ඔබාමා, මාටින් ලූතර් කිං සහ වෝල් වීදියේ වාඩිලා ගැනීමේ විරෝධතාවයෝ

Obama, Martin Luther King and the Occupy Wall Street protests

By Barry Grey , 18 October 2011

ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත ජනකාය සමාජ අසමානතාවයට ද බැංකු සමාජය මත දරන්නා වූ ආධිපත්‍යයට ද එරෙහිව මහා පෙලපාලි පවත්වා දිනකට පසුව ජනාධිපති බැරැක් ඔබාමා පීඩකයා සහ පීඩිතයාගේ "පොදු මානසිකත්වය” වැදෑරීම සඳහා මාටින් ලූතර් කිං (කනිෂ්ට) පිලිබඳ මතකය කැඳවී ය. වොෂින්ටනයේ ජාතික කේන්ද්‍රයේ මාටින් ලූතර් කිං ස්මාරකය නිල වසයෙන් විවෘත කිරීමේ උත්සවයේ දී කතා කල ඔහු අනියම්ව එහෙත් පැහැදිලිව ම දැන් වර්ධනය වෙමින් පවත්නා විරෝධතාවයන් ගැන සඳහන් කරමින් මෙසේ කියා සිටියේ ය: "උසස් සහ පහත් බව ද පීඩිත සහ පීඩක බව ද නොතකා සෑම මට්ටමක ම අප සෑම කෙනෙක් තුල ම දෙවියෝ ජීවත් වෙති ය යන අදහස මා තුල ජනයාට ද පද්ධතීන්ට ද වෙනස් වී ගත හැකි ය යන මතය තහවුරු කලේ ය. එය අහිංසාව පිලිබඳ අපගේ විශ්වාසය ද තහවුරු කර ඇත. සිය ප‍්‍රකාශිත පරමාර්ථයන් ඉටු කර ගත නොහැකි වූ ආන්ඩුවක් කෙරේ තවදුරටත් බලාපොරොත්තු තැබීමට එම විශ්වාසය විසින් කිං ට ඉඩ සලසා දෙන ලදි.” ඔබාමා තවදුරටත් මෙසේ කී ය: "සත්‍ය හා කල්පවත්නා වෙනස්කම් ඇති කිරීමට නම් ඕනෑම සමාජමය ව්‍යාපාරයක් සම්මුති වලට එලඹීමේ ඉඩකඩ පිලිගත යුතුව ඇතැ යි” මාටින් ලූතර් කිං ගේ උරුමය තහවුරු කර ඇත.

ජනාධිපති ඔබාමා මෙසේ ද කී ය: "මාටින් ලූතර් කිං අද දින ජීවත්ව සිටියේ නම්, රැකියා විරහිත කම්කරුවන් වෝල් වීදියේ දරුනු ක‍්‍රියාවන්ට අභියෝග කිරීමේ දී එහි වැඩ කරන සියලුම දෙනා යකුන්ට සමාන කිරීම නොකොටම එම අභියෝගය ඉටු කල හැකි බව පෙන්වා දෙනු ඇත.”

පවත්නා පද්ධතියට දන ගැසීමේ ද එය ප‍්‍රතිසංස්කරනය කිරීමේ ද මිථ්‍යාවන් වගා කිරීම සඳහා කිං ගේ ප‍්‍රතිරූපය යොදා ගැනීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ඇමරිකානු පාලක පන්තිය දැන් වැඩෙමින් පවත්නා ධනේශ්වර විරෝධී සහ විභව වසයෙන් විප්ලවවාදී ජනමතය පිලිබඳව කොතරම් භීතියට පත්ව ඇතැ යි ද යන්න ය. ඔබාමා සහ ඔහු නියෝජනය කරන පීඩක පන්තියේ පැත්තෙන් ගතහොත් විශේෂයෙන් ම සිත් සසල කරන්නා වූ ද භයානක වූ ද කාරනය නම් මෙම පෙලපාලි තුල සමාජ අසමානතාවය ද පන්ති භේදය ද පිලිබඳ ප‍්‍රශ්න ආධිපත්‍යය දැරීම ය. ස්වාධීන කම්කරු පන්තික දේශපාලනික ව්‍යාපාරයක් පැන නැගීම වැලැක්වීම සඳහා දශක ගනනාවක් තිස්සේ ධනේශ්වර පාලකයින් යොදා ගැනුනු ජනවර්ගය, ලිංග භේදය සහ ලිංගික යොමුව පිලිබඳ ප‍්‍රශ්න අභිබවා සමාජ අසමානතාවය හා පන්ති භේදය පිලිබඳ ප‍්‍රශ්න මෙම පෙලපාලි තුල ආධිපත්‍යය දරා සිටී.

ඔබාමාගේ ද එක්සත් ජනපද පාලක ප‍්‍රභූවේ ද ඉමහත් ම භීතියට හේතු වන කාරනය නම්, වෝල් වීදියේ වාඩිලා ගැනීමේ ව්‍යාපාරය විසින් කම්කරු පන්තියේ වඩාත් බෙහෙවින් විශාල අරගලයක පැන නැගීම අඟවන්නේ යයි ද කම්කරු පන්තිය ද්විපාක්ෂික පද්ධතියෙන් පිටත ද වෘත්තීය සමිති වැනි සියලුම ධනපති පාක්ෂික ඒජන්සිවලින් පිටස්තරව ද නැගී එනු ඇතැ යි යන්න යි. දශක ගනනාවක් තිස්සේ යටපත් කර දමනු ලැබ තිබුනු පන්ති අරගලයේ යලි පැන නැගීම පිලිබඳව ඉමහත් බියෙකින් ඔවුහු පෙලෙති. එය මුලුමනින් ම සහේතුක භීතියකි. සෑම කල්හි ම ධනේශ්වර පද්ධතියට ඒ හෝ මේ ආකාරයට සහයෝගය දීමට සම්බන්ධ වූ ඔබාමා මෙම විරෝධතාවයන් කෙරෙහි දක්වන්නා වූ ව්‍යාජ සහයෝගය ද ඔහුගේ ව්‍යාජ ජනතාවාදී වාචාලය ද උපදින්නේ මෙතනිනි.

මාටින් ලූතර් කිංගේ ප‍්‍රතිමාව විවෘත කිරීමේ දී ඔබාමා ආර්ථිකයේ අර්බුදය පිලිබඳව ද විරැකියාව සහ දිලිඳුකම වැඩී ඒම පිලිබඳව ද යන්තමින් හෝ සඳහන් කලේ මේ නිසා ය. පොලිස් බැටන් ප‍්‍රහාර, වර්ගවාදී ප‍්‍රචන්ඩත්වය සහ සිර දඬුවම් ඉදිරියේ එක්සත් ජනපදයේ දකුනේ වාර්ගික වෙනස්කම්වලට එරෙහි අරගලයන්වල දී සිවිල් අයිතිවාසිකම් සඳහා සටන් කලවුන් දැක් වූ ධෛර්යයට ඔහු ප‍්‍රශංසා කලේ ය. එහෙත් තම කතාවට පෙර දිනයේ දී පොලිස් ප‍්‍රහාරයන්ට මුහුන දී ගෙන සාමකාමී විරෝධතා ප‍්‍රකාශකයන් යෙදුනු ක‍්‍රියා ගැන ඔහු මොනම සඳහනක් වත් කලේ නැත.

දිලින්දන්ගේ සහ පීඩිතයන්ගේ පාක්ෂිකයකු ලෙස ඔබාමා පාන ව්‍යාජ ඉරියව් වංචනිකත්වයේ මුදුන්පෙත්තයි. බලයට පත් වූ තැන් පටන් ඔහු කර ඇත්තේ වෝල් වීදිය නියම කරන පිලිවෙත් වහලෙකු ලෙස ක‍්‍රියාත්මක කිරීම යි. මෙහි ප‍්‍රතිඵලයක් නම් බුෂ් පාලනය යටතේ දී ටත් වඩා කම්කරු පන්තියේ ආදායම් තත්වය පහත වැටීම ද දිලිඳුකම වඩාත් වේගයෙන් උග‍්‍රවීම ද ඇති කිරීම මගින් මහා සංගතයන්ට අන් කවරදාටත් වඩා දැවැන්ත ලාභ අත්පත් කර දෙමින් වෝල් වීදියේ පිලිවෙත් ක‍්‍රියාත්මක කිරීම ය. ඇමරිකාවේ දකුනු ප‍්‍රාන්තවල වර්නභේදවාදී ජිම් ක්‍රෝ පිලිවෙතට එරෙහිව අප‍්‍රිකානු-ඇමරිකානුවන්ට මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් ලබාදීම සඳහා තමා සකල දේශපාලන සීමාසහිතකම් මැද්දේ ම නිර්භීත මහජන අරගලයක් මෙහෙය වූ මාර්ටින් ලූතර් කිං ගේ ආයිත්තමෙන් සැරසී ගැනීමේ ඔබාමාගේ පිලිවෙත අතිශයින් ම තුච්ඡ ය. දකුනු ප‍්‍රාන්තයන්හි ජිම් ක්‍රෝ වර්නභේදවාදය අවසන් කිරීම සමස්තයක් වසයෙන් ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලයක ආරම්භක ලක්ෂ්‍යය වනවා වෙනුවට ඇමරිකානු පාලක පන්තිය ද කලු ජාතික ඉහල මධ්‍යම පන්තික වරප‍්‍රසාදිත කොටසක් ද අතර තුච්ඡ ජාවාරමකට අවස්ථාව බවට පත්කර ගන්නා ලදි. ජනාධිපති නික්සන් ඇෆමටිව් ඇක්ෂන් (තෝරා ගත් කොටසකට සහනදායී ක‍්‍රියා) පිලිවෙත යොදා ගත්තේ දේශපාලන හා ආර්ථික සංස්ථාපිතය තුලට කලු ජාතික වරප‍්‍රසාදිතයින්ගෙන් සුලු කන්ඩායමක් ඇතුලත් කර ගැනීම සඳහා ය. මේ අතර අප‍්‍රිකානු-අමෙරිකානු කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයේ ජීවන තත්වයන් ස්ථිරසාරව පිරිහී ගොස් මෙම තත්වය 2008 වෝල් වීදියේ බිඳවැටීමෙන් පසුව වඩ වඩාත් වේගයෙන් උග‍්‍ර විය.

ඔබාමා වනාහි මෙම සන්තතියේ මුදුන්පත්වීමයි: දක්ෂිනාංශික, යුදවාදී, වෝල්වීදියට ගැති, අප‍්‍රිකානු-ඇමෙරිකානු ජනාධිපතිවරයෙක්. බුෂ් යටතේ කොලින් පවල් ද කොන්ඩලීසා රයිස් ද ඉහලට දමා ඉක්බිති ඔබාමා පත් කර ගැනීම පෙන්නුම් කරන්නේ කලු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම් සඳහා අරගලය කොයියම්ම හෝ අන්දමකින් සාර්ථකවීමක් නො වේ. එය වනාහි ඩිමොක‍්‍රටික් පක්ෂය තුල ඉන්නා මහාසංගත ආසක්තයන් විසින් තමන්ගේ ප‍්‍රතිගාමී පිලිවෙත් වසං කර ගැනීම සඳහා ඔබාමාගේ ඡවි වර්නය යොදා ගැනීමකි.

ඇත්තෙන් ම ඔබාමා පැනනැංගේ සිවිල් අයිතිවාසිකම් අරගල තුලින් හෝ වෙනත් සමාජ අරගලයක් තුලින් නොවේ. බොහෝ දුරට පෞද්ගලික පාසල් තුල අධ්‍යාපනය ලද ඔහු කොලොම්බියා විශ්වවිද්‍යාලයට ද හාවඩ් නීති විද්‍යාලයට ද ඇතුලත් කර ගෙන ලාබාල වියේ දී ම චිකාගෝවේ ධනපති කොටස් විසින් ඇමරිකානු අධිරාජ්‍යවාදයට ද ධනේශ්වර මහා සංගතයන්ට ද සේවය කිරීම සඳහා පුහුනු කරන ලදි. ඔහුගේ මෙම ක‍්‍රියාවලිය තුල දී මහ ධනපතියන්ට නොවැනී සේවය කල ඔහු එමගින් බහුමිලියනපතියකු බවට පත්විය.

දැන් ඔහු ආගමේ ද ලාබ සදාචාරයේ ද ගුලි බෙදාහරිමින් නැගී එන ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරය තුල සමාජවාදී විඥානය වර්ධනයවීම වැලැක්වීමට යත්න දරන්නේ සිය රටේ පමනක් නොව ජාත්‍යන්තරවම ද නිර්දය පන්ති යුද පිලිවෙතක් පවත්වා ගෙන යන ගමන් ය.

ට්‍රොට්ස්කි, 1938 පල කරන ලද උන්ගේ සදාචාරය සහ අපගේ සදාචාරය යන සිය කෘතියේ දී කම්කරු පන්තිය දේශපාලන වසයෙන් නිරායුද කිරීමේ ද සිය පන්තියේ ම අවශ්‍යතාවන් උදෙසා කම්කරු පන්තිය දැනුවත් අරගලයක යෙදීම වැලැක්වීමට කැප වූ මෙම ප‍්‍රයත්නයන්ට මුලුමනින් ම විරුද්ධව මෙසේ ප‍්‍රකාශ කලේ ය: "කපටිකමෙන් සහ ප‍්‍රචන්ඩත්වය මගින් වහලෙකු දම්වැල්වලින් බැඳ තබන වහල් හිමියා ද එම වහල් බැමිවලින් මිදී ගැනීමට කපටිකම සහ ප‍්‍රචන්ඩත්වය පාවිච්චි කරන වහලා ද යන දෙදෙනාම සදාචාරාත්මක උසාවිය ඉදිරියේ එක සමානයන් යයි මෙම පිලිකුල් සහගත අංගඡේදිතයන් කියන දේ අපි විශ්වාස නොකරමු."

Share this article: