විනාශකාරී ගංවතුර පාකිස්ථානය තුල සාගත වසංගත තත්තවයක තර්ජනය මතු කරයි

Devastating floods threaten famine disease in Pakistan

By Sampath Perera , 1 October 2011

ගංවතුරින් විනාශ වූ පාකිස්ථානයේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා යාන්තමින් හෝ උපකාරයක් නොමැතිව සාගත හා වසංගත පැතිර යාමේ ආසන්න තත්වයකට මුහුන දී සිටිති. අගෝස්තු මාසයේ මැද භාගයේ මහා වැසි ආරම්භ වීමේ පටන් අවම වසයෙන් පුද්ගලයින් 456 දෙනෙකු මිය ගිය අතර මිලියන 9 කට අධික ජනයා මේ වනවිටත් ගංවතුරට ගොදුරුව සිටිති. පසුගිය ග‍්‍රීස්ම සෘතුවේ ගංවතුරින් සිදු වූ පෙර නො වූ විරූ හානිය පවා යථාතත්වයට පත් නො වූ දකුනු පාකිස්ථානය දැවැන්ත ම විනාශයකට මුහුන දුන්නේ ය.

පසුගිය වසරේ සිදුවූ මහා විනාශය කෙරෙහි පාකිස්ථානු බලධාරීන් දක්වන ලද නො සැලැකිල්ල හා උදාසීනත්වයේ පරිමාවට මෙම ග‍්‍රීස්ම සෘතුවේ දී සින්ද්හි දකුනු ප‍්‍රදේශයේ සිදුවූ 433ක් වන මරන සංබ්‍යාව පමනක් වුව දෙස් දෙයි.

පාකිස්ථානු භූමියෙන් සියයට 20ක් පමන සම්පූර්නයෙන් ගංවතුරට ගොදුරු වීමේ ප‍්‍රතිපලයක් ලෙස පසුගිය වසරේදී 2,000කට අධික ජීවිත සංඛ්‍යාවක් අහිමි වූ අතර මිලියන 20ක් පමන ජනයා එහි බලපෑමට අසු වූ හ. වසරකට පසුව ද නොනැසී ජීවිතය යාන්තමින් පවත්වා ගෙන යාම පිනිස බාහිර ආධාර මත යැපෙමින් ලක්ෂ සංඛ්‍යාත ජනයා තාමත් අනාථ කඳවුරු තුල ජීවත් වෙති. අනෙකුත් බොහෝ ජනයාට තම ජීවන වෘත්තීන් අහිමි කර දරිද්‍රතාවයට ඇද දමා ඇත. දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කටත් අඩුවෙන් උපයන සින්ද්හි සෑම පුරවැසියන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු අන්ත දරිද්‍රතාවේ ගිලී සිටී.

පසුගිය වසරේ ව්‍යසනය තිබියදීත් ගංවතුර පාලනය කිරීමේ ක‍්‍රමවේදයක් සැලසුම් කිරීමට පාකිස්ථාන රජය උනන්දු වී නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකට අනුව මිලියන 1.5ක නිවාස ප‍්‍රමානයකට හානි සිදු වී ඇති අතර ඉන් අවම වශයෙන් නිවාස 580,000 ක් සම්පූර්නයෙන්ම පොලවට සමතලා වී ඇත. එමෙන් ම මිලියන 2.75ක් වන ජනකායක් "හදිසි ආහාර අවශ්‍යතාවෙන්” පෙලෙන බව සඳහන් වේ. තවද ගංවතුර තදින්ම බලපෑ සින්ද් ප‍්‍රාන්තයේ දකුනු දිශා දිස්ත‍්‍රික්කවල කෘෂි අස්වැන්නෙන් හතරෙන් තුන් පංගුවක් පමන හා ගබඩාගත කෘෂිභෝග තොගවලින් තුනෙන් දෙපංගුවක් පමන විනාශ වී හෝ හානියට පත් වී ඇතැයි වාර්තා වේ. සත්ව නිෂ්පාදනවලට අදාල සතුන් 78,000ක් අවම වසයෙන් මරනයට පත්ව ඇති අතර තවත් සතුන් මිලියන පහක පමන ජීවිත ඉතා අවදානම් තත්වයකට පත්ව ඇත. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව කෘෂිකාර්මික නිෂ්පාදනයට වූ හානිය රුපියල් මිලියන 163ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 1.87ක් බවට තක්සේරු කර ඇත.

මෙම ගංවතුර බලපෑ ප‍්‍රදේශවල සියයට 80ක් පමන ජනයා ජීවත් වීම සඳහා සත්ව නිෂ්පාදන ඇතුලු කෘෂිකාර්මික කටයුතු මත යැපෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ (එෆ්ඒඕ) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ලූයිජී ඩැමියානි සඳහන් කලේ ය. පවුලක සම්පූර්න යැපීම මෙම සතුන් මත රඳා පවතින බව ඔහු තවදුරටත් සඳහන් කලේ ය.

පසුගිය වසරේ සිදු වූ ව්‍යසනකාරී ගංවතුරට වඩා මෙවර තත්වය නරක බව සඳහන් කල එෆ්ඒඕ වාර්තාව ක්ෂනික උපකාර නො ලැබුන හොත් "ව්‍යසනයකාරී මානුෂික ප‍්‍රතිවිපාක” ඇති වන බවට අනතුරු ඇඟවී ය. "අස්වනු හානිය ගොවියාගේ වර්තමාන හා අනාගත ආහාර සම්පත් හා ආදායම් සියල්ලම සහමුලින්ම විලෝපනය කර තිබේ.... පසුගිය වසරේ ගංවතුර හානිය මගින් සින්ද්හි බොහෝ ප‍්‍රදේශවල සිසිර ඍතුවේ පැල රෝපනය ප‍්‍රමාද වීමෙන් දකුනු පාකිස්ථානයේ විශාල ජනකායකට අදාලව හානිය කඳු ගැසෙන” බව එය තවදුරටත් වාර්තා කලේ ය.

ආහාර හානිය මිල ඉහල යාමට තුඩු දී ඇත. අඩු වැටුප් ලබන්නවුන් තව තවත් අසරන භාවයට පත් කරමින් වත්මනෙහි සියයට 13ක් වන උද්ධමන අනුපාතය මේ වසර අවසන් වනවිට තවත් සියයට 2-3ක් අතර ප‍්‍රමානයකින් ඉහල යා හැකි බවට මත පල වේ.

අස්වනු හානියේ බලපෑම ගැඹුරු වන නය ගැතිකම හා පිරිහෙන සෞඛ්‍ය තත්වය පාකිස්ථානු ජනයාට ව්‍යසනකාරී වනු ඇත. ජාත්‍යන්තර සහන සංවිධානයක් වන "ඔක්ස්ෆාම්” මගින් ගංවතුරට කලින් සකස් කල වාර්තාවකට අනුව පාකිස්ථානු ජනයාගෙන් සියයට 36ක් ඌන පෝෂක තත්වයෙන් පසුවන බවට අනාවරනය විය. ක්ෂනික උපකාර ලබාදීමට අසමත් වීම මහජන සෞඛ්‍යය ව්‍යසනය යථාර්තයක් බවට පත් කරමින් මන්ද පෝෂනය හා පානීය ජලය මගින් පැතිරෙන වසංගත රෝග වර්ධනය වීමේ "දෙවන අවදානම් තත්වයක් ඇති වන ඇතැ යි” සහන සංවිධාන අනතුරු අඟවා තිබේ.

ජාතික ආපදා කලමනාකර අධිකාරියට අනුව සතිය ආරම්භයේ දී ම මිලියන දෙකකට අධික ජනකායක් අසනීප තත්වයට පත් වූහ. මැලේරියා පාචනය චර්ම රෝග සහ සර්ප දෂ්ට කිරීම් බරපතල ගැටලු වේ. අවම වසයෙන් මිලියන 1.36ක ලමුන් ද 240,000ක ගර්භනී කාන්තාවන් ද ඇතුලත්ව මහජනයා මිලියන ගනනාවක් පානීය ජල අවශ්‍යතාවෙන් දරුනු ලෙස පෙලෙති.

යටිතල පහසුකම් විනාශ වී ඇති බැවින් සිදුවූ මහා විනාශය සම්බන්ධව පුලුල් තක්සේරුවක් කිරීමට තවමත් නො හැකි ව ඇත. හැකි වූ විටෙක පෙරලා ආහැකි සුදුසු නිවහනක් හෝ අවශ්‍ය ආහාර නොමැතිව බොහෝ ජනයා දුක්ඛිත තත්වයෙන් කල් යවති.

"අපට බීමට ජලය හා ලමයින් පෝෂනය කිරීමට සෑහෙන තරම් ආහාර නැත”ය යි අවතැන් වීමෙන් පසු තම බිරිඳ හා දරු තිදෙනා සමග කුඩා වැලි කන්දක් නිවහන බවට පත්කර ගැනීමට බල කෙරුනු යූනිස් මල්කැන් තම අත්දැකීම් කි‍්‍රස්ටියන් සයන්ස් මොනිටර් වෙත ප‍්‍රකාශ කලේය. තමා වාසය කල ගම ගංවතුරෙන් යට වූ විට අසනීප තත්වයෙන් පෙලෙන බිරිඳගේ දිවි ගලවා ගැනීම සඳහා ඇය තම පිට මත රැගෙන යාමට සිදුවූ හා යුනිස්ගේ අසල් වැසියෙකු වූ රසුල් "අවශ්‍ය ඖෂධ වර්ග නොමැතිව මෙන්ම සාගින්නෙන් හා පිපාසයෙන් අප මිය යමින් සිටින” බව කීවේ ය.

දිලිඳු පාකිස්ථානු ජනයා අනාථ භාවයට තල්ලු කර දැමීම අඛන්ඩව දෙවන වසරටත් සිදු වූ මෙම බිහිසුනු තත්වය හමුවේ රජයට එරෙහි මහජන කෝපය නැගෙමින් පවතී.

මේ වසරේ ඇති වූ අධික මෝසම් වැසි සඳසා අවශ්‍ය තරම් සූදානමක් නොමැති වීම ගැන පාකිස්ථානු ජනතා පක්ෂ රජයේ (පීපීපී) නො හැකියාව හා නො සැලකිල්ල වගකිව යුතුය.

කල්වේලා ඇතිව රජය වෙත අවදානම නො දැන්වීම ගැන කෙරුනු විවේචන පාකිස්ථානු කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිෂ්ප‍්‍රභ කලේ ය. "කල්වේලා ඇතිව සියලුම පාර්ශවකරුවන්ට අපි පූර්ව අනතුරු ඇඟවීම් කරනු ලැබුව ද ඔවුහු ඒවා නො සලකා හැරි” බවට කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සාර්දාර් සාෂ්රාස් ප‍්‍රකාශ කලේ ය. එසේම "කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය මනා කාලගුන විද්‍යා අනාවැකි නියමිත වේලාවටත් පෙර සපයා ඇත්තේ නම් අවධානය නොදැක්වූ බවට ඔවුන් අවවාද කරන්නේ ඇයි?” දැයි ඔහු ප‍්‍රශ්න කලේ ය.

විශේෂඥයින් විසින් සැලසුම් කරන ලද "ආපදා අවදානම අඩු කිරීමේ” වැඩ පිලිවෙල ක‍්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් පමන අවශ්‍ය වූ නමුදු පාකිස්ථානු රජය ඊට අසමත් වූ බව ඔක්ස්ෆාම් ප‍්‍රකාශයෙකු වන මුබාෂීර් අක‍්‍රම් ඩෝන් පුවත්පත් සේවයට ප‍්‍රකාශ කලේය.

විවේචන වෙනතක හරවා යැවීමට උත්සහා දරමින් අගමැති යූසුෆ් රාසා ගිලානි "ගංවතුරට ගොදුරු වූ ජනතාවට ක්ෂනික සහන සපයා දීමට තමන් සතු ජාතික සම්පත් සියල්ලම මෙහෙය වූ” බව සඳහන් කලේ ය.

මෙය මුලුමනින්ම මුසාවකි. පසුගිය වසර තුල ඇති වූ ගංවතුරට රජයේ ප‍්‍රතිචාරයක් කිසිසේත ම නො පැවති තරම් ය. හානි වූ යටිතල පහසුකම් යථා තත්වයට පත් කිරීමේ දුෂ්කර අවශ්‍යතාව නො සලකා හරිමින් ඔහුගේ රජය පසුගිය වසරේ සංවර්ධන වැය අඩකින්ම කපා දැමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙලඳපොල නියෝගයන් සමග සමපාත වෙමිනි.

ආපදාවෙහි ඉතා අසීරු තත්වය පහ වී යත්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සැප්තැම්බර් 18 වෙනිදින ඩොලර් මිලියන 356.7ක සහන අරමුදලකට ආයාචනා කලේ ය. පාකිස්ථානු ජනතාවගේ ඛේදනීය තත්වය කෙරෙහි ලෝක බලවතුන්ගේ උදාසීනභාවය අනාවරනය කරමින් ඉල්ලීම ලැබී දින 10කට පසුව පමනක් ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5ක මුදලක් ලැබින. එක්සත් ජාතීන්ගේ සහන අරමුදල වෙත පසුගිය වසරේදී ලද ප‍්‍රමානවත් නොවන ප‍්‍රතිචාරය හා මේ වසරේදී මෙතෙක් ලද ප‍්‍රතිචාරය සසඳා ඔක්ස්ෆෑම් දේශීය අධ්‍යක්ෂ නේවා ඛාන් ප‍්‍රකාශනයක් නිකුත් කලේය. "නැවතත් අරමුදල් සැපයීම ප‍්‍රමානවත් නො වූවා පමනක් නොව ඒවා ගලා ආවේ ඉතා අලස අන්දමිනි. මෙය පසුගිය වසරේ දැක්වූ කෲර ප‍්‍රතිචාරය ප‍්‍රතිරාවය වීමකි” යි ඔහු ප‍්‍රකාශ කලේ ය.

පසුගිය වසරේ ගංවතුරට එකම කාල වකවානුවක් තුලදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් කැප කල ඩොලර් 3.20ට පවා විරුද්ධව එක්සත් ජාතීන්ගේ ආයාචනයට මුල් දින 10 තුලදී ජාත්‍යන්තර අරමුදල් සපයන්නන් විසින් එක් පුද්ගලයෙකු වෙනුවෙන් සපයා ඇත්තේ ඩොලර් 1.30ක් පමනක් බව එම ප‍්‍රකාශය අනාවරනය කලේ ය.

වසර 2005 දී පාකිස්ථානු ජනයා මිලියන 3.5කට තම නිවාස අහිමි කරමින් මාරක භූමිකම්පාවක් සිදු වූ අවස්ථාවේදී අනතුර සිදු වී මුල් දින 10 තුලදී ඇමෙරිකානු ඩොලර් 70ක් පුද්ගයෙකු වෙනුවෙන් ප‍්‍රදානය කල බව ඔක්ස්ෆෑම් සඳහන් කලේය.

"පාකිස්ථානය හා එක්සත් ජනපදය අතර වත්මනෙහි සිදුවෙමින් පවතින තත්වය ලෝකාවබෝධයේ පාකිස්ථානු මුහුනත සම්බන්ධ ඡායාවක් නිර්මානය කර ඇත”යි අරමුදල් රැස් කිරීමේ දුෂ්කරතා ගැන විස්තර කරමින් අක්රම් ඇලට් නෙට් ප‍්‍රවෘති සේවයට ප‍්‍රකාශ කලේය. "අපි මධ්‍යස්ථ හා අපක්ෂපාති සංවිධානයක් වන අතර දේශපාලනිකව ජරපත් වී නො මැත්තෝ වෙමු. අපි රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සමග කටයුතු කරමු. අපි ආන්ඩු සමග කටයුතු කරන්නෙමු. අපි ඔවුන්ගෙන් උගත්තෙමු." එක් රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු පසුගිය වසරේදී අප සමග ප‍්‍රකාශ කල පරිදි "පාකිස්ථානය යනු නරක ආදර්ශයකි” යනුවෙන් රතු කුරුස සංවිධානයේ නියෝජිතයෙකු වූ ජෝ ක්‍රොප් වැඩි දුරටත් ප‍්‍රකාශ කලේය.

පාකිස්ථානු රජයට වඩාත් බටහිර ගැති ප‍්‍රතිපත්ති පිලිගැනීමට බලපෑම් කිරීම සඳහා විශේෂයෙන් ම ඇෆ්ගනිස්ථානය තුල නැටෝ ආධිපත්‍යට ඇමෙරිකානු සහ අනෙකුත් මහා බලවතුන් විසින් පාකිස්ථානයේ ගංවතුරට ගොදුරු වූවන් හාමතේ තැබීමට ඉඩහැර ඇතිබවට මෙම ප‍්‍රකාශනය හෙලිදරව් කරයි.

ඇෆ්ගනිස්ථානයේ මෑතදී කල ප‍්‍රහාරයට වගකිව යුතුයැයි කියනු ලබන සටන්කාමී කන්ඩායම් සමග පාකිස්ථානු හමුදා බුද්ධි අංශය සම්බන්ධකම් පැවැත්වූ බවට ඇමරිකාව චෝදනා කිරීමෙන් පසු එක්සත් ජනපද පකිස්ථානු සබඳතාවල දෙදෙරීමක් සනිටුහන් කලේ ය. තලේබානුවන්ට එරෙහිව යුද්ධයේ දී වැඩිපුර සහය දීමත් පාකිස්ථාන්-ඇෆ්ගනිස්ථාන් දේශ සීමාවේ දෙපසෙහි ම ක‍්‍රියාත්මක වන හා තලේබාන් සටන්කාමී කන්ඩායම්වලට පක්ෂපාති හකානි ප‍්‍රවෘත්ති ජාලයට එරෙහිව තම හමුදා ශක්තිය බලමුලු ගන්වන ලෙසත් එක්සත් ජනපදය පාකිස්ථානයට බල කරමින් සිටී.

Share this article: