ශ‍්‍රී ලංකාවේ ආන්ඩු පක්ෂය කොලඹ පලාත්පාලන මැතිවරනයේදී පරාජය වෙයි

Sri Lankan ruling party defeated in Colombo local election

By W.A. Sunil , 12 October 2011

අගනුවර මත එහි පාලනය දැඩි කරගැනීමේ ආන්ඩුපක්ෂයේ සැලසුම්වල සැලකියයුතු පරාජයක් සනිටුහන් කරමින් කොලඹ නගර සභාව සඳහා සෙනසුරාදා පැවති මැතිවරනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) පරාජයට පත් විය.

පලාත් පාලන ආයතන 23 ක් සඳහා මැතිවරන පැවති නමුත් කොලඹ නගර සභාව (කොනස) සඳහා ඡන්දය වඩාත් තරගකාරී විය. සමානුපාතික මැතිවරන ක‍්‍රමය යටතේ එජනිස ඡන්ද 77,089 ක් ලබාගනිමින් ආසන 16 ක් හිමිකර ගත් අතර ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය (එජාප) ඡන්ද 101,920 ක් ලබාගනිමින් ආසන 24 ක් හිමිකර ගත්තේය. ආසන 53 න් ඉතිරි 13 දෙමල ජාතිකවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන (6), ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය (2) සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (1) සහ ස්වාධීන කන්ඩායම් දෙකකට එක් ආසනය බැගින් බෙදී ගියේ ය.

එජනිස පරාජය රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රතිපත්ති කෙරෙහි පුලුල්ව පැතිරී ඇති විරුද්ධත්වයේ විකෘති ප‍්‍රකාශනයකි. විරෝධය ප‍්‍රකාශ කිරීමේ ඡන්දයකින් වාසි ලැබුවා මිස, ව්‍යාපාරික ගැති, දක්ෂිනාංශික එජාපයට ආන්ඩුව සමග මුලික ප‍්‍රතිපත්තිමය වෙනස්කම් නැත.

මැතිවරන උද්ඝෝෂනයේ ප‍්‍රධාන මාතෘකාව වුයේ කොලඹ නගරය දකුනු ආසියාවේ ප‍්‍රධාන වානිජ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ එහි සැලැස්මේ කොටසක් ලෙස අඩු ආදායම් ලාභී පවුල් 70,000 ක් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලැස්ම ය.

මෙම වැඩ පිලිවෙල පලමුවෙන් ම එජාපය විසින් එහි "යලි පුබුදමු ශ‍්‍රී ලංකා” වැඩපිලිවෙලෙන් ඉදිරිපත් කරනු ලැබ, 2001 හා 2004 අතර එය බලයේ සිටිය දී ක‍්‍රියාත්මක කලේය. ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂනය කරගැනීම සඳහා සමූහ ඉවත් කිරීම් ක‍්‍රියාවට දැමීමට රාජපක්ෂ දැන් තීන්දුකර තිබේ. ජනාධිපතිගේ, සහෝදරයෙකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ "කොලඹ නගරයේ ඉතා වටිනා ඉඩම් හා වැදගත් මූලෝපායාත්මක ඇලමාර්ගවල පදිංචි වී සිටින පවුල් 75,000 ක් යලි පදිංචි කලයුතු” බව කලින් සඳහන් කර තිබුනි. "ගෝලීය ආයෝජකයින් ආකර්ෂනය කර ගැනීමට හා එය ලස්සන අගනුවරක් කිරීම සඳහා නගරය සංවර්ධනය කල යුතුයි" ඔහු කීවේය.

කොලඹ නගර සභාවේ බලය අල්ලා ගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුව හැම උත්සහාහයක් ම දැරී ය. ඡන්දයෙන් පසුදින පල වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත මෙසේ සටහන් කලේය. "කොනස ජයග‍්‍රහනය පාලක එජනිස සඳහා ජාතික හා ජාත්‍යන්තර යන දෙයාකාරයෙන් ම වැදගත්ය. කොලඹ ලස්සන කිරීමේ මූලික අදහසක් පෙරදැරිව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවනු ලබන ඉලක්කයක් තිබීම. එය (ජයග‍්‍රහනය) ක‍්‍රියාත්මක වෙමින් තිබෙන ව්‍යාපෘති පිලිබඳ මහජන අනුමැතියක් වනු ඇත. ජාත්‍යන්තරව, එජනිස ප‍්‍රතිපත්ති ජනතාව විසින් දිගට ම අනුමත කරන බව පෙන්වීමට සෙසු ඒවා සමග කොනස ජයග‍්‍රහනය ප‍්‍රදර්ශනය කිරීමට ආන්ඩුවට උවමනාය.”

ජනාධිපති රාජපක්ෂ පුද්ගලිකව ම මැතිවරන උද්ඝෝෂනය මෙහය වී ය. රාජ්‍ය පරිපාලනයේ ජ්‍යෙෂ්ට නිලධාරින් දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදීම තහනම් කොට තිබෙන මැතිවරන නීති උල්ලංඝනය කරමින් ගෝඨාභය රාජපක්ෂ ද එජනිස මැතිවරන කටයුතුවල නිරත විය.

සිවිල් ඇඳුම් ඇඳ ගත් පොලිස් නිලධාරින් පිරිවරාගෙන, ජනාධිපති රාජපක්ෂ නගරයේ දුගී නිවහන් ප‍්‍රදේශ කිහිපයකට ම ගියේ ය. ඔහු දුගී නිවැසියන්ගේ රැස්වීම් කිහිපයක් ඔහුගේ නිල නිවසේ පැවැත්වූ අතර ඔහුගේ දුප්පත් අමුත්තන්ට සුඛෝපභෝගී ආහාරවලින් හා බීමවලින් සංග‍්‍රහ කලේය. ඔවුන් විකල්ප නිවාසවල පදිංචි කරන බව ඒත්තු ගැන්වීම සඳහා ආන්ඩුව සියල්ල පරදුවට තබා මාධ්‍ය ඇතුලූ එය සතු සකල රාජ්‍ය සම්පතක් ම යොදා ගත්තේය.

මෙම හිස් පොරොන්දු කෙරෙහි විය යුතු පරිදි ම (දුගී නිවැසියෝ) සංශයවාදී සහ සැකසහිත වූ හ. ඔවුන්ගේ නිවාස කඩා පොලීසිය හා සන්නද්ධ හමුදාවන් විසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ කටුක අත්දැකීම් දැනටමත් සමහර දුගී නිවැසියන්ට තිබේ.

කොනස මැතිවරන උද්ඝෝෂනයේ දී, රාජපක්ෂ ආන්ඩුව තුනීව ආවරනය කල තර්ජනයන් ද කලේය. පොදු තේමාවක් වුයේ එජාපය සහ සෙසු විරුද්ධ පක්ෂ විසින් නගර සභාව පාලනය කිරීමේ දී සංවර්ධන වැඩපිලිවෙලවල් සඳහා මධ්‍යම ආන්ඩුව විසින් වෙන් කරනු ලබන අරමුදල් අහිමි වනු ඇති බවය. එමෙන් ම, ඡන්දදායකයන් බිය ගැන්වීමට එජනිස දේශපාලනඥයන් විසින් මැර කන්ඩායම් යෙද වී ය.

"මෙම ඡන්දයේදී මැතිවරන නීති විවෘතව උල්ලංඝනය කිරීම නිසා බාධාකාරී ප‍්‍රවනතාවයක් මතු විය. රාජ්‍ය සම්පත් මහා පරිමානයෙන් අපයෝජනය කල අතර ආන්ඩුවට හැම වාසියක් ම තිබීම නිසා උද්ඝෝෂනය ඒකපාර්ශවීය විය. මැතිවරන කොමසාරිස් සහ ඔහුගේ දිස්ත‍්‍රික් මට්ටමේ නිලධාරින් මැතිවරන නීති උල්ලංඝනය කිරීම වැලැක් වීමට ඔවුන්ට හැකි හැම දෙයක් ම කල නමුත් ඔවුහු ඊට මුලුමනින් ම සමත් නො වූ හ. එම නිසා එය නිදහස් මැතිවරනයක් බව අපට කීමට නොහැකි” බව නිදහස් හා සාධාරන මැතිවරනයක් සඳහා ව්‍යාපාරයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ඡන්දය පැවති දා ප‍්‍රකාශ කලේය.

එජාප නායකයෝ ඔවුන්ගේ කොනස ජයග‍්‍රහනය වගවර්නනා කලහ. එය "අනාගත මැතිවරන ජයග‍්‍රහනයන් සඳහා පක්ෂයට වැදගත්” බව පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක ප‍්‍රකාශ කලේය. කන්ඩායමික අභ්‍යන්තර අරගලවලට මගපාදමින් හා රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය අස්ථාවර කරමින් 2004 පටන් එජාපය ජාතික, පලාත් හා ප‍්‍රාදේශීය මට්ටමේ පරාජයන් මාලාවක් ම ලැබුවේය.

ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් රැකීමේ එජාපයේ මවාපෑම් හා දුගී නිවැසියන් පිලිබඳ එහි උත්සුකතාවයන් කිසිවෙකු විස්වාස නො කල යුතු ය. 2009 දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) පරාජයත් සමග අවසන් වූ රටේ දිගුකාලීන සිවිල් යුද්ධය හා 1970 ගනන්වලදී නිදහස් වෙලඳපොල න්‍යාය පත‍්‍රය ආරම්භ කිරීම හා ක‍්‍රියාවට දැමීම සම්බන්ධයෙන් වග කිවයුතු එජාපය, මහ ව්‍යාපාරිකයන්ගේ පක්ෂයකි. බලහත්කාර ඉවත්කිරීම් ඇතුලු මහ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් ක‍්‍රියාවට දැමීමේදී බලයේ සිටිය දී රාජපක්ෂ ආන්ඩුව තරමට ම එජාපය ද නිර්දය වනු ඇත.

දෙමල වාර්ගික දේශපාලනය මත පදනම් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුන (ප‍්‍රමපෙ) දෙකටම, එනම් 2006 යුද්ධය යලි ආරම්භ කල එජනිසට හා යුද්ධයට සහයෝගය දුන් එජාපයට දෙමල ජනයා අතර පවතින විරුද්ධත්වයට ආයාචනය කිරීම මගින් කොනස ආසන 6 ක් දිනා ගත්තේය.

කලින් අවස්ථාවේ ප‍්‍රමපෙ එජාපය සමග පෙල ගැසුනු නමුත් මෙම පලාත් පාලන මැතිවරනයේදී කොලඹ සහ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා සඳහා තරග කිරීමට බොරු රැඩිකල් මවාපෑමක් කරන නව සම සමාජ පක්ෂය (නසසප) සමග සන්ධාන ගතවිය. ඔවුන්ගේ ඒකාබද්ධ වේදිකාව සමාජවාදී ප‍්‍රතිපත්ති ඍජුව ම ප‍්‍රතික්ෂේප කල අතර ඒ වෙනුවට සීමිත ප‍්‍රතිසංස්කරන සඳහා උද්ඝෝෂනය කලේය. ප‍්‍රමපෙ-නසසප සන්ධානය යටතේ නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ එක් ආසනයක් දිනා ගත්තේය.

සෙනසුරාදා පැවති මැතිවරනයෙන් පලාත් පාලන ආයතන 23 න් 21 එජනිස ජයග‍්‍රහනය කලේය. පසු ගිය දෙවසර තුල පැවති අන් හැම මැතිවරනයකදී මෙන්ම, එහි උද්ඝෝෂනය මුලිකව එල්ටීටීඊ ය පරාජය කිරීම ගැන කයිවාරු ගසමින් සිංහල වර්ගවාදයෙන් කලතා මඩ කල එකකි. එහි හවුල්කාර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය කල්මුනේ මහ නගර සභාවේ බලය රැක ගැනීමට සමත් විය.

විරුද්ධ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) එකම පලාත් පාලන ආයතනයකවත් බලය දිනා ගැනීමට අසමත් වූ අතර මෙම පලාත් පාලන ආයතනවල කලින් පැවති ආසන 33 න් 5ක් රැක ගැනීමට පමනි එය සමත් වුයේ. 2004 දී එජනිස සමග සන්ධාන ගත වූ තැන් පටන් අර්බුදයකට මුහුන දී සිටින ජවිපෙ, මේ දිනවල එය තවදුරටත් දුබල කරවන තවත් දේශපාලන භේදයකට මැදි වී සිටී.

කොනස මැතිවරයේදී එජනිස පරාජය, ජීවන තත්වයන් හා වැඩකරන ජනයාගේ හා පීඩිතයින්ගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට පහර දීමෙන් රාජපක්ෂ ආන්ඩුව වලකනු නැත. එහි න්‍යාය පත‍්‍රය සකසනු ලබන්නේ, සංවර්ධිත ධනපති රටවල මෙන්ම පීඩිත රටවල, ලොව පුරා ආන්ඩු විසින් කම්කරු පන්තියේ සමාජ තත්වයට පෙර නොවූ ආකාරයේ ප‍්‍රහාරයන් එල්ල කිරීමට හේතුකාරක වෙමින් දිග හැරෙන ජාත්‍යන්තර ආර්ථික අර්බුදය විසිනි.

ධනවාදය විසින් නිර්මිත ව්‍යසනයට ඇති එකම විකල්පය සමාජය සමාජවාදී පදනමක ප‍්‍රතිසංවිධානය කිරීම ය. සමාජවාදී සමානතා පක්ෂය නාගරික දුගීන් කොලඹින් ඉවත් කිරීමට විරුද්ධව හා සිවිල් යුද්ධය අවසන් වීමෙන් දෙවසරකට පසුවත් රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් දහස් ගනනක් කොන්දේසි විරහිතව නිදහස් කිරීම සඳහා උද්ඝෝෂනයන් දියත් කර තිබේ. මෙම උද්ඝෝෂනවලින් අරමුනු කරනු ලබන්නේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදී සමුහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වූ අරගලයට කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ය.

Share this article: