ඔබාමාගේ රැකියා ප්‍රෝඩාව

Obama’s jobs fraud

10 September 2011

කොන්ග‍්‍රසයේ ඒකාබද්ධ සැසියට කලින් බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ කතාවක් පැවැත්වූ ජනාධිපති බැරැක් ඔබාමා සිකුරාදා වර්ජිනියාවේ රිච්මන්ඩ්හි පැවැත්වූ රැලියකින් තම උද්ඝෝෂනය දියත් කලේ ය. සිය ඇමරිකානු රැකියා පනතට මහජන සහාය පෙල ගස්වා ගැනීමේ අරමුනින් සංවිධානය කල මෙම උද්ඝෝෂන රැලිය රට වටා පැවැත්වීමට යන එවන් රැලි මාලාවක පලමු වැන්න යි.

සිය ජීවන කොන්දේසි තව දුරටත් පිරිහෙලන පිලිවෙත් සඳහා හුරේ දැමීම ට බලමුලු ගැන්වුනු වැඩ කරන ජනතාව පිලිබඳ සෝචනීය චිත‍්‍රයක් රිච්මන්ඩ් සිද්ධියෙන් පෙන්නුම් කෙරින.

කොන්ග‍්‍රස් සැසියට කලින් ඔබාමා පැවැත්වූ බෙහෙවින් ඒත්තු ගන්වනසුලු "රැකියා” කතාව ඇමරිකානු දේශපාලනය වසා පැතිර යන වංක භාවය ද කූට භාවය ද පිලිබඳ සාක්ෂියකි. ඇමරිකාවේ විරැකියන් අත්විඳින කාලකන්නි තත්ත්වය සම්බන්ධයෙන් සටන්කාමී උත්සුකයක් පල කරන්නෙකුගේ ජනතාවාදී සෙයියාව වාත්තු කර ගැනීමට ජනාධිපතිවරයා යත්න දැරී ය. එහෙත් ඔහු එසේ කලේ, තම සැලැස්මෙහි අඩංගු වන්නේ රිපබ්ලිකානුවන් සේ ම ඩිමොක‍්‍රැටිකයන් ද අනුමත කල, මහ ව්‍යාපාරිකයන්ගේ පරිස්සම් සහගත සලකා බැලීමට ලක් වුනු වැඩ පිලිවෙලක් බව සංගත අල්ලස් ලබන කොන්ග‍්‍රස් සාමාජිකයන්ගෙන් සැදුම් ලත් තම ශ‍්‍රාවක පිරිසට සහතික කරන ගමන් ම ය. සැලැස්මෙහි අඩංගු සෑම සතයක් ම හිලව් කර ගනු ලබන්නේ සමාජ වැඩ සටහන්වල සිදු කරන දැවැන්ත කප්පාදු හරහා බව ඔහු අවධාරනයෙන් කියා සිටියේ ය.

"රැකියාවක් සොයමින් මාස ගනනක් ගෙවා ඇති” අය සම්බන්ධයෙන් තමන් මවා පාන සානුකම්පික භාවය, "හැම කෙනෙකු ම සාධාරන කම්පනයක් අත්විඳින, හැම කෙනෙකු ම තමන්ට හිමි සාධාරන වැඩ කොටස ඉටු කරන” සහ "හැම කෙනෙකුට ම ලඟා කර ගත” හැකි කල්පිත ඇමරිකාවක් උදෙසා කෙරෙන කන්නලව් සමග සම්බන්ධ කිරීමට ඔහු ක‍්‍රියා කලේ ය.

"ඇමරිකානුවන් මේ වන විට දශක ගනනාවක් තිස්සේ ඒ සංයුක්ත සෝදාපාලූව දෙස විමසිලිමත්ව බලා සිට තිබෙනවා” යි ඔහු ප‍්‍රකාශ කලේ ය. "කාඩ් කුට්ටම නිතර ම පාහේ තමන්ට එරෙහිව අනන හැටි ඔවුන් දැක තිබෙනවා.”

මේ වචන තෙපලන්නේ, ඇප දී බැංකු බේරා ගැනීම සඳහා රජයේ අරමුදල්වලින් ඩොලර් ටි‍්‍රලියන ගනන් වියදම් කිරීමේ දී ද තමන් ඇටවූ "රථ නිෂ්පාදන අංශයීය කාර්ය බලකාය” යොදා ගෙන මෝටර් රථ කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ දීමනා විනාශ කිරීමේ දී ද ෆෙඩරල්, ජනපද සහ ප‍්‍රාන්ත මට්ටම්වල දී රාජ්‍ය අංශයේ රැකියා සහ සේවාවන් දරුනු ලෙස කප්පාදු කිරීමේ දී ද මුලසුන ගත් ජනාධිපතිවරයෙකි!

මෙම අර්බුදයේ සෑම ලක්ෂ්‍යයක දී ම ප‍්‍රතිපත්ති නිර්නය වී තිබෙන්නේ මූලධර්ම දෙකකිනි: එනම්, සෑම යෝජනාවක් ම වෝල් වීදියට පිලිගත හැකි රාමුවක් තුල ඉදිරිපත් විය යුතු ය, කම්කරු පන්තියට එල්ල කරන ප‍්‍රහාරය තීව‍්‍ර කිරීමට අර්බුදය ගසා කෑ යුතු ය. මෙය ඇරඹුනේ මෙඩිකෙයාර් සෞඛ්‍ය රක්ෂන ක‍්‍රමය ඉලක්ක කොට ගෙන ඔබාමා ක‍්‍රියාවට ලූ ඊනියා සෞඛ්‍ය රැකවරන "ප‍්‍රතිසංස්කරන” සමගිනි. සමාජ සුරක්ෂිතතාවට එල්ල කරන ප‍්‍රහාරය පුලුල් කරමින් දැන් සිය ඊනියා රැකියා වැඩ සටහන තුලින් එය පුලුල් කොට ඇත.

පැකේජය සඳහා දරන ඩොලර් බිලියන 447ක වියදමින් අඩකට වැඩි ප‍්‍රමානයක්, එනම් ඩොලර් බිලියන 240ක් ලබා ගන්නට යන්නේ හාම්පුතුන්ට මෙන් ම කම්කරුවන්ට පනවා ඇති සමාජ සුරක්ෂිතතා බදුවල කරන කප්පාදුවලිනි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රමිකයන්ගේ අත්‍යවශ්‍ය විශ‍්‍රාම යාමේ වැඩ සටහන දිය වී යනු ඇත, දීමනා සහ ඒ සඳහා වන සුදුසුකම් දරුනු ලෙස කප්පාදු කිරීමට කරන ඉල්ලීම් ඉහල යනු ඇත, හාම්පුතුන් ඩොලර් බිලියන 65ක අනපේක්ෂිත බදු සහනයක් ලබනු ඇත.

ඔබාමා ඉල්ලමින් සිටින දෙයෙහි හරය නම් සාපේක්ෂ වශයෙන් අතලොස්සක් වන අලුත් රැකියාවලට ගෙවනු වස් ඇමරිකානු මහජනතාව තමන් අනාගතය වෙනුවෙන් ඉතිරි කර ගෙන තිබෙන දේ උකසට තැබිය යුතු ය යන්න යි.

පසු ගිය ජුලි මාසයේ පිහිටුවුනු කොන්ග‍්‍රස් උත්තර කමිටුව නියම කල ඩොලර් ටි‍්‍රලියන 1.5 වත්මන් අයවැය කප්පාදුව තවත් වැඩි කර ගැනීමට පීඩනය යොදන බව ඔබාමා පැවසී ය. මෙඩිකෙයාර් සහ මෙඩිකේඩ් සෞඛ්‍ය රක්ෂන ක‍්‍රම තව දුරටත් කප්පාදු කල යුතු යැයි ඔහු අවධාරනය කලේ ය.

ඔබාමාගේ රැකියා උත්පාදන යෝජනා පිලිකුල දනවයි. ඔහුගේ පනත පූර්න වශයෙන් බලාත්මක කෙරුනත් -මෙය කෙසේ වත් සිදු විය නොහැකි ය- ආර්ථිකඥයන්ගේ තක්සේරුවලට අනුව ඉන් නිර්මානය වනු ඇත්තේ රැකියා මිලියන 2ක් පමනකි. සිව් වසරකට ආසන්න කාලයකට පෙර ආර්ථික පසුබැසීම ඇරඹෙන්නට පූර්වයෙන් පැවති මට්ටමට සේවා නියුක්තිය ආපසු රැගෙන යාමට නම් නව රැකියා මිලියන 11.1ක් අවශ්‍ය වනු ඇත.

මහා අවපාතයෙන් මෙපිට හට ගත් ගැඹුරුතම සමාජ අර්බුදය මධ්‍යයෙහි පීඩා විඳිමින් සිටින ඇමරිකානු මහජනතාවට දීමට ඇමරිකානු පාලක පන්තිය සහ එහි දේශපාලන නියෝජිතයන් අත කිසිවක් ඉතිරිව නැත. සමස්ත ප‍්‍රශ්නය ම සලකා බලන්නේ කම්කරුවන් කුලියට ගැනීමට මහ ව්‍යාපාරිකයන් ඇද ගැනීම සඳහා පිරිනැමිය හැකි දිරි දීමනා කවරේ ද යන ආස්ථානයෙනි. අවසානයේ දී සිදු වන්නේ කම්කරුවන් අඩු වැටුපට සේවයෙහි යොදා අදටත් වැඩියෙන් සූරා කෑම සඳහා ආන්ඩුවේ සහනාධාරවලින් සංගතවලට හැකියාව ලැබීම යි.

සංගතවල අතිමහත් ලාභවලට ද ඒවායේ විධායකයන්ගේ සහ ආයෝජකයන්ගේ ධනසම්පත්වලට ද අත තැබිය නොහැකි ය. බැංකු සහ සංගත ඉසිඹු ලන්නේ ආන්ඩුවෙන් කෙරුනු ඇප දී බේරා ගැනීම් ද ෆෙඩරල් සංචිතයෙන් සැපයුනු ලාබ නය හා වියදම් කැපීමේ අනුකම්පා විරහිත උද්ඝෝෂනය ද මතින් ගොඩ ගසා ගත් ඩොලර් ටි‍්‍රලියන 2කට වැඩි සල්ලි කන්දක් මත ය.

මූල්‍ය වෙලඳ පොලවල කරන සමපේක්ෂනය හරහා වඩා පහසු සහ වඩා විපුල ලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කම්කරුවන් කුලියට ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් බැංකු සහ සංගත ආයෝජන වර්ජනයක යෙදී සිටිති. වැටුප්, දීමනා, සේවා කොන්දේසි සම්බන්ධයෙන් තව තවත් සහන මිරිකා ගැනීමේ ද ඉතිරිව තිබෙන ව්‍යාපාරික රෙගුලාසි ඉවත් කර ගැනීමේ ද අදහසින් ඒවා රටට තර්ජනය කරමින් සිටියි.

සැබෑ රැකියා වැඩ සටහන් සහ සමාජ දීමනාවලට අරමුදල් සැපයීම සඳහා "සල්ලි නැතැ”යි ඔබාමා සහ දේශපාලන සංස්ථාපිතයේ සෙස්සන් කරන ප‍්‍රකාශය මුසාවකි. යෝධ සංගත සහ බැංකු අත දැන් තිබෙන මුදල පමනක් වුව ද සමස්ත ෆෙඩරල්, ජනපද සහ ප‍්‍රාන්ත අයවැය හිඟය කටු ගා දැමීමට ප‍්‍රමානවත් ය, නිසි වැටුපක් සහ දීමනා ලබා දී ඇමරිකාව තුල සිටින සෑම රැකියා විරහිතයෙකු ම කුලියට ගැනීමට සෑහෙයි.

අර්ධ වැඩ පිලිවෙලක් සහ සමාජ ප‍්‍රහාරයන් සංයෝග කොට පෙරට දමා තිබෙන මෙම වැඩ පිලිවෙල බැරෑරුම් රැකියා වැඩ සටහනක් යැයි ගෙන හැර පාමින් ලිබරල් සහ ලිබරල්-වාම සංස්ථාපිතය ඔබාමාගේ කතාවට අපේක්ෂා කල හැකි ලෙස ම හුරේ දැමී ය. නිව් යෝක් ටයිම්ස් පුවත්පත එය හැඳින්වූයේ "අපේක්ෂා කලාට වඩා ශක්තිමත් සහ පුලුල් බලපෑමක් කරන, මහාපේක්ෂා සහිත යෝජනාවක්” ලෙස ය. "නව ඔබාමා රැකියා සැලැස්මෙන් මම සතුට මුසු විස්මයකට පත් වුනෙමි. එය මා අපේක්ෂා කලාට වඩා අර්ථභාරීව කැපීපෙනෙයි, හා වඩා හොඳය.” පුවත්පතේ ආර්ථික තීරු ලිපි රචක පෝල් කෘග්මාන් ලීවේ ය.

නේෂන් සඟරාව උනන්දුව පල කලේ මෙසේ ය: "ජනාධිපති ඔබාමා විශිෂ්ට කතාවක් කලේ ය. ඇතැම් විට, එය ජනාධිපති ලෙස ඔහු පැවැත්වූ හොඳ ම කතාව විය හැකි ය.”

ඔවුන් ඔබාමා පිටුපස පෙල ගැසෙද්දී වෘත්තීය සමිති නිලධාරි තන්ත‍්‍රය ද ඒ පෝලිමට එක් විය. එක්සත් ජනපද මහ ව්‍යාපාරිකයන්ගේ ප‍්‍රධාන කම්කරු පන්දම්කාරයා වන ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති රිචඩ් ටෘම්කා, ඔබාමාගේ ආරාධිත අමුත්තෙකු ලෙස ශ‍්‍රාවක පිරිසෙහි අසුන් ගෙන සිට, ඉක්බිතිව ඔබාමා යලි තේරී පත් වීමට සිය පූර්න සහාය ප‍්‍රකාශ කලේ ය.

ලිබරලුන්, මාධ්‍යය සහ වෘත්තීය සමිති ඔබාමාගේ දක්ෂිනාංශික වැඩ සටහන පසුපස කරන මෙම ප‍්‍රතිගාමී පෙල ගැසීම කම්කරු පන්තියේ මහජන ක‍්‍රියාව හරහා පුපුරවා හල යුතු ය. එක්සත් ජනපදයේ මුලු මහත් ඉතිහාසය ම සාක්ෂි දරන්නේ ධනපති පන්තිය සහ එහි දේශපාලන ක‍්‍රමය පෙරලා දැමීම ඉලක්ක කර ගත් මහජන අරගලයකින් විනා අන් වැඩ පිලිවෙලකින් වැඩ කරන ජනතාවගේ සේවා සහ ජීවන කොන්දේසි වැඩි දියුනු නොවන බවට යි.

පසු ගිය මහා අවපාතය අතරතුර දී නීතිගත කෙරුනු-රජයේ වැඩ සම්බන්ධ වැඩ සටහන්, විරැකියා දීමනා සහ සමාජ සුරක්ෂිතතාව ඇතුලු-සමාජ ප‍්‍රතිසංස්කරන වූකලි සංගතවලට එරෙහි මහා වර්ජනවල සහ සමාජ අරගලවල ද රූස්වෙල්ට් පාලනාධිකාරය පෑ ප‍්‍රතිරෝධයේ ද නිෂ්පාදිතයක් විය. මුලු මහත් නගරවල ම කම්හල් වාඩි ලා ගැනීම සහ කම්කරුවන්, තරුනයන් සහ විරැකි ජනයා බලමුලු ගැන්වීම මෙම පන්ති සටන් වලට ඇතුලත් විය.

අතරතුර කාල පරිච්ඡේදයේ දී අතිමහත් දිරාපත් වීමකට පත්ව තිබෙන ඇමරිකානු ධනවාදය දැන් එම අරගලවල සීමිත ජයග‍්‍රහන ආ පස්සට හරවමින් සිටී, සමාජ ප‍්‍රතිවිප්ලවයක් ක‍්‍රියාවෙහි ලෑමට අරඅඳිමින් සිටී.

රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය රැකවරනය, නිවාස, විශ‍්‍රාම වැටුප් සහ කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගැනීම උදෙසා මහ ව්‍යාපාරිකයන්ගේ පක්ෂ දෙකෙන් ස්වාධීනව සහ ඔබාමා පාලනාධිකාරයට එරෙහිව එල්ල වුනු මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම අත්‍යවශ්‍ය ය.

ධනවාදය අසාර්ථක වී ඇති බවත් තමන්ගේ මූලික සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට නම් එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා සටන් වදින ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතු බවත් කම්කරුවන් වටහා ගත යුතු ය. මෙම ව්‍යාපාරය ගොඩ නැගීමේ දී මතු වන ප‍්‍රධාන ප‍්‍රශ්නය නම් කම්කරු පන්තිය තුල නව, විප්ලවවාදී නායකත්වයක් වර්ධනය කිරීම ය. එනම්, සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීමය.

බැරී ගේ‍්‍ර