වොෂින්ටනය හා ඉරානය: ප‍්‍රකෝපකරනයේ සාහසික පිලිවෙත

Washington and Iran: The reckless policy of provocation

14 October 2011

13දා පැවති ධවල මන්දිර මාධ්‍ය සමුලුවක දී ජනාධිපති බරක් ඔබාමා එක්සත් ජනපද සවුදි තානාපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රන චෝදනාවක් මත තම පරිපාලනය ඉරානයට "පාඩමක් උගන්වන” වන බව කියා සිටියේ ය. ඔහු එය විස්තර කලේ "ඉරාන ආන්ඩුවේ අන්තරායකාරී හා සාහසික හැසිරීමේ රටාවක කොටසක්” ලෙස ය. එම ප‍්‍රකාශයෙහිම ඔබාමා ඔහුගේ පාලනය "ඉරානය සමග කටයුතු කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් කිසිදු විකල්පයක් පසෙකින් තබනු නැති” බව අවධාරනය කලේය. මෙම වැකිය සාර්වති‍්‍රකව වටහාගෙන ඇත්තේ එක්සත් ජනපදයේ මිලිටරි ආක‍්‍රමනයේ තර්ජනයක් ලෙස ය. මෙම ප‍්‍රකාශයන්ගෙන් සලකුනු කල පරිදි ඉරානය සමග ආතතීන් උත්සන්න කිරීම සඳහා පිලිතුරු වලට වඩා බෙහෝ සෙයින් ප‍්‍රශ්න මතු කරන මෙම විශ්මයජනක සිදුවීම ප‍්‍රයෝජනයට ගැනීමේ වොෂින්ටන්හි තීරනය යොමුව ඇත්තේ යුද්ධයේ තර්ජනය පිලිබද කඩුව ලෙලවන තැනටය.

එක්සත් ජනපද තානාපති ඝාතනය කිරීම පිලිබඳ මෙම ගොතන ලද ඉරානයේ "ත‍්‍රස්තවාදී කුමන්ත‍්‍රනයේ” සුලමුල පිලිබඳ තොරතුරු මතුවී ඒමත් සමග වඩාත් පැහැදිලි වන්නේ ඇමරිකානු රාජ්‍ය යාන්ත‍්‍රනයේ කොටස් එක්සත් ජනපද ආක‍්‍රමනය පුලුල් කිරීමේ කඩතුරාවක් නිර්මානය කිරීම පිනිස ඉරානයට චෝදනා නගන බවයි.

වේගයෙන් ගැහෙන සීඑන්එන් හා ෆොක්ස් නිව්ස් මාධ්‍ය ජාලයන්හි නොවැලැක්විය හැකි හඬ හැරෙන්නට මාධ්‍ය පවා ධවල මන්දිරයේ හා එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුවේ චෝදනා කෙරෙහි පලකරන්නේ සැක සහිත දෘෂ්ටියකි. නිදසුනක් ලෙස ෆිනෑන්ෂල් ටයිම්ස් කතුවැකියක මෙසේ සදහන් විය. "කෙසේ වෙතත් මෙම කුමන්ත‍්‍රනයට ඉරාන රජයේ පිටුබලය ලැබුනු බවක් කොහෙත්ම විශ්වාස කල නොහැකිය. සැබවින්ම එසේ කලා යයි කරන ප‍්‍රකාශ සැක කිරීමට හේතු බොහෝය” කෙලින්ම කිවහොත් ඒ පිලිබඳ කිසිවක් ඒත්තු නොයන සුලුය.

පරිපාලනයට තම චෝදනාවන්හි නොමනා ස්වභාවය සඳහන් කිරීමට බලකෙරී ඇත. එෆ්බීඅයි අධ්‍යක්ෂ රොබට් මුලර් කීවේ, අධිකරන දෙපාර්තමේන්තුවේ චෝදනාව "කියවෙන්නේ හොලිවුඩ් චිත‍්‍රපට අත්පිටපතක පිටු ලෙසින්” බවය. සිද්ධියේ අනුමාන කරන සම්බන්ධකම් ගැන රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සඳහන් කලේ ඉරාන බුද්ධි අංශය මෙක්සිකානු මත්ද්‍රව්‍ය සංවිධානයක් වන ලොස් සෙටාස් වෙතින් කුලී ඝාතනය බාරගන්නා ලෙසට කලා යයි කියන ඉල්ලීම පිලිබඳව දැන ගත්තේ මත්ද්‍රව්‍ය නාශක ආයතනයේ ඔත්තුකරුවෙකුගෙන් බවයි "කිසිවෙකුටත් ඒ ඔස්සේ යා නොහැකිය. හරි ද” ඇය වාචාල ලෙස විමසුවාය.

ඇත්ත වශයෙන්ම නම් ඔවුන්ට එසේ කල හැකිය; එසේ කර තිබේ. මුදල් ලබන එෆ්බීඅයි ඔත්තුකරුවෝ ත‍්‍රස්තවාදීන් ලෙස පෙනී සිටිමින් මියාමිහි ඊනියා ලිබර්ටි සිටි සෙවන් සංකීර්නය තුල කොටුවී චිකාගෝහි සියර්ස් ටවර් ගොඩනැගිලි පුපුරවා හැරීමේ ගොතන ලද කුමන්ත‍්‍රනයක් මෙහෙවූහ. නිපුන ප‍්‍රකෝපකාරී එෆ්බීඅයි ඒජන්තයෙකු විශාල මුදල් ප‍්‍රමානයක් ගෙවා නිව් යෝර්ක් ප‍්‍රදේශයේ යුදෙව් භක්තික සම්මුති ශාලාවක් තුල පුපුරන ද්‍රව්‍ය සැඟවීමේ කුමන්ත‍්‍රනයක යෙදුනු බව පෙන්වීමට තරුන අපි‍්‍රකානු-ඇමරිකානුවන් සිව්දෙනෙකු කොටුකර තැබූ නිව්බර්ග් සිව්දෙනාගේ සිද්ධිය ද තිබේ. ප්‍රෝඩාකාරී "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කොටසක් ලෙස ඒවා ආන්ඩුවේ ඒජන්තයින් විසින් නිර්මානය කිරීම හැරෙන්නට දුසිම් ගනනක් වන එවන් සිදුවීම් මෙන්ම මෙම කුමන්ත‍්‍රන ද කිසිවිටෙකත් සැබෑ තර්ජනයක් එල්ල නොකල හා කිසිවිටෙකත් නොපැවති ඒවාය.

සවුදි තානාපති ඝාතනය කිරීම පිලිබඳ මෙම ගොතන ලද කුමන්ත‍්‍රනයේ "සැලසුම්කරුවා” යයි කියනු ලබන්නේ බංකොලොත්වූ පරන කාර් වෙලෙන්දෙකු වන ඉරාන-ඇමරිකානු මන්සූර් ආබබ්සියාර්ය. කලින් ඔහු ව්‍යාජ චෙක්පත් ගනුදෙනු සම්බන්ධයෙන් සිරගතව සිටි අයෙකි. ඔහුගේ පාසැල් මිතුරන් ඔහු සිහිපත් කරන්නේ ඉරාන පාලන තන්ත‍්‍රයට සතුරුකම් පෑ අයෙක් ලෙසය. බොහෝ විචාරකයින් ලෝකයේ වඩාත්ම නිපුන රහසිගත සංවිධානයක් යයි සලකන ඉරානයේ කුඩ්ස් බලඇනිය ඇමරිකානු භූමිය තුල තමන්ගේ පලමු කි‍්‍රයාව සඳහා එවන් පුද්ගලයෙකු කෙරෙහි විශ්වාසය තැබුවේය යන්න බැලූ බැල්මටම තකතිරු මුසාවකි.

මෙම අභව්‍ය සිදුවීම් මාලාව පිලිබඳ වඩාත් පිලිගත හැකි පැහැදිලි කිරීම නම් ආබාබ්සියාර් මහතා එක්සත් ජනපද ඒජන්තයින් ඇටවූ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක පැටලීමෙන් පසුව ඔවුන් ඉරානයට ත‍්‍රස්තවාදී චෝදනා නැගීමට එක්සත් ජනපදය ගෙතූ කතාවේ කඩඇනය බවට ඔහු පත්කරගෙන ඇතැයි යන්නය.

ජනාධිපති ඔබාමාගේ සිට පහලට එක්සත් ජනපද නිලධාරීහු ඉරාන තන්ත‍්‍රය "සාහසික” බවට හංවඩු ගැසීමට එක්ව සිටින්නේ මෙම "හොලිවුඩ් තිර රචනයේ” අභව්‍ය ස්වභාවය නිසා ම ය.

2008 ඔබාමාගේ රිපබ්ලිකානු ප‍්‍රතිවාදියා වූ සෙනේට් සභික ජෝන් මැකේන් 13දා අවධාරනය කලේ කියනු ලබන මෙම කුමන්ත‍්‍රනයේ "විසුලු සහගත මෝඩ” ස්වභාවය පෙන්නුම් කරන්නේ ඉරානය කෙතරම් "සාහසික” ද යන්න හා එය න්‍යෂ්ටික අවි අත්කරගතහොත් ඇතිවිය හැකි "සැබෑම බැරෑරුම් ගැටලුව” කවරක් වන්නේ ද යන්නයි.

"සාහසික” යන වොෂින්ටනයේ අර්ථ කථනය එක්සත් ජනපද අවශ්‍යතාවන්ට හරහට සිටින කුමන හෝ ක‍්‍රියාවක නිරතවන වෙනත් ආන්ඩුවක් නම් කිරීමට හා එය එක්සත් ජනපද ආක‍්‍රමනකාරිත්වයේ ඉලක්කයක් වීමේ හැකියාව පෙන්නුම් කරයි. ඉරානයේ අසල්වැසි ඉරාකය හා ඇෆ්ගනිස්ථානය වාඩිලාගෙන සිටින හා එක්සත් ජනපද මිලිටරි කඳවුරු වලල්ලකින් ඉරානය වටලාගෙන සිටින ග‍්‍රහලෝකයේ ඇති බලගතුම අධිරාජ්‍යවාදී රට වන එක්සත් ජනපදය සමග දශකයකට වැඩි කාලයක් තිස්සේ ඉරානය බල අරගලයක නිමග්නව සිටියි. එරට ඇමරිකානු අනට අකීකරු වීම හැරෙන්නට එහි හැසිරීම "සාහසික” යයි විස්තර කරන්නේ කෙලෙස ද?

මෙම ප‍්‍රශ්නයේදී "සාහසික” යන වචනය යොදාගන්නේ නම් එය ගැලපෙන්නේ එක්සත් ජනපදයේම ප‍්‍රතිපත්ති ගැන සඳහන් කිරීමට ය. යලි වතාවක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය ගෝලීය අවශ්‍යතා පෙරට ගෙනයාමේ දී මිලිටරි ප‍්‍රචන්ඩත්වයේ තර්ජන හා ප‍්‍රකෝප කිරීම් සහිත මාවත් යොදාගැනීමට උත්සාහ කරයි. ගොතන ලද "ත‍්‍රස්තවාදී කුමන්ත‍්‍රනය” හුදෙකලා සිද්ධියක් නොවේ.

ඉරානය "ජාත්‍යන්තර හැසිරීමේ පිලිගත් සම්මතයන්ට” පිටින් කටයුතු කරන බවට 13දා සිය මාධ්‍ය සමුලුවේදී ඔබාමා කෝපයෙන් සඳහන් කලේය. එහෙත් තමන්ට තර්ජනයක් විය හැකි යයි සිතන ඕනෑම කෙනෙක් තමන්ගේ ම පුරවැසියන් පවා- ඝාතනය කිරීමේ "අයිතිය” වෙනුවෙන් පෙනී සිටින එකම රට එක්සත් ජනපදය ම ය. ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංගනය කිරීමක් වන ප‍්‍රිඩේටර් ඩ්‍රෝන් ප‍්‍රහාර එල්ල කරමින් මරාදැමිය යුතු අයගේ "මරන වරෙන්තු” පිලියෙල කිරීම පිනිස එක්සත් ජනපදය ජාතික ආරක්ෂක කවුන්සිලයේ රහසිගත අනු කමිටුවක් පවා පිහිටුවා ඇත.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ප‍්‍රමුඛ විද්‍යාඥයින් ගනනාවක් ඝාතනය කිරීම මෙන්ම සීඅයිඒ පිටුබලය ලබන සන්නද්ධ කන්ඩායම් විසින් එල්ල කල මාරාන්තික ත‍්‍රස්ත ප‍්‍රහාර ද ඇතුලු මේ වර්ගයේ ක‍්‍රියාන්විතයන්හි ගොදුරක් බවට ඉරානය පත්ව සිටියි. 2008දී කොන්ග‍්‍රසය විසින් අනුමත කල ඩොලර් මිලියන 400ක අරමුදලක් ද ඇතිව ඉරානයට එරෙහිව ජනාධිපති තොරතුරු ගොනුවක් ද සමග රහසිගත සීඅයිඒ කඩාකප්පල්කාරී ව්‍යාපාරයක් සඳහා බුෂ් පරිපාලනය බලය පැවරූ බව හෙලිදරව් විය. මෙම මෙහෙයුම ඔබාමා යටතේ ද කෙරීගෙන යයි.

ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ මිලිටරි පසුබෑම් වල දශකයකට පසුව වොෂින්ටනය දැන් ඒ දෙරට අතර පිහිටි මිලියන 75ක ජනගහනයක් සහිත ලෝකයේ සොයාගෙන තිබෙන තෙල් සංචිත අතින් හතරවන විශාලම රට වන ඉරානයට එරෙහිව අලුත් යුද්ධයක් දියත් කිරීමට තර්ජනය කරමින් සිටියි. යුද්ධය කරා වූ මෙම හැරීමට තල්ලුව සපයන්නේ වොෂින්ටන්හි පූර්ව වික‍්‍රමයන්හි මූලෝපායික අසාර්ථකත්වය ද අර්බුද ග‍්‍රස්ත ඇමරිකානු ධනවාදයේ එන්ට එන්ටම තියුනු වන ප‍්‍රතිවිරෝධයන් ද යන දෙකම විසින් ය. ඉරානයට එරෙහි යුද්ධයක් ඊට පූර්වයෙන් ගෙනගිය යුද්ධ වලටත් වඩා ලේවැකි හා ව්‍යසනකාරී ව්‍යවසායක් වන බව නිසැක ය.

වොෂින්ටනයේ තඩිබෑම් හමුවේ ඉරානය පසුබැස ඇත්තේ නැත. ඒ වෙනුවට එරට එම චෝදනා "ග‍්‍රාම්‍ය” හා "ගොතන ලද” දේ ලෙස හෙලා දැක තිබෙන අතර පැහැදිලි යුක්තිකරනයක් සහිතව එම සමස්ත ක‍්‍රියාවලියෙහි ම අර්ථය රටේ ගැඹුරුවන ආර්ථික අර්බුදයෙන් හා නැගෙන සමාජ නොසංසුන්තාවයෙන් මහජන අවධානය වෙනත් දිසාවකට හැරවීම පමනක් බව කියා සිටියි.

එක්සත් ජනපදය ඉරානය සමග විවෘත ගැටුමකට තල්ලු වන ආකාරය දේශීය සන්දර්භයක තැබූ කල සිහියට නැගෙන්නේ 1930 ගනන්වල අධිරාජ්‍යවාදී ජර්මනිය යුද්ධයට දැක්කීමේදී නාසි තන්ත‍්‍රය අභ්‍යන්තර අර්බුදය තුලින් ඒ වෙත තල්ලුවී ගිය ආකාරයයි.

හිටපු බි‍්‍රතාන්‍ය ඉතිහාසඥයෙකු වූ ටිම් මේසන් තම Nazism, Fascism and the Working Class (ෆැසිස්ට්වාදය, නාසිවාදය හා කම්කරු පන්තිය) නමැති කෘතියේදී හිට්ලර්ගේ තුන්වැනි රීචය (පාර්ලිමේන්තුව) යුද්ධය කරා හැරීම පිලිබඳව මෙසේ ලිවීය:

"1937 ග‍්‍රීෂ්මයෙන් පසුව රීචය තුල ආර්ථික, සමාජ හා දේශපාලන ආතතීන් අනුක‍්‍රමයෙන් වඩාත් ඇටුවන් බැහැපු තත්වයකට ලඟාවිය. හිට්ලර් ඒ පිලිබඳව දැනුවත් කරන ලද අතර ඔහු ඒවායේ ආකර්ෂනය පිලිබඳව සාවදාන වූ බව සනාත කල හැකි වුවත් ඒවායේ තාක්ෂනික අන්තර්ගතය පිලිබඳව ඔහු වටහාගත්තේ ස්වල්පයක් පමනක් බව කීම ප‍්‍රවේශම් සහගත ය. මෙම පොදු අර්බුදය හා තවමත් ස්ථාපිත කල නොහැකිව තිබුනු වඩාත් ගතික විදේශ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව අතර සවිඥානක සම්බන්ධයක් හිට්ලර්ගේ සිතෙහි 1937-38 කාලයේ පැවතුනා නම් මේ කාරනා දෙක අතර ක‍්‍රියාකාරී සමබන්ධතා යෝජනා කිරීමට ඉඩ තිබුනි.

"මෙම තන්ත‍්‍රයට තිබුනු එකම "විසඳුම” වූයේ ව්‍යුහාත්මක ආතතීන් ය. ආඥාදායකත්වය විසින් නිර්මානය කල අර්බුදය හා ප‍්‍රති සන්නද්ධ කිරීම තව තවත් ආඥාදායකය හා ප‍්‍රතිසන්නද්ධය යි. ඉන් පසුව යුද්ධය හා ත‍්‍රස්තය යි. ඉන් පසුව කොල්ලකෑම හා වහල්භාවය යි. නග්න ලෙස පැවති එකම විකල්පය බිඳවැටීම හා ව්‍යසනය යි. එසේම යොදාගත් සියලු විසඳුම් තාවකාලික, තදියම්, වේල පිරිමහගන්නා කටයුතු වූ අතර එන්ට එන්ටම ම්ලේච්ඡ තිරිසන් තේමාවක් වටා දුවන තකහනියක් විය.”

ඔබාමා හිට්ලර් කෙනෙකු වත් එක්සත් ජනපදය නාසිවාදයට ඇද වැටීවත් නැත. එහෙත් එක් අතකින් එක්සත් ජනපදය වෙලාගත් ආර්ථික හා සමාජ අර්බුදයත් අනෙක් අතට ලෝක කරලියෙහි එක්සත් ජනපදයේ මිලිටරි හා බුද්ධි අංශ යාන්ත‍්‍රනයේ ක‍්‍රියාන්විතයන්හි වඩ වඩාත් සාහසික ස්වභාවයත් අතර එවන් "ක‍්‍රියාකාරී සම්බන්ධතා” හඳුනාගත හැකිය.

වෙනස්කල යුතුව ඇති දේ වෙනස් කෙරෙමින් තිබේ. එක්සත් ජනපද පාලනයේ ප‍්‍රතිපත්තීන්හි ඉහත කී ආකාරයේ ම "තාවකාලික, තදියම්, වේල පිරිමහගන්නා” ස්වභාවය දැකගත හැකිය. ඒවා ද අංගලක්ෂිතව ඇත්තේ පකිස්ථානයේ ඩ්‍රෝන් යුද්ධය හා දේශපාලන ප‍්‍රකෝපකරනයන් ද ලිබියාවේ පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ යුද්ධය ද දැන් ඉරානය සමග යුදවාදී ගැටුම ද වැනි තිරිසන් හා "ම්ලේච්ඡ” තකහනියෙන් ද ය.

විදේශයන්හි දී යුද්ධය දෙසට ද රට තුල "ත‍්‍රස්ත” භීතිකාව මවාපෑම දෙසට ද වන හැරීමට ගාමකය සපයනු ලබන්නේ බොහෝ කොටම දේශීය ගනන් බැලීම් මගිනි. වර්ධනය වන මහා සමාජ නොසංසුන්තාවයෙන් ද වෝල් වීදියට එරෙහි රටපුරා පැවැත්වෙන පෙලපාලි මගින් සනිටුහන් කරනු ලබන අලුත් වන පන්ති අරගලයේ තර්ජනයෙන් ද වඩ වඩාත් නොසංසුන්ව සිටින ඇමරිකානු පාලක පැලැන්තිය කෙසේ හෝ මාතෘකාව වෙනස් කිරීමට මංමුලා සහගතව සිටියි. සවුදි තානාපති ඝාතනය කිරීමේ ඉරාන "කුමන්ත‍්‍රනයක්” පිලිබඳ උමතු චෝදනා ප‍්‍රසිද්ධියට පත්කිරීමේ තීරනය තුල මෙම ගනන් බැලීම් ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටු කරන බව නිසැකය.

මෙම අභව්‍ය සිද්ධිය බරපතල අනතුරු ඇඟවීමක් දරා සිටියි. මෙය ජාත්‍යන්තර ගැටුමක් බවට හැරවීමේ තීරනය ඇමරිකානු රාජ්‍යයේ ඉහලම තලයේ සිදුවෙමින් තිබෙන වර්ධනය වන අවදිශානුගතවීම පිලිබඳ ඇඟවුමකි. ගලායන සිදුවීම් දිගහැරෙනු ඇත්තේ කෙසේදැයි කිසිවෙකුත් දන්නේ නැත. එහෙත් ප‍්‍රශ්නය වන්නේ තවත් ප‍්‍රධාන යුද්ධයක් ඇමරිකානු ජනතාවගේ හිස මත කඩාපාත් වන්නේ ද යන්න නොව, ඒ කවදා ද යන්නයි.

බිල් වෑන් ඕකන්

Share this article: