ඩේවිස්හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පොලිස් ප‍්‍රහාරය

The police assault at University of California, Davis

23 November 2011

නොවැම්බර් 18 වෙනි දින ඩේවිස්හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විරෝධතා පල කරමින් සිටි සිසුන් මත එල්ල කල පොලිස් ප‍්‍රහාරය එක්සත් ජනපදයේ දේශපාලනික, සමාජයීය හා ආර්ථික සබඳතාවල ප‍්‍රතිගාමී හා ම්ලේච්ඡ ස්වභාවය අනාවරනය කරයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් කරන කෙලවරක් නැති හා ස්වයං-වගවර්නනාවන් සියල්ල ම නො තකා, එක්සත් ජනපදය පාලනය කරන සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්ට තර්ජනයක් පවතින බව සුපිරි ධනපතියන් හා ඔවුන්ගේ ආන්ඩුව ප‍්‍රත්‍යක්ෂ කර ගන්නා මොහොතේ දී ඇමරිකානු පාලක ප‍්‍රභූවේ කෛරාටික භාවය හා කූට බවේ වෙස් මුහුන සියල්ලන් ඉදිරිපිට ගැලවී ගියේ ය.

විශ්ව විද්‍යාල පොලීසිය සංග‍්‍රාම භූමියකට ඇතුලු වන්නාක් මෙන් සන්නද්ධ වී සිටියේ ය. ඔවුන්ගේ ක‍්‍රියාවන්ගෙන් පෙන්නුම් කලේ ඔවුන් ශිෂ්‍යයන් සැලකුවේ මනුෂ්‍යයන් මෙන් නො ව, පාලනය කල යුතු, වධබන්ධනයට ලක් කල යුතු හා අන දෙනු ලැබුව හොත් වෙඩි තබා හෙලිය යුතු දේවල් වසයෙනි. ශිෂ්‍යයන් වෙත විෂ රසායන විදි පොලිස් නිලධාරියා නිවී සැනසිල්ලේ හා ඒ කොන සිට මේ කොනට එය කර ගෙන ගියේ තම ගොදුරු කෘමීන් හෝ ගෙයි පිලිකන්නේ සැදි වල් පැලෑටි යැයි සලකමිනි. ඔහුගේ සහචර ප‍්‍රහාරක භටයෝ ඔහුගේ ක‍්‍රියාවන්ගෙන් යන්තම් වත් සැලුනු බවක් පෙන්නුම් නොකලෝ ය.

තමන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතාවන් පිලිබඳ සැලකිල්ලක් නොදක්වන ඕනෑ ම පාලන තන්ත‍්‍රයකට ප‍්‍රහාර එල්ල කිරීම යුක්ති සහගත කිරීම පිනිස එක්සත් ජනපද ආන්ඩුව මානව හිමිකම් අඩව්ව අල්ලයි. ඩේවිස් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ උක්ත සිදුවීම් ටෙහෙරාන් විශ්ව විද්‍යාලයේ සිදු වී නම් මාධ්‍යවලින් නැගෙන බිරුසන් දීම් කෙනෙකුට පරිකල්පනය කල හැකි ය. ඇත්ත වසයෙන් ම, මර්දනය හා ප‍්‍රචන්ඩත්වය යන කාරනයට එලැඹි විට ඇමරිකානු සංගත ප‍්‍රභූවට ඉගැන්වීමට යමක් ඇති එක ද පාලක පන්තියක් හෝ ලෝකයේ නැත.

එක්සත් ජනපද පිටුබලැති ඊජිප්තුවේ මිලිටරි පාලනය තාහ්රීර් චතුරස‍්‍රයේ විරෝධතාවන් ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමත් ඩේවිස් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් මත එල්ල කල ප‍්‍රහාරයත් හුදෙක් මතුපිටින් සම්පාත වනවා නො වේ. ප‍්‍රහාරවල පරිමාව වෙනස් විය හැකි නමුත් අන්තර්ගතය එක ම ය.

සමස්ත ලෝකයේ ම කම්කරුවන් හා තරුන ජනයා පටි තද කිරීමේ පියවරයන්ට හා දැවැන්ත විරැකියාවට එරෙහිව ව්‍යාප්ත වෙමින් පවත්නා පන්ති අරගලයකට ආබද්ධ වී සිටිති. සෑම ආන්ඩුවක් ම ඒවාට ප‍්‍රතිචාර දක්වන්නේ මූල්‍ය ප‍්‍රභූවේ ආඥාවන් ක‍්‍රියාවට දැමීමට රාජ්‍ය මර්දනය යොදා ගනිමිනි.

කැලිෆෝනියා සිසුන් මත එල්ල කල කුරිරු ප‍්‍රහාරය සංගත හා දේශපාලන සංස්ථාපිතය තුල පැතිර ඇති භීතිය හා චින්තාපරවශ බව පිලිබඳ දර්ශකයකි. සිසුන් හා තරුන ජනයාගෙන් සාපේක්ෂව සුලු ප‍්‍රමානයක් සම්බන්ධ, තව මත් මුල් අවධිවල පවත්නා සමාජ විරෝධතාවට ප‍්‍රතිචාරය මෙය නම් කම්කරු පන්තියේ වඩාත් පලල් ස්තර විසින් දියත් කරනු ලබන යෝධ ස්ට‍්‍රයික් හා විරෝධතා ව්‍යාපාරවලට මුහුන දීමට සිදු වූ කල ඇමරිකානු පාලක ප‍්‍රභූව මුදා හරිනු ඇති ප‍්‍රචන්ඩත්වයේ පරිමාව පමනක් කෙනෙකුට හිතා ගත හැකි ය.

වෝල් වීදිය වාඩි ලා ගනු ව්‍යාපාරය ආරම්භයේ සිට ම මුහුන දුන් ප‍්‍රචන්ඩත්වය, සමාජ අසමානතාවේ පුපුරන සුලු වැඩීමත් ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල පල්ලට යාමත් පිලිබඳ සංකේතයකි. ඔක්තෝබර් පලමු වෙනි දින බෲක්ලින් බි‍්‍රජ්හි විරෝධතාකරුවන් බුරුතු පිටින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මුලු රට පුරා ම එවැනි පොලිස් කඩා පැනීම් මාලාවක් රැලි නැංවී ය. ඕක්ලන්ඩ්හි දී කඳුලු ගෑස් හා ප්ලාස්ටික් පතුරන් යොදා ගනිමින් ඉරාක යුද ප‍්‍රවීනයෙකුට බරපතල ලෙස තුවාල කිරීම ද මෑන්හැටන්හි සුකොට්ටි උද්‍යානයේ දී වෝල් වීදිය වාඩි ලා ගනු කඳවුරු මිලිටරි ප‍්‍රහාරයක ආකාරයෙන් විනාශ කරනු ලැබීම ද මේ අතර වේ. පසු ගිය සති අන්තයේ දී, පොලීසිය විසින් පෙපර් දියර විදීමට පෙරාතුව බඩට දෙවතාවක් පහර දෙනු ලැබූ සියැටල්හි තුන් මස් ගැබිනි තරුන විරෝධතාකාරියක ගබ්සාවට ලක් විය.

වාඩි ලා ගනු ව්‍යාපාරයට සම්බන්ධ වීම නිසා මේ දක්වා රට පුරා ම අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගනන 4,600කට වැඩි ය. එෆ්බීඅයි ආයතනයේ හා ඔබාමා පාලනාධිකාරයේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදෙස් ලද ප‍්‍රාන්ත ආන්ඩු විරෝධතා ව්‍යාපාරය කුඩු පට්ටම් කිරීමට ඔවුන්ගේ පරිශ‍්‍රමයන් ඒකාබද්ධ කර ඇත.

මෙම මර්දනය මූලික සත්‍යයන් දෙකක් ආවරනය කරයි. ඉහල ම ධනවතුන් සියයට එක සමාජ ධනය මුලුමනින් ම පොදි ගසා ගෙන සිටින පද්ධතියක් සමග ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් නොපෑහෙන බව පලමු සත්‍යය යි. පටි තද කිරීමේ පියවරයන්, සමාජ වැඩ සටහන් කාබාසිනියා කර දැමීම හා යුද්ධය යන මූල්‍ය කතිපයාධිකාරයේ ඉල්ලීම් ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රම ඔස්සේ සාක්ෂාත් කර ගැනීමේ හැකියාවක් නැත. අතිමහත් බහුතරයක විරුද්ධත්වය මැඩිය හැකි වන්නේ පෙර නුවූ විරූ ආඥාදායක විධික‍්‍රමයන් මත වාරු වීමෙන් පමනකි.

දෙවැනි සත්‍යය නම් රාජ්‍යය-දේශපාලනඥයින්, පොලීසිය හා උසාවි-අපක්ෂපාතී දේහයක් නොවන බව යි. එය ධනපති රාජ්‍යයකි. එය ක‍්‍රියාත්මක වන්නේ සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ දේපල හා දේශපාලන ක‍්‍රමය ආරක්ෂා කිරීමට ය.

කැලිෆෝනියාවේ පොලිස් ප‍්‍රචන්ඩත්වය මෙහෙයවූයේ ලිබරල් සුරුවමක් හා ඩිමොක‍්‍රැටික් ආන්ඩුකාරයා වන ජෙරී බ‍්‍රවුන් බවත් ඩේවිස් කැලිෆෝනියා විශ්ව විද්‍යාල පොලීසියේ ප‍්‍රධානියා කාන්තාවක මෙන් ම විශ්ව විද්‍යාලයේ චාන්සලර්වරිය බවත් සටහන් කර ගත යුතු ය. එක්සත් ජනපද ආන්ඩුවේ ඉහල ම තනතුර හොබවන්නේ අප‍්‍රිකානු-ඇමරිකානුවෙකි. මේ නම් දේශපාලන තනතුරුවලට කාන්තාවන් හා සුලු ජාතිකයන් පත් කිරීමෙන් දේශපාලන පද්ධතිය වෙනස් කල හැකි යැයි යන කියා පෑම කෙලවරක් නැතිව තොරොම්බල් කරන අනන්‍යතා දේශපාලනයේ යෝජකයන්ට ඕනෑවටත් වැඩි දෙයකි.

ප‍්‍රශ්නයක් ලෙස පවතින්නේ වඩා මානුෂීය අයුරින් ක‍්‍රියා කල යුතු යැයි බලවතුන්ට ආයාචන කිරීම නො වේ. මහා අවපාතයෙන් මෙපිට දරුනු ම ආර්ථික අර්බුදය මැද්දෑවේ දී ඩිමොක‍්‍රැටිකයන් හා රිපබ්ලිකානුවන් නියුතුව සිටින්නේ ආන්ඩුවේ වියදම්වලින් ටි‍්‍රලියන ගනනක් කපා දැමීමේ හොඳ ම ක‍්‍රමය කුමක් ද යන්න පිලිබඳ උග‍්‍ර අරගලයක ය. මෙම සතිය මුල දී, මූල්‍ය වෙලඳ පොල වෙත ජනාධිපති ඔබාමා යලි සහතික දුන්නේ, දසමිලියන සංඛ්‍යාත ජනයා යැපෙන අධ්‍යාපනය, සුව ආරක්ෂනය හා අනෙකුත් සමාජ වැඩ සටහන්වල කෙරෙන වඩාත් ම ගොරතර කප්පාදුවලින් ආ පස්සට නොහැරෙන බව යි.

මෙම ක‍්‍රියාවන් පිටුපස නිශ්චිත ද්‍රව්‍යමය හා පන්ති අවශ්‍යතා පවතී. මූල්‍ය ප‍්‍රභූව සහ එහි දේශපාලන නියෝජිතයෝ ධනවාදී පද්ධතියේ ගෝලීය අර්බුදය සඳහා වන්දිය කම්කරු පන්තියෙන් පියවා ගැනීමට උත්සාහ කරමින් සිටිති. ලාභ පද්ධතිය අසමත් වී තිබේ. තරුන ජනයාට අධ්‍යාපනය ලබා දීමට එයට නොහැකි ය. එයට රැකියා සැපයීමට හැකියාවක් නැත. ඉහල ම සියයට එක පොහොසත් කිරීමට හා යුද්ධ හා රාජ්‍ය මර්දනය සංවිධානය කිරීමට පමනක් නම් එය කදිම ය.

නරක අතට හැරෙමින් පවත්නා සමාජ කොන්දේසිවල බලපෑම කම්කරු පන්තියේ හා තරුන ජනයාගේ පෙර කවර දාටත් වඩා විශාල කොටස් අරගලය වෙතට තල්ලු කරමින් තිබේ. මෙය සමහන් කල නොහැකි සමාජ හා පන්ති අවශ්‍යතා සම්බන්ධ වූ දේශපාලන අරගලයක් බව අවබෝධ කර ගත යුතු ය. සමාජ අවශ්‍යතාවන් බැංකු හා සංගතවල ලාභ අවශ්‍යතාවලට ඉහලින් පිහිටුවීමට නම්, අතිමූලික හා විප්ලවවාදී පරිවර්තනයක් අවශ්‍ය ය. ජනගහනයෙන් බහුතරය වන කම්කරු පන්තිය දේශපාලන බලයේ තෝන් ලනුව තම අත්වලට ගත යුතු ය.

ධනය ඉහල සිට පහලට යලි බෙදා හැරීමක් අත්‍යවශ්‍ය කර තිබේ. ධනවාදය සමාජවාදයෙන් විස්ථාපනය කිරීමත් ඒ අනුව සමාජ ධනය බහුතරයේ එනම් එම ධනය නිෂ්පාදනය කරන වැඩ කරන ජනයාගේ අවශ්‍යතාවන් සඳහා යෙදවීමත් මෙය ඉල්ලා සිටී.

ඩේවිස් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පොලිස් ප‍්‍රහාරයට පැතිරුන විරුද්ධත්වයක් ද වාඩි ලා ගනු ව්‍යාපාරයේ විරෝධතාකරුවන් කෙරෙහි සහානුභූතියක් ද කම්කරුවන් අතර පවතී. ටියුෂන් ගාස්තු ඉහල නැංවීමට එරෙහිව ද සුඛිත මුදිත අනාගතයක අයිතිය උදෙසා ද සටන් කරන තරුන ජනයාත් තම රැකියා හා ජීවන කොන්දේසි මත දිගේලි කරමින් තිබෙන අනුකම්පා විරහිත ප‍්‍රහාරයකට මුහුන දෙමින් සිටින කම්කරුවනුත් අතර වඩාත් ම බලගතු එකමුතුකම හැඩ ගස්වන කොන්දේසි නිර්මානය වී පවතී.

ඩේවිස් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයන් හා අනෙකුත් වාඩි ලා ගනු විරෝධතාකරුවන්ට තම ක‍්‍රියාකාරකම් විශ්ව විද්‍යාලවලට හා කඳවුරුවලට සීමා කල නොහැකි ය. ඔවුන් කම්කරු පන්තිය වෙතට-එනම්, පඩිපතෙන් පඩිපතට ජීවත් වන හා කාර්යාල, කම්හල් හා සමාජ සේවාවල නිරත සියලු දෙනා වෙතට-හැරිය යුතු ය. මෙම සහානුභූතිය, මහ ව්‍යාපාරික පක්ෂ දෙකෙන් ස්වාධීන හා සමාජ අසමානතාවට සදහට ම නිමාවක් තබන ක‍්‍රියා මාර්ගයකින් සන්නද්ධ බලගතු දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල යුතු ය.

ජෙරී වයිට්

Share this article: