සර්ත්හි ව්‍යසනය

The destruction of Sirte

19 October 2011

ජාතික අන්තර්වාර මන්ඩලයේ (ටීඑන්සී) "කැරලිකාර” සටන්කරුවන් හා නේටෝ යුද ගුවන් යානා ලිබියාවේ සර්ත් නගරය බිඳෙන් බිඳ කුඩු පට්ටම් කරමින් පවතී. මෙම මෙහෙයුම දරුනු යුද අපරාධ ගනයට වැටෙන අතර, එහි මූලික වගකීම පැටවෙන්නේ ලිබියාවේ මිලිටරි මැදිහත් වීම පිටුපස සිටින ප‍්‍රමුඛ බලවතුන් වන එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා, බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ප‍්‍රන්ස ජනාධිපති නිකොලාස් සාර්කෝසි යන අය මත ය.

සර්ත් නගරය සති ගනනාවක් තිස්සේ වට ලා ඇත. ආහාර, බෙහෙත් හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලු සියලු සැපයුම් නගරයට රැගෙන ඒම ටීඑන්සී බලකායන් විසින් වලක්වනු ලැබ ඇත. ටීඑන්සී මෝටාර් ප‍්‍රහාර, යුද ටැංකි ෂෙල් ප‍්‍රහාර හා රොකට් ප‍්‍රහාර මගින් සිදු වුනු දැවැන්ත හා අතොරක් නැති බෝම්බ දැමීම් සමග අත්වැල් බැඳ ගෙන නේටෝ බෝම්බ වැසි වැසින. නගරයේ මානුෂීය අර්බුදයක් උත්සන්න කිරීමත් එහි පුරවැසියන් යටත් කර ගැනීම පිනිස ත‍්‍රස්ත ගැන්වීමත් ඉලක්ක කොට යෙදූ උපායක කොටසක් ලෙස ජලය, විදුලිය හා මලාපවහන පද්ධති ඇතුලු මූලික යටිතල ව්‍යූහය වනසා දමා තිබේ.

"කැරලිකාර” බලකායන් අවසන් වසයෙන් නගරය යටත් කර ගැනීමට වෑයම් කිරීමේ දී සර්ත් නගරයේ තට්ටු නිවාස, ගෙවල්, රෝහල්, පාසල් හා සිවිල් අවශ්‍යතා සැපිරූ අනෙක් ගොඩනැගිලි ඇතුලු සෑම ගොඩනැගිල්ලක් ම බිමට සමතලා කර ඇත, නොඑසේ නම් ඒවාට දරුනු ලෙස හානි කර ඇත. භටකායන්හි සාමාජිකයන් නිවාස, මෝටර් රථ හා සාප්පු කොල්ල කමින් සිටින අතර, නගර වැසියන්ගෙන් සොරා ගත් භාන්ඩ බරට පටවා ගත් ට‍්‍රක් රථ නගරයෙන් පිටත් වීම දැන් සුපුරුදු දසුනකි.

සටන්කරුවන් කන්ඩායමක් විනාඩි 15ක් තිස්සේ විද්‍යුත් උපාංග සාප්පුවක මුදල් සේප්පුව විවෘත කර ගැනීම සඳහා මැෂින් තුවක්කුවලින් වෙඩි තබන අයුරුත් ඉන් අනතුරුව පැහැර ගත හැකි දෑ සොයා බලන අයුරුත් තමන් දුටු බව රොයිටර් වාර්තාකරුවෙක් වාර්තා කලේය. බොහෝ නිවාස කොල්ල කෑමෙන් අනතුරුව ගිනි තබා පොලොවට සමතලා කරනු ලැබේ.

මෙම ම්ලේච්ඡ මෙහෙයුම ආවරනය කරමින් සිටි මාධ්‍යවේදියෝ තමන් සියැසින් දුටු දේ පිලිබඳව ප‍්‍රකම්පනයට පත් වූහ. බීබීසී වාර්තාකරුවෙකු වන වයර් ඩාවීස් මෙසේ වාර්තා කලේ ය: "මෙය නගරය සහමුලින් ම වනසා දැමීමට සමාන පිලිවෙතක්. මෙම නගරය ආරක්ෂා කරමින් සිටින ගඩාෆිට පක්ෂ සටන්කරුවන් යටත් නොවනු ඇත, එබැවින් සර්ත් නගරය ගඩොලින් ගඩොල විනාශ කරමින් තිබේ. සටන් උත්සන්න වෙමින් ඇත, අතිශය විනාශකාරී ය, මුලුමනින් ම පාහේ සිත් සසල කරවනසුලු ය.” සර්ත් නගරය, "රුසියාවේ ලේ වැකි චෙච්නියානු යුද්ධය අවසන් වෙද්දී ග්‍රොස්නිවල දක්නට ලැබුනු දරුනුතම දසුන් සිහියට නංවන” "දරුනු නස්පැත්තියකට” සමාන යැයි බි‍්‍රතාන්‍ය ටෙලිග‍්‍රාෆ් පුවත්පතේ වාර්තාකරුවෝ විස්තර කලහ.

ගුවර්නිකා, වෝර්සෝ ගෙටෝ හා තවත් නාගරික මධ්‍යස්ථාන 1930 ගනන්වල දී හා ’40 ගනන්වල දී ෆැසිස්ට් බලවතුන් විසින් සමූලෝත්පාටනය කරනු ලැබීම වැනි ඓතිහාසික සම සිදුවීම් සර්ත්හි විනාශය විසින් ඉස්මත්තට පැමිනවේ.

ඔබාමා, කැමරන් සහ සර්කොසිගෙන් පටන් ගෙන ලිබියානු යුද්ධය සඳහා වගකිව යුත්තන් සියලු දෙනා යුද අපරාධ චෝදනාවන්ට ලක් කල යුතු ය. මොවුහු ප‍්‍රකෝප නොකල ආක‍්‍රමනකාරී යුද්ධයක් දියත් කලහ. නියුරම්බර්ග්හි පැවති යුද අපරාධ නඩුවේ දී ජර්මනියේ නාසි නායකයන්ට එරෙහිව එල්ල කෙරුනු ප‍්‍රධාන චෝදනාව වූයේ ද එය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1973 යෝජනාවේ සාවද්‍ය නෛතික පදනම මත නේටෝව ලිබියාවේ යුද්ධයට අනුමැතිය ඉල්ලා සිටියේ ය. එහෙත් එය සම්මත කර ගත් වහා ම මෙම ලියවිල්ලෙහි අඩංගු වන "ගුවන් තහනම් කලාප” පිලිබඳ විධිවිධාන ඉක්මනින් ම උල්ලංඝනය කෙරින.

දැන් සර්ත්හි සිදු වන ම්ලේච්ඡ ක‍්‍රියාවන් ඍජුව ම පැන නගින්නේ නව-විජිතවාදී කඩා වැදීමේ ස්වභාවයෙන් ම ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි යුරෝපා සගයන් විසින් පසු ගිය පෙබරවාරියෙහි පුපුරා ගිය ගඩාෆි විරෝධී උද්ඝෝෂන ගසා කනු ලැබින. ලිබියාවේ යෝධ තෙල් සංචිත අල්ලා ගැනීමේ ද කලාපය පුරා වොෂින්ටනයට පැවති භූ මූලෝපායික අධිකාරයට තර්ජනය කරමින් ටියුනීසියාවෙහි හා ඊජිප්තුවෙහි පැන නැගි විප්ලවවාදී නැගිටීම්වලින් පසුව උතුරු අප‍්‍රිකාව තුල තම ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීමේ ද ප‍්‍රධාන එල්ලය ඇතිව පාලන වෙනසක් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරනු ලැබින.

ලිබියාව "ධනයෙන් හා සම්පත්වලින් ආඪ්‍යව” තිබිනැයි ප‍්‍රකාශ කරමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් 18 වෙනි දා ටි‍්‍රපොලි වෙත සැපත් වූවා ය. ටීඑන්සීය සමග පැවති සාකච්ඡාවල දී ඇය "තෙල් අධිකාරය දරන ආර්ථිකය විවිධාංගීකරනය කිරීම සඳහා සහාය දීමට පොරොන්දු වූ” බව බ්ලූම්බර්ග් වාර්තා කලේ ය. රට තුල තව දුරටත් පැවතී ගෙන යන "ලේ වැකි සටන්” පිලිබඳව සඳහනක් කිරීම තබා සර්ත්වලට බෝම්බ හෙලීම පිලිබඳව වත් ක්ලින්ටන් කිසිවක් සඳහන් නොකලා ය.

සර්ත් විලෝපනය හා සබැඳී නිශ්චිත දේශපාලන ගනන් බැලීම් පවතී.

නේටෝ බලවතුන්ට අනුව, ටීඑන්සී අනුග‍්‍රාහකයාගේ පාලනය හරහා දැන් ටි‍්‍රපොලිවල ගොඩ නැගෙමින් පවතින නව පටිපාටියට එරෙහිව ලිබියාව තුලින් පැන නගින ඕනෑ ම විරුද්ධත්වයකට කරනු ලබන අනතුරු ඇඟවීමක් ලෙස ප‍්‍රචන්ඩ ක‍්‍රියා සේවය කරයි. සර්ත් මෙහෙයුම සිරියා හා ඉරාන ආන්ඩුවලට ද රතු එලියක් දල්වා තිබේ. ඒ ඔවුන් එක්සත් ජනපද-යුරෝපා අධිකාරය ප‍්‍රතික්ෂේප කරන්නේ නම් මෙවැනි ම ආකාරයේ පලි ගැනීමේ පියවරයන්ට ඔවුන්ට ද මුහුන පෑමට සිදු වන බව ඉඟි කරමිනි. ලිබියාව තුල නේටෝ මැදිහත් වීම ආරම්භයේ දී ම, "සෑම පාලකයෙකුට ම, විශේෂයෙන් ම සෑම අරාබි පාලකයෙකුට ම” මීට සමාන ප‍්‍රහාරයන්ට මුහුන දීමට සිදු විය හැකි යැයි සර්කෝසි එලිපිට ම තර්ජනය කලේ ය.

සර්ත් විනාශ කිරීමෙන් ඔබාමා පාලන තන්ත‍්‍රය චීන ආන්ඩුවට පනිවිඩයක් යැවීමට ද අදහස් කරයි. මහාද්වීපයේ ලොකු ම වෙලඳ සහකරුවා ද එහි තෙල් හා ඛනිජ සම්පත් අපනයන සඳහා ප‍්‍රධානතම අපේක්ෂකයෙක් ද බවට පත් වෙමින් චීනය ඉතා ශීඝ‍්‍රයෙන් ලිබියාව ද ඇතුලු අප‍්‍රිකාව සිසාරා සිය බලපෑම ඉහල දමා ගෙන සිටී. එමෙන් ම, බෙයිජිං තන්ත‍්‍රය එක්සත් ජනපදයේ හා පැරනි යුරෝපා විජිතවාදී බලවතුන්ගේ ආධිපත්‍යය යටපත් කරමින් කලාපය පුරා ම රාජ්‍ය තාන්ත‍්‍රික හා මිලිටරිමය සබඳතාවන් වර්ධනය කර ගෙන තිබේ. සිය බලගතු ප‍්‍රතිවාදියාහට පාඩමක් ඉගැන්වීමට ලිබියාව වොෂින්ටනයට අවස්ථාවක් සලසා දී තිබේ. එනම්, එක්සත් ජනපදයේ වියදමින් චීනය සමීප ආර්ථික හා මූලෝපායික සබඳතා ගොඩ නගා ගන්නා ඕනෑ ම ආන්ඩුවක් මූලෝත්පාටනය කිරීමට මිලිටරි බලය යොදා ගත හැකි බව යි.

ටීඑන්සී සටන්කරුවන් දැන් කරමින් සිටින දේ ලිබියානු සිවිල් යුද්ධයේ කොයි යම් හෝ මොහොතක දී ගඩාෆිගේ බලකායන් විසින් සිදු කොට තිබුනේ නම් යුද අපරාධවලට හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කරන ඉල්ලීම් ද ඇතුලත්ව වොෂින්ටනය, ලන්ඩනය හා පැරිසිය දෙසින් සිදු වන පැය විසිහතරේ මාධ්‍ය ආවරනයන් ද කෝප භරිත උඩුබුරු ලෑම් ද දැක ගත හැකි වනු ඇත. එහෙත්, එක්සත් ජනපදයේ හා යුරෝපයේ නිල දේශපාලන හා මාධ්‍ය කවයන් තුලින් වචන මාත‍්‍රයකුදු විරුද්ධත්වයක් පල නො වී සර්ත්හි අර්බුදය තව මත් දිග හැරෙමින් තිබේ.

ලිබියාවට එරෙහි යුද්ධය යුක්ති සහගත මානුෂීය මෙහෙයුමක් ලෙස නම් කොට ඉතා උද්‍යෝගිමත් ලෙස උඩගෙඩි දෙමින් සිටි එක්සත් ජනපදයේ මහාචාර්ය යුවාන් කෝල් හා නේෂන් සඟරාව වැනි විවිධාකාර "වාම” හා ලිබරල් බලවේග සර්ත් සිදුවීම් පිලිබඳව ඉතා තදින් තම කටවල් පූට්ටු කර ගෙන සිටිති. එක් නගරයක හෙවත් බෙන්ගාසියෙහි සිවිල් වැසියන් මරා දැමීමට ඇති ඉඩකඩ වැලැක්වීමට යැයි කියමින් ඇරඹූ නේටෝවේ "මානුෂීය” යුද්ධය සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනය කොට හා තුවාල කොට තවත් නගරයක් විනාශ කිරීම කරා ගමන් කොට තිබීමේ හේතුව පැහැදිලි කිරීමට කිසිවෙක් උත්සාහ නොකලහ.

නේටෝව හා ටීඑන්සීය කල අපරාධ ආරක්ෂා කිරීම සඳහා සර්ත් පිලිබඳව කතා කල ප‍්‍රන්ස ලේඛක බර්නාඩ්-හෙන්රි ලෙවී ද මෙම යුදකාමී ස්තර අතර සිටී.

"මිස්රාටා, සර්ත් හා බෙන්ගාසිවල සිවිල් වැසියන් ආරක්ෂා කිරීම” පිනිස යැයි අවධාරනය කරමින්, මෙම වසර මුල ප‍්‍රන්සය තුල දී යුද්ධය සඳහා කල හඬ තැලීම්වල දී ලෙවී මූලික භූමිකාවක් ඉෂ්ට කලේ ය. ඔහු පෞද්ගලිකව ම සර්කෝසි හා ටීඑන්සී සාමාජිකයන් අතර ප‍්‍රථම හමුව සංවිධානය කලේ ය. දැන්, "සර්ත් විමුක්තිකාමීන් උදෙසා යුක්තිය!” යන හිසින් යුතුව හෆින්ග්ටන් පෝස්ට් වෙබ් අඩවියෙහි පල කල ලිපියක දී ලෙවී ටීඑන්සී බලකායන් සර්ත්හි කරමින් සිටින දේ පිලිබඳ මොන යම් ම හෝ විරුද්ධත්වයකට එරෙහිව නරුම වාග් ප‍්‍රහාරයක් එල්ල කරයි.

නගරය ක‍්‍රමයෙන් වනසා දැමීම පිලිබඳ සාක්ෂි "සිවිල් වැසියන්ට එරෙහි සාහසික ක‍්‍රියා පිලිබඳ කටකතාවන්” හා "නොවැලැක්විය හැකි ප‍්‍රමාද දෝෂයන්” ලෙස ජනප‍්‍රිය දාර්ශනිකයා විසින් ගසාබසා දමනු ලැබේ. සිවිල් වැසියන් මුහුන දෙන ඛේදවාචකය පිලිබඳව සිවිල් වැසියන්ට ම දොස් පවරමින් ඔහු අවධාරනය කරන්නේ, "නගරයෙන් පිටමං වීමට අවශ්‍ය වූවන්ට හා එසේ යාමට හැකි වූවන්ට ඇති තරම් කාලය දෙමින්” ටීඑන්සීය "ප‍්‍රහාරයට අන දීමට පෙරාතුව සති කීපයක් තිස්සේ කල් බලමින් සිටි” බව යි. වඩාත් ම පහසුවෙන් පීඩාවට පත් විය හැකි අය ඇතුලු දහස් ගනන් සිවිල් වැසියන්ට සටනින් මිදී පලා යාමට කිසිදු මඟක් නොතිබුනේ ය යන කරුන ලෙවී විසින් නොතකා හැරේ.

සමස්ත ලිපිය ම අමූලික පචවලින් පිරී තිබේ. වෛද්‍යාධාර බෙදා හරිමින් සිටි රතු කුරුස කන්ඩායමක් සර්ත් මූලික රෝහල වෙත ඇතුලු වීම වැලැක්වීමට ටීඑන්සී සටන්කරුවන් එම රෝහලට හිතාමතා ම ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීමේ කාරනය ලේඛකයා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. "ඔවුන්ගේ ෂෙල් වෙඩිවලින් එකක් රෝහලක වහලය මත ඇද වැටෙන විට එය බියකරු ය, අස්වාභාවික දෙයකි, ඛේදවාචකයකි. එහෙත්, එසේ ම එය අත්වැරැද්දකි, අහම්බයකි,” ඔහු ප‍්‍රකාශ කරයි. "ආරම්භයේ පටන් ම අකැමැතිව යුද්ධය ගෙන ගිය මෙම අහම්බ සටන්කරුවන්ගේ උත්කෘෂ්ට භාවයට මම නොකඩවා ආචාර කරමි” යි කියමින් ඔහු සිය ලිපිය අවසන් කරයි.

සර්ත් පිලිබඳ ලෙවීගේ ස්ථාවරය, මානුෂීය යුද්ධයට පක්ෂව කතා කරන ඉහල මධ්‍යම පන්තික ලිබරලුන්ගේ-එනම්, අධිරාජ්‍යවාදී කඩා වැදීමේ හොරැනෑ ලෙස ක‍්‍රියා කරන්නන්ගේ-මුලු මහත් ස්තරයේ ම දේශපාලන ක‍්‍රියා කලාපයට දෙස් දෙන්නකි.

පැට්රික් ඕ’කොනර්

Share this article: