ගී‍්‍රසිය කැබලිකිරීම

The carve-up of Greece

20 September 2011

ලබන මාසය වනවිට ගී‍්‍රසිය හට බංකොලොත් වීමෙන් වැලැකී සිටීම සඳහා වන පූර්ව කොන්දේසියක් වශයෙන් නිදහස් වනු ඇත්තා වූ ඇප අරමුදලේ ඊ ලඟ වාරිකය නිදහස් කිරීම සඳහා ජාත්‍යන්තර බැංකු වෙනුවෙන් කි‍්‍රයාත්මක වන යුරෝපා සංගමය, යුරෝපා මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ගී‍්‍රක කම්කරු පන්තියට එරෙහි කප්පාදු පියවරවල නව වටයක් ඉල්ලමින් සිටී.

දැනටමත් කි‍්‍රයාවට දමා ඇති මහා පරිමාන දොට්ට දැමීම් හා සමාජ වැය කප්පාදුවල ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථිකය බිඳවැටී ඇති ගී‍්‍රසිය අයවැය පරතර කප්පාදු ඉලක්ක සපුරාලීමට අසමත් වීම නිසා පෝලන්තයේ දී සිකුරාදා හා සෙනසුරාදා මුනගැසුනු යුරෝපා මුදල් ඇමතිවරු යුරෝ බිලියන 8ක වාරිකය ගෙවීම ප‍්‍රතික්ෂේප කලේ ය.

සඳුදා ඇතැන්ස්හි පැවති ව්‍යාපාරික සම්මේලනයක දී ග‍්‍රීක ජාමූඅ නියෝජිත බොබ් ට‍්‍රා නීතිය අවධාරනය කලේ ය. 2008 පටන් නිල විරැකියා අනුපාතය සියයට 16 දක්වා -සැබෑ විරැකියා අනුපාතයට සියයට 30ට ආසන්න වේ- දෙගුන වී ඇති රටක දී කතාකල ට‍්‍රා රාජ්‍ය අංශ රැකියා හා වැටුප් වඩා කෲර ලෙස කැපීම, රාජ්‍ය ආයතන පුලුල් පරිමානයෙන් වැසීම හා රාජ්‍ය ව්‍යාපාර ක්ෂනිකව පුද්ගලීකරනය හා විකුනා දැමීම අනවා සිටියේ ය.

ග‍්‍රීසියේ රාජ්‍ය අංශය "ඉතා විශාල” යයි මැසිවිලි නැගූ ට‍්‍රා එහි හැකිලීමට "අකාර්යක්ෂම රාජ්‍ය සමාගම් වැසීම මෙන් ම අතිශයින් විශාල රාජ්‍ය අංශ ශ‍්‍රම බලකාය හා .... රාජ්‍ය අංශ වැටුප් අඩුකිරීම් අනිවාර්යයෙන් ම අවශ්‍ය වනු ඇත...’’ යයි කීවේ ය.

ගී‍්‍රක කම්කරු පන්තිය අනාථ භාවයට අත්හැර දමද්දී පවා ඔහු රටෙහි රාජ්‍ය වත්කම් විකිනීමෙන් ඉපයීමට නියමිත යෝධ ලාභ පිලබඳව බැංකුකරුවන් හා මහා ආයෝජකයන් අතර පවත්නා මසුරු අපේක්ෂාව නිදහසේ ප‍්‍රකාශ කලේ ය. "ඉමහත් මුදල් කන්දරාවක් ග‍්‍රීසිය දෙස බලා සිටී” යයි ඔහු කීවේ ය. "පුද්ගලීකරන වැඩපිලිවෙල හුදෙක් ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරනයක් පමනක් නොව ද්‍රවශීලතාව හා ප‍්‍රාග්ධනය ලැබීමට ඍජු විදේශ ආයෝජන කැඳවාගැනීමේ මාවතකි.”

ග‍්‍රීසිය හැකි ඉක්මනින් රාජ්‍යයට හිමි මෙහෙයුම් සමහරක් පුද්ගලික ව්‍යාපාරවලට විකිනිය යුතු බවත් නැතහොත් එය "අපේක්ෂා භංගවීමට” මුහුන පානු ඇති බවටත් ඔහු අනතුරු ඇඟවීය.

ගොදුර වටා රොක්වන වෘකයන් රංචුවක් මෙන් ආර්ථික අර්බුදය ජනනය කල අර්ධ-අපරාධකාරී මෙහෙයුම්වල යෙදෙන, රාජ්‍ය භාන්ඩාගාර බංකොලොත් කරමින් ඇප බැඳීමට බදු ආදායම් යොදා ගන්නා බැංකුකරුවන්ගේ හා සමපේක්ෂකයන්ගේ ගෝලීය සහෝදරත්වය දැන් ග‍්‍රීසිය කැබලිකිරීමට හා සමස්ත සමාජයක විනාශය තමන්ට ම මුදල් ගලා එන දියඇල්ලක් බවට හැරවීමට සූදානම් වෙමින් සිටී.

ඇප අරමුදල අධීක්ෂනය කරන යුරෝපා සංගමය, යුරෝපා මහ බැංකුව හා ජාමූඅ යන ඊනියා "ති‍්‍රකයේ” නව ඇනවීම්වලට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැසොක් ආන්ඩුවේ ප‍්‍රතිචාරය වී ඇත්තේ ඒවා පිලිගැනීම යි. එක්සත් ජනපදය වෙත කරන සංචාරයක් අවලංගු කල අගමැති ජෝර්ජ් පැපැන්ද්‍රියෝ ඉරිදා තම කැබිනට්ටුවේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර ඉන්පසු මුදල් ඇමති ඉවැන්ජලොස් වෙනිසෙලෝස් නව කප්පාදු පියවර නිවේදනය කිරීමට පොරොන්දු විය. "සෑම දෙනාට ම අවශ්‍ය වඩා කුඩා රාජ්‍යයක්” යයි ඔහු ප‍්‍රකාශ කලේ ය.

විවිධ මාධ්‍ය වාර්තාවලට අනුව "ත්‍රිකය” විසින් ඉල්ලුම් කොට ඇති පියවරවලට අඩංගු වන්නේ:

*සමස්ත දොට්ටදැමීම් ගනන 100,000 ට ගෙනඑමින් 2015 වනවිට රාජ්‍ය අංශයේ තවත් රැකියා 20,000ක් අවසන් කිරීම.

* තවත් කම්කරුවන් 25,000ක් අනතුරේ හෙලමින් 2010 හා 2011 දී කල රාජ්‍ය අංශ බඳවාගැනීම් ආපස්සට බලපාන පරිදි හා වහා ම කි‍්‍රයාත්මක වන පරිදි අවලංගු කිරීම.

*රාජ්‍ය පොදු සේවා කම්කරුවන්ගේ විශ‍්‍රාම වැටුප් හා වැටුප් කැපීම. නාවිකයන්ගේ හා රාජ්‍ය විදුලි සංදේශ සමාගමේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් කැපීම. 2015 වනවිට සියලු රාජ්‍ය විශ‍්‍රාම වැටුප් කැටිකිරීම.

*රාජ්‍ය අංශ ආයතන 65ක් වසාදැමීම හෝ වසාදැමීම වේගවත් කිරීම.

*උනුසුම් කාරක තෙල් මත විශේෂ බද්දක් වැඩිකිරීම.

* දුම්කොල, මද්‍යසාර හා සුඛෝපභෝගී භාන්ඩ මත බදු ඉහල දැමීම.

ග‍්‍රීසියට ඇප බැඳීම පුලුල් කල යුතු ද නැතහොත් එම රටට පොරොන්දු බිඳ දමා යුරෝ කලාපයෙන් ඉවත් වීමට ඉඩ දිය යුතු ද යන්න අරබයා එක්සත් ජනපදය හා යුරෝපය අතර මෙන් ම යුරෝපය තුල ද වැඩෙන බෙදීම් පවතී. පලමු පිලිවෙතේ අර්ථය වන්නේ බැංකුවලට ඇප තැබීම සඳහා මහජන අරමුදල් භාවිතා කිරීම යෝධ ලෙස ප‍්‍රසාරනය කිරීමකි. දෙවැන්නෙහි අර්ථය වන්නේ ජාතික කඩාවැටීම් හා බැංකු බංකොලොත්වීම් මාලාවක් ජනනය කරමින්, වසර තුනකට පෙර වෝල් වීදියේ කඩාවැටීමටත් වඩා විශාල නව යෝධ මූල්‍ය අර්බුදයක් ඇති කල හැකි ග‍්‍රීක සමාජ ව්‍යසනයකි.

පිලිවෙත් දෙකම කම්කරු පන්තිය දරිද්‍රතාවට හෙලීමට හා එහි අතීත සමාජ ජයග‍්‍රහන සියල්ල විනාශ කිරීමට ධාවනය වේ.

අර්බුදයේ සමාජීය බලපෑම් ද එයට කම්කරු පන්තිය ලවා ගෙවීම් කිරීමට එය ගනිමින් සිටින ම්ලේච්ඡ පියවර ද පිලිබඳව ජාත්‍යන්තර ධනේශ්වරය අතිශයින් දැනුවත් ය. ඇතැන්ස් වානිජ මන්ඩල සභාපති කොන්ස්ටැන්ටින් මයිකලෝස් උපුටා දක්වමින් බීබීසීය සඳුදා වාර්තා කල පරදි: ”... අප සියයට 20 විරැකියා මට්ටමට ලඟා වුවහොත් ආර්ථික වශයෙන් සමාජ සබඳතා පුපුරා යනු ඇතැයි යන්න ගැන ආසන්න අනතුරක් තිබෙනවා.”

නිශ්චිත දේශපාලන නිගමන උකහා ගනු ලැබෙමින් සූදානම් වීම් සිදු වේ. සඳුදා "ගී‍්‍රසිය: මිලිටරියේ භූමිකාව අවතක්සේරු කරන්න එපා” යන උද්ධෘතයෙන් යුත් ලිපියක් වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පතේ පල කෙරුනි.

එය මෙසේ ඇරඹයි: "දේශපාලන අස්ථාවරත්වය හා කැරලිකාරීත්වය මධ්‍යධරනියේ උතුරු අපි‍්‍රකානු වෙරල තීරයේ සිට සිරියාව දක්වා විහිදී ඇති අතර ඒවා එහි නවතින්නේ මන් ද? උදාහරනයක් ලෙස ඒවා ගී‍්‍රසියට විහිදී නො යා යුත්තේ ඇයි?

"ගී‍්‍රක ජෙනරාල්වරු 1967 දී කුමන්ත‍්‍රනයක් සිදුකොට රට ජුන්ටාවක් විසින් පාලනය කලබව මතකයට ගත මනා ය. 1975 වනතෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත නො වුනි. ඒ එතරම් වැඩි කාලයකට ඉහත නො වේ.

"ගී‍්‍රක මිලිටරිය තවමත් රටතුල ඉතා සැලකිය යුතු බලයකි. ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂන ආයතනයේ දත්තවලට අනුව අන් කිසිදු යුරෝපා සංගම් රටකට වඩා, එනම් යුරෝපා සංගමයේ සියයට 1.6 සාමාන්‍යයට විපරීතව සියයට 3.2ක්්, දල දේශීය නිෂ්පාදිතයෙන් වැඩි පංගුවක් ගී‍්‍රසිය තම සන්නද්ධ හමුදාවලට වියදම් කරයි.

"යුරෝපා සංගමය, යුරෝපා මහ බැංකුව හා ජාමූඅ වෙතින් එන තවත් එක් යෝධ යුෂ මිරිකාගැනීමක් වලක්වමින් ගී‍්‍රසිය මුදලින් තොරවන දිනය දිනෙන් දින ලඟා වේ. නිලධරයන්ට ගෙවීම් නො ලැබෙන විට ඔවුහු උපකරන පහත දමා වර්ජනයේ යෙදේ. එහෙත් යුද හමුදාවට මුදල් ගලා ඒම නවතින විට කුමක් සිදුවේ ද?” පසුගිය ජුනි මාසයේ නිකුත් කල වාර්තාවකට අනුව සීඅයිඒ සංවිධානය ගී‍්‍රසිය තුල මිලිටරි කුමන්ත‍්‍රනයක හැකියාවක් පවතින බව නිගමනය කලේ යයි සඳහන් කිරීමට රචකයා ඉදිරියට යයි. ඔහු මෙසේ අවසන් කරයි: "ග‍්‍රීසිය තුල මිලිටරි කුමන්ත‍්‍රනයක් සිදුවිය හැකි ද? සමහරවිට එසේ නො වේ. එහෙත් එය අවතක්සේරු කල නො හැකි හැකියාවකි.”

කම්කරු පන්තිය මෙය අනතුරු ඇඟවීමක් ලෙස ගතයුතු අතර එය හුදෙක් ගී‍්‍රසිය පිලිබඳ කරුනක් පමනක් නො වේ. 1930 ගනන්වලින් මෙපිට ධනේශ්වර පද්ධතියේ ගැඹුරු ම අර්බුදයෙන් ගැලවීම සඳහා දරන උත්සාහයේ දී ලෝකය පුරා ධනේශ්වරය කෲර පන්ති යුද්ධයක් දියත් කරමින් සිටී. එම කාල පරිච්ඡේදයේ මෙන් අද දින ද කම්කරු පන්තියේ නො වැලැක්විය හැකි මහජන විරෝධයට පාලක පන්තියේ පිලිතුර වනු ඇත්තේ ආඥාදායකත්වය හා යුද්ධය යි.

වැඩකරන ජනයා සඳහා එකම මාවත වන්නේ ධනවාදය අවසන් කොට ලෝක සමාජවාදය ස්ථාපිත කිරීමට කරන විප්ලවවාදී අරගලයක් තුල තම යෝධ සමාජීය හා දේශපාලනික බලය භාවිතයේ යෙදීමයි. මේ සඳහා ධනේශ්වර දේශපාලනයෙන් හා පාලක පන්තියේ කාර්මික පොලීසිය ලෙස කි‍්‍රයාත්මක වන වෘත්තීය සමිතිවල ග‍්‍රහනයෙන් බිඳී අරගලයේ නව මහජන සංවිධාන ගොඩනැගිය යුතු ය. තීරනාත්මක කාරනය වන්නේ එලැඹෙන අරගල සමාජවාදී හා ජාත්‍යන්තරවාදී කි‍්‍රයාමාර්ගයකින් පනපෙවීම සඳහා නව විප්ලවවාදී නායකත්වය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම යි.

බැරී ගේ‍්‍ර

Share this article: