උග‍්‍ර පොලිස් මර්දනය මැද වාඩි ලා ගැනීමේ ව්‍යාපාරයට පුලුල් මහජන සහායක්

Amidst police crackdown, widespread public support for Occupy movement

By Joseph Kishore , 27 October 2011

වාඩි ලා ගැනීමේ ව්‍යාපාරයටත් අසමානතාවට හා සංගත ආධිපත්‍යධාරී දේශපාලනයට ඇති විරුද්ධත්වය කේන්ද්‍ර කොට ගත් එහි මූලික අරමුනුවලටත් පුලුල් මහජන සහායක් ලැබෙන බව මෑත මත විමසුම්වලින් පෙනී යයි. මෙම සහාය වර්ධනය වන්නේ ඔබාමා පාලනයේ වක‍්‍ර පිටුබලය ඇති ව, ප‍්‍රාදේශීය ආන්ඩු විසින්, ඇතැම් අවස්ථාවල දී ප‍්‍රචන්ඩ ආකාරයෙන්, පෙලපාලි නවතා දැමීමට පියවර ගනිමින් සිටින තතු තුල ය.

විරෝධතාකරුවන්ට එරෙහි ව මෑත පොලිස් මැදිහත්වීම්වල වඩාත් මෘග ප‍්‍රකාශනය අත් කර ගත්තේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි දී ය. අඟහරුවාදා හවස, පොලිසිය ජන සමූහයා වෙත ජ්වලන ග්‍රෙනේඩයක් දමා ගැසූ අතර එය හිසෙහි වැදී එක් විරෝධතාකරුවකුගේ හිස්කබල පිපිරින. උදේ වරුවේ 150 දෙනෙක් ද හවස විරෝධතාවන්හී දී සියයකට වඩා ද අත්අඩංගුවට ගනු ලැබූහ. බදාදා දිනයේ ද විරෝධතා නොකඩවා තිබින.

ඩෙමොක‍්‍රැටික් පක්ෂ නගරාධිපතිනි ජීන් ක්වාන් පොලිසිය වෙත සිය කොන්දේසි විරහිත සහාය පල කිරීමට කඩිනම් පියවර ගත්තා ය.

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඩබ්ලිව් හෝටලයේ පැවති ඩොලර් 5.000ක ටිකට් මගින් මුදල් රැස්කිරීමකට සහභාගී වීමෙන් පසුව, අඟහරුවාදා රාත‍්‍රියේ ප‍්‍රචන්ඩත්වය දියත් කෙරුන මොහොතේ ජනාධිපති ඔබාමා සිටියේ ඊට සැතපුම් කීපයක් දුරිනි. පොලිස් මර්දනය සම්බන්ධයෙන් ඔබාමා කිසිවක් කීවේ නැත. පසුව එදින රාත‍්‍රියේ ජේ ලීනෝ සංදර්ශනයට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ දක්ෂිනාංශික ටී පක්ෂය සමඟ වෝල් වීදිය වාඩි ලා ගැනීමේ විරෝධතාවන්ට ගොනු වෙමින් සිටින ජනතාව "අපේක්ෂා භංගත්වයට” පත් ව ඇති බව ය.

මෙම සතියේ ඔබාමා 2012 වර්ෂය සඳහා සිය ජ්‍යෙෂ්ඨ උද්ඝෝෂන කටයුතු උපදේශක ලෙස දිගු කාලීන වෝල් වීදී සහායකයකු වූ බ්‍රෝඩරික් ජොන්සන් පත් කලේ ය. ඔබාමා ඔහුගේ රිපබ්ලිකන් විරුද්ධවාදීන් අතුරෙන් හැම කෙනකුට ම වඩා මූල්‍ය හා බැංකු අංශවලින් වැඩි මුදල් කන්දරාවක් රැස් කර ගෙන ඇත. ඔහුගේ මුදල් පරිත්‍යාගශීලීන්ගෙන් බහුතරය රැකවරන අරමුදල් කලමනාකරුවන් ය.

ඔබාමාගේ හිටපු නිලධර මන්ඩල ප‍්‍රධානී, දැන් චිකාගෝ නගරාධිපති රාම් එමෑනුවෙල් විසින් මෙහෙය වුනු චිකාගෝ පොලිස් මර්දනයේ දී කල අත්අඩංගුවට ගැනීම් ඇතුලු වාඩි ලා ගැනීමේ පෙලපාලිකරුවන් අත්අඩංගුවට ගැනීමේ ලා පොදුවේ ඩෙමොක‍්‍රැට්වරු ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කලහ.

බදාදා අලුයම පොලිසිය ජෝර්ජියාවේ ඇට්ලන්ටාහී පොදුස්ථානයක් වූ වුඩ්රෆ් පාක් කඳවුරේ දී 53 දෙනකු අත්අඩංගුවට ගති. ඉහලින් පියාසර කරන හෙලිකොප්ටර් ද කැරලි ආම්පන්නවලින් සන්නද්ධ පොලිසිය ද සහිත ව මෙම කඩා පැනීම දියත් කෙරින. ඩෙමොක‍්‍රැට් පාක්ෂික නගරාධිපති කාසිම් රීඩ් මේ ක‍්‍රියාවන් "මහජන ආරක්ෂාව පිලිබඳ උත්සුකයන්ට අවශ්‍ය ප‍්‍රතිචාරයක් ලෙස යුක්තියුක්ත කලේ ය.

නව මෙක්සිකෝවල ඇල්බකර්කිහි රිපබ්ලිකන් නගරාධිපති රිචඩ් බෙරී ඊයේ රාත‍්‍රී කල නියෝගයක් අනුව සිදු කල කඩා පැනීමකින් 31 දෙනෙකු අත්අඩංගුවට ගැනින. මෙහි දී නැවතත්, පොලිසිය කැරලි මර්දන ආම්පන්නවලින් සන්නද්ධව සිටි අතර නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහි ව පෙපර් මිශ‍්‍රිත දියරය භාවිත කලේ ය. වාඩි ලා ගැනීම සඳහා දුන් අවසරය අහෝසි කෙරුනු මෙම කඳවුර පිහිටා තිබුනේ නව මෙක්සිකෝ විශ්වවිද්‍යාල භූමියේ යේල් පාක්හි ය.

මේරිලන්ඩ්හි බැල්ටිමෝර් නගර නිලධාරීන් බදාදා ප‍්‍රකාශ කලේ පොදු ස්ථානයක් වූ මැක්කෙල්ඩින් චතුරස‍්‍රයේ වාඩි ලා ගැනීම නීති විරෝධී බවත් රාත‍්‍රී කාලයේ එහි රැඳී සිටීමට ඉඩ දිය හැක්කේ විරෝධතාකරුවන් දෙදෙනකුට පමනක් බවත් ය.

ප‍්‍රසිද්ධ වාර්තා සමඟ ගැලපෙන එක් වෙබ් අඩවියක තොරතුරුවලට අනුව, සැප්තැම්බරයේ වෝල් වීදිය වාඩි ලා ගැනීමේ විරෝධතා ඇරඹුනු තැන් පටන් අත්අඩංගුවට ගැනීම් 2,511ක් සිදු කර ඇත.

පොලිස් මර්දන ක‍්‍රියාවන්හි අරමුන, හුදෙක් විරෝධතාවලට ඍජු ව සම්බන්ධ අය පමනක් නො ව ඇමරිකානු සමාජයේ පැහැදිලි ලක්ෂනය බවට පත් ව ඇති දැවැන්ත සමාජ අසමානතාවට අතිමහත් ලෙස විරුද්ධ පලල් මහජනතාව බයභීතියට පත් කිරීම ය.

අඟහරුවාදා නිකුත් කල නිව්යෝක් ටයිම්ස් /සීබීඑස් මත විමසුම අනුව, වෝල් වීදීය වාඩි ලා ගැනීමේ මූලික අරමුනු සමග සංගහනයෙන් සියයට 43ක් එකඟතාව ප‍්‍රකාශ කල අතර සංසන්දනාත්මකව සියයට 27ක් පමනක් නොඑකඟතාව ප‍්‍රකාශ කර ඇත. ඉතිරිය තමන්ට ස්ථිර ව කිසිවක් ප‍්‍රකාශ කල නොහැකි බව කියා ඇත.

සංගහනයෙන් තුනෙන් දෙකක් කියා සිටියේ ධනය සාධාරන ලෙස බෙදී නො යන බවයි.

එම ජනමත විමසුමෙන් ආන්ඩුව හා මහා ව්‍යාපාරික පක්ෂ දෙක කෙරෙහි මහජනතාවගේ අතිමහත් විරෝධය හෙලි ව ඇත. ටයිම්ස් පුවත්පතේ වාර්තාවකට අනුව, "ඇමරිකානුවන්ගෙන් සියයට 89ක් ආන්ඩුව නිවැරදි දේ කරන බව ගැන අවිශ්වාස කරනවා පමනක් නොව, සියයට 74ක් රට වැරදි මාවතක යන්නේ යැයි කියනු ලබන අතර සියයට 84ක් කොන්ග‍්‍රසයේ වැඩ කටයුතු අනුමත නොකරයි - මෙය ඩෙමොක‍්‍රෑටික් හා රිපබ්ලිකන් දෙපාර්ශ්වයට ම එක සේ කරන අනතුරු ඇඟවීමකි.”

මේ අතරේ පිව් පර්යේෂන මත විමසුම අනුව, ජනගහනයෙන් සියයට 18ක් තමන් කියවීමට මූලිකත්වය දෙන ප‍්‍රවෘත්ති වන්නේ වෝල් වීදිය වාඩි ලා ගැනීමේ ව්‍යාපාරය ගැන ප‍්‍රවෘත්ති බව ප‍්‍රකාශ කර ඇත. මෙය දෙවැනි වන්නේ සියයට 20කගේ අවධානය දිනා ගත් එක්සත් ජනපද ආර්ථිකයේ තත්වය පිලිබඳ ප‍්‍රවෘත්තිවලට පමනි.

Share this article: