මැර කන්ඩායමක් යාපනය සරසවියේ ශිෂ්‍ය නායකයාට පහර දෙයි

By S. Jayanth , 21 October 2011

පසුගිය ඉරිදා මධ්‍යාහ්නයේ දී හඳුනා නොගත් මැර කල්ලියක් යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති 24 වියැති එස්. තවබාලසිංහම් හට මෘග යකඩ පොලු ප‍්‍රහාරයක් එල්ල කලේ ය. ඔහුගේ හිසට, දෙඅත්, කකුල් සහ පිටුපස ප‍්‍රදේශයට සිදු වූ තුවාල හේතුවෙන් තවබාලසිංහම් රෝහල් ගත කරන ලදී. ඔහුගේ හිසට සිදු වූ තුවාලයට මැහුම් කිහිපයක් දමා තිබේ. දින දෙකකට පසුව එනම් අඟහරුවාදා ඔහු රෝහලෙන් නිදහස් කරන ලදී.

ප‍්‍රහාරය සඳහා මුහුනු ආවරනය කොට යතුරු පැදිවලින් පැමිනි මැරයෝ 12 ක් යාපනය නගරයට ආසන්න පාලම් පාර අසල දී කොලවලින් ඔතන ලද යකඩ පොලුවලින් පහර දීමට පටන් ගත්තේ ය. "ඔවුන්ගේ එල්ල වූයේ මාව මරා දැමීමයි. මට පහර දෙමින් ‘ ඕකව මරාපියව් මරාපියව්’ කියලා ඔවුන් කෑ ගැහුවා” යයි තවබාලසිංහම් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලේ ය.

"මම දුවන්න උත්සාහ කරද්දී යකඩ පොලුවලින් ඔවුන් මගේ පිටට පහර දුන්නා. මගේ හිස තුවාල වුනා. ඔවුන් මගේ කකුල්වලට ගැහුවා. මට ගහන්න එපා කියල මම ඔවුන්ට ආයාචනා කලා. එය නොතකා මගේ හිසට දිගටම පහර දුන්නා,” තවබාලසිංහම් තවදුරටත් පැවසූවේ ය. තවබාලසිංහම් කෑගසන ශබ්දයට අවට නිවැසියන් පැමිනෙද්දී ප‍්‍රහාරකයෝ පලාගියහ.

පෙර යුද්ධයෙන් විනාශ වූ උතුරේ යාපනය අර්ධද්වීපය දස දහස් ගනනක ආරක්ෂක හමුදාවන් විසින් වාඩිලාගෙන සිටී. යාපනය නගරය තුල මිලිටරිය තර කොට තිබෙන්නේ සියගනනක් හමුදා භටයන්ගෙනි. මිලිටරිය හා සම්බන්ධ ඊලම් ජනතා ප‍්‍රජතන්ත‍්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) වැනි අර්ධ මිලිටරි කන්ඩායම් මහජනයාට එරෙහි ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන් සම්බන්ධව කුප‍්‍රකට ය. ඊපීඩීපීය පාලක සන්ධානයේ කොටස්කරුවෙක් වන අතර එහි නායක ඩග්ලස් දේවානන්ද කැබිනට් ඇමතිවරයෙකි.

ප‍්‍රහාරය සිදු වූයේ ඉන්දීය කොන්සියුලර් කාර්යාලයේ සහ ස්ථාවර හමුදා මුර කපොල්ලකට මීටර් 300 දුරිනි. තවබාලසිංහම් බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්, පහර දෙන්නන් හා මිලිටරිය අතර පවත්නා සම්බන්ධතාවය පෙන්නුම් කරමින් මුහුන ආවරනය කර ගත් සමහර පුද්ගලයන් හමුදාවේ අය සමග මාර්ග බාධක අසල දී කතා කරමින් සිටිනු ජනතාව දැක තිබෙන බව කියා සිටියේ ය. මිලිටරියේ සහය නො ලබා කිසිවෙකුට ප‍්‍රසිද්ධියේ කි‍්‍රයාත්මක විය නො හැක.

මෙය දේශපාලනික ප‍්‍රහාරයක් වන අතර ආන්ඩුවට හා මිලිටරි වාඩිලාගැනීමට එරෙහිව මතු වන කවර හෝ විරුද්ධත්වයක් නිහඬ කිරීමට උතුරේ හා නැගෙනහිරේ මුදා හැර ඇති මර්දනයේ කොටසකි. තවබාලසිංහම් ප‍්‍රහාරයට ලක් වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් වන පත්මිනි සිතම්බරනාදන්ගේ නිවසේ දී දෙමල ධනපති ජාතික සංවිධානයක් වන දෙමල ජාතික ජනතා පෙරමුනේ (ටීඑන්පීඑෆ්) නායකයින් සමග පැවති රැස්වීමකින් පසුව ආපසු පැමිනෙන අවස්ථවේ දී ය. ටීඑන්පීඑෆ් නායකයින් හමුවීමට ගියේ අනෙක් ද්‍රවිඩ දේශපාලන සංවිධාන හමුවීමට ගිය ආකාරයෙන් ම බව තවබාලසිංහම් පැවසූහ.

කෙසේ වෙතත්, ප‍්‍රහාරකයන් "උඹ වෙනම රාජ්‍යයක් සඳහා ඉල්ලීමට සහයෝගය දෙනවාද?" කියා කෑගැසූ අතර "උඹට වෙනම රාජ්‍යයක් අවශ්‍ය ද? උඹව මැරවොත් ඔක්කොම හරි.”

තවබාලසිංහම් ශිෂ්‍ය සංගම් සභාපති ලෙස පත් වූ දා සිට බිය වැද්දීම්වලට මුහුන දුන්නේ ය. අපේ‍්‍රල් මාසයේ පැවති ශිෂ්‍ය සංගම් නිලවරනයේ දී ඔහු තේරී පත් විය. මෙම නිලවරනය පැවතියේ ශිෂ්‍ය සංගම් අඩපන කරන විශ්වවිද්‍යාල පරිපාලනයේ හිතුවක්කාරී නිලවරන පැවැත්වීමට එරෙහිව ශිෂ්‍යයන් සටන් වැදීමෙන් අනතුරුව ය.

ඔහුගේ තේරී පත්වීමෙන් පසුව සිවිල් ඇඳුමින් සැරසීගත් පුද්ගලයෙක් සරසවි ගේට්ටුව අසල ආරක්ෂක අංශ සමීපයේ දී "ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරකම්වලට මැදිහත් නොවන ලෙසට” තර්ජනය කලේ ය.

සරසවි පුද්ගලීකරනයට හා පහසුකම්වල ඌනතාවයට එරෙහි ශිෂ්‍ය උද්ඝෝෂන නිහඬ කිරීමේ කොටසක් ලෙස විශ්වවිද්‍යාල බලධාරීන් ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල බොහොමයක ශිෂ්‍ය සංගම් තහනම් කොට ඇත. යාපනය තුල දී, සරසවි පුද්ගලීකරනයට අමතරව මිලිටරි වාඩිලා ගැනීමට එරෙහිව ශිෂ්‍යයන්ගේ වැඩෙන වෛරය ගැන මිලිටරිය හා ආන්ඩුව සැලකිලිමත් ය.

ශිෂ්‍ය නායකයාට එරෙහි ප‍්‍රහාරය යාපනයේ ජනයාට එරෙහි ප‍්‍රචන්ඩ මාලාවේ නවතම එකයි. සැප්තැම්බර් මුල දී විශ්වවිද්‍යාල ශිෂ්‍යන් 6 දෙනෙකුට ගැහැනු ලමයින්ගේ නේවාසිකාගාරයට පුද්ගලයන් කීපදෙනෙකු ඇතුලු වූ බව සැල වූ නිසා ඔවුන් බේරා ගැනීමට ගිය අවස්ථාවේ දී හමදා භටයන් විසින් පහර දුන්නේ ය. මෙම නාඳුනන පුද්ගලයින් සන්නද්ධ භටයන් විය හැකි බවට පෘතුලව විශ්වාස කරන අතර රාත‍්‍රී කාලයේ නිවාස වලට ඇතුලු වෙමින් බිය වැද්දීම්වල නිරත වෙමින් උතුරු හා නැගෙනහිර මෙන්ම බහුතරයක් ද්‍රවිඩ ජනයා වාසය කරන තේ වතුවල බිය වැද්දීම්වල නිරතව තිබේ.

අගෝස්තු 22 යාපනයේ නවන්තුරේ ගම්මානයේ මිනිස්සු එබඳු අද්භූත පුද්ගලයෙක් පසුපස පන්නා යන අවස්ථාවේ දී ඔහු ලඟ පිහිටි හමුදා කඳවුරකට ගිය බව දුටුවේය. ගම් වැසියන් විරෝධතාවය දැක්වූ පසු හමුදාව සහ පොලීසිය මධ්‍යම රාත‍්‍රීයේ ගම වට කර මිසිසුන් සිය ගනනකට කුරිරු ලෙස පහර දුන්නේ ය. ඔවුන්ගෙන් සමහරක් අත් හා කකුල් කැඩී රෝහල් ගත වූහ. ජූලි 29 යාපනයේ පලකරන දිනපතා ද්‍රවිඩ පුවත් පතක් වන උදයන් පත‍්‍රයේ ප‍්‍රවෘත්ති සංස්කාරක ඥානසුන්දරම් කුගනාදම් හඳුනා නොගත් ඝාතන කල්ලියක් විසින් ඝාතනය කිරීමෙන් යම්තම් බේරී පලා ආ නමුත් ප‍්‍රහාරය නිසා බොහෝ තුවාල ව තිබුනි.

මෙම ප‍්‍රහාර පිලිබඳ අදහස් දක්වමින් තවබාලසිංහම් කියා සිටියේ: "ඔවුන් කියනවා කතාවේ නිදහස සහ ලිවීමේ නිදහස ඇතුලු ඕනෑම දෙයක් රට තුල තියනවා කියලා. එහෙනම් ඇයි මේ වගේ දේවල් වෙන්නේ. අපට නැද්ද කථා කිරීමේ හා ලිවීමේ නිදහස. අපි ආයුධ ගත්ත ද? එහෙනම් ඇයි අපිට ගැහුවේ? මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නෑ. අපේ සහෝදර ශිෂ්‍යයන්ට පහර දීමට විරුද්ධව රැස්වීමක් පවත්වන කොට හමුදාව අපේ සහෝදර ශිෂ්‍යයන්ට සැප්තැම්බර් මාසයේ දී පහර දුන්නා. ප‍්‍රචන්ඩත්වයට විරුද්ධ වන එක වැරැද්දක් ද?

"මගේ උපන් ගම වව්නියාව. මට මෙහේ මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ආරක්ෂාවක් නෑ. මගේ දෙමාපියෝ බය වෙලා මගෙන් ඉල්ලා සිටියා අධ්‍යාපනය නවත්තන්න කියලා. අනාගතයේ දී මගේ අධ්‍යාපන කටයුතු කරගන්න පුලුවන් වෙයිද කියලා සැකයි. ඒ වගේම මට කියන්න බෑ කොහෙන්ද මට ආරක්ෂාවක් ලබා ගන්න පුලුවන් කියලා.”

විශ්වවිද්‍යාල පුද්ගලීකරනය ගැන කථා කරමින් ඔහු කිව්වේ ශිෂ්‍යයන් ආන්ඩුවේ සැලසුමට විරුද්ධ බවයි. "දුප්පත් ලමයිට ඒ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න බෑ. ගොඩක් පෝසත් මිනිස්සුන්ගේ ලමයින්ට විතරයි ඒවායින් පහසුකම් සැලසෙන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවාට වඩා රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනය කල යුතුයි.”

දෙමල, සිංහල සහ මුස්ලිම් යන හැමෝගෙම එකතුවෙන් සඳුදා උදෑසන සියලු පීඨවල ශිෂ්‍යයින් පන්ති වර්ජනය කොට විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුලම විරෝධතාවය දැක්වීම සඳහා රැස්වීමක් පැවැත්විය. ඔවුන් භාෂා තුනෙන්ම සටන් පාඨ සහිත පුවරු ප‍්‍රදර්ශනය කලේ ය. එම සටන් පාඨ අතර "පොලිස් ආරක්ෂාව පොදු ජනයාට ද ප‍්‍රචන්ඩ කාරීන්ට ද? දෙමල ශිෂ්‍යයන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වය වහාම නවත්වනු! විශ්වවිද්‍යාල ශිෂ්‍යන් සඳහා ප‍්‍රකාශනයේ නිදහස නැත්තනම් ඔබලාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොහේ ද ?

ප‍්‍රහාරය හෙලා දකිමින් ඔවුන් ප‍්‍රකාශයක් නිකුත් කලේ ය. "උඹලා කොතැන හිටියත්, ඕනෑම වෙලාවක අපි උඹලට පහර දෙනවා. ඒ ගැන කව්රුවත් විමසන්නෙ නැහැ” කියන පනිවුඩය "මෙම බියගුලු ප‍්‍රහාරය මගින් සියලුම දෙමල කථා කරන ජනතාවට යවා ඇත. අපි මෙය දිගටම සිදුවීමට ඉඩ දෙනවා ද?”

ප‍්‍රකාශය දෙමල ශිෂ්‍යන්ගේ ආරක්ෂාව සහතික කරන ඉල්ලීම් ඉදිරිපත් කලේ ය. ප‍්‍රහාරකයන්ට එරෙහිව නීතිමය පියවර ගනු! ශිෂ්‍යයන්ට නිදහස් ක‍්‍රියාකාරකම්වලට ඉඩ දී සියලු සන්නද්ධ මිලිටරි කඳවුරු සියලු විශ්වවිද්‍යාල අසලින් හා පාසල් අතරින් ඉවත් කර ගනු! ප‍්‍රකාශනය මෙම ඉල්ලීම් සම්පූර්න වන තෙක් පන්ති වර්ජනය දිගටම කරගෙන යන බවටත් අවධාරනය කලේ ය.

බොහෝ ශිෂ්‍යයන් අඟහරුවාදා විශ්වවිද්‍යාලය වර්ජනය කලේ ය. ප‍්‍රහාරය හෙලා දකිමින් එක ශිෂ්‍යයෙක් ප‍්‍රකාශ කලේ "මෙබඳු සිද්ධීන් නිතරම සිදු වෙනවා. මේ ප‍්‍රහාරයේ අරමුන සියලු ශිෂ්‍යයින් බිය වැද්දීම යි. අපි නිහඬව සිටියහොත් ඔවුන් මෙබඳු බිය වැද්දීම් දිගටම කරගෙන යනු ඇත. රජය මෙයට වගකිව යුතු ය. අපි අපරාධ කරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් මේ විරෝධතාවය දිගටම කරගෙන යනවා.” තවත් ශිෂ්‍යයෙක් මෙසේ පැවසුවේ ය. "මෙය ම්ලේච්ඡ ප‍්‍රහාරයක්. ඔවුන් උත්සාහ කරන්නේ එබඳු ප‍්‍රහාර මගින් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මර්දනය කරන්නටයි. අපි මේ ප‍්‍රහාරය හෙලා දකිනවා.”

සසප හා එහි ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සන්නද්ධ වාඩිලා ගැනීම් සමග ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පාගා දැමීමේ කොටසක් වන ශිෂ්‍ය නායකයන්ට එරෙහි මෙම කුරිරු ප‍්‍රහාරය හෙලා දකී.

අපි ටීඑන්පීඑෆ් හෝ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුලු දෙමල ධනපති පක්ෂවල දෙමල දේශපාලනය මගින් වපුරන මායාවන්ට හසු නො වන ලෙස ශිෂ්‍යයන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. ටීඑන්ඒ දැන් ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ සහාය ඇතුව කොලඹ ආන්ඩුව සමග සම්මුතියක් සොයමින් සිටී. ටීඑන්පීඑෆ් ද ද්‍රවිඩ කම්කරුවන් සහ පීඩිතයන් සූරාකෑම සඳහා වෙනම ධනපති රාජ්‍යයක් තමන්ගේ ජාතික අභිලාශයන් ඉටු කර ගැනීම පිනිස ලබා ගැනීමට මෙම ජාත්‍යන්තර බලයන්ගේ සහාය සොයමින් සිටී.

කලාපය තුල සිය මූලෝපායික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට මාන බලන යුද්ධයට සම්පූර්නයෙන් ම සහාය දුන් බටහිර බලයන් මත යැපෙමින් වෙනම ධනපති රාජ්‍යයක් සඳහා වූ එහි උද්ඝෝෂනය පරාජිත එල්ටීටීඊ ඉදිරිදර්ශනයේ කටුක පාඩම යි.

කුරිරු මිලිටරි වඩිලා ගැනීම් අවසන් කල හැකි වනුයේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය ඇතුව සහ සිංහල දෙමල කම්කරු පන්තියේ සමාජවාදී එකමුතුවේ පදනම මත සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස පමනි .

Share this article: