ඉරිනි කුනාටුව හා එක්සත් ජනපද යටිතල පහසුකම්වල දිරාපත්වීම

Hurricane Irene and the decay of US infrastructure

30 August 2011

පලමු වර්ගයේ කුනාටුවක් යයි ශ්‍රේනිගත කල පසුගිය සෙනසුරාදා හමාගිය ඉරිනි කුනාටුව ගොඩබිම අතුගාමින් හමායෑමට පෙර දිනයන්හි කැරොලිනා සිට නිව් ඉංග්ලන්ඩ් දක්වා නැගෙනහිර වෙරලේ වැසියන්ට සැලකිය යුතු විදුලි බලය ඇනහිටීම් පිලිබඳව බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් කර තිබුනි. පුරෝකථනය කරන ලද තීව‍්‍රතාවෙන් යුතුව ඉරිනි සමහර ප‍්‍රදේශ හරහා හමා නො ගියත් අවම වසයෙන් පුද්ගලයින් 35 දෙනකුවත් මරනයට පත්කිරීමට තරම් එය ප‍්‍රබල විය.

සඳුදා අපරභාගය වනවිට නැගෙනහිර වෙරල තීරය පුරා මිලියන 5.48ක් පමන නිවාස හා ව්‍යාපාර වලට විදුලිය නොලැබුනි. යෝධ විදුලි බල ඇනහිටීම් පොදුවේ එක්සත් ජනපද යටිතල පහසුකම්වල ද විශේෂයෙන් රටේ විදුලි බල ජාලයේ දිරාපත්වීම පිලිබඳ තියුනු සිහි කැඳවුමකි.

පුලුල් පරිමානව සිදුවූ විදුලිබලය ඇනහිටීම සරලව ම මිනිසාගේ පාලනයෙන් පිටස්තර ස්වභාවික බලවේගයන්ගේ ප‍්‍රතිඵලයන් ලෙස විස්තර කල නොහැක. ඊට විපරීතව එමගින් අනාවරනය කරන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පාදනය කල නො හැකි පරිදි බලශක්ති උත්පාදනය හා බෙදාහැරීම පුද්ගලික ලාභයට යටත් කර ඇති පද්ධතියක් පිලිබඳවය.

ලෝකයේ මූල්‍ය අගනුවර වන නිව් යෝක් නගරය ද ඇතුලුව රටේ වඩාත් ජන සංකේන්ද්‍රනයක් සහිත ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශවලට බලපාන කි‍්‍රයා විරහිතවීම්වල ප‍්‍රමානය විස්මය ජනක වේ. වේගවත් සුලං ධාරා හා ගස් කඩාවැටීම නිසා ඇදවැටුනු විදුලි රැහැන් හේතු කොට ගෙන ප‍්‍රාන්ත 13ක හා වොෂින්ටන් ඩීසීහි නිවාස හා ව්‍යාපාරවලට විදුලි බලය ඇනහිටියේ ය. සෑම ප‍්‍රදේශයක ම ආර්ථිකය හා ජන ජීවිතය මත ඇති කරන ලද ක්ෂනික හා දීර්ඝකාලීන ප‍්‍රතිවිපාක සැලකිය යුතු තරම්ය.

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තු වාර්තාවකට අනුව විදුලි බලය අහිමි වූවන් අතර: වර්ජිනියා හා උතුරු කැරොලිනාහි පාරිභෝගිකයන් මිලියනයකට අධික ප‍්‍රමානයක්, කනෙක්ටිකට් ප‍්‍රාන්තයේ සියයට 44ක් පමනවූ නිවාස හා ව්‍යාපාර 693,000 කෙරෙහි ඇතිකල බලපෑම, රෝඩ් දිවයිනේ සියයට 64ක්, මේරිලෑන්ඩ්, නිව් ජර්සි, මැසචුසෙට්ස් හා නිව් හැම්ප්ෂයර්හි පහෙන් පංගුවක් පමන වෙයි.

සඳුදා වනවිට ස්ටේටන් දිවයිනේ නිවාස හා ව්‍යාපාර 6,800ක් ද නිව් යෝක් නගරයට උතුරින් වෙස්චෙස්ටර් ජනපදයේ 55,800ක් පමන ද ඇතුලුව නිව් යෝක් ප‍්‍රාන්තයේ පාරිභෝගිකයින් 938,519කට පමන විදුලිබලය නැතිවනු ඇතැයි තක්සේරු කෙරී තිබුනි. නිව් යෝක් හරහා ඉරිනි හමාගියේ බොහෝ අනාවැකිකරුවන් පුරෝකථනය කර තිබුනු පරිදි පලමුවන වර්ගයේ කුනාටුවක් ලෙස නොව නිවර්තන කුනාටුවක් ලෙස යි.

විශේෂයෙන් ම නිව් යෝක් නාගරික ආන්ඩුව හා ෆෙඩරල් ආන්ඩුව පොදු ප‍්‍රවාහනය ඇතුලුව සමස්ත නගරය ම වසාදැමීම සඳහා කුනාටුව අවස්ථාවක් ලෙස යොදා ගත්හ. නිතර ම සිදුවන පරිදි ස්වාභාවික ව්‍යසන රාජ්‍යයේ හයි හත්තිය උරගා බැලීමේ හා සමාජ කැලඹීමක දී භාවිතා කරනු ලැබීමට නියමිත ක‍්‍රමෝපායන් උරගා බැලීමේ අවස්ථාවක් බවට පත් වේ. ඒ අතර බිඳවැටෙන යටිතල පහසුකම් ප‍්‍රතිසංස්කරනය හා සාමාන්‍ය පුරවැසියන්ට සිදුවන හානියට යෝධ සමාජ අසමානතාව මගින් වසාගනු ලැබ ඇති පද්ධතියක් තුල විසඳුම් සෙවීමට කිසිවක් නො කරනු ඇත.

පහත් ප‍්‍රදේශවල 370,000ක් දෙනෙකුට පමන ඉවත්වන ලෙසට අනිවාර්ය නියෝගයක් පනවන ලද්දේ වුවත් සැලකිය යුතු නිව් යෝක් වැසියන් පිරිසක් එය නො තකා හලහ. ක්වීන්ස් හා බ්රොන්ක්ස් අතර ඊස්ට් රිවර් ප‍්‍රදේශයේ පිහිටා ඇති රයිකර් දූපත් බන්ධනාගාරයේ රැඳවියන් 12,000කට ඉවත් වීමට නියෝග නො කරන ලද බව සැලකිල්ලට ගත මනා ය.

නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් පෙර නුවූ විරූ ලෙස සාමාන්‍ය සතියේ දිනක මගීන් මිලියන 11කට අධික සංඛ්‍යාවකට සේවය සපයන නාගරික ප‍්‍රවාහන අධිකාරිය (එම්ටීඒ), එනම් සමස්ත නිව් යෝක් ප‍්‍රවාහන පද්ධතිය, වසා දැමීමට නියෝග කලේ ය. ප‍්‍රවාහන අධිකාරීහු තමන්ට සියලු මාර්ග ඇසින් දැක පරීක්ෂා කිරීමට සිදුවෙතැයි කියද්දී සඳුදා දිනයේ පද්ධතිය සීමිත ලෙස යලි විවෘත කරන ලදී. පද්ධතිය බොහෝ කොට ශතවර්ෂ ගනන් පැරනි තාක්ෂනය හා 19වන ශතවර්ෂය දක්වා දිවෙන සංඥා පද්ධතියක් මත කි‍්‍රයාත්මක වේ.

ඩොලර් බිලියන 31ක් නයවී සිටින එම්ටීඒහි 2011 වසර සඳහා වන මෙහෙයුම් අයවැය තුල ඩොලර් මිලියන 900ක හිඟයකට මුහුනපා සිටියි. පද්ධතිය ප‍්‍රතිසංස්කරනය කිරීම හා වැඩිදියුනු කිරීම වෙනුවට ප‍්‍රවාහන අධිකාරිය ගාස්තු ඉහල නංවා මාර්ග දුර අඩුකර කම්කරුවන් දහස් ගනනක් දොට්ට දමා තිබේ. කැපී පෙනෙන අධෝලිපියක් දක්වතොත්: ඕනෑම සාමාන්‍ය රාතී‍්‍රයක 40,000කට අධික වන නිව් යෝක් නගරයේ නිවාස අහිමි ජනගහනයෙන් සමහරෙක් කුනාටුව මධ්‍යයේ රැකවරනය ලද්දේ වසාදැමූ අතුරු මාර්ග නැවතුම්පොලවල ය.

අනෙක් අතට නිව් යෝක් මූල්‍ය ප‍්‍රභූතන්ත‍්‍රය නිව් යෝක් කොටස් හුවමාරුව හා පහල මැන්හැටන්හි අනෙකුත් ආයතන වැලි ගෝනි යොදා ආරක්ෂා කල බව හා සඳුදා උදෑසන වෙලඳපොලවල් විවෘතව තැබීමට විදුලි ජනක යන්ත‍්‍ර සූදානම්ව තබා ඇති බව සහතික කරගත්තේ ය.

තව ද දේශපාලන සංස්ථාපිතයේ වඩාත් ම ප‍්‍රතිගාමී කොටස් හැර අනෙක් සියල්ලෝ කාලගුන විද්‍යා සංසිද්ධි කෙරෙහි ගෝලීය උෂ්නත්වයේ බලපෑම පිලිබඳව හොඳින් දනිති. පෘථිවියේ සාගරවල උෂ්නත්වය ඉහල යද්දී උනුසුම් ජලධාරා ඉහල තීව‍්‍රතාවෙන් යුතු කුනාටු හා සුලිසුලං ජනනය කිරීම පිලිබඳව විද්‍යාඥයෝ පොදු එකඟතාවක සිටිති. එහෙත් මෙම ප‍්‍රවනතාව අවම කිරීමට අර්ථවත් ආන්ඩු හෝ සංගත මැදිහත්වීමක් සිදු නොවන්නේ ය.

එක්සත් ජනපදයේ විදුලිබල ජාලය පිලිබඳව සලකන කල එය යල්පැනගිය හා අප‍්‍රමානවත් පද්ධතියක්ය යන්න ප‍්‍රකට කාරනයකි. එක්සත් ජනපදයේ සියලු විදුලි රැහැන් පොලවට උඩින් ඇද තිබෙන අතර යල්පිනූ රැහැන් හා කනු වලින් සම්පේ‍්‍රෂනය කරනු ලැබේ. රටේ බොහෝ ප‍්‍රදේශවල ජනයා දන්නා පරිදි කි‍්‍රයාවිරහිත වීමක් ඇති කිරීමට කුනාටවුක් ම අවශ්‍ය නැත. සාමාන්‍ය ගිගුරුම් සහිත කුනාටුවක් හෝ හිම කුනාටුවක් දින ගනනකට විදුලිබලය අහිමි කිරීම සඳහා ප‍්‍රමානවත් ය.

කුනාටුවේ බලපෑම අන්තර්-සම්බන්ධිත කි‍්‍රයාදාම දෙකක ප‍්‍රතිවිපාක පිලිබඳ තවත් එක් ප‍්‍රකාශනයකි. එනම් ඇමරිකානු ධනවාදයේ දීර්ඝ-කාලීන පිරිහීම හා දීර්ඝ-කාලීන සැලසුම් හා සමාජීය ආයෝජන වැනි පියවර ගැනීමට මුලුමනින් ම අසමත් පරපෝෂිත මූල්‍ය ප‍්‍රභූතන්ත‍්‍රයේ නැගීම යි. වෙලඳපොලේ සමපේක්ෂන මගින් ටි‍්‍රලියන ගනන් පොදිගසාගෙන ඇති මෙම සමාජ ස්ථරයත් එහි ධනයත්, නිෂ්පාදන බලවේගයන්ගෙන් හා සමස්තයක් ලෙස සමාජයේ වර්ධනයෙන් බොහෝ කොටම හුදෙකලාවී ඇත.

මේ අතර පසුගිය දශක තුනක කාලය තුල ප‍්‍රවාහනය, ගුවන් මාර්ග, විදුලි සංදේශනය, බලශක්තිය යන ක්ෂේත‍්‍ර සමස්ත කර්මාන්ත නියාමනයන්ගෙන් හා ලාභ රැස්කිරීමේ සියලු සීමාවන්ගෙන් නිදහස් කරනු ලැබ ඇත. මෙය කම්කරුවන්ට බලපා ඇත්තේ රැකියා හා වේතන මත නො නවතින ප‍්‍රහාරයක් ලෙස වන අතර සාමාන්‍ය ජනයාට ඉහල යන මිල ගනන්, පිරිහෙන සේවාවන් හා පොදු උපයෝගිතා වසාදැමීම් ලෙස බලපා තිබේ.

බැංකු වෙත ටි‍්‍රලියන ගනන් මුදල් ප‍්‍රදානය කෙරුනත් මූලික සමාජ අවශ්‍යතා ඉටුකරගැනීමට කිසිවක් ලබාගත නො හැක. කැති‍්‍රනා කුනාටුවේ සිට බීපී තෙල් ව්‍යසනය හරහා මේ වසරේ රටේ බොහෝ ප‍්‍රදේශ මත විනාශය කැඳවූ සුලි කුනාටු දක්වා එක් ව්‍යසනයකට පසුව තවෙකක් වශයෙන් සමාජ දිරාපත්වීම හෙලිදරවු කර තිබේ. රටේ අතිමහත් බහුතරය පරිහානියකට මුහුනපා සිටී.

එක්සත් ජනපදයේ මිලියන 26ක් වන රැකියා විරහිතයන් මාර්ග, මහජන ප‍්‍රවාහනය, ජල හා අපද්‍රව්‍ය පද්ධති, සන්නිවේදන ජාල මෙන් ම පාසල්, රෝහල් හා පොදු නිවාස යලි ගොඩනැඟීමේ කටයුතුවලට යොදාගත හැකිය. එහෙත් එවැනි කිසිවක් යෝජනා කරනු නොලැබේ. ඒ වෙනුවට ඔබාමා පරිපාලනය විසින් මෙහෙයවන දේශපාලන සංස්ථාපිතය තමන්ම නිර්මානය කල ආර්ථික අර්බුදයට ප‍්‍රතිචාර දක්වන්නේ ෆෙඩරල් පිරිවැය ඩොලර් ටි‍්‍රලියන ගනනින් කපාහරිමිනි.

පැමිනීමට නියමිත එම වර්ගයේ අවසන් ව්‍යසනය ඉරිනි කුනාටුව නො වන අතර ප‍්‍රකෘතිමත් කිරීමේ වැඩකටයුතු සඳහා ආධාර දීමට බොහෝ වැඩ කල යුතුව තිබේ. එහෙත් කුනාටුවේ පසු විපාකවලට මුහුන දෙන අයට ආන්ඩුවෙන් අපේක්ෂා කල හැක්කේ සුලු සහයෝගයකි. කලින් ඇතිවූ කුනාටු, සුලි කුනාටු හා අනෙකුත් ව්‍යසන මගින් විපතට පත්වූවන් තම නිවාස හා ජීවනෝපායන්ට සිදු වූ හානි තමන්ම පියවාගන්නා තැනට අතහැර දමා තිබිය දී ඔවුන්ගේ ඉරනම පිලිබඳ පුවත් මාධ්‍ය සිරස්තල වලින් ඉවත්වී යයි.

කේට් රැන්ඩල්