන්ඩුකාරයා ඇන්ඩෲ ක්වෝමෝ නගරාධිපති ජෙරී ජෙනිංග්ස්ට ඇකඩමි පාර්ක් නම් උද්‍යානයේ වාඩිලා සිටින විරෝධතාකරුවන් අත් අඩංගුවට ගෙන ඉවත් කර දැමීමට බල කර සිටියි. පෙලපාලිකරුවන් ඉවත් කිරීමට බලහත්කාරය පාවිච්චි කලහොත් නගර සභාවට එරෙහි සිවිල් නඩුවක් පැවරෙතැ යි ඩිමොක‍්‍රටික් පාක්ෂිකයකු වන ජෙනිංග්ස් කියා සිටියි.

මර්දනකාරී ප‍්‍රහාරයන් පිලිබඳ මෙම තර්ජනයන් ඉස්මත්තට එන්නේ ඇට්ලන්ටාවේ නගරාධිපති කාසිම් රීඩ් පසුගිය බදාදා එහි නගර මධ්‍යයේ උද්‍යානයක විරෝධතාකරුවන් 50 ක් අත් අඩංගුවට ගෙන විරෝධතාකරුවන් එලවා දැමීමට පොලිස් කන්ඩායමක් යැවුවාට පසුව ය. පසුගිය සතිය තුල දී පොලීසිය චිකාගෝ, ෆිලඩෙල්පියා, සින්සිනාටි, ෆීනික්ස්, ඩලාස්, ඕලන්ඩෝ සහ ටැම්පා යන නගරවල විරෝධතාකරුවන්ට පහර දී 200 ක් අත් අඩංගුවට ගෙන ඇති තතු තුල ය.

මෙම මර්දනය ක‍්‍රියාත්මක කරන බොහෝ නගරවල ප‍්‍රාදේශීය පාලනාධිකාරය පවතින්නේ ඩිමොක‍්‍රටික් පක්ෂයට වන අතර එම පක්ෂය වෝල් වීදි විරෝධයන්ට එරෙහිව දෙපැත්තකින් පහර එල්ල කරමින් සිටී. ඩිමොක‍්‍රටික් පක්ෂය එක් අතකට වෘත්තීය සමිති සහ විවිධ මධ්‍යම පන්තික කන්ඩායම් යොදා ගෙන බොහෝ සෙයින් ස්වයංසිද්ධ වූ මෙම ව්‍යාපාරය තමන් අත යටට ගෙන එය 2012 ඔබාමා යලිත් පත්කර ගැනීමේ ඡුන්ද ව්‍යාපාරයට නතු කර ගැනීමට මාන බලයි. අනෙක් අතට එය පොලිස් බැටන් කඳුලු ගෑස් පෙපර් ගෑස් වැනි දෑ පාවිච්චි කරයි. ඕක්ලන්ඩ් නගරයේ දී ස්කොට් ඔල්සන් මරනාසන්නයට ගෙන ආ පොලිස් ප‍්‍රචන්ඩත්වය නම් මෙය යි. ඒ සියල්ලට යටින් පෙන්නුම් කරන්නේ විරෝධතා ව්‍යාපාරය රිපබ්ලිකානුවන් මෙන් ම ඩිමොක‍්‍රටිකයන් ද වෝල් වීදිය සමග පවත්වාගෙන යන සමීප සම්බන්ධතාවයන් හරහා මෙම විරෝධතා ව්‍යාපාරය කපාගෙන යන්නක් බව යි.

මෙම අත් අඩංගුවට ගැනීම්වලට නිශ්ශබ්දව සහාය දෙන ඔබාමා පාලනාධිකාරය පොලිස් ප‍්‍රචන්ඩත්වය ගැන ගොලුවත රකී. පසුගිය බ‍්‍රහස්පතින්දා ඕක්ලන්ඩ්හි ප‍්‍රචන්ඩත්වය පිලිබඳව මන්ත‍්‍රන සභා ප‍්‍රවෘත්ති ලේකම් ජේ. කානි ප‍්‍රතිචාර දැක්වූයේ වැරදි විරෝධතාකරුවන් මත පටවමිනි: "ප‍්‍රචන්ඩත්වය ගැන කිවහොත් සියලුදෙනා ම නීත්‍යානුකූලව හැසිරිය යුතු යයි අප පැහැදිලිව ම විශ්වාස කරන අතර තම අපේක්ෂා භංගත්වයන් යුක්ති සහගතව ප‍්‍රකාශයට පත් කරන අයද මොවුන් අතර සිටිති. සියලූ දෙනා ම නීත්‍යානුකූලව හැසිරිය යුතු යයි අපි කියා සිටිමු.” කැලිෆෝනියාවේ ඩිමොක‍්‍රටික් සෙනෙට් මන්ත‍්‍රී ඩියාන් ෆෙයින්ස්ටයින් ඕක්ලන්ඩ් නුවර පෙලපාලිකරුවන්ට එල්ල කල ප‍්‍රචන්ඩ ප‍්‍රහාරයෙන් ඉක්බිත්තේ මෙසේ කීවා ය: "සදාකාලිකව ම මෙම වාඩිලෑම් පවත්වා ගෙන යාමට විරෝධතාකරුවන්ට අයිතියක් තිබේද උදාහරනයක් හැටියට මෙම මිනිසුන්ට සති ගනන් ප‍්‍රසිද්ධ චතුරස‍්‍රයක නිදාගැනීමට ඉඩ දිය නො හැක. මෙයට යම්කිසි පාලනයක් ඇති කල යුතු ය.”

විරෝධතාවන්ගේ අරමුන ප‍්‍රශ්නයට භාජන කරමින් ඇය මෙසේ කීවා ය: "මෙම විරෝධතාවන් තුල විවිධාකාර යටි සැලසුම් ක‍්‍රියාත්මක වෙයි. මිනිස්සුන්ට ඇත්ත වසයෙන් ම උවමනා කුමක් දැයි පැහැදිලි කර ගැනීම දුෂ්කර ය.”

නිසැකයෙන් ම පෙලපාලිකරුවන්ට උවමනා කුමක් දැයි තේරුම් ගැනීමට ෆෙයින්ස්ටයින්ට දුෂ්කර වී තිබීමට බාධක ඇත. ඇය කැපිටෝල් හිල් හි (ඇමරිකාවේ නීති මන්ඩල මධ්‍යස්ථානය) ඉන්නා පොහොසත් ම දහ දෙනාට අයත් ය. ඇයට ඩොලර් මිලියන 50ට වැඩි පෞද්ගලික ධනයක් ඇතැයි තක්සේරු කර ඇති අතර ඇයගේ ස්වාමියා ආයෝජක බැංකුකරුවෙකි.

ඇත්ත වසයෙන් නම් පෙලපාලිකරුවන්ට අවශ්‍ය වී ඇති දේ අබිරහසක් නො වේ. ඔවුන් ඉස්මතු කර ඇත්තේ ඇමරිකාවේ ආර්ථික, සමාජ සහ දේශපාලන ජීවිතය පුරා දිව යන අසමානතාවය ප‍්‍රශ්නය යි, මුදුනේ ඉන්නා සියයට 1 දෙනා සහ ජනගහනයේ අතිමහත් වැඩි සංඛ්‍යාව වන වැඩ කරන ජනතාව අතර අයාගත් සමාජ අගාධය යි. ඔවුන්ගේ ඉල්ලීම් වනාහි යහපත් නිවාස ය රැකියා ය, නිවාසවලින් දොට්ට දැමීම් වහාම නැවැත්වීම ය, සිසුන් අධ්‍යාපන නයට වහල් කර ගැනීම අවසන් කර දැමීම ය.

පසුගිය බ‍්‍රහස්පතින්දා යුරෝපයේ පල කරන ලද වාර්තාවක් ඇමරිකාවේ මහා සමාජ අගාධය පිලිබඳ මෙම තක්සේරුව තහවුරු කලේ ය. එහි සොයාගැනීම්වලට අනුව එක්සත් ජනපදයේ ධනය බෙදී යාමේ අසමානතාවය අන් සියලුම දියුනු ධනේශ්වර රටවල අසමානතාවයට වඩා උග‍්‍ර ය.

ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිලිබඳ සංවිධානය විසින් ( ඕඊසීඩී) විසින් නිකුත් කරන ලද මෙම වාර්තාව එක්සත් ජනපදය සමාජ සමානතාව පිලිබඳ ප‍්‍රශ්නයේ දී ඕඊසීඩී රටවල් 31 අතුරෙන් පහල ම මට්ටමේ තැබී ය. ඇමරිකා එක්සත් ජනපදය "අවස්ථාවේ දේශය” යයි කොතරම් පාරම් බෑව ද මෙම වාර්තාව සොයා ගත්තේ පරම්පරාවෙන් පරම්පරාවට සමාජ ඉනිමගේ ඉහල නැග ගැනීමට ඉතා ම අමාරු රටක් ලෙස එක්සත් ජනපදය පවත්නා බවයි.

"බිය දනවන සුලු” දරිද්‍රතා කඩඉම් වසයෙන් ගත් කල්හි නරකම රටවල් අතුරෙන් තුන්වන තැන ගත්තේ එක්සත් ජනපදය යි. එහි පැවති තත්වයන් යහපත් වූයේ චිලි සහ මෙක්සිකෝව සමාන කර බලන කල්හි පමනි.

මෙම තත්වයන් ප‍්‍රතිවර්තනය කිරීම සඳහා හුදෙක් විරෝධතාවයන්ට වඩා විශාල දෙයක් අවශ්‍යව ඇත. විරෝධතාවය දක්වන්නවුන් ද මෙම විරෝධතාවයන්ට පක්ෂපාතී වන වැඩ කරන මහාජනතාව ද මුහුන දී සිටින්නේ ධනේශ්වර පද්ධතිය ම බිඳවැටීම ට ය; බැංකු, මහා සංගත සහ ප‍්‍රධාන ඒවා විසින් මෙම අර්බුදය වැඩ කරන ජනතාවගේ කරපිටින් යැවීමට දරන ප‍්‍රයත්නය ට ය. ඕක්ලන්ඩ් හි විරෝධතා ප‍්‍රකාශකයෝ ලබන නොවැම්බර් 2 දා මහා වැඩ වර්ජනයකට එක්වන ලෙස ඉල්ලා සිටිමින් කම්කරුවන් වැඩට නො ගොස් සිටිය යුතු ය! ශිෂ්‍යයන් තම පන්තිවලට නො ගොසින් සිටිය යුතු ය! යනුවෙන් ඉල්ලා සිටිති. මේ සමාන ම ඉල්ලීමක් නිව්යෝක් නගරයේ වෝල් වීදිය වාඩිලා ගැනීමේ විරෝධතාවය තුල ද ප‍්‍රකාශිතව ඇත. මහා වැඩ වර්ජනයක් සඳහා ඉල්ලීම සැබවින් ම සටන් කිරීමේ මාවතක් සොයන්නවුන් සම්බන්ධයෙන් නම් කම්කරු පන්තියේ බලය දෙසට හැරී ගැනීමකි. එහෙත් ව්‍යාජ වාම සංවිධානයන්ට නම් මෙවන් ඉල්ලීමක අර්ථය වන්නේ වෘත්තීය සමිති පිලිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම ය. මහා ධනපති පක්ෂ දෙක සහ සමාගම් පාලකයන්ගේ ද තමන්ගේ වරප‍්‍රසාදිත නියෝජිතයන්ගේ ද ආසක්තයන් නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂයට යටත්ව පවත්නා වෘත්තීය සමිති ඒවා තුල හිරවී සිටින කම්කරුවන්ගේ අවශ්‍යතාවන් නියෝජනය කරන්නේ නැත. එවන් විරෝධතාවයක් තවත් නිරර්ථක ප‍්‍රයත්නයක් වනු ඇත.

සැබෑ මහා වැඩ වර්ජනයක් සංවිධානය කිරීමට නම් කල යුතු ව ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයට සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරු පන්තිය සහ තරුනයන් බලමුලු ගැන්වීම ය. මෙවන් අරගලයක් සඳහා සූදානම් වීමට නම් වැඩපලවල ද පාසල්වල ද නිවහන් ප‍්‍රදේශවල ද සාමාන්‍ය ජනයාගේ ක‍්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතු ය. වෝල් වීදිය අල්ලා ගැනීමෙන් නො නැවතී ෆැක්ටරි අල්ලා ගැනීම කරා ඉදිරියට යා යුතු ය. සෑම වැඩපලක් ම වැඩ කරන ජනතාවට එරෙහි ප‍්‍රහාරයන්ට එරෙහිව ප‍්‍රතිරෝධය දක්වන්නා වූ කඳවුරක් බවට පත් කර ගත යුතු ය.

රැකියා, යහපත් ජීවන තත්වයක්, අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවයට, විශ‍්‍රාමයට සහ වෙනත් සමාජ අවශ්‍යතාවන්ට කෙරෙන්නා වූ අරගලය ජයග‍්‍රහනය කල හැකි වන්නේ මුදුනේ සිටින සියයට 1 විසින් පවත්වා ගෙන යන ආර්ථික සහ දේශපාලන ගලග‍්‍රහනය බිඳ දේශපාලන බලය තමන්ගේ ම අතට ගැනීම මගින් පමනි. ආර්ථික ජීවිතය මානව අවශ්‍යතා සඳහා සමාජවාදී පිලිවෙතක් උඩ ප‍්‍රතිසංවිධානය කිරීම කල හැක්කෙත් මූල්‍ය ප‍්‍රභූව විසින් කර ගෙන යන ලාභ ගැරිල්ල සහ ධනය ගොඩ ගසා ගැනීම අවසන් කල හැක්කේත් එමගින් ම පමනි. මෙම අරගලය දේශපාලනික ය; ජාත්‍යන්තර ය. මේ සඳහා සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම්ව නව විප්ලවවාදී පක්ෂයක් ගොඩනගා ගැනීම අවශ්‍ය ය. වෝල් වීදියට එරෙහි අරගලය ඉදිරියට ගෙන යාමට මාවතක් සොයන්නා වූ සියලුම කම්කරුවන් සහ තරුනයින් අපගේ ක‍්‍රියාමාර්ගය හදාරා සමාජවාදී සමානතා පක්ෂයට එක්ව සමාජවාදය සඳහා සටන සියතට ගත යුතු ය.

Share this article: