එක්සත් ජනපද මෝටර්රථ කම්කරුවෝ ඓතිහාසික අරගලයකට මුහුන දෙති

US auto workers face historic struggle

8 September 2011

එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස්, ෆෝර්ඩ් හා ක‍්‍රයිස්ලර් මෝටර්රථ කම්කරුවන් 114,000ක් ආවරනය කෙරෙන සිව් අවුරුදු කම්කරු ගිවිසුම සැප්තැම්බර් 14වැනි දා අවසන් වේ. එම සමාගම් මෙම වසරේ දී ලාබ වශයෙන් ඩොලර් බිලියන 7ක් රැස් කර ගෙන ඇතත්, 2003 සිට වැටුප් වැඩිවීමක් ලබා නැති කම්කරුවන් වැටුප්වල හෝ සේවා තත්වයන්ගේ වර්ධනයක් නොදකිනු ඇත යි හාම්පුත්තු පැහදිලි කර ඇත.

ඊට විපරීතව ඔබාමා පරිපාලනයේ හා එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ සංගමයේ (යූඒඩබ්ලිව්) සම්පූර්න සහයෝගය ඇතුව එකී සමාගම්වල විධායකයෝ දැනට සිටින වඩා හොඳ වැටුප් ලබන කම්කරුවන් එලවා දැමීමට හා අඩු වැටුප් ලබන අනියම් කම්කරු බලකායක් ඇති කිරීමට පීඩනය යොදමින් සිටිති.

මෙය නැවැත්වීමට නම්, කම්කරුවන් යූඒඩබ්ලිව් සංගමයෙන් ස්වාධීන නව මාවතක් සොයා ගත යුතුය. ඔවුන්, යූඒඩබ්ලිව්හි සහාය ලැබෙන ඔබාමා පරිපාලනයේ කප්පාදුවලට එරෙහිව කම්කරුවන් දේශපාලන අරගලයකට මුහුන දෙති යි යන්න තේරුම් ගැනීමෙන් යුතු ව සටන ඇරඹිය යුතු ය.

2009 ඔබාමා පරිපාලනය ජෙනරල් මෝටර්ස් හා ක‍්‍රයිස්ලර් සමාගම් ප‍්‍රතිව්‍යුහගත කිරීම ඔටෝ කම්කරුවන් මත වූ දශක තුනක් දීර්ග ප‍්‍රහාරයේ කූඨප‍්‍රාප්තිය විය. යූඒඩබ්ලිව්හි පාවාදීම ඇතුව ධවල මන්දිරය, අලුතින් බඳවා ගන්නන් සඳහා වන වැටුප් අඩකින් කැපීමට, විශ‍්‍රාමිකයන් හා ඔවුන්ගේ පවුල් සිය දහස් ගනනක් යූඒඩබ්ලිව් විසින් මෙහෙය වෙන අඩු අරමුදල් සැපයෙන සෞඛ්‍ය රක්ෂන ක‍්‍රමයක් තුලට ඇද දැමීමට සහ වාර්ෂික වැටුප් වැඩිවීම්, ජීවන වියදම් ගැලපීම් හා විරැකියා ආරක්ෂාව අහෝසි කිරීමට සමාගම වසා දැමීමේ තර්ජනය ප‍්‍රයෝජනයට ගත්තේ ය.

ඇමරිකානු සංගත කම්කරු පන්තියේ සෑම කොටසකට ම එරෙහිව වැටුප් කප්පාදුවක් දියත් කිරීමට මිල අඩුවීම පාවිච්චි කර ඇත. මහජන විරැකියාව ඉදිරියට යද්දී හා ආර්ථිකය ගැඹුරු අවපාතයකට තල්ලු වී යන මෙහොතේ දී ම මෙය ලාභයේ ක්ෂනික ප‍්‍රසාරනයක් ඇති කර තිබේ.

යූඒඩබ්ලිව් විසින් සැකසූ අඩු වැටුප් මට්ටම මේ වන විටත් ගෝලීය රථවාහන කර්මාන්තයේ තරගකාරී අරගලයකට පොලඹවා ඇත. ෆියට් - ක‍්‍රයිස්ලර් ප‍්‍රධානි සර්ජියෝ මාර්චිඕනි ඇමරිකානු ක‍්‍රමයේ සහන පිලිගන්නා ලෙසත් නැත් නම් තමන් ලාභ ශ‍්‍රමය සඳහා නිෂ්පාදනය උතුරු ඇමරිකාවට ගෙන යන්නේ ය යනුවෙන් ඉතාලියානු කම්කරුවන්ට පැවසීම මෙහි ප‍්‍රකාශනයකි.

කලක දී එක්සත් ජනපදයේ ඉහල ම වැටුප් ලැබුවේ කාර්මික කම්කරුවා වුව ද, අද අලුතින් බඳවා ගත් යූඒඩබ්ලිව් කම්කරුවෙක් පැයකට ඩොලර් 14ක් වන "දෙවැනි පෙල” වැටුපක් ලබ යි. උද්ධමනය හා වෘත්තිය සමිති ගාස්තු ගනන් ගන්නා විට මෙය ඔවුන්ගේ සමානයන් 1931 එනම්, යූඒඩබ්ලිව් ව ස්ථාපිත කිරීමට අවුරුදු හතරකට පෙර ඉපයූ මුදල හා සසඳන විට පැයකට ඩොලර් සත 92ට සමාන ය. "පලමු පෙල” කම්කරුවන් සම්බන්ධයෙන් ගත් විට, ඔවුන්ගේ වැටුපේ ක‍්‍රය ශක්තිය ආසන්න වශයෙන් ශත වර්ෂ භාගයකට පෙර තත්වයට වැටී ඇති බව ඔවුන් දැක ඇත.

කර්මාන්ත ශාලා තුල කම්කරුවෝ පැය 10-12 වැඩ දිනවලට, එකලස් කිරීමේ පේලියේ වැඩ වේගවත් කිරීම්වලට, වඩාත් කෙටි විවේක හා නිවාඩුකාලවලට සහ රැකියා අහිමිවීමේ අනවරත තර්ජනයට මුහුන දෙති. රැකියා අහිමි කම්කරුවන්ට සුපුරුදු වාසස්ථානයෙන් තම පවුල් ඉවත් කර ගෙන වෙනත් තැනක රැකියාව සඳහා සැතපුම් සිය ගනන් යෑමට බල කෙරේ. යූඒඩබ්ලිව්ව ජෙනරල් මෝටර්ස් හා ක‍්‍රයිස්ලර් සමාගම් තුල වැඩ වර්ජනය කිරීමේ අයිතිය ද අතහැර දමා ඇති අතර අවසාන කොන්ත‍්‍රාත්තුවට කිසි ම ඡන්දයක් දීමෙන් කම්කරුවන් ඉඳුරාම ඉවත් කරන බන්ධනයකට එකඟ වී ඇත.

මෙම ප‍්‍රතිපත්තියට හේතුව මුදල් හිඟකම නොව ඔටෝ ප‍්‍රධානීන්ගේ හා සමස්ථ මූල්‍ය ප‍්‍රභූත්වයේ අහංකාරය හා පරපුටුවාදය යි. ඔටෝමෝටිව් නිව්ස් තුල මෑත ලිපියක් සඳහන් කල පරිදි ෆෝර්ඩ් සමාගමේ 41,000ක් කම්කරුවන් සඳහා සියයට හතරක පඩි වැඩිවීමක් හා වාර්ෂික ජීවන වියදම් ගැලපුම් නැවත පිහිටුවීම එම සමාගමට ඩොලර් මිලියන 95.5ක පමන වියදමක් වනු ඇත. එය, "මාර්තුවේ දී ෆෝඩ් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇලන් මුලාලි හා විධායක සභාපති කනිෂ්ට බිල් ෆෝඩ්ට ගෙවූ ඩොලර් මිලියන 98ක පූර්ව බදු කොටස් ත්‍යාගයට වඩා ඇබිත්තක් අඩු ය.”

එසේ වුව ද, සංගත විධායකයින් හා වෘත්තීය සමිති නිලධාරීන් සියල්ල වැඩිකිරීම් "ප‍්‍රශ්නයෙන් පිටය” යන්නට එකඟ යයි කාර්මික ප‍්‍රකාශනය සඳහන් කලේ ය.

ඔටෝ කම්කරුවන්ට තම ජීවන තත්වයන් ආරක්ෂා කිරීමට සටන් කල හැක්කේ, කම්කරු පන්තිය මත එල්ල වන බරපතල ප‍්‍රහාරයන්ට විවෘතව තම සහාය පලකරන වෘත්තීය සමිති නිලධරයෙන් වෙන්වුවහොත් පමනි.

මෙලෙස, පසු ගිය මාසයේ ඩෙට්‍රොයිට් ආර්ථික සංසදයට ඔහු කල ප‍්‍රකාශය තුල, යූඒඩබ්ලිව් සභාපති බොබ් කින්ග් ඉහල "ස්ථාවර වියදම්”, උදාහරන වශයෙන් පැයකට ඉහල වැටුප්, සමග වෘත්තීය සමිති සමාගම්වලට බර නොපටවනු ඇතැ යි පොරොන්දු විය. ඔටෝ ලොක්කන්ගේ ලාභ පවත්වා ගෙන යාමට යූඒඩබ්ලිව්ව කැපවී ඇති බව ඔහු තව දුරටත් කීවේ ය. "හුදෙක් අපට අවශ්‍ය ව ඇත්තේ අපගේ සමාගම් ඉදිරි සිව් අවුරුද්දේ සාර්ථක කර ගැනීමට කෙරෙන ප‍්‍රතිසංවිධානය කටයුතු තහවුරු කරගැනීමට” යයි ඔහු තම ශ‍්‍රාවක විධායකයින්ට පැවසුවේ ය. "ඔබ ස්ථාවර මිලක් එකතු කල හොත් ඔවුන්ට එය කල නොහැකි වනු ඇත”.

අවුරුදු හැත්තෑපහකට පෙර සමාජවාදීන් හා වාමාංශික සටන්කාමීන් විසින් මෙහෙය වන ලද ඔටෝ කම්කරුවෝ ජෙනරල් මෝටර්ස් සමාගමට එරෙහි 1936 ෆ්ලින්ට් වාඩිලා ගැනීමේ වැඩවර්ජනය තුල ඇමරිකානු කම්කරු පන්තියේ කාර්මික සංවිධානයට නායකත්වය දුන්හ. නමුත්, මෑතක දී සංවිධානය වූ යූඒඩබ්ලිව් හා සීඅයි ඕ සංවිධානවල වෝල්ටර් රූතර් ඇතුලු නායකයෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට හා එහි කොමියුනිස්ට් විරෝධී ප‍්‍රචාරයට කම්කරු පන්තිය යට කර දැමූ හ.

මෙම ඓතිහාසික පාවාදීමේ සම්පූර්න ගම්‍යයෝ 1970 අවසානය වන තෙක් මුලුමනින් ම පැහදිලි නොවූහ. 1960 ගනන් හා 1970 ගනන්වල සටන්කාමී කම්කරු අරගලවලට සහ ආසියානු හා යුරෝපීය තරගකරුවන්ගේ නැගීමට මුහුන දීමත් සමග එක්සත් ජනපද ඔටෝ ප‍්‍රධානීහු කම්හල් වසා දැමීමත් කම්කරු බලකායට එරෙහි තදබල ප‍්‍රහාරයක් ගෙන යාමත් ඇරඹූහ. ඊලඟ වසරවල දී, වෘත්තීය සමිති නිලධරයේ සහාය ඇතිව ධනවත්තු තමන් ව දැවැන්ත ලෙස පොහොසත් කර ගන්නා අතරේ ඔටෝ හා අනෙකුත් තීරනාත්මක කර්මාන්තවල කම්කරුවෝ තම ජීවන තත්වයන් කපා දමනවාත් තමන්ගේ කම්හල් වසනවාත් දුටුවෝ ය.

ෆෝර්ඩ් කාර්මාන්ත සම්බන්ධීකරන කලමනාකාරුගේ පුත් බොබ් කින්ග් යුඒඩබ්ල්ව්හි උසස් ම තනතුරට එසවීම මෙම සංවිධානය හාම්පුතුන්ගේ, බැංකුකරුවන්ගේ හා රාජ්‍ය පැත්තට යාමේ සංකේතයකි.

වචනයේ කිසිදු අර්ථයකින් යුඒඩබ්ලිව්ව "වෘත්තීය සමිතියක්” නොවේ. ඒ වෙනුවට එය සංගත ලාභ හා එය දුව වන සමිති විධායකයන්ගේ ඉසුරුමත් ජීවන රටාව ආරක්ෂා කිරීමට කැප වුන ඩොලර් බිලියන ගනනක ව්‍යාපාරයකි. යූඒඩබ්ලිව් සංවිධානවල ප‍්‍රධාන උත්සුකය සංගත මන්ඩලවල ආසන දිනා ගැනීම සහ වඩවඩා නිෂ්පාදන එක්සත් ජනපදයට ගෙන ඒමට සමාගම් පෙලඹවීමත් ය: ඒ මගින් එයට දිලිඳු මට්ටමේ වැටුප් උපයන කම්කරුවන්ගෙන් වඩාත් වෘත්තීය සමිති සුංගම් එකතු කර ගත හැක.

ඔටෝ කම්කරුවන්ට මෙම කුමංත‍්‍රනය පරාජය කල හැකි එක ම මග වන්නේ යූඒඩබ්ලිව්වෙන් වෙන් වී ඉන් ස්වාධීනව සංවිධානය වීම යි. ඔටෝ කම්කරුවන්ගේ සියලු ම කොටස් එක්සත් කිරීමට කම්කරු කමිටු ගොඩනැගීමත් සමග මෙය ඇරඹෙයි.

කම්කරුවන් විසින් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පාලනය කෙරෙන මෙම කමිටු, වෛරී තට්ටු දෙකේ වැටුප් ක‍්‍රමය අහෝසි කිරීමටත්, වැඩවර්ජන කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට සහ කම්කරු පන්තියේ මුලු කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමට වන සටනට නායකත්වය දිය යුතු ය. වැසූ සියලු ම කම්හල් විවෘත කල යුතු අතර සියලු ම කම්කරුවන්ට රැකියා ආරක්ෂා කර ගැනීමේ අයිතිය සහතික කරනු පිනිස හාම්පුතුන් ගෙවූ ප‍්‍රතිලාභ නැවත ස්ථාපිත කල යුතු ය.

ඒ අතර ම, හාම්පුතුන්ට හා වෝල් වීදියේ බැංකු ගලවා ගැනීමට ඩොලර් ටි‍්‍රලියන ගනන් බැංකුවලට පුදන අතර කම්කරුවන් සඳහා මුදල් නැත යි කියන ඔබාමා පරිපාලනයට එරෙහිව ඔටෝ කම්කරුවන් දේශපාලනිකව සන්නද්ධ විය යුතු ය. මුදල් නැත යි යන්න බොරුවකි. ධනය පවතී, නමුත් ඒවා ධනපතීන් විසින් ඩැහැගෙන ඇත.

මෙහි අර්ථය නම්, වෘත්තිය සමිති නිලධරයේ කොමියුනිස්ට් විරෝධයෙන් හා ජාතිකවාදයෙන් කැඩී වෙන් වී කම්කරු පන්තිය සමාජවාදය දෙසට හැරිය යුතු බව යි. ඔටෝ කම්කරුවන් සංගතවලට, ධනේශ්වර ක‍්‍රමයට හා එය ආරක්ෂා කරන ප‍්‍රධාන මහා ව්‍යාපාරික පක්ෂ දෙකට එරෙහිව දැනුවත් ව සටන් කල මුල් පරම්පරාවේ කම්කරුවන්ගේ සමාජවාදී සම්ප‍්‍රදායන් යලි පන ගැන්විය යුතු ය.

ඔටෝ කම්කරුවන්ගේ අරගලය රැකියා, සමාජ වැඩසටහන් විනාශ කිරීමට හා සමාජයේ පොහොසත් ම සියයට එකේ සාක්කුවට ධනය මාරු කිරීමට එරෙහි සමස්ථ කම්කරු පන්තියේ සටන සමග සම්බන්ධ කල යුතු ය. එක්සත් ජනපද හා ලෝක ආර්ථිකයේ සමාජවාදී පරිවර්තනයේ කොටසක් ලෙස ඔටෝ කර්මාන්තය කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ මහජන සේවයක් බවට හැර විය යුතු ය.

ජෙරී වයිට්