"වෝල් වීදිය වාඩි ලා ගනු” විරෝධතාව සහ ඩිමොක‍්‍රැටික් පක්ෂය

Occupy Wall Street and the Democratic Party

8 October 2011

"වෝල් වීදිය වාඩි ලා ගනු” විරෝධතාව සිව් වන සතියට එලඹෙද්දී, එය වඩ වඩා තීරනාත්මක දේශපාලන පීඩනයන්ටත් විකල්පවලටත් මුහුන පා සිටී. ඒවායෙහි හරි මැද පවත්නේ ඩිමොක‍්‍රැටික් පක්ෂය පිලිබඳ ප‍්‍රශ්නය යි.

විරෝධතාකරුවන් වෙත සහානුකම්පාව පල කිරීමේ අටියෙන්, ජනාධිපති බැරැක් ඔබාමා සහ උපජනාධිපති ජෝ බිඩෙන් යන දෙදෙනා ම අඟහරුවාදා ප‍්‍රකාශ නිකුත් කලහ. ධවල මන්දිර පුවත්පත් සාකච්ඡාවක දී ඔබාමා ප‍්‍රකාශ කලේ, ඔවුන් "ප‍්‍රකාශයට පත් කරමින් සිටින්නේ, අපගේ මූල්‍ය පද්ධතිය ක‍්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් පවත්නා, වඩා පුලුල් පදනමක් සහිත අපේක්ෂා භංගත්වයක්” බව යි. ඔහු ඇප දී බැංකු බේරා ගැනීමේ විපතට පත් වත්කම් සහන වැඩ සටහනට (ටීඒආර්පී) තමන් දෙන සහාය ආරක්ෂා කලේ, සැබවින් ම ඒ හුස්මට ම ය.

විරෝධතාවලට "ටී පාටිය සමග බොහෝ පොදු දේවල්” තිබෙන බව, වොෂින්ටනයෙහි පැවති සංවාද මන්ඩපයක දී බිඩෙන් තරයේ කියා සිටියේ ය. "ටී පාටිය පටන් ගත්තා. ඇයි? ටීඒආර්පීය හින්දා. ඒ ගොල්ලෝ හිතුවා ඒක අසාධාරන යි කියලා,” ඔහු තව දුරටත් පැවසී ය.

ටී පාටිය පිලිබඳව බිඩෙන් කල සඳහන, කිසි සේත් ම නොසැලකිලිමත්කම නිසා කෙරුනක් නො වී ය. ඩිමොක‍්‍රැටික් මූලෝපායඥයන් සහ ඩිමොක‍්‍රැටිකයන් වටා රොක් වී සිටින පුවත්පත් තීරු ලිපිකාරයන් කල ප‍්‍රකාශ ගනනාවකින්, සිය අරමුනු උදෙසා විරෝධතා ගසා කෑමේ අභිරුචියක් පක්ෂය තුල ඇතැයි කියැවෙන අතරවාරයේ, රිපබ්ලිකානුවන් ටී පාටිය ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ ද ඒ ආකාරයෙන් ම ය.

ජනතාවාදී යැයි කියා ගන්නා දක්ෂිනාංශික ටී පාටිය වූකලි, ෆොක්ස් නිව්ස් සහ අවශේෂ මාධ්‍යවලින් පුම්බන ලදුව ප‍්‍රධාන කොට ම රිපබ්ලිකන් පක්ෂයෙන් නිර්මානය කෙරුනකි. එහෙත්, ඔබාමා පාලනාධිකාරය වෝල් වීදි හිතැති ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දමන තතු තුල, ඇප දී බැංකු බේරා ගැනීමට සහ පිරිහෙන ආර්ථික සහ සමාජ කොන්දේසිවලට එරෙහිව මහජන කෝපය අවුලුවා, අතිශය ප‍්‍රතිගාමී අරමුනු උදෙසා ඒවා ගසා කෑමට තමන් සමත් බව එය ඔප්පු කලේ ය.

වෝල් වීදියෙහි ඇරඹී දැන් එක්සත් ජනපදය පුරා පැතිර තිබෙන විරෝධතාවට පවත්නේ, සංගතවලින් අරමුදල් සැපයී මාධ්‍යයෙන් පිම්බුනු ටී පාටියට වඩා අතිශයින් වෙනස් මූලයකි. එය වනාහි අතිමහත් මහජන අතෘප්තියේ අව්‍යාජ ප‍්‍රකාශනයකි. එය නිවැරදිව බැංකුකරුවන් සහ සමපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් සිටින්නේ ය යන කරුනෙන් පිලිබිඹු වන්නේ, අධිරාජ්‍ය විරෝධී හැඟීමක් වර්ධනය වී ඒම යි.

මෙය එක්සත් ජනපද සංගත සහ දේශපාලන සංස්ථාපිතය තුල වැඩෙන සන්ත‍්‍රාසයක් උපදවා ඇත. ඩිමොක‍්‍රැටිකයන්ගේ එල්ලය වන්නේ, මෙම ව්‍යාපාරය දේශපාලනිකව බෙලහීන කොට, එය කෙසේ හෝ ඔබාමා පාලනාධිකාරයේ ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්ති පසුපස පෙල ගැස්වීම යි. ඔවුන්ට වුවමනා කරන්නේ, මහජන කෝපය වාෂ්ප කර හරින උපද්‍රව රහිත ආරක්ෂක කපාටයක් බවට හරවා ගෙන, ඒ ගමන් ම ඩිමොක‍්‍රැටිකයන්ගේ පදනම "ශක්තිමත් කර ගැනීම” සඳහා එය යොදා ගැනීමට යි.

නිව් යෝක් ටයිම්ස් පුවත්පත සිකුරාදා වාර්තා කල පරිදි, "වේගයෙන් පැතිර යන විරෝධතාවන් දකුනෙහි ටී පාටියේ නැගීම ප‍්‍රතිතුලනය කරමින් වමෙහි ජනතාවාදී ව්‍යාපාරයක් ආරම්භ වීමක් විය හැකි යැයි ඇතැම් ඩිමොක‍්‍රැටික් විශ්ලේෂකයන් පවසනු අසන්නට ලැබීම, ඇතැම් ඩිමොක‍්‍රැටිකයන් තුල පවතින බිය ‘උද්‍යෝගයේ හිඩැසක්’ නිසා ඇති වන්නක් ය යන අදහසට සමීප ය.”

බදාදා නිව් යෝකයේ ෆෝලේ චතුරස‍්‍රයෙහි පැවති මහජන විරෝධතාවේ ඉදිරි පෙලෙහි ගමන් කල වෘත්තීය සමිති නායකයෝ, හිඩැස පිරවීමේ මෙම අභිප‍්‍රාය පැහැදිලිව පෙන්නුම් කලහ. ඔවුන්ගේ හිස් වාගාලාප සහ විඩාපත් සටන් පාඨ, ඒ අවස්ථාවට පැමින සිටි ඩිමොක‍්‍රැටික් පක්ෂ නිලධාරීන් කල නිවේදන සමග මුසුව වෙනසකට ලක් විය. වෝල් වීදි විරෝධතාකරුවන් ඔබාමා යලි තෝරා පත් කර ගැනීමේ පරිශ‍්‍රමය පසුපස පෙල ගැසිය යුතු යැයි, සමිති නිලධාරීන්ගෙන් එකෙකු වූ ටීඩබ්ලිව්යූ ශාඛා අංක 100 සභාපති ජෝන් සැමුවෙල්සන් තරයේ කියා සිටියේ ය.

මේ අතර ඩිමොක‍්‍රැටික් විශිෂ්ටයන් පිරිසක්, සකොටි උද්‍යානයේ පිහිටා තිබෙන විරෝධතාකරුවන්ගේ කඳවුරට ගොඩ වැදී ඇත, නොහොත් විරෝධතාවට සහාය පල කරමින් ප‍්‍රකාශ නිකුත් කර ඇත.

ඔවුන් අතර කැපී පෙනුනේ කොන්ග‍්‍රස් සභා නියෝජිත චාල්ස් රැන්ගල් ය. මෙම සතියෙහි ප‍්‍රකාශයක් නිකුත් කල ඔහු, "ඇමරිකානු මහජනතාව ඇති තරම් දුක් පීඩාවන් විඳ තිබෙනවා. ඔවුන් කෝපයෙන් උමතු වෙලා. මා ඊට එකඟ යි.”

හාලෙම්හි මිලියනපති කොන්ග‍්‍රස් සභිකයා "කෝපයෙන් උමතුව” සිටිනු විය හැකි මුත්, වෝල් වීදියෙන් මුදල් කන්දරා ගොඩ ගසා ගැනීම නතර කිරීමට තරම් ඔහු කෝපයට පත්ව නැත. මෙම වසරේ ඔහුගේ මැතිවරන ව්‍යාපාරයේ වියදම්වලින්, එ.ජ. ඩොලර් 69,000කට ආසන්න වැඩි පංගුවක් වැය කෙරුනේ මූල්‍ය අංශයෙනි. එය මනා ලෙස වියදම් කල මුදලකැයි කී රැන්ගල්, අනතුරුව පාර්ලිමේන්තු ආදායම් උපාය මාර්ග කමිටුවේ සභාපතිවරයා බවට පත්ව ඇප දී වෝල් වීදිය බේරා ගැනීමේ ප‍්‍රධාන සහායකයෙකු ලෙස මතු විය.

සිකුරාදා නිව් යෝක් ටයිම්ස් පුවත්පතෙහි පෝල් කෘග්මාන් ලියූ තීරු ලිපියකින් ඩිමොක‍්‍රැටිකයන්ගේ අරමුනු තව දුරටත් විස්තර විය. වෘත්තීය සමිති සහ ඩිමොක‍්‍රැටික් නිලධාරීන්ගෙන් සැපයෙන සහායක ඉඟි උපුටා දක්වමින් කෘග්මාන් මෙසේ ලීවේ ය: "‘වෝල් වීදිය වාඩි ලා ගනු’ විරෝධතාව වැදගත් සිදුවීමක් හැටියට පෙනී යාමට පටන් ගෙන ඇත. අවසානයේ දී එය සන්ධිස්ථානයක් ලෙස පවා පෙනී යා හැකි ය.”

කුමක සන්ධිස්ථානයක් ද? බැරැක් ඔබාමාගේ දෙවන නිල කාලයෙහි සන්ධිස්ථානයක් ලෙස බව නිසැක ය.

"ඩිමොක‍්‍රැටිකයන්ට දෙවන අවස්ථාවකට සමාන දෙයක් ලැබෙමින් පවතින්නේ යැ”යි කෘග්මාන් ලිවී ය. "බැංකුකරුවන්ට හිතැති ප‍්‍රතිපත්තියක් යොදා ගැනීමෙන්, වටිනා ප‍්‍රතිඵලයක් ලබන්නට තිබූ විශාල ශක්තියක් ඔබාමා පාලනාධිකාරය මුල දී නාස්ති කර ගත්තේ ය. ජනාධිපතිවරයාට සහාය පල කිරීමෙන් බැංකුකරුවන් තමන් ලද අනුග‍්‍රහය ආපසු ගෙවා තිබිය දීත්, ආර්ථිකය ප‍්‍රකෘතිමත් කිරීමට එම ප‍්‍රතිපත්තිය අසමත් විය. කෙසේ වෙතත්, දැන් ඔබාමා මහතාගේ පක්ෂයට යලි සකස් කිරීමකට අවස්ථාවක් ලැබී ඇත. එය කල යුතු එක ම දෙය නම්, නිසි බැරෑරුම් බවින් මෙම විරෝධතා සැලකිල්ලට ගැනීම යි.”

ඔබාමා "යලි සකස් කල” යුත්තේ, හරියට ම කුමක් ද? අයවැය හිඟය අඩු කිරීමේ ඩොලර් ටි‍්‍රලියන 4ක වැඩ සටහන හරහා දෙවන නිල කාලය සඳහා වන න්‍යාය පත‍්‍රය දැනට මත් සැකසී ඇත. මෙඩිකෙයාර්, මෙඩිකේඩ් සහ සමාජ සුරක්ෂිතතාව වැනි ප‍්‍රධාන සමාජ වැඩ සටහන් විනාශකාරී අයුරින් කප්පාදු කිරීම, වාර්තාගත විරැකියාව මට්ටම දිගින් දිගට ම පැවතී ගෙන යාම සහ කම්කරු පන්තියේ මූර්ත වැටුප් තවත් පහලට ක්ෂය කර දැමීම බවට එම න්‍යාය පත‍්‍රය පරිවර්තනය වනු ඇත.

ඩිමොක‍්‍රැටිකයන්ට සැබවින් ම "යලි සකස් කිරීමට” වුවමනා කරන්නේ තමන් 2008 දී ලබා ගත් මැතිවරන ජයග‍්‍රහනය යි. බැංකුවල, සංගතවල සහ සුපිරි පොහොසතුන්ගේ අවශ්‍යතා ඔසවා තබන ප‍්‍රතිපත්ති වසං කිරීමට ජනතාවාදී වාගාලාප යොදා ගෙන එම ජයග‍්‍රහනය යලි සකස් කිරීමට යි. වෝල් වීදි විරෝධතා ප‍්‍රයෝජනවත් විය හැකි යැයි ඔවුන් දකින්නේ මෙතැන දී ය. තමන්ට මොන යම් හෝ ආකාරයකින් මෙම කොන්දේසිවලට එරෙහි ජනතාවාදී විරෝධය සමග අනන්‍ය වී ගත හැකි නම්, ඔබාමා පාලනාධිකාරයේ සැබෑ වාර්තාව වසං කිරීමට ඔවුහු අපේක්ෂා කරති.

ඩිමොක‍්‍රැටික් පක්ෂය යම් ආකාරයක "අඩු නපුරක්” ය, රිපබ්ලිකානුවන්ට සහ වෝල් වීදියට එරෙහිව සටන් කිරීම සඳහා යොදා ගත හැකි මෙවලමක් ය යන මිථ්‍යාවට නව ජීවයක් දීමට ඔවුහු වලි කති. වෘත්තීය සමිතිවල සහ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි ජනතාවාදී යැයි කියා ගන්නා වාම කන්ඩායම්වල සහාය ඇතිව ඔවුන් කැස කවමින් සිටින්නේ වෝල් වීදි විරෝධතාව තුල ම මෙම ප්‍රෝඩාව ප‍්‍රවර්ධනය කිරීමට ය.

සැබවින් ම, ඩිමොක‍්‍රැටික් පක්ෂය යනු ද වෝල් වීදියේ පක්ෂයකි. අතීතයේ දී ඔබාමාගේ මැතිවරන ව්‍යාපාරය සඳහා විශාලතම මුදල් කන්දරාව ලැබුනේ වෝල් වීදියෙන් වීම ද, වඩා තීරනාත්මකව කිව හොත්, තේරී පත් වුනු තැන් සිට ඔහු අනුගමනය කල ප‍්‍රතිපත්ති ද මීට සාක්ෂි දරයි.

ඓතිහාසිකව ගත් කල, ඩිමොක‍්‍රැටික් පක්ෂය ක‍්‍රියා කර ඇත්තේ එක්සත් ජනපදය තුල කම්කරු පන්තික සමාජ අරගලවල සොහොන් බිම ලෙස ය. 19 වන සියවස අග ජනතාවාදී ව්‍යාපාරයේ පටන් 1930 ගනන්වල කාර්මික සමිති ව්‍යාපාරය හෝ 1960 ගනන්වල සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර සහ යුද විරෝධී ව්‍යාපාර දක්වා ආ පස්සට ගොස් බැලුව ද, එය ක‍්‍රියා කර තිබෙන්නේ එලෙස ය. ඒ සියල්ල ම ඩිමොක‍්‍රැටික් පක්ෂය තුලට යොමු කර, මූල්‍ය ප‍්‍රභූවට උපද්‍රව රහිත තත්ත්වයට පත් කලා පමනක් නො ව, ධනපති පාලනය උදෙසා අලුත් මුක්කුවක් බවට ද පත් කලේ ය.

ඉරාකයෙහි යුද්ධයට එරෙහි මහජන විරෝධතාවලට අත් වූයේ ද එම අනිවාර්ය ඉරනම ම ය. ඡන්ද දින දර්ශනය අනුව පාලනය වන, ඔබාමා ධවල මන්දිරයට පිවිසි විට හිංසාවට ලක් වන විරෝධතා බවට ඒවා පත් විය.

වෝල් වීදියට එරෙහිව විරෝධතා දක්වන්නන් එම ඉරනම මග හැරීමට නම්, "අඩු නපුර” පිලිබඳ ප්‍රෝඩාව ප‍්‍රතික්ෂේප කරමින් ද, මහ ව්‍යාපාරිකයන්ගේ පක්ෂ දෙකට සහ ඔවුන් ආරක්ෂා කරන ලාභ ක‍්‍රමයට විරුද්ධව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට සටන් වදිමින් ද වැඩ පටන් ගත යුතු ය.

සමාජ අසමානතාවට අවසන් තිත තැබිය හැක්කේත්, ඉහල ම සියයට එක තවත් පොහොසත් කිරීම සඳහා නො ව සමාජයේ බහුතරයේ අවශ්‍යතා සැපිරීම සඳහා ආර්ථික ජීවිතය ප‍්‍රතිසංවිධානය කල හැක්කේත්, මහජන සමාජවාදී ව්‍යාපාරයක් තුල බලමුලු ගැන්වෙන කම්කරු පන්තියට පමනකි.

ධනවාදය අසාර්ථක වී ඇත. දැන් දැවෙන අවශ්‍යතාව වන්නේ, සමාජවාදය සඳහා වන ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තික විප්ලවවාදී අරගලය සූදානම් කිරීම යි. වෝල් වීදියට එරෙහිව සටන් වැදීමට වුවමනා කරන සියල්ලන්ගෙන් අපි මෙසේ ඉල්ලමු: සමාජවාදී සමානතා පක්ෂයට බැඳී, එය ගොඩ නගන්න.

බිල් වෑන් ඕකන්

Share this article: