දොම්පෙ පොලිස් අත්අඩංගුවේ දී මරා දැමුනු තරුනයාගේ අවමංගල්‍යයට දහස් ගනනක් සහභාගි වේ

By W.A. Sunil and Kalpa Fernando, 6 October 2011

A personගයාන් රසාංග

පසුගිය සතියේ දොම්පෙ පොලිසියේ අත්අඩංගුවේ දී මරා දැමුනු ජී.ඒ. ගයාන් රසාංග නමැති 28 වියැති තරුනයාගේ අවමංගල්‍යයට සඳුදා කම්කරුවන්, ගොවීන්, ගෘහනියන් හා තරුනයන් ඇතුලු දහසකට අධික පිරිසක් සහභාගි වූහ. සැප්තැම්බර් 29 දා සවස 4.30ට පමන ජල පොම්පයක් සොරකම් කිරීමකට සම්බන්ධ බවට සැකපිට පට්ටිවල පිහිටි සිය බිරිඳගේ නිවසේ දී රසාංග අත්අඩංගුවට ගැනුනු අතර පසුදින උදේ 7.30ට පමන ඇයට දැනගැනීමට ලැබුනේ ඔහු මිය ගිය බවත් මල සිරුර දොම්පෙ රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති බවත්ය.

මෙය අත්අඩංගුවට ගන්නා සැකකරුවන් උසාවි කි‍්‍රයාමාර්ගයකින් තොරව හිතුමතේ මරාදැමීමේ (අධිකරන-බාහ්‍ය ඝාතන) මෑතම සිද්ධියයි. පවත්නා නීතිය ගැන කිසිදු තැකීමක් නැතිව "සැකකරුවන්” මෙලෙස මරාදැමීම පොලීසිය විසින් වසර ගනනාවක් තිස්සේ කරගෙන යනු ලබන අතර එල්ටීටීඊයට එරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ වර්ගෝත්තමවාදී යුද්ධය 2009 මැයි මස දී අවසන් වීමෙන් පසුව එය වඩාත් උත්සන්න කෙරී තිබේ.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ දොම්පෙ ප‍්‍රදේශයේ පිහිටි, බොහෝ සෙයින් දුගී ගොවීන් වෙසෙන අඩු පහසුකම්වලින් යුක්ත ගම්මානයක් වන එගොඩ පලහැල නිවැසියකු වූ රසාංග පවුලේ බාලයා ය. තී‍්‍ර රෝද රථ රියදුරකු වන ඔහු 10 මසැති ලදැරියකගේ පියා විය.

babyගයාන්ගේ දසමස් වියැති දියනිය

ඔහුගේ බිරිඳ රශිකා ලක්මිනී (24) ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ 29 දා සවස ඇගේ නිවසට පැමිනි සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරින් හය දෙනෙක් ඔහුව ඇදගෙනගොස් වාහනයකට දමාගෙන දොම්පෙ පොලිස් ස්ථානයට ගෙන ගිය බවයි. ඇය පොලිස් ස්ථානයට ගිය මුත් ඔහුව බැලීමට අවසර නොලැබුනි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සෙසු සැකකරුවන් දෙදෙනා එහි සිටියත් රසාංග සිටියේ නැත. "එයා ඕඅයිසී එක්ක එලියට ගියා කියලා මම ඇහුවම ඩියුටි හිටිය රාලහාමිලා කිව්ව. ටිකකට පස්සේ ඕඅයිසී ආවත් ඕඅයිසී එක්ක එයා හිටියෙ නැහැ. මම ආයෙත් ඇහුවම ඒගොල්ල කිව්වා එයා ක‍්‍රයිම් (අපරාධ විමර්ශන) ඕඅයිසී එක්ක ගිහිං කියලා.”

relateගයාන්ගේ මව සහ බිරිඳ

රාති‍්‍ර 8 පමන වනතෙක් එහි සිටි ඇය ආපසු ආවේ රසාංග පසුදින අධිකරනයට ඉදිරිපත් කරන බවට පොලිසිය පොරොන්දු වීමෙන් පසුව ය. එහෙත් පසුදා උදේ ඇයට දැනගන්ට ලැබුනේ ඔහුගේ මරනයයි. "එයා මෙම හොරකමට සම්බන්ධ නැති බවට මට විශ්වාසයි. ඒ මොකද පහුගිය සුමාන දෙකේම එයා හිටියෙ අපේ ගෙදර. දැන් මම මේ දරුවත් එක්ක ජීවත් වෙන්න මගක් නැතිව තනිවෙලා.” ඇය පැවසුවාය.

රසාංගගේ පියා වන ලීලානන්ද ද සිය පුතා එම සොරකමට සම්බන්ධ නැති බව කියා සිටී. දොම්පෙ පොලීසියේ ස්ථාන භාර නිලධාරි ( ඕඅයිසී) ඇතුලු නිලධාරින් තමා හොඳින් දන්නා හිතවතුන් බවත් අත්අඩංගුවට ගැනුනු රසාංගගේ ආරක්ෂාව ගැන බියවීමට කිසිදු කාරනාවක් නැති බව ඔවුහු තමන්ට සහතික වූ බවත් ඔහු පැවසීය. එහෙත් පොලීසියට ගිය ලීලානන්දට ද සිය පුතා බැලීමට අවසර ලැබුනේ නැත.

"දහයහමාරට විතර මම ආපහු එනකොට බැරැක්ක පැත්තෙන් මට ඇහුනා කවුදෝ කෙඳිරිගාන හඬක්. ඒ රසාංගගේ හඬ කියල මට අඳුරගන්න පුලුවන් වුනා. මම ඒ පැත්තට දුවලා ගියත් ඒගොල්ල මාව නැවැත්තුවා. මං දැක්කා එයාව කකුල්වලින් එල්ලලා ගහනවා. මම වැඳලා කිව්වා මගේ පුතාට ගහන්න එපා කියාල.” ආන්ඩුවේ හා පොලීසියේ බොරු ප‍්‍රචාරවලට නොරැවටී සත්‍යය එලිදරව් කරන ලෙස ද ඔහු මාධ්‍යවලින් ඉල්ලා සිටියේය. රසාංගගේ සිරුරේ තුවාල තිබූ බවත් ඔහුගේ නාසයෙන් ලේ ගලමින් තිබූ බවත් පවුලේ සාමාජිකයෝ පැවසූහ.

රසාංග ඝාතනයේ වගකීමෙන් අත් සෝදා ගැනීමට පොලීසිය මුලින් අපූරු කතාවක් ගෙතීය. ඔහු මිය ගියේ සොරාගත් භාන්ඩ පොලීසියට පෙන්වීම සඳහා යන අතරමගදී පොලිස් ජීප් රියෙන් පැනීම නිසා යයි පොලීසිය පැවසීය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මැක්සි ප්‍රොක්ටර් ද රාජ්‍ය මාධ්‍ය ඇතුලු සමහර මාධ්‍ය ද මුලදී එම බොරුවම ප‍්‍රතිරාවය කලේය.

කෙසේවෙතත්, රසාංගගේ පවුලේ සාමාජිකයන් හා ගම්වැසියෝ පොලීසියේ කතා එකහෙලා ප‍්‍රතික්ෂේප කලහ. ඔහුගේ මරනය පොලිස් ඝාතනයක් බවට චෝදනා කල 3,000ක් පමන ගම්වැසියන් පිරිසක් කෝපාවිෂ්ඨව පොලිස් ස්ථානය වට කලහ. ඔවුහු ඔහුගේ මල සිරුර පොලිසිය ඉදිරිපිටට ගෙනවිත් විරෝධතා දැක්වූහ. ඝාතනය පිලිබඳව කෝපය ප‍්‍රකාශ කිරීමක් ලෙස ඔවුහු පොලිස් ස්ථානයට ගල්මුල්වලින් පහර දී, එහි කොටසකට ගිනි තබා අදාල සොරකමට සම්බන්ධිතව අත්අඩංගුවට පත්ව පොලිස් පහරදීම්වලින් තුවාල ලබා සිටි සෙසු සැකකරුවන් දෙදෙනා මුදාගෙන රෝහල්ගත කලහ. මරනය පිලිබඳ පොලීසියේ බොරු කතා වාර්තා කල මාධ්‍යවලට සම්බන්ධිත වාර්තාකරුවන් පිරිසක් ද ඔවුන් විසින් එලවා දමන ලදි.

stateකනත්ත අසල රැකවල් ලා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා ෙයන් කොටසක්

මෙලෙස පුපුරා ගිය මහජන විරෝධය පිලිබඳ භීතියට පත් ආන්ඩුව එය මඩිනු පිනිස සිය ගනනක මැනවින් සන්නද්ධ හමුදා භට කන්ඩායමක් ද පොලීසියේ ම විශේෂ කාර්ය බලකායට අයත් භට පිරිසක් ද වහාම එහි යෙදවීය. කෝපාවිෂ්ඨ ගම්වැසියන් සමනය කරනු පිනිස ආන්ඩුවේ මෙන්ම විරුද්ධ පක්ෂයේ ද දේශපාලනඥයෝ වහා මැදිහත් වූහ. එහෙත් පැය ගනනක් යන තෙක්ම තත්වය සමනය කරගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

ගම්වැසියන්ගේ කෝපය මධ්‍යයේ එය පාලනය කිරීමේ තැතක් ලෙස, රසාංගගේ මරනය ගැන සෙවීමට පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) නිලධාරින්ගෙන් සමන්විත කන්ඩායමක් පත් කිරීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් කටයුතු කලේය. දොම්පෙ පොලීසියේ අපරාධ පරීක්ෂන අංශයේ ඕඅයිසී ඇතුලු නිලධාරින් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම පරීක්ෂනවලට අනුව, රසාංගගේ මරනය පොලිස් ජීප් රථයෙන් පැනීමෙන් සිදු වූ බවට කිසිදු සාක්ෂ්‍යයක් නැති බව පිලිගැනීමට පසුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට සිදු විය. මරනය පිලිබඳ පරීක්ෂන පැවැත්වූ අධිකරන වෛද්‍ය නිලධාරියා තීන්දුව කල් තැබූ අතර රසාංගගේ සිරුරේ කොටස් වැඩි දුර පරීක්ෂන සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීය.

පොලිස් ස්ථානයට පහර දුන් අය අත්අඩංගුවට ගැනීමට සීඅයිඩීය පරීක්ෂන පවත්වන බව පොලිස්පති පැවසීය. එමගින් පෙන්නුම් කෙරෙන්නේ ගම්වැසියන්ට එරෙහිව පොලිස් දඩයමක් දියත් වන බවයි.

රසාංගගේ අවමංගල්‍යය තමන්ට මෙන්ම ආන්ඩුවට ද එරෙහි විරෝධය පුපුරායාමේ අවස්ථාවක් වෙතැයි බියට පත් පොලීසිය එම අවස්ථාවේ කිසිදු විරෝධතාවක් හෝ පෙලපාලියක් පැවැත්වීම තහනම් කරන උසාවි නියෝගයක් ද ලබා ගෙන තිබුනි. 200ක පමන හමුදා හා එස්ටීඑෆ් භට පිරිසක් එදින ප‍්‍රදේශය පුරා ආන්ඩුව විසින් යොදවන ලදි. ඔවුන්ගෙන් කොටසක් යතුරුපැදිවල නැගී ගම පුරා මුර සංචාරය කලහ. අවමංගල්‍යයට පැමිනි පිරිස එස්ටීඑෆ් භටයන් විසින් වීඩියෝ කරන ලදි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතා කල බොහෝ දෙනෙක් මෙම ඝාතනය හෙලා දකිමින් ඒ ගැන සිය කෝපය පල කලහ. සොරාගත් භාන්ඩ අයත් පවුලේ කාන්තාවක් මෙසේ පැවසුවාය: "හොරකම ගැන අපට මේ තුන්දෙනා සැකයි කියලා අපි පොලීසියට පැමිනිලි කලා. ඒගොල්ල ඒ හොරකම කලා නම්, පොලීසිය කල යුතුව තිබුනේ ඔවුන් උසාවියට ඉදිරිපත් කරන එකයි. එතකොට උසාවියෙන් දඬුවම් ලැබේවි. මේ තරුනයා මරාදැමීම ගැන අපි දැඩි ලෙස විරුද්ධයි.”

රසාංගගේ පාසල් කාලයේ මිතුරන් පිරිසක් කියා සිටියේ ඔහු යම් වරදක් කලා නම් එයට දඬුවම් දිය යුත්තේ උසාවිය මිස පොලීසිය නොවන බවයි. "මේ රටේ නීතියක් නැහැ. පොහොසතුන් හා දුප්පතුන් සම්බන්ධයෙන් නීතියත් පොලීසියත් කි‍්‍රයා කරන්නේ වෙනස් ආකාරයටයි. මේ පලාත්වල තරුනයන්ට හැන්දෑවේ පාරේ බැහැල යන්න බැහැ. බොරු චෝදනාවලට පටලවලා ඔවුන් නිතරම අත්අඩංගුවට ගන්නවා.”

තව තරුනයෙක් මෙසේ පැවසීය: "ආන්ඩුව මිනිස්සුන්ට කියනවා නීතිය අතට ගන්න එපා කියලා. ඒත් පොලීසියට මෙහෙම මිනිස්සු මරන්න තියෙන්නෙ මොන අයිතියක්ද? තරුනයො බල්ලො වගේ මරල දාන කොට පොලීසිය නීතිය අතට ගැනීමක් නෙවෙයිද කරන්නෙ?”

රසාංගගේ ඝාතනය හුදකලා සිද්ධියක් නොවේ. විවිධ අපරාධවලට සම්බන්ධිත සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් බොහෝ විට එකම ආකාරයේ කඩතුරාවක් යටතේ වෙඩි තබා මරාදැමීම පොලීසිය දැන් වසර කිහිපයක් තිස්සේ කරගෙන යයි. සඟවා ඇති ආයුධ හෝ සොර බඩු පෙන්වීමට පොලිස් කන්ඩායමක් සමග යන අතරතුර එවන් අවියක් ගෙන හෝ පොලීසිය අතැති අවියක් උදුරාගෙන පොලීසියට පහර දීමට නැතිනම් පලා යාමට තැත් කිරීමේ දී පෙරලා වෙඩි තැබීමෙන් අදාල සැකකරු මරනය පත් වූ බව පොලීසිය කියා සිටී.

පසුගිය අගෝස්තු 11 දා අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ උසාවියකට ඉදිරිපත් නොකර දින 19ක් නීති විරෝධීව රඳවා ගෙන සිටි අසංක බොතේජු නැමති හිටපු නාවික හමුදා භටයෙක් අගෝස්තු 30 දා කැලනි ගඟේ ගිලී මිය ගියේය. ඔහු තමා "සැඟවූ ටී-56 අවියක්” පෙන්වීමට පොලිස් කන්ඩායමක් සමග යමින් සිටිය දී ගඟට පැන්න බව පොලීසිය පැවසීය. එහෙත් දක්ෂ පිහිනුම් ශූරයකු වූ අසංක පොලිස් අත්අඩංගුවෙන් මිදී ගඟට පැන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට පොලීසිය සමත්ව නැත.

මොරටුව ප‍්‍රදේශයේ දී පොලිස් භටයකු මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුනු පුද්ගලයෙක් ඔක්තෝබර් 4 දා එලෙස අත්අඩංගුවේ දී මියගිය කල පොලීසිය කියා සිටියේ ඔහු පොලීසියට ගෙන යන අතරමගදී බොල්ගොඩ වැවට පැන සියදිවි නසාගත් බවයි. මෙවන් සිද්ධීන් යටගැසීමට පොලීසිය දරන විවෘත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තැත පෙන්නුම් කලේ, එම මියගිය සැකකරුගේ පවුලේ උදවිය ඔහුගේ වියොවෙන් වැලපෙන අයුරු රූගත කල සිරස මාධ්‍ය ජාලයේ වාර්තාකරු ඉන්දික ශී‍්‍ර අරවින්දට එම අදාල ඡායාරූප මකා දමන ලෙසට පොලීසිය බල කිරීමෙනි.

2006 මැදදී රාජපක්ෂ ආන්ඩුව විසින් යලි අරඹන ලද එල්ටීටීඊයට එරෙහි යුද්ධය මධ්‍යයේ දී, දෙමල ජාතිකයන් හා මාධ්‍යවේදීන් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කරගත් පැහැරගෙනයාම්, අතුරුදහන් කිරීම්, මෘග ප‍්‍රහාර හා ඝාතන සිය ගනනින් වාර්තා වුනි. ආරක්ෂක හමුදාවල අනුදැනුම හා සහයෝගය ඇතිව කි‍්‍රයාත්මක වන විවිධ පැරා-මිලිටරි කල්ලි මේවාට වගකිව යුතු විය. යුද්ධය අවසන් වීමෙන් පසුව රාජපක්ෂ ආන්ඩුව "පාතාලය මැඩීමේ යුද්ධය” ප‍්‍රකාශයට පත් කලේය. අධිකරන-බාහ්‍ය ඝාතන යුක්තියුක්ත කෙරෙන්නේ එය යටතේ ය. මෙමගින් පොලීසිය හා ආන්ඩුව කියා සිටින්නේ, මහජනතාව පොලීසිය, හමුදාව ඇතුලු රාජ්‍ය මර්දන යන්ත‍්‍රයේ ආධිපත්‍යයට කිසිදු අභියෝගයක් නැතිව එය පිලිගත යුතු බවයි, එයට විරුද්ධ වන්නන්ට සිදු වන්නේ එලෙස ඝාතනයට ලක් වීමට බවයි.

මෙවන් සිද්ධීන් හේතුකොටගෙන පොලීසිය ඇතුලු රාජ්‍ය යන්ත‍්‍රය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය භංගවීමෙන් හටගතහැකි සමාජ පිපිරීම්සහගත තත්වයන් පිලිබඳව පාලක පන්තියේ දැනුවත් කොටස් භීතියට පත්ව ඇත. ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික‍්‍රමසිංහ ඔක්තෝබර් 5 දා කොලොන්නාවේ පැවති රැස්වීමක් අමතමින් කියා සිටියේ, රාජ්‍ය යන්ත‍්‍රය ගැන මහජනයාගේ විශ්වාසය නැතිවීම අන්තරායකාරී තත්වයක් බවයි.

වැඩෙන මහජන වෛරය සමනය කිරීමේ ද මෙවන් සිද්ධීන් මගින් පොලීසිය හා හමුදාව ඇතුලු රාජ්‍ය යන්ත‍්‍රයේ ස්වභාවය පිලිබඳව ඔවුන් උකහා ගත යුතු පාඩම් වලකාලීමේ ද උත්සාහයක් ලෙස මාධ්‍ය කියා සිටින්නේ, එවන් රජයේ ආරක්ෂක ආයතන ප‍්‍රතිසංස්කරනය කොට "මහජන-හිතැති” බවට පත් කරගත හැකි බවයි. මෙය කම්කරුවන්ට, තරුනයන්ට හා සෙසු පීඩිතයන්ට මාරාන්තික මිථ්‍යාවක් ගිල්වීමකි.

ධනේශ්වර රාජ්‍ය මර්දන යන්ත‍්‍රයේ කොටස් වන පොලීසිය හා හමුදාව වැඩෙන ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ එහි බර තමන් මත කඩාපාත් කිරීමේ ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයන්ට එලඹෙන කම්කරුවන්, තරුනයන් හා පීඩිතයන් මැඩීම පිනිස ලොව පුරා ආන්ඩු විසින් යොදවනු ලැබේ. පසුගියදා සිය වැටුප් කප්පාදු කිරීමේ ආන්ඩුවේ ඊනියා විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව අරගලයට බට දසදහස් සංඛ්‍යාත කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් මැඩීමට යොදවන ලද පොලීසිය වෙඩි තබා එක කම්කරුවකු ඝාතනය කලේය. අධිකරන කි‍්‍රයාවලියකට පෙර ඉන් පරිබාහිරව පුද්ගලයන් "වරදකරුවන්” ලෙස නම් කොට ඔවුන් මෙසේ මරනයට පමුනුවාලීම කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ වැඩෙන අරගලයන් මැඞීමේ එල්ලය ඇතිව ආන්ඩුව සූදානම් කරන පොලිස්-රාජ්‍ය සැලසුම්වලම කොටසකි.

Share this article: