ජවිපෙ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ බොරු වැටුප් උද්ඝෝෂනය

By W.A. Sunil, 11 October 2011

රාජ්‍ය අංශය සඳහා රුපියල් 10,000 ක් හා වතු හා නිදහස් වෙලඳ කලාප (නිවෙක) ඇතුලුව පෞද්ගලික අංශය සඳහා සියයට 40 ක මාසික වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජාවෘසම) යලි වතාවක් වැටුප් උද්ඝෝෂනයක් පටන් ගෙන තිබේ.

වැටුප් උද්ඝෝෂනය ගැන කම්කරු පන්තිය දැනුවත් කිරීම සඳහා අත් පත‍්‍රිකා 100,000 බෙදා ඇති බවත්, වැඩපොල මට්ටමේ රැස්වීම් සහ දිස්ත‍්‍රික් මට්ටමින් සම්මන්ත‍්‍රන පවත්වමින් යන බවත් ජාවෘසම කයිවාරු ගසා ඇත. වැටුප් අරගලය ජය ගැනීම සඳහා "අවබෝධයෙන්, සංවිධානාත්මකව, එකාවන්ව සටන් කරමු” යැයි ජවිපෙ පත‍්‍රිකාව කම්කරුවන්ට උපදෙස් දී ඇත්තේ හරියට ඔවුන් සටනකට සූදානම් නැතිවාක් මෙන් ය.

පසුගිය කාලය තුල කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් සඳහා අරගල එකිනෙක කඩාකප්පල් කර දැමීමෙන් පසු ජවිපෙ සමිති දැන් අලුත් උද්ඝෝෂනයක් පටන් ගෙන ඇත්තේ ජීවන වියදමට සරිලන වැටුපක් සඳහා සැබෑ අරගලයක් සංවිධානය කිරීමට නොවේ. බඩුමිල සීග‍්‍රයෙන් ඉහල යාම හා ජීවන තත්වයන් වේගයෙන් පහලට රූටා යන තතු තුල කම්කරු පන්තිය තුල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව වර්ධනය වන නොසන්සුන්තාවය ආන්ඩුවට බලපෑම් දැමීමේ ප්‍රෝඩාකාරී විරෝධතා කි‍්‍රයාවල හිරකොට කොට වාෂ්ප කර දැමීම එහි එක් අරමුනකි.

ජීවන තත්වයන් පිරිහීමට එරෙහිව කම්කරු පන්තියේ බලගතු අරගල පැනනැගීම කෙරෙහි පාලක පන්තිය මෙන්ම ජවිපෙ ද බියෙන් පෙලෙයි. "වැඩ පලවල කාර්මික සාමය ස්ථාපිත කිරීම සඳහා සාධනීය පියවර ගැනීමේ වගකීම පවතින්නේ ආන්ඩුවට සහ හාම්පුතුන්ට” බව ජාවෘසම නායකයෙකු හා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ අගෝස්තු 17 පැවති ප‍්‍රවෘත්ති සාකච්චාවක දී අවධාරනය කලේය.

ඔහුගේ මෙම ප‍්‍රකාශය වෘත්තීය සමිති වලට පාලනය කරගත නොහැකි මට්ටමට කම්කරු අරගල පුපුරායාමට ඇති ඉඩකඩ පිලිබඳව ආන්ඩුවට හා හාම්පුතුන්ට කෙරෙන අනතුරු ඇඟවීමක් මෙන්ම, "කාර්මික සාමය” රැකීමට ඔවුන් සමග එක පෙලට සිට ගැනීමට සූදානම් බව කියා සිටීමකි.

2008 ලෝක ආර්ථික අර්බුදයත් සමග ලංකාවේ පුද්ගලික අංශයේ විශේෂයෙන්ම ඇඟලුම් හා නිදහස් වෙලඳකලාප කම්හල් වල කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කිරීමේ දී හා කම්හල් වසා රැකියා අහිමි කිරීමේ දී කම්කරුවන්ගේ විරුද්ධත්වය යටපත් කිරීමට සෙසු සමිති නායකයන් හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයෝ ආන්ඩුවේ ජාතික කම්කරු උපදේශක සභාව සමග සහයෝගයෙන් කටයුතු කලහ.

වැටුප් වැඩිකිරීම සඳහා ආන්ඩුව පුද්ගලික සමාගම්වලට "සහන” දිය යුතු යැයි සමරසිංහ යෝජනා කරන අතර වැටුප් ඉල්ලීම් ගැන සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපතිට ජාවෘසම විසින් ලිපියක් යවා ඇත. නිශ්චිතව ම, එවන් රැස්වීමක දී සාකච්ඡා කෙරෙනු ඇත්තේ සොච්චම් පඩි වැඩිවීමක් හෝ දීමනාවක් දී පන්ති අරගල පැනනැගීම වැලැක්වීම ගැනයි.

ආන්ඩුව පුද්ගලික සමාගම්වලට බොහෝ සෙයින් බදු හා වෙනත් සහන දී ඇති අතර තවතවත් සහන ලබාදීමට නියමිත ය. මේ සහන ලබා දී ඇත්තේ කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට හෝ අනෙකුත් කොන්දේසි වැඩි දියුනු කිරීමට නොව ජාත්‍යන්තරව ආයෝජන ආකර්ෂනය කරගැනීමේ වුවමනාවෙනි.

ජවිපෙ වැටුප් උද්ඝෝෂනයේ ප්‍රෝඩාකාරී බව වටහා ගැනීමට කම්කරුවෙකු මෑත වසරවල ඔවුන්ගේ ඊනියා වැටුප් උද්ඝෝෂන ගැන යන්තමින් මතක් කර ගැනීම පමනක් ම ප‍්‍රමානවත් ය.

* 2008 රාජ්‍ය අංශය සඳහා රුපියල් 5,000 වැටුප් වැඩිවීමක් හා පුද්ගලික අංශයේ රුපියල් 12,000 අවම මාසික වැටුපක් ඉල්ලා ජවිපෙ සමිති උද්ඝෝෂනය කලෝය. තම ඉල්ලීම් නොලැබුනොත් මහ වැඩ වර්ජනයක් කරන බවට ජවිපෙ ආන්ඩුවට තර්ජනයක් කලේය. එය තඹයකට ගනන් නොගත් ආන්ඩුව රුපියල් 1,000 ක දීමනාවක් පමනක් රාජ්‍ය අංශය සඳහා වැඩි කලේය. පුද්ගලික අංශයේ ධනපතියෝ ඉල්ලීම කුනු කූඩයට දැමූහ. ජවිපෙ සමිති වැටුප් උද්ඝෝෂනය අකුලා ගත්හ.

* 2009 දී යලිත් රාජ්‍ය අංශය සඳහා රුපියල් 5,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ජාවෘසම පෙර පරිදි ම උද්ඝෝෂනයක් ආරම්භ කර ආන්ඩුව දීමට එකඟ වූ රුපියල් 750 ජීවන වියදම් දීමනාව පිලිගෙන උද්ඝෝෂනය අතහැර දැමුවේය.

* 2010 දී රාජ්‍ය අංශය සඳහා මුලින් රුපියල් 8,000 ක් ඉල්ලා ආන්ඩුවේ අයවැයට යෝජනා ඉදිරිපත් කර පසුව එය රුපියල් 9,000 දක්වා ඉහල දැමීය. ඉල්ලීම් නොදුන්නොත් අයවැය ඉදිරිපත් කිරීමෙන් ඉක්බිත්තෙහිම මහ වර්ජනයක් කැඳවන බවට ජාවෘසම සභාපති කේ. ඩී. ලාල් කාන්ත පම්පෝරි ගැසුවේය. එහෙත් ආන්ඩුව රුපියල් 2,500 කින් වැටුප් වැඩිකරන බවට දුන් මැතිවරන පොරොන්දුව බිඳ දමමින් සියයට 5 ක මාසික දීමනාවක් හා රුපියල් 600 ක ජීවන වියදම් දීමනාවක් එනම් මසකට රුපියල් 1,000 ක පමන මාසික දීමනාවල වැඩි කිරීමක් පමනකි කලේ. ජාවෘසම හිමින්සීරුවේ ම වැටුප් සටන නතර කලේය.

* වතු කම්කරු වැටුප් අරගලයේදී 2006, 2009 සහ 2011 මුලින් බොරු විරෝධයක් පෙන්වා පසුව පිලිවෙලින් රුපියල් 260, 405 සහ 515 දරිද්‍රතා මට්ටමේ සොච්චම් දෛනික වැටුපට ජවිපෙ සමස්ත ලංකා වතු කම්කරු සමිතිය එකඟ විය.

පසු ගිය වසරවල ජීවන තත්වයන්ගේ සිදු වී ඇති සීග‍්‍ර ඛාදනයත් සමග ජීවන වියදමට සරිලන වැටුපක් පිලිබඳ ඉල්ලීම වෙන කවරදාටත් වඩා කම්කරු පන්තියේ දැවෙන වුවමනාවක් බවට පත්ව තිබේ.

ශ‍්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2009/10 සමීක්ෂන වාර්තාවට අනුව ලංකාවේ 4 දෙනෙකුගෙන් යුත් පවුලක මාසික සාමාන්‍ය ආදායම 2006/07 රුපියල් 26,266 සිට 2009/10 රුපියල් 35,495 දක්වා සියයට 35 කින් වැඩි වනවිට මාසික සාමාන්‍ය වියදම අදාල කාලය තුල රුපියල් 22,952 සිට 31,331 දක්වා සියයට 41 කින් ඉහල ගොස් තිබේ. එම කාලය තුල මාසික සාමාන්‍ය මුර්ත ආදායම රුපියල් 17,465 සිට 17,023 දක්වා සියයට 2.05 කින් පහත වැටී ඇත.

2010 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව රාජ්‍ය අංශයේ මූර්ත වැටුප 2009 දී සියයට 5.2-6.3 පරාසයකින් වැඩි වූ නමුත් 2010 දී සියයට 2.3-2.6 පරාසයකින් පහත වැටුනි.

මෙම දෙවසර තුල නාමික වැටුප්වල පිලිවෙලින් ඇති වූ සියයට 9.4 හා සියට 3.3 වර්ධනය, සිදු වූ අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහලයාමට අලගු තැබීමටවත් ප‍්‍රමානාවත් නො වේ.

රාජපක්ෂ ආන්ඩුව 2006 සිට ම වැටුප් කැටිකර තැබීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඉහත සඳහන් දීමනා හැර යථා වැටුප් වැඩිවීමක් රාජ්‍ය අංශයට ලැබුනේ නැත. පුද්ගලික අංශයේ තත්වය ද එසේ ම ය.

මෙම තතු තුල යුද්ධයේ හා 2008 පුපුරා ගිය ලෝක ආර්ථික අර්බුදයේ බර මුලුමනින් ම තමන් මත පැටවීම නිසා වැඩ කරන ජනතාව මුහුන දී සිටින්නේ දරා ගත නො හැකි ආර්ථික හා සමාජ ව්‍යසනයකට ය. යුද්ධයට සහයෝගය දීමත්, රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව පැන නැගි පන්ති අරගල දුර්මුඛ කොට විසුරුවා හැරීමත් මගින් මෙම ව්‍යසනයට වගකිව යුතු එක් පාර්ශවයක් වූයේ ජවිපෙ සමිති ද ඇතුලු සියලු වෘත්තීය සමිතිය.

ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ රාජපක්ෂ ආන්ඩුවේ අර්බුදය තවත් උග‍්‍ර වී ඇත. ආන්ඩුවේ වෙලඳ ශේෂ හිඟය පසුගිය වසරට වඩා සියයට 70 න් ඇමරිකානු ඩොලර් 4.25 දක්වා මේ වසරේ මුල් හය මාසය තුල ඉහල ගොස් තිබේ. එය වසරාවසානයේ ඩොලර් බිලියන 8-9 දක්වා ඉහල යනු ඇතයි ආර්ථික විශ්ලේෂකයෝ කියති. ලෝක අර්බුදය අපනයන වෙලඳාම කෙරෙහි බරපතල බල පෑමක් ඇති කර තිබේ. මේ අතර රුපියලේ අගය පහත දමන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවට 2009 ජුලි මාස‍ෙය් දීමට එකඟ වූ ඩොලර් බිලියන 2.6 මෙම වසරේ ජුනි සහ දෙසැම්බර් මාසවලදී දියයුතු අවසන් වාරික දෙක දීම දින නියමයක් නැතිව අත්හිටුවා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව අයවැය පරතරය 2012 වසර වන විට සියයට 5 දක්වා අඩුකල යුතු අතර රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම හා පුද්ගලීකරනය කඩිනම් කලයුතු ය.

මෙම තතු තුල, ලෝකයේ අන් සෑම රටකම මෙන්ම ලංකාවේ ආන්ඩුවේ සමාජ ආර්ථික න්‍යාය පත‍්‍රය වී ඇත්තේ කම්කරු පන්තියට සහන දීම නොව ඒවා වඩ වඩා කප්පාදු කිරීම ය. මෙම ප‍්‍රහාරවලට එරෙහිව පන්ති අරගල වර්ධනය වන තතු තුල කම්කරු පන්තියට එරෙහිව පොලිස් රාජ්‍ය සැලසුම් තීව්ර කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටී.

හදිසි නීතිය ඉවත් කලත් පන්ති අරගල හා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් මැඩීම සඳහා ආන්ඩුව දැනටමත් නව නීති හඳුන්වා දී ඇත. එමෙන්ම අධිකරන නියෝග හා අත්‍යවශ්‍ය සේවා නියෝග මගින් ආන්ඩුව හා ධනපති හාම්පුතුන් පන්ති අරගල වාරනය කිරීම නිරන්තරව සිදුවෙයි. ලංකා විදුලිබල මන්ඩල කම්කරුවන්ගේ මෑත වැටුප් අරගලයට එරෙහිව ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවී ය. පොලීසිය, ආරක්ෂක හමුදා සහ රාජ්‍ය අනුග‍්‍රහය ලත් මැර බලකායන් පන්ති අරගලවලට එරෙහිව යෙදවීම වඩාත් තීව‍්‍ර කෙරී ඇත. මෙම තත්වය බරපතල අනතුරු ඇඟවීක් ලෙස කම්කරු පන්තිය සැලකිල්ලට ගත යුතුය.

Share this article: