එක්සත් ජනපදය සහ නැටෝව මුවම්මර් ගඩාෆි මරා දමති

US and NATO murder Muammar Gaddafi

By Bill Van Auken, 21 October 2011

බලයෙන් පහ කරනු ලැබූ ලිබියානු නායක මුවම්මර් ගඩාෆි පසුගිය බ‍්‍රහස්පතින්දා මුර්ග ලෙස මරා දැමීම ගත වූ මාස අට තුල එක්සත් ජනපද සහ නැටෝව විසින් කර ගෙන යන ලද යුද්ධයේ සාපරාධී ස්වභාවය අවධාරනය කර ඇත.

මෙම ඝාතනය සිදුවූයේ නැටෝව විසින් ගඩාෆිගේ උපන් නගරය වූ ද ඔහුගේ ආධාරකරුවන්ගේ මධ්‍යස්ථානය වූ ද සර්ත් නගරය මාසයකට වැඩි කාලයක් තිස්සේ වටලා ගෙන සිටීමෙන් පසුව ය. ලක්ෂයක් පමන ජනයා වාසය කල මෙම නගරයට එල්ල කරන ලද ප‍්‍රහාරය මගින් සෑම ගොඩනැගිල්ලක්ම සුනුවිසුනුකොට නිමක් නැති සිවිල් ජනතාව මරා තුවාල කොට රෝගවලට ගොදුරු කොට ආහාර, ජලය, සෞඛ්‍ය සේවය සහ අනෙකුත් මූලික අවශ්‍යතා අහෝසි කර දමන ලදි.

ගඩාෆි මරා දමනු ලැබුවේ, නැටෝව විසින් මෙහෙයවනු ලැබූ ඊනියා කැරලිකරුවන් අතට තමාගේ අවසාන බලකොටුව ද පත් වූ පසු තමා වටකර සිටි සතුරන්ගෙන් ගැලවීම සඳහා, රථ පේලියක නැගී ගමන් කරමින් සිටින විටය. නැටෝ ගුවන් යානා බ‍්‍රහස්පතින්දා පෙරවරු අටයි තිහ වන විට ගඩාෆිගේ රථ පේලියට පහර දුන්නේ ය. වාහන ගනනාවක් ගිනි ගත් අතර රථ පේලියට තව දුරටත් ඉදිරියට යා ගත නො හැකි විය. ගඩාෆි විරෝධී කැරලි කන්ඩායම් ඔහුව මරා දැමීමට ඉදිරියට පැන්නේ එවිට ය.

ගඩාෆිගේ මරනය, ඔහුගේ ප‍්‍රධාන සහකරුවන් ගනනාවක් ද හිතවත් සටන්කරුවන් ද ඔහුගේ පුතුන් දෙදෙනෙකු වන මොතාසිම් සහ සයිෆ් අල්-ඉස්ලාම් ද ඇතුලත් ගනනාවක් මරා දැමුනු මහා ඝාතනයක කොටසක් බව පෙනී යයි.

මෙම මිනී මැරුම්වල විස්තර තරමක් නොපැහැදිලි වන නමුත් නැටෝ සහාය ලත් "කැරලිකරුවන්ම” නිකුත් කල ඡායාරූප සහ ජංගම දුරකථන වීඩියෝපටවලට අනුව තුවාල ලද ගඩාෆි තමා අල්ලා ගත් විරුද්ධවාදීන් සමග පොරබදමින් කෑගසමින් සිටින අතර ඔහුව වාහනයක පසුපසට ඇදගෙන යන සැටි හා ඊලඟට ඔහුගේ නිරුවත් සහ පන නැති සිරුර ලෙයින් තෙමී තිබෙන සැටි පෙන්නුම් කරයි. පැහැදිලිව ම පෙනෙන්නේ පලමුවෙන් නැටෝ ගුවන් ප‍්‍රහාරයෙන් තුවාල වූ හිටපු ලිබියානු නායකයා පනපිටින් අල්ලා ගෙන වහාම මරා දමා ඇති බවයි. ඔහුගේ ඔලුවේ වෙඩි උන්ඩ තුවාලයක් තිබුනු බව එක් ඡායාරූපයක් පෙන්නුම් කරයි.

බටහිර මිශ‍්‍රාතා නගරයට ගෙන යන ලද ගඩාෆිගේ මල සිරුර මුස්ලිම් පල්ලියක තැන්පත් කිරීමට පෙර වීදිවල බිම ඇදගෙන යන ලදි.

ඔහුගේ මලසිරුරේ ඉරනම දේශපාලන වසයෙන් අර්ථභාරී වන්නේ එය වොෂින්ටනය සහ නැටෝව විසින් ලිබියානු ජනතාවගේ "එකම සුජාත නියෝජකයා යයි” පිලිගනු ලැබූ බෙන්ගාසි නගරය පදනම් කර ගත් ජාතික සංක‍්‍රමනික මන්ඩලයට (එන්ටීසී) ට පක්ෂපාතීත්වයක් නැති තමන්ගේම අන යටතේ ක‍්‍රියාත්මක වන මිශ‍්‍රාතාවේ සන්නද්ධ කන්ඩායමක් විසින් අල්ලා ගනු ලැබීම නිසා ය.

මේ අනුව, ජනාධිපති බැරැක් ඔබාමා විසින් පසුගිය බ‍්‍රහස්පතින්දා ධවල මන්දිරයේ රෝස උයනේ දී "නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලිබියාවක්” එලඹීම යනුවෙන් වර්නනා කෙරුනු මෙම තුච්ඡ සිද්ධිය ඇත්ත වසයෙන් ම සලකුනු කරන්නේ දිග් ගැසුනු සිවිල් යුද්ධයක කාලපරිච්ඡේදයක් සඳහා වේදිකාව සකසන ගෝත‍්‍රික හා ප‍්‍රාදේශීය පැලීම් ය.

එක්සත් ජනපදය හා ප‍්‍රන්සය යන දෙරටම ගඩාෆි මරා දැමීමේ දී තමන් ඉටු කල භූමිකාව හුවා දක්වා ගෙන ඇත. පසුගිය බ‍්‍රහස්පතින්දා පෙන්ටගනය අවධාරනය කලේ එක්සත් ජනපදයේ නියමුවන් නැති පි‍්‍රඩේටර් යානාවක් ලිබියානු නායකයාගේ රථ පේලියට හෙල්ෆයර් වර්ගයේ මිසයිලයක් එල්ල කල බව ය. ප‍්‍රන්සයේ ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ප‍්‍රන්ස යුද ගුවන් යානා රථ පෙලට බෝම්බ හෙලූ බව ය.

පසුගිය මාර්තුවේ ලිබියාවට එරෙහි මුර්ග යුද්ධය දියත් කලායින් පසු එක්සත් ජනපද සහ නැටෝ ගුවන් යානා ටි‍්‍රපොලි නුවරට සහ ගඩාෆි සැඟවී සිටි වෙනත් ස්ථානවලට දිගින් දිගටම බෝම්බ ප‍්‍රහාර එල්ල කලහ. පසුගිය අපේ‍්‍රල් මාසයේ මින් එක් ප‍්‍රහාරයක් ඔහුගේ බාල පුතාට සහ ලමා මුනුබුරු මිනිබිරියන් තුන්දෙනෙකුට මරු කැඳවීය.

ගඩාෆි ඉන්නේ කොහිදැයි සොයා ගැනීමට වොෂින්ටනය නියමුවන් රහිත යානා විශාල ගනනක් ඇතුලු ඔත්තු යානා යොදා ගන්නා ලදි. මේ අතර මෙම මිනිස් දඩයමට එක්සත් ජනපද බි‍්‍රතාන්‍ය ඔත්තු නියෝජිතයන් ද විශේෂ මෙහෙයුම් බලයන් ද මිලිටරි "කොන්ත‍්‍රාත්කරුවන්” ද සහභාගි වූහ.

ගඩාෆි ඝාතනයට දින දෙකකට පෙර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් බරට සන්නද්ධ වූ ගුවන් යානයකින් අප‍්‍රකාශිතව ටි‍්‍රපොලි නගරයට ගොස් ගඩාෆිව "පනපිටින් හෝ මරා” අල්ලා ගත යුතු යයි කියා සිටියා ය.

ඇසෝසියේටඩ් ප්‍රෙ‍්‍රස් පුවත් ඒජන්සිය වාර්තා කල පරිදි, ක්ලින්ටන් "අසාමාන්‍ය පැහැදිලි වචනවලින් හිටපු ඒකාධිපති මුවම්මර් ගඩාෆිගේ මරනය දැක ගැනීමට එත්සත් ජනපදය කැමැත්තෙන් සිටිතැයි” ප‍්‍රකාශ කලා ය.

"තවදුරටත් ඔහුගෙන් ඔබට බියක් ඇති නොවන පරිදි ඔහු අල්ලා ගත යුතු ය. නැතිනම් මරා දැමිය යුතු ය” යි අගනුවර නගර ශාලාවක් තුල පැවැත් වූ රැස්වීමක් තුල දී ශිෂ්‍යයන්ට හා වෙනත් අයට ඇය කීවා ය.

ඇසෝසියේටඩ් ප්‍රෙස් මෙසේ සඳහන් කලේ ය: "ඒ වන තෙක් එක්සත් ජනපදය ගඩාෆි මරා දැමිය යුතු යයි කීමෙන් වැලකී සිටියේ ය”.

එහෙත් සත්‍යයෙන්ම නම් එක්සත් ජනපදය නොසැඟවුනු රාජ්‍ය මිනීමැරුම් පිලිවෙතක් එලිපිට ම ක‍්‍රියාත්මක කරමින් සිටී. මෙම අවස්ථාවේ දී එක්සත් ජනපද ආන්ඩුව එය විසින් ගත වූ අවුරුදු අටක් තිස්සේ ඉතා සමීප දේශපාලන සහ වානිජ සබඳකම් ඇති කර ගත් රාජ්‍ය ප‍්‍රධානියෙකු මරා දැමීම සංවිධානය කිරීම අනවා ඒ සඳහා සියලු පහසුකම් සපයා දී ඇත.

පනපිටින් අල්ලාගෙන ඉක්බිතිව මරා දැමුනු ලැබූ ගඩාෆි පුත‍්‍ර මෝතාසිම්ගේ කෑලි වී ගිය මල සිරුර මිශ‍්‍රාතා නගරයේ ප‍්‍රදර්ශනය කරන ලදි. හිලරි ක්ලින්ටන් විසින් 2009 අපේ‍්‍රල් තරම් මෑත දී ඔහු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී සාදරයෙන් පිලිගනු ලැබීය.

පසුගිය බ‍්‍රහස්පතින්දා ධවල මන්දිරයේ රෝස උයනේ පැවැත්වුනු තම දේශනයේ දී තම පාලනාධිකාරය සියලුම අල්-කයිඩා නායකයින් "මුලිනුපුටා දැමීමට” සමත්ව ඇතැයි ලෝකය ඉදිරියේ ඔබාමා පම්පෝරි ගැසුවේ මාෆියා නායකයකු ලෙසිනි. අඩුවක් තිබුනේ නම් ඒ මාෆියා නායකයකුගේ සිත්ගන්නා සුලු බව පමනි. ඔබාමාගේ මෑත ගොදුරු අතර එක්සත් ජනපද පුරවැසියන් දෙදෙනෙකු ද සිටිති. ඇරිසෝනාවේ උපන් යේමන්-ඇමරිකානු මුස්ලිම් පූජකයකු වූ අන්වර් අබලාකි පසුගිය මාසයේ දී මරා දමන ලද අතර ඉන් දෙසතියකට පසු ඩෙන්වර් නගරයේ උපන් ඔහුගේ 16 හැවිරිදි පුත‍්‍රයා වන අබ්දුල් රහ්මාන් මරා දමන ලදී. රහසිගත ජාතික ආරක්ෂක මන්ඩල උප කමිටුවක් මොවුන් දෙදෙනාව මරා දැමිය යුතු යයි ඝාතක ලැයිස්තුවකට ඇතුලත් කර තිබුනි. ඔවුන් මරා දමනු ලැබුවේ හෙල්ෆයර් මිසයිල යොදා ගෙන ය. අබ්දුල් රහ්මාන් කෑලිවලට කඩා දමනු ලැබුවේ ඔහුගේ 17 හැවිරිදි ඥාති සහෝදරයා ද තවත් මිත‍්‍රයන් හත්දෙනෙකු ද සමග රාත‍්‍රි ආහාර ගනිමින් සිටිය දී ය.

ගඩාෆි ඝාතනය වනාහි ගනන් නැති ලිබියානු ජාතිකයින් මරා දමා රට මුලුමනින්ම නටබුන් කල සාපරාධී යුද්ධයක මුදුන් පෙත්ත ය. මෙම යුද්ධය දියත් කරනු ලැබුවේ සිවිල් ජීවිත ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජයෙනි. මේ සඳහා පදනම ලෙස යොදා ගනු ලැබුවේ නැගෙනහිර බෙංගාසි නගරය අල්ලාගෙන තම විරුද්ධවාදීන් සියලුමදෙනා ඝාතනය කිරීමට ගඩාෆි සැලසුම් කරමින් සිටියේ ය යන බොරු චෝදනාව යි. එය අවසාන වූයේ නැටෝව සර්ත් නගරය අල්ලා ගෙන "කැරලිකරුවන්ට” විරුද්ධවන්නවුන් මර්දනය කිරීම සඳහා දහස් සංඛ්‍යාත ජනයා මරා දැමීමෙනි.

මුල පටන් ම මෙම මෙහෙයුම උතුරු අපි‍්‍රකාව යලිත් වරක් යටත් විජිතයක් බවට පරිවර්තනය කිරීම මගින් එක්සත් ජනපද, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්ස ඉතාලි සහ ඕලන්ද තෙල් ආසක්තයන්ට සේවය කිරීම එල්ල කර ගත්තේය.

ගත වූ දශක කීපය පුරා ගඩාෆි එක්සත් ජනපදය ද බි‍්‍රතාන්‍යය ද ප‍්‍රන්සය ද වෙනත් බටහිර බලවතුන් ද සමග තෙල් ජාවාරම් ගිවිසුම් ගසමින් ආයුධ සහ වෙනත් ගිවිසුම්වලට එලඹෙමින් සමීප ගනුදෙනුවක් පවත්වාගෙන ගිය නමුත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි යුරෝපීය සහකරුවෝ ඔහුගේ පාලන තන්ත‍්‍රය එම ප‍්‍රදේශය පුරා තම අරමුනුවලට බාධාවක් ලෙස දැකගත්තෝ ය.

වොෂින්ටනයේ ද ලන්ඩනයේ ද පැරිසියේ ද ප‍්‍රධාන ම උත්සුකයන් වූයේ චීනයේ ද රුසියාවේ ද ආර්ථික අනසක ලිබියාවේ ද සමස්තයක් වසයෙන් අප‍්‍රිකාවේ ද පැතිරෙමින් පැවතීම ය. චීනය ද්විපාක්ෂික වෙලඳාම ඩොලර් බිලියන 6.6 දක්වා ඉහල දමාගෙන තිබුනි. මෙය ප‍්‍රධාන වසයෙන් ම සමන්විත වූයේ තෙල්වලිනි. මේ අතර 30,000ක් පමන චීන කම්කරුවෝ අප‍්‍රිකාව පුරා විවිධ පොදු කාර්ය පිරිවැය කර්මාන්තවල යෙදී සිටියහ. රුසියාව විශාල තෙල් ජාවාරම් ද ඩොලර් බිලියන ගනන් අවි ආයුධ ද පිලිබඳ ගිවිසුම් ඇති කර ගෙන සිටි අතර සර්ත් සහ බෙංගාසි නගර අතර දුම්රිය මාවතක් ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 3ක් වෙන් කොට තිබුනි. ඒ සමග ම බෙංගාසි නගරය ආසන්නයේ මධ්‍යධරනී මුහුදේ රුසියානු නාවුක හමුදාව වරායක් සම්පාදනය කිරීමේ සාකච්ඡා ද ඇරඹී තිබුනි.

ප‍්‍රන්සයේ අනුහස එරට පැරනි යටත් විජිත වලට සහ ඉන් ඔබ්බට පතුරුවා ගැනීම සඳහා මධ්‍යධරනී සංගමයක් පිහිටුවීමට ප‍්‍රන්සය ගත් පියවරයන්ට ගඩාෆි බාධාවක් වූ හෙයින් නිකොලොස් සාකෝසිගේ ප‍්‍රන්ස ආන්ඩුව ගඩාෆි කෙරේ උරනව සිටියේ ය.

එපමනක් නො ව ප‍්‍රධාන එක්සත් ජනපද සහ බටහිර යුරෝපීය බලශක්ති සංගතවලින් විශාල මුදල් ප‍්‍රමානයක් කොන්ත‍්‍රාත්තු සඳහා ඉල්ලා සිටීම ගැන ද තරගකාරී රුසියානු තෙල් කොම්පැනිය වන ගෑස්ප්‍රොමයට ලිබියාවේ තෙල් සම්පත්වලින් සැලකිය යුතු ප‍්‍රමානයක් දෙන්නට යාම ගැන ද ගඩාෆි සමග වඩවඩාත් උරනව සිටියහ.

මෙම ආර්ථික හා භූ-මූලෝපායික හේතුන්ට අමතරව දේශපාලන සාධකයන් ද පැවතියේ ය. බටහිර සමග වඩාත් සමීප සබඳතාවන් පැවැත්වීමට ගඩාෆි ආන්ඩුව නැමී ගැනීම නිසා වොෂින්ටනය හා පැරිසියට ගඩාෆිගේ පාලන තන්ත‍්‍රය තුල සමහර කොටස් සමග සම්බන්ධතාවන් වගා කර ගෙන අධිරාජ්‍යවාදීන් විසින් රට අල්ලා ගන්නා විට ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් තත්වයක් උද්ගත කර ගත්තේ ය. මෙයට ගඩාෆිගේ හිටපු අධිකරන ඇමතිවරයාව සිටි දැන් නැටෝ සහාය ලත් එන්ටීසී පාලනයේ සභාපතිවරයා වන මුස්තාෆා අබ්දුල් ජලීල් ද එන්ටීසී කැබිනෙට්ටුවේ ප‍්‍රධානියා වන කලින් ගඩාෆිගේ ආර්ථික නිලධාරියාව සිටි මහමූද් ජිබ්රිල් ද ඇතුලත් විය.

ලිබියාවේ බටහිර සහ නැගෙනහිර සීමාවල පිහිටි ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ ජනතා නැගිටීම් ද සමග එක්සත් ජනපදය සහ එහි නැටෝ සහකරුවෝ තමන් කලක් තිස්සේ ලිබියාව සම්බන්ධයෙන් සකස් කර ගෙන සිටි පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමේ සැලැස්ම ක‍්‍රියාවට දැමුවෝ ය. ලිබියාව තුල ම ඔවුන්ගේ ඒජන්තයන් ප‍්‍රයෝජනයට ගත් අධිරාජ්‍යවාදීහු ගඩාෆි විරෝධී පෙලපාලි තමන්ගේ පාලනයට ගෙන පාවිච්චි කොට සන්නද්ධ ඝට්ටනයක් ආරම්භ කිරීමට පියවර ගත්තෝ ය.

කෙලින් ම අධිරාජ්‍යවාදීන් අතට බලය ගැනීම සඳහා ඔවුහු සුපුරුදු මාවතක් ගත්හ. රටේ නායකයා චෝදනාවලට ලක්කරමින් ඔහු විසින් සූදානම් කරමින් පවත්නා මහා ඝාතනයකින් අහිංසක සිවිල් ජනතාව ගලවා ගත හැකි එකම මග වන්නේ පිටස්තරින් කෙරෙන සන්නද්ධ මැදිහත්වීම පමනක් යයි තහවුරු කිරීමට ඔවුහු වැඩ කලහ.

බෙංගාසි නගරය විනාශ කිරීමට ඔන්න මෙන්න යයි කියා සිටි ඔවුහු හිටපු වම්මුන් ද ලිබරලුන් ද ශාස්ත‍්‍රඥයින් ද මානව අයිතිවාසිකම් හුවා දක්වන්නන් ද යන සියලු දෙනාගේ සහයෝගය දිනා ගෙන මෙම අධිරාජ්‍යවාදී ආක‍්‍රමනය සහ ඝාතනය සඳහා ඔවුන්ගේ සදාචාරාත්මක සහ බුද්ධිමය සහාය ලබා ගත්හ.

මිචිගන් විශ්වවිද්‍යාලයේ මැදපෙරදිග ඉතිහාස මහාචාර්ය ජුවාන් කෝල් වැනි බුෂ් පාලනාධිකාරය ඉරාකය ආක‍්‍රමනය කිරීමට සීමිත විවේචන ඉදිරිපත් කල තැනැත්තෝ දැන් ලිබියාව තුල පෙන්ටගනය සහ නැටෝව දියත් කල "මානව හිතවාදී මෙහෙයුමේ” උනන්දු සහගත සහකරුවන් බවට පත්කර වූහ. අධිරාජ්‍යවාදය සඳහා නව ආධාරක කන්ඩායමක් බවට පත්ව ඇති ඉහල මධ්‍යම පන්තික සමාජ ස්ථරයක නියෝජිතයන් වූ මොවුහු දරුනු ලෙස දේශපාලනිකව සහ සදාචාරාත්මකව පිරිහී ගියවුන් ය. මෙම සමස්ත අධිරාජ්‍යවාදී ව්‍යවසායේ නීති රහිත භාවය ද ලිබියාවට පිටින් පැමිනියා වූ ද වැසියන් වූ ද කලු ජන කොටස් මරා දැමීම සහ වධයට භාජනය කිරීමේ කැරලිකරුවන්ගේ ක‍්‍රියා පිලිබඳ එන්න එන්න ම වැඩිවන්නා වූ සාක්කි ද ඔවුන්ට ප‍්‍රශ්නයක් වූයේ නැත.

ලිබියාවේ පාලන තන්ත‍්‍ර මාරුව ජනතා විප්ලවයක් යයි පින්තාරු කිරීමට මොවුන් දැරූ මේ ප‍්‍රයත්නය ගත වන දිනයක් දිනයක් පාසා මහ මුසාවක් සේ එලිදරව් වේ. බෙංගාසියේ සහ ටි‍්‍රපොලියෙහි දැන් සැකසෙමින් පවත්නා අස්ථාවර රූකඩ ආන්ඩුව පිහිටුවනු ලැබ ඇත්තේ නැටෝවේ නිර්දය දරුනු බෝම්බ හෙලීම මිනීමැරුම් සහ මහා පරිමාන ජාත්‍යන්තර නීති උල්ලංඝනයක් මගිනි.

ලිබියාව ලෝකයට අනතුරු හැඟවීමකි. එක්සත් ජනපද ආසක්තයන්ට බාධාකාරී වන්නා වූ ද ප‍්‍රධාන සංගතයන් සමග හැප්පෙන්නා වූ ද නැටෝ බලවතුන්ගේ නියමය ක‍්‍රියාත්මක කිරීමට අසමත් වන්නා වූ ද ඕනෑම පාලන තන්ත‍්‍රයක් මිලිටරි බලය යොදා පෙරලා දැමීමට ඉඩ ඇත. එහි නායකයන් මරා දමනු ඇත.

සර්ත් නගරයට පිටත සිදු කල රුධිර ස්නානය ගැන භයංකර සැනකෙලියක් පැවැත් වූ එක්සත් ජනපද පුවත් මාධ්‍ය දැන් හඬ තලන්නේ ලිබියාවට කල දේ සිරියාවටත් කල යුතු ය කියා ය. මේ අතර හිලරි ක්ලින්ටන් පසුගිය බ‍්‍රහස්පතින්දා පකිස්තාන නායකයන්ට අනතුරු ඇඟවූයේ ඇෆ්ගනිස්තානයේ එක්සත් ජනපද යුද්ධයට එතරම් සහය නුදුන්නොත් පකිස්තානයට ද ”දැවැන්ත මිලක් ගෙවීමට” සිදුවනු ඇති බව ය.

ඉදිරි කාලයේ යුද මෙහෙයුම් දැනටම සූදානම් කෙරෙමින් පවතින බවත්, වඩාත් විශාල යුද්ධ මොවුන් විසින් සැලසුම් කෙරෙමින් පවතින බවත් ඒවා විසින් අතිමහත් ව්‍යසනකාරී ප‍්‍රතිඵල ඇති කරනු ඇති බවටත් සැකයක් නැත. තම අරමුන සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව ඔබාමා පාලනාධිකාරය විසින් දැනටම ඉරානයට දන්වා තිබේ. වොෂින්ටනයේ සෞදි තානාපතිවරයා ඝාතනය කිරීමේ බොරු චෝදනා ඉරානයට එල්ල කොට තිබේ. ලිබියාවට කරන ලද ආක‍්‍රමනය මෙම ප‍්‍රදේශයේ ද ලෝකය පුරාම ද චීන සහ රුසියානු අනුහසට එරෙහිව කරන ලද්දක් වන හෙයින් චීනය සහ රුසියාව යන දෙකම ද අනාගත ඉලක්ක වනු ඇත.

ලිබියාවේ ලේවැකි අපරාධ ද ඒවාට යටින් පවත්නා ආර්ථික අරමුනු ද අධිරාජ්‍යවාදයේ ස්වභාවය පිලිබඳ පාඩම් අලුත් කරයි. ලෝක ධනවාදය මිරිකා සිටින අර්බුදය යලිත් වරක් ලෝක යුද්ධය පිලිබඳ තර්ජනය මතු කර සිටී. කම්කරු පන්තියට මෙම තත්වයට මුහුන දිය හැකි වන්නේ ලාභ ගරන ධනපති පන්තිය ලෝක සමාජවාදී විප්ලවය මගින් පලවා හැර යුදවාදී උල්පත් වනසා දැමීමේ ක‍්‍රියාමාර්ගයෙන් සන්නද්ධ වෙමින් තම ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලු ගන්වා ගැනීම තුලින් ම පමනි.

Share this article: