දේශපාලනය හා ජාත්‍යන්තර වාඩිලාගනු ව්‍යාපාරය

Politics and the international Occupy movement

By the WSWS editorial board , 14 October 2011

වෝල් වීදිය වාඩිලාගනු විරෝධතා ජාත්‍යන්තරව පැතිරයාමේ දේශපාලන වැදගත්කම යටපත් කල නොහැකි ය. ඔක්තෝබර් 15 දින වාඩිලෑම් යුරෝපයේ, ආසියාවේ, ඕස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ, කැනඩාවේ, දකුනු ඇමරිකාවේ හා අප‍්‍රිකාවේ නගරවල ආරම්භ වනු ඇත.

හරය වශයෙන් රැගත් කල වර්ධනය වන ව්‍යාපාරය ධනේශ්වර විරෝධීය. විරෝධතාවන්ට පනපොවා ඇත්තේ සමාජ සමානාත්මතාවයේ අභිලාශයන්ගෙනි. "අප අයත් වන්නේ සියයට 99ටය”, යන ඔවුන්ගේ බැනරයේ සඳහන්ව ඇති සටන් පාඨය "සියයට එකක” කුඩා කොටසක් වන මූල්‍ය හා ව්‍යාපාරික ප‍්‍රභූව විසින් දරන සමාජ ධනයේ ඒකාධිකාරය කෙරෙහි කම්කරු පන්තියේ සතුරුකම සමග බැඳී ඇත.

එක්සත් ජනපදයේදී "නිදහස් ව්‍යවසායකත්වයේ” උත්කෘෂ්ඨ භාවය පිලිබඳ මිත්‍යාව විශේෂයෙන්ම ගෝලීය මූල්‍ය අර්බුදය හටගත් තැන් පටන් ගතවූ තෙවසර තුල කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ සිත් තුල අපකීර්තියට පත්ව තිබේ. ලෝක ධනවාදයේ හදවතෙහි කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන තත්වයන් පෙරලිකාරී සමාජ වෙනසක් හා සමාජවාදයේ ඉදිරිදර්ශනය බැරෑරුම් ලෙස සලකා බැලීමට ඔවුන්ට බලකර තිබේ.

නිල දේශපාලන සංස්ථා පක්ෂ වෘත්තීය සමිති හා ප්‍රෝඩාකාරී වාම විරෝධතා සංවිධානයන්ගේ බලපෑමට පිටින් නැගී ආ වාඩිලෑම් මහා ව්‍යාපාරිකයේ අවශ්‍යතාවන් කෙරෙහි ඒවායේ ගැතිකමට එරෙහිව පැහැදිලිව හා සෘජු ලෙසම එල්ල වී ඇත. මහජන විරැකියාව වැටුප් හා සේවා කප්පාදු ඉහල නගින අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් පාරිසරික කාබාසීනියාව හා යුද්ධය කෙරෙහි විරුද්ධත්වයට එය හඬක් ලබාදෙයි.

ලෝකය වටා එවන් මනෝ භාවයන් අනුනාදය වීමෙන් ප‍්‍රකාශ කෙරෙනුයේ ඇමරිකානු කම්කරු පන්තියේ ආකල්ප හැඩ ගස්වන අත්දැකීම් සාර්වත‍්‍රික ස්වභාවයක් ගෙන ඇත්තේ ය යන කාරනයයි.

මූල්‍ය බිඳවැටීමෙන් තෙවසරක් ඉක්ම යද්දී ධනේශ්වර "සියයට එකේ” ධන රාශිකරනයේ ආධිපත්‍ය ඩැහැගත් සමපේක්ෂනාත්මක හා අර්ධ සාපරාධී මූල්‍ය ගනුදෙනු ලෝක ධනවාදයේ සමස්ත ව්‍යුහයම බිඳ දමා ආර්ථික අවපාතය හා අන්තර් රාජ්‍ය ආතතීන් කරා පල්ලම් බැසීමට තුඩුදී ඇති බව පැහැදිලි කෙරී තිබේ.

සෑම රටකම පාලක පන්තීන්ගේ මන්ත‍්‍රය එකක් ම ය. තමන්ගේ ම දායකත්වයෙන් නිර්මානය කෙරුනු අර්බුදයේ මුලූ බර රැකියා විනාශය වැටුප් කැපීම හා අත්‍යවශ්‍ය සමාජ වැඩසටහන් හා අයිතීන් අතුගා දැමීම තුලින් කම්කරු පන්තිය මත පැටවිය යුතු යයි ඔවුහු ඉල්ලා සිටිති. ලෝක පද්ධතියක් ලෙස ධනවාදය අසාර්ථක වී ඇත. අනාගත දුගී භාවය අවමානය දේශගුනික ව්‍යසන හා පෙරලා දමනු නොලැබුවහොත් පසමිතුරු ධනේශ්වර ජාතීන් අතර නව ව්‍යසනකාරී යුද්ධයන්ගේ තර්ජනය පමනක් එය ඉතිරිකර තබයි.

කෙතරම් විශාල හෝ කුඩා වුවත් මෙම සති අන්තයට නියමිත ආරම්භක ගෝලීය විරෝධතා පිලිබිඹු කරනුයේ ගෝලීයව සංවිධානය වී ඇති මූල්‍ය හා සංගත මෙන්ම ඒවායේ අයිතිකාර ප‍්‍රභූව පිලිබඳ පොදු ගැටලු හා පොදු සතුරෙකු ගැන සෑම තන්හිම කම්කරු පන්තිය මූලිකව දැනුවත් වීමය. මෙහි දී ජාතික විසඳුම් ඇත්තේ නැත.

වාඩිලාගනු ව්‍යාපාරයේ නැගීමට තුඩුදී තිබෙන ආවේෂයන් පිලිබඳ දැනුවත් වීම දැන් තිබෙන තීරනාත්මක ප‍්‍රශ්නයයි. කම්කරු පන්තිය හා පීඩිතයින් මුහුනදෙන සටන සඳහා ජාත්‍යන්තර පරිමාන විප්ලවකාරී සමාජ වෙනසක් ගැබ්කරගත් විද්‍යාත්මකව සැකසූ දේශපාලන ඉදිරිදර්ශනයක් අවශ්‍ය වනු ඇත. දේශපාලන කි‍්‍රයාමාර්ගය මූලෝපාය හා උපායන් පිලිබඳ ප‍්‍රශ්න මත ගැඹුරු සාකච්ඡාවක් මෙහිදී අවශ්‍ය කෙරේ.

සියල්ලට පලමුව කම්කරු පන්තිය එක්සත් ජනපදයේ නම් ඩිමොක‍්‍රටික් පක්ෂය හා ඒඑෆ්එල්-සීඅයි ඕ යන වෘත්තීය සංගම් යුරෝපය පුරා ඇති සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර හා ස්ටැලින්වාදී පක්ෂ හා වෘත්තීය සමිති ඔස්ටේ‍්‍රලියාවේ කම්කරු පක්ෂය හා වෘත්තීය සමිති හා අනෙකුත් රටවල ඒ හා සමාන සංවිධාන ඇතුලු පාලක පන්තීන්ට සේවය කරන ධනේශ්වර ගැති හා ජාතිකවාදී සංවිධානවලින් බිඳී වෙන්වීමේ සාකච්ඡාවකට පිවිසිය යුතුය.

මෙම ප‍්‍රතිගාමී සංවිධානවල ආරක්ෂකයෝ එවන් සාකච්ඡාවක් වැලැක්වීමේ අරමුන ඇතිව උද්ඝෝෂන ව්‍යාපාරයේ පාලනය සියතට ගැනීමේ උත්සාහයක නිරත වෙමින් පෙලගැසී සිටීමේ යථාර්තයට වාඩිලාගනු විරෝධතාකරුවන් මුහුන දිය යුතුය. ඔවුන් පහසුවෙන් හඳුනාගත හැකිය. ඔවුන් වනාහි විරෝධතාවන්හි දී "දේශපාලනයට” ඉඩක් නොමැති බව මුකරි ලෙස කියා සිටින අයයි. ඕස්ටේ‍්‍රලියාවෙහි "සිඩ්නි වාඩිලාගනු” සමාජ ජාල සම්බන්ධතා වෙබ් පිටුවේ (ෆේස් බුක්) පරිපාලකයා එක් නිදසුනකි. මේ සතියේ ඔහු හෝ ඇය කියා සිටියේ "මෙය දේශපාලන න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් පැහැරගෙන යාමට උත්සාහ කරන කුමන පක්ෂයක් හෝ කන්ඩායමක් වෙත්නම් අප ඔවුන් එලියට ඇද දමන්නෙමු” යනුවෙනි.

එවන් ආස්ථානයන් ප‍්‍රගාඪ ලෙසම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වන අතර වාඩිලාගනු ව්‍යාපාරයේ නැගීමට තුඩුදී තිබෙන අභිලාෂයන්ට සතුරු ය. කම්කරු පන්තිය මුහුන දී සිටින තත්වයන්ට වගකිවයුතු ධනේශ්වර ගැති දේශපාලන න්‍යාය පත‍්‍රය වෙනුවෙන් පෙනීසිටි පක්ෂ හා වෘත්තීය සමිති පිලිබඳ කිසිදු විවේචනයක් තහනම් කිරීමට නොඅඩු කිසිවක් මෙහි ඇත්තේ නැත. එය වනාහි සමාජවාදී දේශපාලනය වාරනය කිරීමේ හා අව්‍යාජ දේශපාලන විකල්පයක වර්ධනය වැලැක්වීමෙහිලා දරන උත්සාහයකි.

"දේශපාලනය එපා” යන්න සෑම මට්ටමක දී ම අභූතයකි. "ධනපති සියයට එකට” එරෙහි අරගලය තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න මතුකරන බව බැරෑරුම් ලෙස සිතන ඕනෑම පුද්ගලයෙකුට රහසක් නොවේ. කුමන පන්තිය පාලනය කල යුතු ද යන මූලික දේශපාලන ප‍්‍රශ්නය පිලිබඳව ආස්ථානයක් ගැනීමට ඉතිහාසයේ සෑම සමාජ ව්‍යාපාරයකට ම බලකෙරී තිබුනි. ධනවාදය පෙරලා දැමීමේ ශක්තිය ඇති එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස බලමුලුගැන්වීම වෙත යොමුවී ගැනීම සමාජ වෙනසක් සඳහා වන අව්‍යාජ ව්‍යාපාරයක වගකීම වන්නේය. සමාජය සමස්තයක් ලෙස මුහුන දෙන ඓතිහාසික ගැටලු සඳහා විසඳුමක් එය විසින් ඉදිරිපත්කල යුතුය. ධනේශ්වර කතිපයාධිකාරයේ ආධිපත්‍යයටත් ලෝක ආර්ථිකය බිඳ දමන පරස්පර විරෝධයන්ගේ නැගීමටත් පදනම සම්පාදනය කල නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය හා ජාතික රාජ්‍ය පද්ධතිය අවසානයකට ගෙන ඒමට ඉතා සවිඥානක අරමුනක් ඊට තිබිය යුත්තේය.

වාඩිලාගනු ව්‍යාපාරය මුහුනපාන අන්තරාය වන්නේ එය මහජන කෝපය හා විරුද්ධත්වය කාන්දු කරවන හා එය අහිංසක ලෙස දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ හා ආයතන පිටුපසට හරවා යැවෙන තවත් එක් විරෝධතාවකට සිඳුවනු ලැබිමේ හැකියාවයි.

නිදසුනක් ලෙස එක්සත් ජනපදයේදී බලයේ සිටින ඩිමොක‍්‍රටික් පක්ෂයේ ආධාරකරුවෝ වෝල් වීදියට එරෙහි විරෝධතා බරක් ඔබාමා රිපබ්ලිකානුවන්ට වඩා වෝල් වීදියේ විරුද්ධවාදියෙකු ලෙස හුවා දක්වන ප්‍රෝඩාකාරී "අඩු නපුර” යන ප‍්‍රකාශ මතින් 2012 ඔහු යලිත් ජනාධිපති කරවීමේ උද්ඝෝෂනය තුලට යොමු කිරීමේ උත්සාහයක දැනටමත් නියැලී සිටිති.

ඔස්ටේ‍්‍රලියාවේ දී මෙම සති අන්තයේ පැවැත්වෙන විරෝධතාවන් තුලට පැනගෙන සිටින සමහර කොටස් ඒවා ලේබර් ආන්ඩුව එහි හරිත පක්ෂ හවුල් කරුවන් හා වෘත්තීය සමිති වෙනස සඳහා පෙනී සිටිය යුතුය. යන නිරර්ථක ඉල්ලීම් තුලට හරවා යැවීමේ උත්සාහයක නිරත වෙති. ඕස්ටේ‍්‍රලියානු ව්‍යාපාරික පැලැන්තිය වෙනුවෙන් කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහි ප‍්‍රහාර වඩාත් පුලුල් කිරීමේ මූලිකත්වය ගනු ලැබුවේ එම සංවිධාන විසින් ම ය.

ව්‍යාපාරය නිල දේශපාලන සංස්ථාපිතයේ තටු යටට දැක්කීම සඳහා යුරෝපය හරහා ද එවන් උත්සාහයන් දරනු ඇත. ප‍්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය ජර්මනියේ වාම පක්ෂය හා බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය වැනි සංවිධාන හිතාමතා හා දැනුවත්ව කුමන හෝ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වැලැක්වීමේ නිරත වෙයි.

අවශ්‍ය කෙරෙන්නේ ධනේශ්වර ගැති සංස්ථාපිතයට එරෙහි සවිඥානක කැරැල්ලකි. සෑම වර්ගයකම ජාතිකවාදයට හා ස්වෝත්තමවාදයට එරෙහිව සටන් වදින හා සෑම රටකදී ම අරගලය අව්‍යාජ කම්කරු ප‍්‍රජාතන්ත‍්‍ර ආන්ඩු පිහිටුවීමට හා සමාජය සමාජවාදී ප‍්‍රති සංවිධානයක් කරා මෙහෙයවන කම්කරු පන්තියේ ඒකාබද්ධ ලෝක පක්ෂයක් වාත්තු කල යුතුය "සියයට එකක” පාලනයටත් ධනවාදයේ අසාර්ථකත්වයටත් ප‍්‍රගතිශීලී පිලිතුර වන්නේ ප‍්‍රමුඛ මූල්‍යායතන හා සංගත පොදු අයිතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පාලනය වන ආයතන බවට පරිවර්තනය කිරීම හා පුද්ගලික ලාභය මත නොව සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක ආර්ථිකය සැලසුම් කිරීම යි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි උපාංග ලෙස සමාජවාදී සමානතා පක්ෂ හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සවිඥානකව මෙම ඉදිරිදර්ශනය දරා සිටියි. අපි ජාත්‍යන්තරව වාඩිලාගනු විරෝධතාවන්හි යෙදෙන සියල්ලන් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප‍්‍රතිපත්ති ඉතිහාසය හා සම්ප‍්‍රදායන් මත සාකච්ඡාවන් සඳහා අප ඇමතීමට දිරිගන්වන්නෙමු.

සටහන්:

මෙරට කම්කරුවන්ට හා තරුනයින්ට ද වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංවිධාන වල නායකයින් නිතර දමාගසන "දේශපාලනය එපා” යන ප‍්‍රකාශ හුරු පුරුදුය. වැටුප් හා ජීවන තත්වයන් රැකගැනීමේ වෘත්තීය හා නිදහස් අධ්‍යාපනයේ විනාශයට එරෙහි සිසු උද්ඝෝෂන තුල මූල්‍ය හා ව්‍යාපාරික ධනේශ්වරයේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් වැටුප්, ජීවන කොන්දේසි හා අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය වැනි සමාජ සහන කැපීමේ යෙදී සිටින ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක අවශ්‍යතාව මතුකල සෑම විටෙකදීම මෙම නායකයෝ එක්කෝ "දේශපාලනය එපා” නැතහොත් ඊට තවම කල් වැඩි යයි කියා සිටිති. ජනතා විමුක්ති පෙරමුන අරක්ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයට අනුබද්ධ විශ්ව විද්‍යාල සිසු සංවිධාන මෙන්ම ඊනියා ස්වාධීන ශිෂ්‍ය සංවිධාන නායකයින් මේ පිලිබඳව කුප‍්‍රකට ය. විරෝධතා උද්ඝෝෂන යටපත්කර හෝ දියකර හැරීමේ දී නායකත්වයේ කි‍්‍රයාකාරිත්වය ප‍්‍රශ්නයට බඳුන් කරන විවේචන මතුවන විට ද මෙම නායකයෝ එම ප‍්‍රකාශ දමා ගසති.

Share this article: