සසප ශ‍්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් මුදාගැනීමේ උද්ඝෝෂනය දියත් කරයි

SEP launches campaign to release Sri Lankan political prisoners

Statement of the Socialist Equality Party (Sri Lanka) , 4 October 2011

මිලිටරිය හා පොලිසිය භාරයේ රඳවා ඇති සියලු දේශපාලන සිරකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට බලකරමින් සමාජවාදී සමානතා පක්ෂය උද්ඝෝෂනයක් දියත් කරයි. මෙය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කම්කරු පන්තියේ හා ගම්බද ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහි පුලුල් අරගලයෙන් වියෝවූ උද්ඝෝෂනයක් නොවේ.

අඩුම තරමින් දෙමල දේශපාලන සිරකරුවන් 6,000ක් වත් "ත‍්‍රස්තවාදී සැකකරුවන්” ලෙස මිලිටරිය විසින් පවත්වාගෙන යන සිර කඳවුරු තුල චෝදනා විරහිතව රඳවාගෙන සිටියි. 2009 මැයි මාසයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය වීමෙන් අනතුරුව හමුදාව සිවිල් වැසියන් 280,000ක් රැඳවුම් කඳවුරු තුලට ගාල්කරනු ලැබිනි. සියල්ලන්ම නොවූවත් බොහෝ දෙනෙක් දැන් "යලි පදිංචිකර” තිබෙන අතර 11,000ක් පමන තරුන තරුනියන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව එල්ටීටීඊ ආධාරකරුවන්ය යන චෝදනාව යටතේ ඉවතට ගෙන යන ලද අතර ඉන් 5,000ක් පමන නිදහස් කර තිබෙන නමුත් ඔවුන් මිලිටරියේ දැඩි සුපරීක්ෂාව යටතේ තබා ඇත.

30 වසරක් පුරා දිවයිනේ පැවති සිවිල් යුද්ධය අවධියේ ඊට සම්බන්ධ විවිධාකාර සුලු චෝදනා යටතේ අත්අඬංඟුවට ගනු ලැබූ තවත් සිය ගනන් දෙමල වැසියන් රිමාන්ඩ් කඳවුරු තුල රඳවා සිටියි. 2009 මැයි මාසයෙන් පසුව අත් අඬංගුවට ගත් අය රටේ පවත්නා කුරිරු හදිසි නීති රෙගුලාසි යටතේ රඳවා තිබෙන අතර අනෙක් අය ඒ හා සමානව ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පීටීඒ නමැති ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ඇත.

මුල පටන් ම යුද්ධය කම්කරුවන්ගේ අරගල මැඩීම සමග බැඳී තිබුනි. සිය පාලනයට මුක්කුව ලෙසත් කම්කරු පන්තිය බෙදීමටත් පාලක පන්තිය අතෙහි පැවති ප‍්‍රධාන දෘෂ්ටිමය අවිය වූයේ දෙමල විරෝධී වර්ගවාදයයි. බලයේ සිටි සෑම ආන්ඩුවක් විසින්ම පොලිස් රාජ්‍ය යාන්ත‍්‍රනය හා තිස් වසරක යුද්ධයේ අවධිය තුල වර්ධනය කල නීති රීති සිය රැකියා - වැටුප් ශුභසාධන හා අධ්‍යාපනය ද සෞඛ්‍ය සේවාවන් ද රැකගැනීමට උත්සාහ කල කම්කරුවන්ට එරෙහිව යලි යලිත් යොදාගනු ලැබ තිබේ.

හදිසි නීතිය යටතේ පනවන ලද අත්‍යවශ්‍ය සේවා නියෝග කාර්මික ක‍්‍රියාවන් තහනම් කිරීම පිනිස යොදාගෙන ඇත. වැඩ වර්ජන කඩාකප්පල් කිරීමට හමුදාව මෙහෙයවනු ලැබ ඇති අතර විරෝධතාවල යෙදෙන කම්කරුවන්ට විරුද්ධව පොලිසිය සමග හමුදාව යොදාගනී. වර්ගවාදී යුද්ධය ගෙනයාමේ ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටුකල නමුත් මහින්ද රාජපක්ෂ තමන්ගේ භයානක දේශපාලන එදිරිවාදියෙකු ලෙස සලකන ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුලු සිය දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කිරීමට නැතිනම් මැඩීමට ආන්ඩුව විසින් හදිසි නීතිය යොදාගනු ලබයි.

විශාල හාහූවක් මැද අගෝස්තු මාසයේදී ආන්ඩුව හදිසි නීති රෙගුලාසි ඉවත් කරන බව නිවේදනය කලේය. මොන තරම් රැවටිල්ලක් ද? මෙම ව්‍යාජ පියවර ගනු ලැබුවේ වැඩකරන ජනතාවගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් කෙරෙහි බින්දු මාත‍්‍ර හෝ අනුකම්පාවකින් නොව කලාපය තුල තම තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමෙහිලා ශ‍්‍රී ලංකාවේ මානව අයිතීන් පිලිබඳ ප‍්‍රශ්නය ගසාකන එක්සත් ජනපදය, යුරෝපීය සංඟමය හා ඉන්දියාව පිනවීම සඳහා ය. හදිසි අවස්ථා රෙගුලාසි බල රහිත වනවාත් සමග ම ආන්ඩුව එම පියවරයන්ම වෙනත් කඩතුරාවක් යටතේ යලි පන ගන්වා ඇත.

මහින්ද රාපක්ෂ ප‍්‍රකාශ කල පීටීඒ සංශෝධන ගෙන ආවේ "පුනරුත්ථාපනයේ” වහන්තරාව යටතේ තවදුරටත් දේශපාලන සිරකරුවන් රඳවා තැබීම පිනිස ය. එම පනත යටතේ රඳවා තැබෙන පුද්ගලයින් නඬු විභාගයකින් තොරව අනියමිත කාලයක් සිර භාරයේ තැබිය හැකි අතර එම කාලය ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ "අවසරය” සහිතව විටින් විට දීර්ග කල හැකිය. එසේම පනත යටතේ වධදී ලබාගත් දේ ද ඇතුලු පාපෝච්ඡාරන රැඳවියන්ට එරෙහි නඬු විභාග වලදී සාක්ෂි ලෙස යොදාගැනීමට ද ඉඩ ලැබේ.

ඒ සමග ම ආන්ඩුව රජය සතු ලංකා විදුලිබල මන්ඬල සේවකයින්ගේ එක්දින වැඩවර්ජනය තහනම් කිරීමට දැනටමත් යොදාගෙන තිබෙන අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීමට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත භාවිතා කිරීම අරඹා තිබේ. පනත යටතේ වෘත්තීය ක‍්‍රියාමාර්ග මෙන්ම කම්කරු අයිතීන් වෙනුවෙන් කරන ඕනෑම උද්ඝෝෂනයක් වුවත් තහනම් කිරීමට හා සිරගත කිරීම, දඩ ගැසීම හා චූදිතයින්ගේ දේපල අත්පත්කර ගැනීම ද ඇතුලු දඬුවම් පැනවීමට ඉඩ කඩ සැලසෙයි.

රටේ දිස්ත‍්‍රික්ක 22ටම බල පැවැත්වෙන පරිදි ත‍්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති වෙත බලය පැවරෙන රාජ්‍ය ආරක්ෂක පනත ද ආන්ඩුව විසින් විමර්ෂනය කර ඇත. මෙහි අර්ථය, පවත්නා ධනේශ්වර පර්යායට එල්ල වන කුමන හෝ තර්ජනයක් මැඬ පැවැත්වීම පිනිස "නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ” කඩතුරාව යටතේ මිලිටරිය බලමුලු ගැන්වීමට ආන්ඩුවට හැකියාව ලැබෙන්නේය යන්නයි.

මෙම නීති ප‍්‍රකාශයට පත්කිරීම වනාහි රාජපක්ෂ ආන්ඩුවට පමනක් නොව සමස්තයක් ලෙස ධනපති පන්තියට ම එල්ල කෙරෙන ව්‍යසනකාරී චෝදනාවකි. ලංකාවේ ද ගෝලීයව ද ගැඹුරු වෙමින් ඇති ආර්ථික අර්බුදයේ කොන්දේසි හමුවේ ධනේශ්වරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍යයන් තුලින් පාලනය ගෙනයාමෙහිලා මුලුමනින්ම අසමත් ය. එහි "සාමය” දිවයිනේ උතුරු හා නැගෙනහිර මිලිටරි වාඩිලා ගැනීමක් හා කම්කරු පන්තියට එරෙහිව පන්ති යුද්ධය සඳහා වන සූදානමකි.

දෙමල දේශපාලන සිරකරුවන් මහා පරිමානයෙන් සිරගත කිරීමේ තැන් පටන් දෙවසරක් ඉක්ම ගොස් තිබේ. නඩු විමසා වරදකරුවන් කිරීම කෙසේ වෙතත් එකදු පුද්ගලයෙකුට විරුද්ධව චෝදනා ගොනුකිරීමක් වත් සිදුවී නැත. දශකයක් තරම් ඈතදී අල්ලා රිමාන්ඩ් භාරයට පත්කොට තිබෙන අය ද වෙති. ඉන් බොහොමයකට එරෙහිව චෝදනා ගොනුකර නැත.

දහස් ගනනක් නිස්කාරනයේ සිර ගෙවල්වල ලගිද්දී සැබෑ අපරාධකරුවෝ ආන්ඩුවේ ඉහල නිලතල හොබවති. එක්සත් ජාතීන්ගේ විශේෂඥ මන්ඬලයේ වාර්තාවන්ට අනුව යුද්ධයේ අවසන් දිනවලදී දෙමල සිවිල් වැසියන් 40,000ක් පමන මිලිටරිය විසින් ඝාතනය කොට තිබේ. ජනාධිපති රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ හා අනෙකුත් ඉහල නිලධාරීන් හා ජෙනරාල් ෆොන්සේකා ද ඇතුලු හමුදාපතීන් මෙම යුද අපරාධ වලට වගකිව යුතුය.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන යන ප‍්‍රධාන විරුද්ධ පක්ෂ රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යයි නිරතුරුව චෝදනා නැඟුව ද ඔවුන්ගේ විරෝධතා සීමිත වනවා පමනක් නොව පරිපූර්න කුහකත්වයෙන් ද පිරී ඇත. පක්ෂ දෙකම වර්ගවාදී යුද්ධයට මුලුමනින්ම පිටුබලය දුන් අතර යුද අපරාධ සිදු නොවූ බව අවධාරනය කරමින් රාජපක්ෂ හදිසි නීති බලතල දීර්ග කිරීම ඉල්ලා සිටි විට ඊට පක්ෂව ඡන්දය දුන්හ.

දෙමල රැඳවියන්ගේ අයිතීන් ආරක්ෂා කරන බව පවසන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා අනෙකුත් දෙමල පක්ෂ "නඩු පවරනු නැතහොත් ඔවුන් නිදහස් කරනු” යන ඔවුන්ගේ ඉල්ලීම මගින් මහා පරිමාන සිරගත කිරීම් පිලිගනිති. සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ සියලු රැඳවියන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසයි. ඔවුන් බොහොමයකට විරුද්ධව වැරදි කෙසේ වෙතත් චෝදනා පවා ඇත්තේ නැත. ඔවුන්ගේ ම පාපෝච්ඡාරන පදනම් කරගෙන චෝදනා ඉදිරිපත්කොට වරදකරුවන් කර ඇත්තේ සුලු පිරිසක් පමනි.

යථාර්තය නම් ටීඑන්ඒට ඇත්තේ දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් කෙරෙහි පිලිකුලකි. ඔවුන් සිය උද්ඝෝෂනය යොදාගෙන ඇත්තේ දෙමල ධනේශ්වරයට යම් වරප‍්‍රසාද පිරිනැමෙන බලය බෙදාගැනීමේ වැඩසටහනක් ඇතිකර ගැනීම සඳහා ආන්ඩුවට බලපෑම් දැමීමට ය. එම අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට සහාය පිනිස ටීඑන්ඒ නෙත් යොමුකර ඇත්තේ එක්සත් ජනපදය, යුරෝපය හා ඉන්දියාව වෙතය. එය එම බලවතුන්ගේ උප්පරවැට්ටි වලට උඩගෙඩි දෙන ප‍්‍රතිගාමී මාවතකි.

සසප සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ අපගේ විරෝධතාවන්ට, ප‍්‍රසිද්ධ රැස්වීම් වලට හා අනෙකුත් කටයුතු වලට සම්බන්ධ වෙමින් සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිනිස ගෙනයන උද්ඝෝෂනයට සහාය දෙන ලෙයසි.

ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාවගේ කරමත පැටවීමට දරන ආන්ඩුවේ උත්සාහය හමුවේ දෙමල සුලුතරයට එරෙහිව යොදා තිබෙන පොලිස්-රාජ්‍ය ක‍්‍රමෝපායන් නොවරදවාම කම්කරුවන් හා ගම්බද ජනතාවට එරෙහිව ද යොදාගනු ඇති බවට අපි අනතුරු අඟවන්නෙමු. විරෝධතාවන්හි නියුතු නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ට ද කොලඹ නගරය දකුනු ආසියාවේ මූල්‍ය මර්මස්ථානය බවට පරිවර්තනය කිරීමේ රාජපක්ෂගේ උජාරු දැක්මේ කොටසක් ලෙස නගරය තුල ජීවත්වන 75,000ක් පමන වන පවුල් ඔවුන්ගේ පැල්පත් වලින් නෙරපා හැරීමේ පලමු අදියරේදී ඔවුන්ට එරෙහිව ද දැනටමත් ආරක්ෂක හමුදාවන් බලමුලු ගන්වා තිබේ.

යුද්ධයට එරෙහිවත් දෙමල සුලුතරයේ අයිතීන් ආරක්ෂා කිරීමටත් සියලු මර්දනකාරී අනපනත් අහෝසි කිරීම සඳහාත් අඛන්ඩව පෙනී සිට ඇති එකම පක්ෂය සසප හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය පමනි. මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම යුද්ධයේ ද වැඩකරන ජනතාවන්ගේ ජීවන තත්වයන්ට පහර ගැසීමේ ද මූලාශ‍්‍රය වන අර්බුද ග‍්‍රස්ත ලාභ ගැරීමේ පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමේ දේශපාලන අරගලය සමග අවියෝජනීයව බැඳී ඇත.

දශක හයක වාර්ගික දේශපාලනයෙන් ද දශක තුනක යුද්ධයෙන් ද ගලාඑන නොවිසඳුනු ප‍්‍රජාතන්තී‍්‍රය ප‍්‍රශ්න විසඳීම පිනිස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තෝරා පත්කරගත් නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථාදායක සභාවක් සඳහා ඉල්ලීම සසප ඉදිරිපත් කරයි. සමාජවාදී වැඩපිලිවෙලක් ක‍්‍රියාවට නගන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වූ අරගලය තුල ගම්බද ජනතාවට නායකත්වය දීමේ දී කම්කරු පන්තිය විසින් කලයුතු දේශපාලන සටන සමඟ මෙම ඉල්ලීම දියකර නොදැමිය හැකි ලෙස බැඳී ඇත.

ඉන්දීය උප මහාද්වීපය පුරා ද ජාත්‍යන්තරව ද සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන අරගලයේ අවියෝජනීය උපාංඟයක් ලෙස ශ‍්‍රී ලංකා හා ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීම පිනිස සසප සටන් වදියි. මෙම ඉදිරිදර්ශනය සඳහා දේශපාලනිකව සටන් කිරීමේ අත්‍යවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැඟීම සඳහා එයට බැඳෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු .

Share this article: