සමාජවාදය හා ගෝලීය ආර්ථික අර්බුදය

Socialism and the global economic crisis

6 October 2011

1930න් පසු දරුනුම ලෝක ආර්ථික අර්බුදයේ තෙවසර අවසාන වීමත් සමග ධනේශ්වර පද්ධතිය අවපාතය තුලට ගිලා බසින අතර ලෝකය පුරා කොටස් වෙලඳපොලවල් ඇද වැටෙමින් පවතී.

2008සැප්තැම්බර් මූල්‍යමය අර්බුදෙයන් අනතුරුව, බැංකුකරුවන්ගේ හා සමපේක්ෂකයන්ගේ බොල් නය ආවරනය වෙනුවෙන් රාජ්‍ය ධනය කොල්ලකමින් ආන්ඩු මහජන මුදල් ඩොලර් ටි‍්‍රලියන ගනනක් බැංකුවලට පුද කලහ. සැබවින් ම හිටිහැටියේ, බැංකු ඇපදීම් ජාතික නයගැතිභාවය සියයට 30ක අනුපාතයකින් වැඩි කලේ ය යි ඇස්තමේන්තු කෙරේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, රටවල් ගනනාවක් දැන් බංකොලොත්භාවයට මුහුන දෙති.

2008දී "භංග වීමට විශාල වැඩියයි” සලකන ලද බැංකු හා මූල්‍ය සමාගම් වසර තුනකට පසුව කිසි දා නොවූ තරම් විශාල හා බලගතුවී ඇත. කම්කරු පන්තියට මහා විරැකියාවේ හා වැඩෙන දරිද්‍රතාවය ගෙන ආ මෙම වසරවල දී ජත්‍යන්තර ධනසම්පත්වල ඔවුන්ගේ කොටස නාටකාකාර ලෙස වැඩි වී ඇත.

මූල්‍ය ප‍්‍රභූව මුදා ගැනීමට රාජ්‍ය බංකොලොත් කිරීම වෙනුවෙන් පලමුව යුරෝපයේ ද පසුව ජාත්‍යන්තරව ද ආන්ඩු ප‍්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය නය සඳහා ගෙවීමේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා කෲර කප්පාදු ක‍්‍රියාවට නැගීමෙනි. ජනගහනයේ පලල් ස්ථරයන් බෙලහීනත්වයට ඇද දැමීමේ ප‍්‍රතිපලය වී ඇත්තේ අවපාතය ගැඹුරුවීම, බදු ආදායම් විනාශකාරී ලෙස ඇද වැටීම හා නය අර්බුදය තවදුරටත් නරක අතට හැරීම යි.

පෘතුගාලය, ස්පාඤ්ඤය හා ඉතාලිය වැනි අනෙකුත් බොහෝ රටවල් ඒ පසුපස ඇදී ඒමට දොර විවර කරමින් ග‍්‍රීසිය නය පැහර හැරීම දෙසට නැඹුරුවීම, මෙම ජාතීන්ගේ ආන්ඩුවල හා සංගතවල ඩොලර් බිලියන ගනන් අගය පෙන්වන බොල් බැඳුම්කර හිමිකරගෙන සිටින බැංකු පසුපස නැවත බැඳ දමා ඇත. ඔවුන්ගේ කොටස් මිල ගනන් හැකිලී වානිජ නය ලබා ගත නොහැකි වීමත් සමග ප‍්‍රධාන යුරෝපීය හා එක්සත් ජනපද බැංකු යලි වතාවක් ඇද වැටීම අද්දර වැනෙමින් තිබේ. මෙය, ප‍්‍රධාන බැංකු සහ යුරෝපා සංගමයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා යුරෝපීය මධ්‍යම බැංකු වල ඔවුන්ගේ හෙන්චයියන් බදුගෙවන්නන්ගේ අරමුදල් වලින් ගොඩනගන නව හා වඩාත් දැවැන්ත බැංකු ඇපදීමක් කරා යාමට පොලඹවා ඇත.

මෙය, අනෙක් අතට, ග‍්‍රීසිය හා අනෙකුත් නය පැහැර හරින රටවල පමනක් නොව යුරෝපය පුරා ද උතුරු ඇමරිකාවේ හා ආසියාවේ ද කම්කරුවන්ගේ ජීවන තත්වයන් මත තීව‍්‍ර කල ප‍්‍රහාරයක් තුලින් ගෙවිය යුතු ය.

ඒ අතර ම, ගෝලීය මූල්‍ය වෙලඳපොල ලාභ ඩොලර්වලින් උතුරායාම විපත්තිදායක ලෙස ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියට වලකපා ලෝක සංචිත හා හුවමාරු මුදල වශයෙන් ඩොලරයේ විශ්වසනීයත්වය විනාශ කර ඇත. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ සිට ලෝක විනිමය පද්ධතියේ කඩඇනය වන ඩොලරයේ තැන ගැනීමට වෙනත් මුදලක් නොමැති තත්වය තුල ජාත්‍යන්තර සහයෝගිතාව හා ආර්ථික ස්ථාවරත්වය සඳහා වන ඕනෑ ම පදනමක් ඉවත් කෙරෙන අතර 1930 ගනන්වල ලෝක වෙලඳපොල බෝල්කනීකරනය කරා ද අවසානයේ දී ලෝක යුද්ධයේ පිපිරීම කරා ද මෙහෙයවූ ආකාරයේ මූල්‍ය හා වෙලඳ යුද්ධයේ නව කාලපරිච්ඡේදයක් වෙතට නැඹුරු වෙයි.

අර්බුදය පිපිරීමෙන් අවුරුදු තුනකට පසු ලෝක ධනවාදයේ නියමුවන් විසින් නිර්මානය කර ඇති විනාශයයි මේ. බහුජාතික සම්බන්ධීකරනය පිලිබඳ ඔවුන්ගේ පිටකසාගන්නා ස්තෝත‍්‍ර හා ඊනියා "ප‍්‍රකෘතියේ” පලමු මාසය තුල ආර්ථික ජාතිකවාදයේ පෙරදිව්රුම යුරෝපය හා ඇමරිකාව අතර, යුරෝපය තුල, එක්සත් ජනපදය හා චීනය අතර කටුක දෝෂාරෝපනයන්ට හා ගැටුම්වලට මග පාදා ඇත. සැබවින් ම අනෙකා හිඟමනට පත්කිරීමේ, හැම මිනිහෙක් ම තමන් සඳහා හා පසුපස ගාටන්නන්ට ආධාර නැති පරිසරයක් කරා මග පාදා ඇත.

අර්බුදය හුදෙක් තාවකාලික හෝ විටින් විට ඇතිවන තත්වයක් නොව ධනේශ්වර පද්ධතියේ ම ඓතිහාසික අසාර්ථකත්වය හා බිඳවැටීම බව පසුගිය වසර තුනේ වාර්තා විවාදයකින් තොරව පැහදිලි කරයි. ජාත්‍යන්තර ධනේශ්වරය තුල වන එකම ඒකමතිකභාවය නම් පසුගිය සියවසේ කම්කරු පන්තිය දිනාගෙන ඇති සියලු ම සමාජ ජයග‍්‍රහන විනාශ කෙරෙන සමාජ ප‍්‍රතිවිප්ලවයක් සඳහා අර්බුදය ප‍්‍රයෝජනය ගැනීම යි. ග‍්‍රීසියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැසොක් පාලනය, ස්පාඤ්ඤයේ සමාජවාදී පක්ෂ ආන්ඩුව හා එක්සත් ජනපදයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ආන්ඩුව වැනි නාමික "වාම” හෝ "ලිබරල්” ආන්ඩු මෙන් ම ජර්මනියේ, ප‍්‍රන්සයේ, ඉතාලියේ හා බි‍්‍රතාන්‍යයේ දක්ෂිනාංශික ධනේශ්වර වේවා සෑම ආන්ඩුවක ම ප‍්‍රතිපත්තිය මෙය යි.

මෙම සන්තතියේ ආදර්ශය නම් ග‍්‍රීසිය ක‍්‍රමානුකූලව කොල්ල කෑම යි. ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ, ලිබියාවේ සහ කොහේ හරි, අධිරාජ්‍යවාදී මිලිටරි යාන්ත‍්‍රනයන් පාව්ච්චි කරන මාරාන්තික "තිගැස්මේ හා විශ්මයේ” ක‍්‍රමවේදයට සමාන ම්ලේච්ඡත්වයකින් යුක්තව ජාත්‍යන්තර ධනේශ්වරය ග‍්‍රීක මහජනායාට එරෙහිව එක වටයකට පසු තව වටයක් වශයෙන් විනාශකාරී කප්පාදු පියවරයන් පටවමින් සිටී. කෙසේ නමුත්, මෙම කාරනයේ දී, එල්ලය, ජාතියේ යටිතල පහසුකම් භෞතිකව විනාශ කිරීම නොව එය පුද්ගලීකරනයට හා පහල මිලකට ජාත්‍යන්තර බැංකු හා සංගතවලට පවරා දීමට බල කිරීම ය.

සතියකට පමන පෙර යුරෝපීය කොමිසම - ජාමූඅ හා යුරෝපීය මහ බැංකුව යන ග‍්‍රීසියට ඇපදීමේ අරමුදල් මුදාහැරීම බාරව සිටින "ත‍්‍රිත්වය” ඊලඟ මුදල් වාරිකය ලබාගැනීමේ පූර්ව කොන්දේසියක් ලෙස පෙර නොවූ විරූ ආකාරයේ සිවිල් සේවා රැකියා කප්පාදුවක් ග‍්‍රීසියට නියම කලේය. එම වාරිකය නොලැබුනහොත් ග‍්‍රීසිය නය ආපසු ගෙවීමේ වගකීම වහාම පැහැර හරිනු ඇත. අගමැති ජෝර්ජ් පැපැන්ද්‍රියෝගේ ආන්ඩුව කම්කරුවන් 30,000ක් නෙරපන බව කීකරු ලෙස නිවේදනය කලේය. යුරෝපීය සංගමයේ මුදල් ඇමතිවරු තවමත් අරමුදල් මුදාහැරීම ප‍්‍රතික්ෂේප කරන අතර "ත‍්‍රිමුර්තිය” රටේ ජාතික වැටුප් ගිවිසුම හා අවම වැටුප් කැපීම ද රාජ්‍ය දේපල පුද්ගලීකරනය පිනිස ඉක්මන් පියවර ගැනීම ද ඇතුලු නව නිර්දේශ ගොනු කරමින් සිටියි.

"අලුත් නය නොමැති වුවහොත් ඇතන්ස් පාලනයට වැටුප් හෝ විශ‍්‍රාම වැටුප් ගෙවීම් අත්හිටුවීමට සිදුවෙයි. ඛේදවාචකයක් නමුත් එය අනෙකුත් රටවල් පහතට ඇද වට්ටන්නේ නැත” යනුවෙන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත 05දා රුදුරු ලෙස සඳහන් කල කතුවැකියෙන් මෙම ආයතන ක‍්‍රියාත්මක වන නිර්දය ස්වභාවය කැටිකර දැක්වීය.

ග‍්‍රීක කම්කරුවන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරය පොට වරද්දා ගැනීමක් නොවේ. එය ලෝකය පුරාම ඇතිවිය හැකි තත්වය පිලිබඳ මොඩලයකි. මෙම පිලිවෙත ක‍්‍රියාවට නැඟීම ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය කප්පාදු කිරීම සමඟ බැඳී ඇත. මිලිටරිවාදයේ වැඩීමත් සමග සමාජ ප‍්‍රතිවිප්ලවය මර්දනයේ පොලිස් රාජ්‍ය රූපාකාරයන් කරා මාරුවීමක් සිදු කරයි.

පසමිතුරු ජාතික රාජ්‍ය පද්ධතිය මත පදනම්වූ ලාභ සූරාකෑමේ ක‍්‍රමය හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ ධනේශ්වර පෞද්ගලික අයිතියේ ආකෘතිය තුල ම්ලේච්ඡත්වය කරා වන මෙම පල්ලම් බැසීමෙන් ගැලවීමේ මාවතක් කම්කරු පන්තියට ඇත්තේ නැත. ලෝකය පුරා පාලක පන්තීන් හා ඔවුන්ගේ සුවච කීකරු ආන්ඩු පසුගිය තෙවසර තිස්සේම මෙය ඒකාන්ත වශයෙන් පෙන්නුම් කර ඇත.

ලෝක ජනතාවට ඇති එකම පිලිතුර මිනිසා විසින් සංවර්ධනය කර ඇති සම්පත් ලාභය සඳහා නොව සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජ සමානාත්මතාවයේ- අව්‍යාජ ගෝලීය සහයෝගයේ පදනම මත ආර්ථික ජීවිතය අති මූලික ලෙස ප‍්‍රතිනිර්මානය කිරීම ය. සමාජ අවශ්‍යතා සපුරාලීමට "මුදල් නැත” යන ප‍්‍රකාශ අමූලික මුසාවන් ය. ධනවතුන්ට හා සුපිරි ධනවතුන්ට මෙතරම් හොඳ කාලයක් තිබී නැත. ගැටලුව නම් සිය ධනසම්පත් තරකර ගැනීමට ලෝක ආර්ථිකය කොල්ල කන තරයේම පරපුටු හා විනාශකාරී ධනේශ්වර පැලැන්තියේ පාලනයයි.

අර්බුදය විසින් ඉහත කී අරමුනු මුදුන්පමුනුවා ගැනීමේ කොන්දේසි නිර්මානය කර ඇත. දැනටමත් ටියුනීසියාවේ හා ඊජිප්තුවේ විප්ලවකාරී මහජන නැඟිටීම් ඇතිව තිබේ. කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය යුරෝපයේ, එක්සත් ජනපදයේ මෙන්ම ආසියාවේත් වැඩී යමින් තිබේ. දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතර ධනේශ්වර පද්ධතිය අසාර්ථක වී ඇති බවට හා එය තවත් දෙයකින් විස්ථාපනය කල යුතුය යන වැඩෙන මනෝභාවයක් ඇත.

තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ කම්කරු පන්තියට බලය ගත හැකි ආකාරයේ අතිශයින්ම විද්‍යාත්මකව වර්ධනය කරන ලද ජාත්‍යන්තර විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයකින් හා මූලෝපායකින් නැඟී එන මහජන අරගල සන්නද්ධ කරන නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැඟීමයි. සමාජවාදී සමානතා පක්ෂ හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක්ම ධනේශ්වරයේ සියලු කොටස් වලින් දේශපාලනිකව ස්වාධීන වීමේ මූලධර්ම ද සියලු ආකාරයේ ජාතිකවාදී වර්ගවාදී හා ජාත්‍යෝත්තමවාදී රූපාකාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ද මත පදනම්ව මෙම නායකත්වය ගොඩනැඟීමට සටන් වදියි.

කම්කරු පන්තියට එල්ල කෙරෙන ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රහාරයට එරෙහිව වැඩකරන ජනතාව එක්සත් කිරීමේ හා බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවය වටහා ගන්නා සියල්ලෝම සසප හා ජාත්‍යන්තර කමිටුවට එක්ව ඒවා ගොඩනැඟීමේ තීරනය ගත යුත්තාහ.

ස්ටෙෆන් ස්ටෙයින්බර්ග් හා බැරී ගේ‍්‍ර

Share this article: