වෝල් වීදියට එරෙහි අරගලය තුල පවතින දේශපාලනික ප‍්‍රශ්න

The political issues in the fight against Wall Street

5 October 2011

දැන් තුන් වන සතිය ගත කරමින් තිබෙන වෝල් වීදිය අල්ලා ගැනීමේ විරෝධතාව සමස්ත එක්සත් ජනපදය ම අලලා ගත් බලගතු අරගල මාලාවක් ප‍්‍රබෝධවත් කර තිබේ. බොස්ටන්, චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ රට පුරා අනෙකුත් ප‍්‍රධාන නගර හා නගර ඔස්සේ මෙවැනි ම අරගල වර්ධනය වෙමින් පවතී.

විරෝධතාකරුවන් සහ සමාජ සමානතාව සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම් ධනවාදය, බැංකු හා සංගත කෙරෙහි මිලියන ගනනක් ජනයා තුල වැඩෙමින් පවතින වෛරයට ද රැකියා, ශිෂ්ට සම්පන්න ජීවන තත්ත්වයන් සඳහා සහ සුව ආරක්ෂනය, අධ්‍යාපනය හා අනෙකුත් මූලික සමාජ අවශ්‍යතාවන් සහතික කිරීම සඳහා පවතින දැවෙන අවශ්‍යතාවට ද ප‍්‍රකාශනයක් අත් කර දී තිබේ.

මෙම ව්‍යාපාරයේ වැඩීම ඇමරිකානු පාලක කව තුල වැඩෙන උත්සුකතාවක් දල්වමින් තිබේ. ඔක්තෝබර් 4 වෙනි දින නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ මූල්‍ය තීරු ලිපි රචක ඇන්ඩෲ රොස් සෝර්කින් ලියූ ලිපියක මෙය ප‍්‍රකාශයට පත් විය. තමන්ගේ "පෞද්ගලික ආරක්ෂාව” පිලිබඳව විස්සෝපයට පත් ඉහල විධායක නිලධාරියෙකු පැවසූ අදහසක් උපුටා දැක්වූ සෝර්කින්, "අපගේ ආර්ථිකයට දිගට ම දුෂ්කර අඩියක සිටීමට සිදු වුව හොත් -අප දැන් ඇතැම් යුරෝපා රටවල දැක ඇතිවාක් මෙන්- ඉස්මත්තට පැමිනිය හැකි සිවිල් නොසන්සුන්තාවල ස්වරූපය පිලිබඳව අනතුරු ඇඟවීමේ සංඥාවක්” විරෝධාතාවන්හි අන්තර්ගත බවට අනතුරු ඇ‍ඟෙවුවේ ය.

තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව පිලිබඳව සන්ත‍්‍රාසයට පත් විය යුත්තේ බැංකුකරුවන් නො ව, තමන්ගේ කතා කිරීමේ නිදහස පාවිච්චි කිරීමේ විපාකයෙන් අතොරක් නැති පොලිස් ම්ලේච්ඡත්වයට හා සමූහ අත් අඩංගුවට ගැනීම්වලට ලක් වෙමින් සිටින උද්ඝෝෂකයන් ය.

කෙසේ වතුදු, සිවිල් නොසන්සුන්තාවක් පිලිබඳ සෝර්කින්ගේ අනතුරු ඇඟවීම සපුරා ම යුක්ති සහගත ය. මෙම විරෝධතාවන් වැටෙන්නේ වසර තිහකට වැඩි කාලයක් තුල එක්සත් ජනපදයෙහි සිදු වන අංක එකේ සමාජ විරෝධතාවන් අතරට ය. වාඩි ලා ගැනීම්වලට සම්බන්ධ අයගෙන් බොහෝ දෙනෙකු තමන්ගේ ජීවිත කාලය තුල දී සමාජ වෙනස්කම් සඳහා සිදු වන සැලකිය යුතු අරගල මින් පෙර කිසි දිනෙක දැක නැත. පසු ගිය පෙබරවාරි මස විස්කොන්සින්හි හට ගත් යෝධ විරෝධතා අනුයමින් ලෝක ධනවාදයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදයෙහි විවෘත පන්ති අරගල යලි ඉස්මතුව ඒම යි ඒවායින් සලකුනු වන්නේ.

එවැනි අරගල අහම්බෙන් මතු නො වේ. ලෝක ධනවාදී පද්ධතියක බලගතු ප‍්‍රතිවිරෝධතා විසින් ඒවා දිරි ගන්වනු ලැබේ. ලෙහ්මන් බ‍්‍රදර්ස් කඩා වැටීමෙන් වසර තුනක් ඇතුලත ඉහල ම ස්තරය නින්දා සහගත මට්ටම්වලින් ධනය පොදි ගසා ගනිද්දී මිලියන සංඛ්‍යාත ජනයා සඳහා ව්‍යසනකාරී විරැකියා මට්ටම් හා ගැඹුරු වන දරිද්‍රතාව නිර්මානය කලේ එම පද්ධතිය යි.

එක්සත් ජනපදය තුල එවැනි අරගල මේ සා දීර්ඝ කාලයක් සිර කොට තබා සිටියේ කුමක් විසින් ද? 1970 ගනන්වල අග සිට, වැඩ කරන ජනතාවගෙන් මූල්‍යමය කතිපයාධිකාරියකට, එනම් ඉහල ම සියයට 1 වෙත සමාජ ධනය කිසි දා නොවූ තරම් වැඩෙන වේගයකින් මාරු වෙමින් ද තව මත් එසේ වෙමින් ද පවතී. මෙම සන්තතියට එරෙහිව කම්කරු පන්තිය දැක්වූ ප‍්‍රතිරෝධය 1981 පැට්කෝ වැඩ වර්ජනයේ පටන් ම වෘත්තීය සමිති විසින් ක‍්‍රමානුකූලව පාවා දී තිබිනි. මෙම වෘත්තීය සමිති සංගතවලට, ආන්ඩුවට හා ඩිමොක‍්‍රැටික් පක්ෂයට අන් කවර දාකටත් වඩා සමීපව ඒකාබද්ධ වී සිටී.

ප‍්‍රතිඵල අන් කිසි තැනකටත් වඩා නිව් යෝක් නගරයේ දී පැහැදිලිව දැකිය හැකි ය. එහි සමස්ත ආදායමෙන් සියයට 50ක් ම යන්නේ ඉහල ම සියයට 1 අතට වන අතර කුටුම්බ 90,000කට ආසන්න සංඛ්‍යාවක් අතට යන්නේ මිලියන 3.7ක සාමාන්‍ය වාර්ෂික ආදායමකි. නගරයේ දුප්පත් ම මිනිසුන් මිලියනය සමස්ත වසරක දී උපයන ආදායමට වැඩි ආදායමක් බොරු බැබලීමක් පාන මෙම ස්තරය එක් දිනයක දී රැස් කර ගනිති.

සමාජ අසමානතාවට සහ එය මුල් බැස ගෙන තිබෙන ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලය ප‍්‍රධාන කොට ම දේශපාලන අරගලයකි. පරදුවට තබා ඇති ප‍්‍රධාන ප‍්‍රශ්න සමාජයේ ධනය හා බලය බෙදා හැරීම වී පවතින විට එය වෙනත් ආකාරයක් විය හැකි වන්නේ කෙසේ ද? වෝල් වීදිය අල්ලා ගැනීමේ විරෝධතාව තුල සිටින එම විරෝධතාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය අය තීරනාත්මක දේශපාලන අභියෝගවලට හා තීන්දුවලට මුහුන දෙති.

මෙම විරෝධතාව වර්ධනය වෙත් ම ඇමරිකාවේ ඕනෑ ම විරෝධතා ව්‍යාපාරයකට බොහෝ විට සිදු වන අයුරින් ඩිමොක‍්‍රැටික් පක්ෂයේ ග‍්‍රහනයට ලුහුටා යාමේ අනතුරට එය මුහුන දෙයි. බුෂ් පාලනාධිකාරය යටතේ ඇරඹුනු යුද විරෝධී උද්ඝෝෂන සම්බන්ධයෙන් තත්වය වූයේ එය යි. ඒවා හැඩ ගැස්වුනේ ඡන්ද කැලැන්ඩරයට අනුකූලව වන අතර ඔබාමා ධවල මන්දිරයට පිවිසි විට අවසානයේ කුල්මත් විය. ඔබාමා බුෂ්ගේ යුද්ධ අඛන්ඩව පවත්වා ගෙන ගොස් ඇත. ඒවා තව තවත් පුලුල් කර ඇත.

නිව් යෝක් ටයිම්ස් පුවත්පත වෝල් වීදි විරෝධී උද්ඝෝෂන වාර්තා කිරීමේ දී ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් කාසින්ගේ පහත ප‍්‍රකාශය උපුටා දැක්වී ය: "අතෘප්තිය පාදක කර ගත් තර්ජනය කිරීම් ඕනෑ ම ව්‍යාපාරයක පලමු පියවර වේ.” "කලක් අල්ලා හිටින ව්‍යාපාරයක්” බවට විරෝධතාව පරිවර්තනය කිරීම සඳහා වන ඉල්ලීමේ අර්ථය වන්නේ "අභිනවයෙන් මුදා හැරුනු ලාලසාවන් සංස්ථාපිතයන් වෙතට හරවා යැවීමත් දේශපාලන අරමුනු බවට හැඩ ගස්වා ගැනීමත්” ය යන කාසින්ගේ ප‍්‍රකාශය උපුටා දැක්වීමට තරම් ලිපිය ඉදිරියට ගමන් කරයි.

"සංස්ථාපිතයන්” යනුවෙන් කාසින් අදහස් කරන්නේ ඩිමොක‍්‍රැටික් පක්ෂයට හා දේශපාලන සංස්ථාපිතයට ගැට ගැසුන ඒවා බවට සැකයක් නැත.

එම අරමුන සඳහා ම, කිව නොහැකි පරිමානයකින් වැඩි වන ආධාරකරුවෝ වෝල් වීදි විරෝධතාව වන්දනා කරමින් සිටිති. මේ අය අතර, ප‍්‍රශ්නය ධනවාදය නො ව "විකෘත ආර්ථිකය යැ”යි විරෝධතාකරුවන්ට දිව්රා කී ලෝක බැංකුවේ හිටපු උපසභාපති ජෝසප් ස්ටිග්ලිට්ස් ද වේ. බිලියනපතියෙකු ද මූල්‍ය ව්‍යවසායකයෙකු ද වන ජෝර්ජ් සොරොස් වෝල් වීදි විරෝධතාකරුවන් වෙත සිය සහානුකම්පාව පල කර ඇත. එය හරියට මාරි ඇන්ටොයිනෙට් සුපිරි ආපන ශාලාවට කාරුනික අනුග‍්‍රහයක් දැක්වීමට තීන්දු කලාක් මෙන් ය.

ඔවුන්ගේ ප‍්‍රධාන භීතිය වී ඇත්තේ ධනේශ්වර පද්ධතියේ අර්බුදය විසින් නිර්මිත කොන්දේසි පාදක කොට හට ගත් විරෝධතාව ධනේශ්වර-විරෝධී ක‍්‍රියා මාර්ගයකින් සන්නද්ධ වූ ව්‍යාපාරයක් බවට පත් වනු ඇත යන්න යි.

නගර ශාලාවේ සිට සකොටි උද්‍යානයේ විරෝධතා කලාපයට අද දින ගිය පා ගමනට සහභාගි වූ වෘත්තීය සමිති කාන්ඩය ද මෙම භීතිය ම දරා සිටී. වෝල් වීදියට එරෙහිව කිසි යම් ආකාරයක තමන්ගේ ම අරගලයක් ගෙන යනවා වෙනුවට, තමන්ගේ ම සාමාජිකයන්ට හා සමස්තයක් වසයෙන් කම්කරු පන්තියට විරුද්ධව මූල්‍ය ප‍්‍රාග්ධනය නියම කල පටි තද කිරීමේ පියවර පැටවීමෙහි ලා තමන් ක‍්‍රියාශීලීව සහභාගි වූවේ ය යන කාරනය ඔවුහු සඟවති.

උදාහරනයක් ලෙස, ඒකාබද්ධ වෘත්තීය සමිති හවුල්වලින් විශාලතම සංගමය වන 1199-එස්ඊඅයියූව (සේවා නියුක්තිකයන්ගේ ජාත්‍යන්තර සංගමය) ආන්ඩුකාර කෝමෝගේ සුව සේවා ප‍්‍රතිසංවිධාන කන්ඩායමට ඒකාබද්ධ වූ අතර සුව සේවාධාර අගිස්සට ම කපා දැමීම සඳහා මෙම වසර මුල දී එය කල නිර්දේශවලට සහාය දුන්නේ ය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස රැකියාවලින් දොට්ට දැමීම් ද මෙඩිකෙයාර් සුව සේවය මත ප‍්‍රහාර එල්ල කිරීම ද සිදු විය. අනෙකුන් කර තිබෙන්නේ ද මෙවැනි ම පාවා දීම් ය.

වෘත්තීය සමිති නිලධරයන් වෝල් වීදි විරෝධතාවන් අනුමත කර ඇත් නම් ඒ මොන යම් ම හෝ අරගලයකට ඒකාබද්ධ වීමේ අරමුනින් නො ව, එහි ගෙල සිර කර එය ඩිමොක‍්‍රැටික් පක්ෂයේ හා ඔබාමාගේ යලි මැතිවරනයෙන් දිනීමේ ව්‍යාපාරයේ උපකරනයක් බවට පරිවර්තනය කිරීමේ අදහසිනි.

වෝල් වීදි විරෝධතාවලින් මතු කොට තිබෙන අතිමූලික කාරනා ධනවාදී පද්ධතියට එරෙහි අරගලයක අවශ්‍යතාව ඉස්මතු කරයි.

මෙය සියල්ලට මත් ඉහලින් ඉල්ලා සිටින්නේ, කම්කරු පන්තිය වෙත හැරී, එහි ස්වාධීන ශක්තිය සමස්ත සමාජය ම කොල්ල කා ඇති මූල්‍ය පරපෝෂිතයන්ට එරෙහිව බලමුලු ගැන්වීම ය. ඉන් අර්ථවත් වන්නේ වැඩ පොලවලත්, අසල්වැසි ප‍්‍රදේශවල හා පාසල් තුලත් අරගලයේ නව සංවිධාන ගොඩ නැගීම යි.

මෙම අරගලයේ සමාරම්භක දේශපාලන ලක්ෂ්‍යය වන්නේ මහා ව්‍යාපාරිකයන්ගේ පක්ෂ වන ඩිමොක‍්‍රැටික් හා රිපබ්ලිකන් පක්ෂවලින් කැඩී වෙන් වී ගැනීම යි. කම්කරු පන්තිය සමාජවාදී ක‍්‍රියා මාර්ගයක් තම පදනම්ව නව මහජන දේශපාලන පක්ෂයක් ගොඩ නගමින් කම්කරුවන්, තරුනයන්, රැකියා විරහිතයන් හා වැඩිහිටියන් ඇතුලු සියලු පීඩිතයන් එකට ඒකාබද්ධ කල යුතු ය.

විදුහල්, රෝහල්, නිවාස හා යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීමේ හා වැඩ කරන ජනයාගේ ජීවන කොන්දේසි වැඩි දියුනු කිරීමේ අතිශයින් ම අවශ්‍ය කටයුත්තේ දී සියල්ලන්ට ම රැකියා සම්පාදනය කරනු වස් හදිසි පොදු වැඩ සටහනක් සඳහා කෙරෙන ඉල්ලීම මෙයට ඇතුලත් විය යුතු ය.

ජීවිතය පවත්වා ගෙන ගිය හැකි ආදායමකට, ඉහල ගුනාත්මක සුව ආරක්ෂනයකට හා අධ්‍යාපනයකට, ශිෂ්ට හා දැරිය හැකි නිවාසයකට හා අනෙකුත් සමාජ අවශ්‍යාතාවලට ඇති අයිතිය සමාජයේ මූලික ප‍්‍රතිසංවිධානයක් කිරීමෙන් සහ ධනය යලි බෙදා හැරීම හරහා සියල්ලන් සඳහා සුරක්ෂිත කල යුතු ය.

ධනවාදී පද්ධතිය එක්සත් ජනපදයේත් ලෝක ගෝලය පුරා මත් වැඩ කරන ජනයා අසාර්ථක කර ඇත. පෞද්ගලික ලාභය සඳහා නො ව සමාජ අවශ්‍යතා සඳහා සේවය කිරීම පවතින එක ම ශක්‍ය විකල්පය වන්නේ එක්සත් ජනපදයත් ලෝක ආර්ථිකයත් පාලනය කරන බැංකු හා සංගත පොදු අයිතිය හා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතට පත් කරමින් සමාජය සමාජවාදීව ප‍්‍රතිසංවිධානය කිරීම යි.

ඊජිප්තුව, ග‍්‍රීසිය හා අන් තැන්වල දී මෙන් එක්සත් ජනපදයේ දී ද ලාභ පද්ධතියේ අර්බුදය විසින් වැඩ කරන ජනයා නව අරගල තුලට තල්ලු කරනු ලබමින් පවතී. වෝල් වීදියට විරෝධය පාන්නන් මෙන් කම්කරු පන්තිය ද මෙම අරගලවලට එලඹෙන්නේ ජයග‍්‍රහනය සඳහා අවශ්‍ය කරන දේශපාලන ක‍්‍රියා මාර්ගයෙන්, සංවිධානවලින් හා නායකත්වයෙන් තොරව ය. අවශ්‍ය කරන විප්ලවවාදී විකල්පය ගොඩ නගනු පිනිස ජාත්‍යන්තර පදනමක් මත වැඩ කරමින් සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ම පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: