ඇමරිකාව: දරිද්‍රතාවයේ රට

America: the land of poverty

15 September 2011

1959 වාර්තා ඇරඹීමේ සිට වැඩිම සංඛ්‍යාවක් ඇමරිකානුවන් දරිද්‍රතාවයේ ජීවත්වන බව පෙන්වමින් නිකුත් කෙරුනු සංගනන බියුරෝවේ සංඛ්‍යාලේඛන ඇමරිකානු ධනවාදය හා සමස්ථ දේශපාලන පද්ධතිය සම්බන්ධව බරපතල දෝෂාභියෝයකි.

2010 දී ලමුන් මිලියන 16.4ක් ඇතුලුව පුද්ගලයන් මිලියන 46.2ක් එනම්, පුරවැසියන්ගෙන් සෑම හය දෙනෙකුට ම ආසන්නව එක් අයෙක් නිල දරිද්‍රතා රේඛාවෙන් පහල ජීවත්විය. මෙයින් ආසන්න වශයෙන් භාගයක්, හෝ මිලියන 20ක්, ආහාර, නිවාස, ඇඳුම් හා පොදු අවශ්‍යතාවයන් වැනි මූලික දේ සඳහා අවශ්‍ය යයි එක්සත් ජනපද ආන්ඩුව පවසන ආදායමෙන් භාගයකටත් අඩු ආදායමක් මත යැපෙමින් අන්ත දරිද්‍රතාවයේ ජීවත් වෙමින් සිටි බව විස්තර කෙරී ඇත.

ඇත්තෙන් ම ආන්ඩුවේ දරිද්‍රතා සීමාව, එනම් හතර දෙනෙකුගෙන් යුත් පවුලකට ඩොලර් 22,000ක් හා අවුරුදු 65ට අඩු තනි පුද්ගලයෙකුට ඩොලර් 11,000ක් යහපත් ජීවන තත්වයක් පවත්වාගෙන යාමට ප‍්‍රමානවත් නැත. වඩා නිවැරදිව මැන බැලුව හොත් එය නිල දරිද්‍රතා රේඛාවට ගැනෙන ප‍්‍රමානය මෙන් දෙගුනයක්, එනම් හතර දෙනෙකුගේ පවුලකට ඩොලර් 44,000ක් විය හැක. ඇමරිකානුවන් මිලියන 100කට වඩා - සෑම තුන් දෙනෙකුට ම එක් අයෙක් - මෙම සීමාවෙන් පහල ය.

දරිද්‍රතාවයේ වර්ධනය පිටුපස වන ප‍්‍රධාන සාධකය රැකියා අර්බුදය යි. අවපාතය අවසන් වීයයි අපේක්ෂනය කෙරුන 2010 වසරේදී සිදු වූයේ එය වඩාත් නරක අතට හැරීම පමනි. දශලක්ෂ ගනනක් කම්කරුවන්ට රැකියා නැත, නැතහොත් දරිද්‍රතාවයෙන් අත්මිදීමට නොසෑහෙන අර්ධකාලීන, අඩු වැටුප් රැකියා කිරීමට ඔවුන්ට බල කෙරී ඇත.

තරුන පරම්පරාව තදින් ම පහර කමින් සිටී. වයස අවරුදු 15-24 අතර තරුන ජනයාගේ මධ්‍ය ආදායම පසු ගිය වසරේ දී සියයට 9කින් පහත වැටුනි. වයස අවුරුදු 25-34 අතර, ආසන්න වශයෙන් මිලියන 6ක්, මුදල් ඉතුරු කර ගැනීමට දෙමව්පියන් හා මිතුරන් සමග කුටුම්බ තුල හවුලේ වෙසෙති. අවපාතයට පෙර මෙම තත්වය සියයට 25කින් වැඩි වුනි. බ්ලූම්බර්ග් බිස්නස්වීක් විසින් සංගනන වාර්තාව ගැන කරන ලද විශ්ලේෂනයකට අනුව ඔවුන්ගේ දරිද්‍රතාවයේ අනුපාතය සියයට 8.4ක පවතී; නමුත් ඔවුන්ගේ දෙමව්පියන්ගේ ආදායම ගනන් නොගත හොත් එය සියයට 45.3 දක්වා ඉහල නැගෙනු ඇත.

නිවාස සින්නවීම, නිවාස නොමැතිකම, සාගින්න හා රක්ෂනය නොකල සංඛ්‍යාවේ වැඩිවීම හා එක්ව පසුගිය තුන් වසරෙහි දරිද්‍රතාවයේ පිපිරීම ආර්ථිකය හා දේශපාලන පද්ධතිය පාලනය කරන මූල්‍ය ප‍්‍රභූව විසින් අසාමාන්‍ය මට්ටම්වලින් ධන සමුච්චයනය කරනු ලැබීම සමග එක පෙලට සිදු වෙයි.

මෙය, ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ල ම යටතේ පාලක පන්තිය, සංගත හා මූල්‍ය ප‍්‍රභූව අතට සමාජ ධනයේ කිසි දා නොවූ විරූ කොටසක් මාරු කිරීමේ දැනුවත් ප‍්‍රතිපත්තියක් ගෙන ගිය දශක තුනක් දීර්ග සන්තතියක ක‍්‍රමයක් වීමයි. නිදහස් වෙලඳපොල නාමයෙන් ඔවුහු සංගත හා පොහොසතුන් මත වන බදු කපා හෙලී ය, කර්මාන්ත හා බැංකු රෙගුලාසි ඉවත් කල අතර කම්කරු පන්තියේ රැකියා හා ජීවන තත්වයන්ට එරෙහි ඒකාබද්ධ ප‍්‍රහාරයකට සහාය දැක් වූ හ.

හරියට ම අවුරුදු තුනකට පෙර, 2008 සැප්තැම්බර් 15වැනි දා, වෝල් වීදියේ ආයෝජන බැංකුවක් වන ලෙහ්මන් බ‍්‍රදර්ස් බිඳවැටීමෙන් ඉක්බිත්තේ ආන්ඩුව සීමාවකින් තොරව ඩොලර් ටි‍්‍රලියන ගනනක් බැංකුව අත තැබී ය. සංගත හා බැංකු කිසිදු කම්කරුවෙකු බඳවා ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් ඩොලර් ටි‍්‍රලියන දෙකක නෝට්ටු ගොඩ මත වාඩි වී සිටිති.

පාලක පන්තිය වැටුප් හා ප‍්‍රතිලාභ තව දුරටත් පහලට තල්ලු කිරීමට හා ඔවුන්ගේ ලාභ වැඩි කර ගැනීමට හිතාමතා ඉහල විරැකියාවේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. උදාහරනයක් වශයෙන්, මෝටර් රථ කර්මාන්තය තුල සංගත, ඔබාමා පරිපාලනයේ හා වෘත්තීය සමිතිවල සහාය ඇතිව, ඒවා 1930 ගනන්වල පැවති තත්වයේ සේවා කොන්දේසිවලට ආපසු යාමට මාන බලමින් සිටින අතර අලුතින් බඳවා ගත් මෝටර් රථ කම්කරුවෝ දිලිඳු වැටුප් ලබමින් හා ඉතාමත් මූලික අයිතීන් හා රැකවරන නොමැතිව සිටිති.

මහා අවපාතයෙන් පසු නරකම සමාජ අර්බුදය ඉදිරියේ, නිරන්තරයෙන් වැඩෙන සමාජ අසහන තත්වයනට මුලුමනින් ම උදාසීන ප‍්‍රතිචාර දක්වමින් සිටියා මිස ඔබාමා පරිපාලනය කල දෙයක් නැත. ජනාධිපති, නෝර්ත් කැරොලිනාහි රැඳී සිටි කාලයේ දී දරිද්‍රතාවය පිලිබඳ නව සංඛ්‍යා අඩු තරමින් වැදගත් යයි සැලකුවේ වත් නැත. මෙහි දී ජනාධිපති මහා ව්‍යාපාරවලට බදු සහන හා දීමනා සපයන ඔහුගේ වංචාකාර රැකියා කෙටුම්පත ඉදිරිපත් කලේ ය.

කිසියම් හෝ සහනයක් සැපයීමෙන් ඈත්ව, ඩිමොක‍්‍රැටිකයෝ හා රිපබ්ලිකානුවෝ 20වැනි ශතවර්ෂයේ දී මිලියන සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් මුදාගැනීමට උදව් වූ සමාජ වැඩසටහන්වලින් ම ටි‍්‍රලියන ගනනක් කැපීමට කැප වී සිටිති. ඔබාමාගේ ද්විපාක්ෂික හිඟ පහත දැමීමේ කමිටුව මගින් ඉලක්ක කල ඒවායින් එකක් වනුයේ සමාජ රක්ෂනය යි, සංගනන වාර්තාවට අනුව මෙම වැඩසටහන පසු ගිය වසරේ දී මිලියන 20ක වැඩිහිටියන් හා ආබාධිත වැඩිහිටියන් දරිද්‍රතාවයෙන් ඈත් කර තැබී ය.

මෙම සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ අවසාන අරමුන පැහදිලි ය: ඔවුන්ගේ සමෘද්ධියට සෘජුව දායක නොවන මෙම වැඩසටහන් හා සෑම දෙයක් ම අහෝසි කිරීම ය.

මෙම අර්බුදය විසඳීමට ක්ෂනික පියවර ගත යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය පහත සඳහන් පියවර ඉල්ලා සිටී:

1. ජාතික යටිතල පහසුකම් ප‍්‍රතිසංස්කරනයට හා සියලු ම කම්කරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට ජීවත් වීමට හැකි ආදායමකට ඇති අයිතිය සහතික කිරීමට මහජන කාර්ය වැඩසටහනක් දියත් කිරීම.

2. ඩොලර් 500,000ට වඩා වැඩි සියලු ම ආදායම් මත සියයට 90ක බද්දක් පැනවීම මගින් මූල්‍ය ප‍්‍රභූවේ ධනය අත්පත් කර ගැනීම. සංගත හා බැංකුවල ශේෂ පත‍්‍ර මත වන ඩොලර් ටි‍්‍රලියන 2 අත්පත් කර ගත යුතු අතර රැකියා උත්පාදනයට හා දරිද්‍රතාවය බැහර කිරීමට යෙදවිය යුතු ය.

3. බැංකු හා ප‍්‍රධාන කර්මාන්ත ජනසතු කිරීම හා ඒවා කම්කරු පන්තිය විසින් ප‍්‍රජාතන්ත‍්‍රීයව පාලනය කෙරෙන මහජන සම්පත් බවට පරිවර්තනය කිරීම මගින් මූල්‍ය ප‍්‍රභූවේ ග‍්‍රහනය බිඳ දැමිය යුතු ය.

එක්සත් ජනපදය තුල කම්කරුවන් මුහුන දෙන සටන ජාත්‍යන්තර අරගලයක කොටසකි. ඇමරිකානු මහජනතාව කොල්ලකෑම ඉස්මත්තට පැමින ඇත්තේ ලෝකය පුරා, ග‍්‍රීසියෙන් පටන් ගෙන සෙසු යුරෝපයේ, මැදපෙරදිග, ලතින් ඇමරිකාවේ හා ආසියාවේ ධනේශ්වර ආන්ඩු සමාජ ප‍්‍රතිවිප්ලවයක් හසුරුවන අවස්ථාවේ දී ම ය. මූලික සමාජ අවශ්‍යතාවන්ට මුදල් නැත යි ලෝකය පුරා ඔවුහු ප‍්‍රකාශ කරති.

කම්කරු පන්තිය බහුජන සමාජ හා දේශපාලන අරගලයකට පිවිසීමකින් තොරව කල හැකි දෙයක් නොමැත. අතීතයේ සමාජ ජයග‍්‍රහන කිසිවක්, එනම්, යහපත් වැටුප්, සෞඛ්‍ය ආරක්ෂක ප‍්‍රතිලාභ, පොදුජන අධ්‍යාපනය, විශ‍්‍රාම වැටුප් පාලක ප‍්‍රභූවේ ප‍්‍රතිරෝධයට එරෙහි ඉතාමත් කටුක අරගලයකින් තොරව ජය ගත්තේ නැත. ඔර්ලෝසුව 1930 දක්වා ආපසු කැරකවීමට වන පාලක ප‍්‍රභූවේ අධිෂ්ටානයට සෑම කම්හලක ම, වැඩබිමක හා රට පුරා අසල්වැසියකු ම කම්කරුවන් බලමුලු ගැන්වීමෙන් ප‍්‍රතිප‍්‍රහාර දිය යුතු ය.

කම්කරු පන්තියේ සමාජ අයිතිවාසිකම්, පෞද්ගලික ලාභය මත නොව සමාජ අවශ්‍යතාවයන් සැපයීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සැකසුනු හා විද්‍යාත්මකව විස්තාරනය කෙරුනු සැලසුමක් මත පදනම් ව සමාජය නැවත සංවිධානය කිරීම මත රැඳේ. මෙය සමාජවාදය සඳහා සටන යි.

සමාජවාදී සමානතා පක්ෂය මෙම අරගලයට නායකත්වය දෙන අතර සියලු ම කම්කරුවන්ට හා තරුනයන්ට අපගේ ව්‍යාපාරයට බැඳී එය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස ගොඩනගන්නැයි අපි ඉල්ලමු.

ජෙරී වයිට්