ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව හදිසි නීතිය ඉවත් කරයි, නමුත් පොලිස් රාජ්‍යය අඛන්ඩව පවතී

Sri Lankan government ends emergency, but police state continues

By Deepal Jayasekera, 1 September 2011

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කිරීමෙන් වසර දෙකකටත් වැඩි කලක් ගතවීමෙන් පසුව, ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව, යුද්ධය තුල දී පනවන ලද හදිසි නීති තත්වය අවසානයේ ඉවත් කරගෙන තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ, සිය ආන්ඩුවේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව නැගෙන ජාත්‍යන්තර පීඩනය අපසරනය කිරීමේ උත්සාහයක් ලෙස පසුගිය බ‍්‍රහස්පතින්දා හදිසි නීතිය ඉවත් කිරීම නිවේදනය කලේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට තැබූ පියවරක් ලෙස කොලඹ මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය විසින් මෙම තීන්දුවට වහාම හුරේ දමන ලදි. යථා තත්වය නම්, සිදු වී ඇති වෙනස හුදු මතුපිට සැරසිල්ලක් පමනි. රටේ දිගු කාලීනව පැවති හදිසි නීති තත්වය යටතේ කි‍්‍රයාත්මක වූ පොලිස්-රාජ්‍ය බලතලවලින් බොහොමයක් පවත්නා හෝ සංශෝධිත පනත් යටතේ දිගටම කි‍්‍රයාත්මක වනු ඇත.

හදිසි නීති බලතල යටතේ අත් අඩංගුවට ගෙන චෝදනා හෝ නඩු විභාග නොමැතිව "එල්ටීටීඊ සැකකරුවන්” ලෙස අත්තනෝමතික ලෙස රඳවා ගෙන සිටින දහස් සංඛ්‍යාත දෙමල රැඳවියන් කිසිවෙක් හෝ නිදහස් නොකෙරෙනු ඇත. මිලිටරිය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇති පුලුල් අධි ආරක්ෂක කලාප ඉවත් නොකෙරනු ඇත. එල්ටීටීඊය "ත‍්‍රස්තවාදී සංවිධානයක්” ලෙස දිගටම තහනම්ව පවතිනු ඇත.

බලාත්මකව පවතින, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) නමැති දරුනු නීතිය යටතේ අලුතෙන් ප‍්‍රකාශයට පත් කෙරී ඇති රෙගුලාසි මගින් මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත් පැනවෙනු ඇත. පීටීඒ, නඩු විභාග නොමැති මාස 18ක් දක්වා රඳවා ගැනීම ඇතුලු පුලුල් බලතල ආරක්ෂක හමුදාවන්ට හා පොලීසියට ලබා දෙයි.

නීතිපති මොහාන් පීරිස් අඟහරුවාදා ඩේලි මිරර් පත‍්‍රයට මෙසේ පැවසීය: "එල්ටීටීඊයේ තහනම ඉවත් වීමටත් අධි ආරක්ෂක කලාප අහෝසි වීමටත් අපි කොහොත්ම ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම, යටත් වූ එල්ටීටීඊ සාමාජිකයන් හා එල්ටීටීඊ රැඳවියන් සම්බන්ධයෙන් කටයුතු කරන්න අපට මේ නව රෙගුලාසි අවශ්‍යයි. හදිසි නීතිය අහෝසි වුනත් මේ කාරනා සම්බන්ධයෙන් මොන යම් හෝ ලිහිලක් ලැබෙන්නෙ නැහැ.”

මෙම නම් නොකෙරුනු හදිසි නීති බලතල නිත්‍ය බවට පත් කරනු පිනිස "හදිසි නීති අනුක‍්‍රමික පනතක්” සම්මත කිරීම ආන්ඩුවේ අභිප‍්‍රාය බව ද පීරිස් පැහැදිලි කලේය. නව රෙගුලාසිවල සහ යෝජිත නීතිවල අන්තර්ගතය කුමක්ද යන්න තවමත් ප‍්‍රසිද්ධ කෙරී නැත. එමගින් මෙම ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය තව දුරටත් අවධාරනය කෙරෙයි.

ශී‍්‍ර ලංකාවේ පන්ති ආතතීන් නැගෙන තතු මධ්‍යයේ, ආන්ඩුව වර්ජන හා කාර්මික කි‍්‍රයාමාර්ග තහනම් කිරීමේ විකල්ප ක‍්‍රම නිසැකවම සොයා ගනු ඇත. එල්ටීටීඊ සමග 2002 දී ඇති කර ගැනුනු සටන් විරාමය බිඳ දමා 2006 ජුලි මස දිවයින යලි සිවිල් යුද්ධය තුලට ඇද දැමීමෙන් යන්තම් සති කිහිපයකට පසුව, ජනාධිපති රාජපක්ෂ, මහ බැංකුව, ඉන්ධන සැපයුම්, තැපැල් හා විදුලි සංදේශ සේවා, අපනයන කර්මාන්ත සහ පොදු ප‍්‍රවාහන සේවා "අත්‍යවශ්‍ය සේවා” ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට සිය හදිසි නීති බලතල යොදා ගත්තේය. එය එම අංශවල කාර්මික කි‍්‍රයාමාර්ග තථ්‍ය වසයෙන් තහනම් කිරීමක් විය.

ආන්ඩුව, රෝහල්වල වර්ජන ඇතුලු, වර්ජන බිඳිනු පිනිස කිහිප වතාවක්ම මිලිටරිය බලමුලු ගැන්වීය. 2009 මැයි මස එල්ටීටීඊයේ පරාජයෙන් පසුව පවා, 2009 නොවැම්බරයේ දී, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ, ලංකා විදුලි බල මන්ඩලයේ, ජල සම්පාදන මන්ඩලයේ හා වරායේ කම්කරුවන්ගේ අකුරට වැඩ කිරීමේ සීමිත සටන් ව්‍යාපාරයක් තහනම් කරනු පිනිස රාජපක්ෂ අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුව හමුවේ පැවැත්වූ සිය කතාවේ දී, රාජපක්ෂ යුද්ධය යලි ඇරඹීමත් ඔහුගේ ආන්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරනු ලැබීමත් යුක්තියුක්ත කිරීමට උත්සාහ කලේය. එක අවස්ථාවක දී ඔහු නරුම ලෙස මෙසේ ප‍්‍රකාශ කලේය: "මානුෂික මෙහෙයුමට (යුද්ධයට) එදා බරපතල ලෙස සමහර මාධ්‍ය මගින් බාධාවන් එල්ල කලත්, මේ දක්වා අප මාධ්‍ය වාරනයක් සිදු කරන්නට උත්සාහ කලේ නැහැ.”

ආන්ඩුව වෙනත් ක‍්‍රම මගින් මාධ්‍ය ත‍්‍රස්ත කල බැවින් එයට වාරනයක් පැනවීමේ අවශ්‍යතාවක් නොවීය. 2005 අග දී රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව, සිය ගනනක් -- දෙමල ජනයා, දේශපාලනඥයන් හා ආන්ඩුවේ විවේචකයන් -- මිලිටරිය සමග සහයෝගයෙන් කි‍්‍රයාකරන ආන්ඩු-ගැති ඝාතක කල්ලි විසින් පැහැර ගෙන යනු ලැබ බොහෝ අවස්ථාවන්හි දී මරා දමනු ලැබ ඇත. මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයෝ ප‍්‍රධාන ඉලක්කය විය. ඔවුන් ගනනාවකටම රටෙන් පලා යාමට බල කෙරුනි. මෙම එකදු සිද්ධියක් හෝ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ නෛතිකව චෝදනාවට ලක් කිරීම හා වරදකරු කිරීම කෙසේ වෙතත් අත් අඩංගුවට ගැනීමක් වත් සිදු කෙරී නැත.

හදිසි නීතිය ඉවත් කිරීම, ආන්ඩු-ගැති මැරයන් එවන් ප‍්‍රහාරයන්හි දිගටම යෙදීම වලකාලීමට කිසිසේත්ම සමත් නොවනු ඇත. සිය පාලන කාලය මුලුල්ලේම, රාජපක්ෂ, නෛතික පද්ධතිය, රටේ ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුව පිලිබඳ දක්වා ඇත්තේ පිලිකුල් සහගත ආකල්පයක් ම පමනි. පසුගිය මහ මැතිවරනයේ දී, බොහෝ සෙයින් විරුද්ධ පක්ෂවල දේශපාලන බංකොලොත්කම හේතු කොටගෙන, අතිමහත් පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමෙන් පසුව, රාජපක්ෂ, පසුගිය සතියේ ඔහු කලාක් මෙන්, තමන් තීන්දු කරන ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවේ පෙනී සිටීම ද ඇතුලු, සිය බලතල පුලුල් කරගනු පිනිස ව්‍යවස්ථාව වෙනස් කලේය.

එවක පැවති එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව, 1983 දෙමල විරෝධී ඝාතක ව්‍යාපාරයෙන් පසුව පැන නැගි පූර්න පරිමාන සිවිල් යුද්ධයක් දෙසට දිවයින ඇද දැමූ, 1979 දී පටන් මේ දක්වා, හදිසි නීති තත්වය මුලුමනින්ම පාහේ අඛන්ඩව පැවතී ඇත. 2002 දී අත්සන් කෙරුනු සටන් විරාමයට පසුව හදිසි නීතිය ඉවත් කෙරුනත් 2005 අගෝස්තුවේ දී සිදු වූ තවමත් අපැහැදිලිව පවතින විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ ඝාතනයෙන් පසුව එය යලි පනවන ලදි. 2005 නොවැම්බර් මැතිවරනය ජයගත් රාජපක්ෂ, සාම සාකච්ඡා කඩාකප්පල් කරමින් යුද්ධය යලි ඇරඹීම සඳහා සූදානම් වන තතු තුල, හදිසි නීති තත්වය දිගටම පවත්වා ගෙන ගියේය.

පසුගිය සතියේ හදිසි නීතිය ඉවත් කිරීම පිලිබඳ රාජපක්ෂගේ "ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ඉඟියේ මූලික එල්ලය වූයේ, ඔහුගේ ආන්ඩුවේ මානව හිමිකම් වාර්තාව ගැන එල්ල වන ජාත්‍යන්තර විවේචනවල -- විශේෂයෙන් ම එක්සත් ජනපදයෙන්, ඉන්දියාවෙන් හා යුරෝපා බලවතුන්ගෙන් එල්ල වන විවේචනවල -- සැර බාල කිරීමය. මෙම සියලු රටවල් රාජපක්ෂගේ යුද්ධයට පිටුබලය සැපයූ අතර යුද්ධයේ අවසන් මාස කිහිපය වන තෙක්ම මිලිටරියේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නිහඬව සිටියහ. කොලඹ පාලනය මත චීනයේ වැඩෙන ආනුභාවය ගැන උත්සුකව, එතැන් පටන් ඔවුහු බෙයිජිං වෙතින් ඔහුව දුරස්ථ කරනු පිනිස රාජපක්ෂ මත බලපෑම් දමනු පිනිස එම කාරනා ගසාකා තිබේ.

හදිසි නීතිය අවසන් කිරීමේ අවස්ථාව, ජිනීවාහි දී සැප්තැම්බර් 13 දා ඇරඹීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඩලයේ ප‍්‍රධාන රැුස්වීමක් සමග සම්පාත වෙයි. මේ වසර මුල දී, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් විසින් පත් කරන ලද විද්වත් කමිටුවක්, ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව ජාත්‍යන්තර නීතිය "පුලුල් පරිමානයකින් බරපතල ලෙස උල්ලංඝනය” කර ඇති බවට "විශ්වාසනීය චෝදනා” පවතින බවත් ඒවායින් සමහරක් "යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ ගනයට වැටෙන” බවත් සොයාගත්තේය.

යුද්ධයේ අවසන් මාස කිහිපය තුල දී පමනක් දස දහස් සංඛ්‍යාත දෙමල සිවිල් වැසියන් ඝාතනයට ලක් වූ බව එම වාර්තාව තක්සේරු කලේය. එල්ටීටීඊ-පාලිත ප‍්‍රදේශවල සිවිල් වැසියන් මත ඉවබවක් නැතිව ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීමට රෝහල් හා ආධාර මධ්‍යස්ථාන මත හිතාමතාම බෝම්බ දැමීම ද ඇතුලත් විය. එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් පසුව, මිලිටරිය දෙමල සිවිල් වැසියන් 280,000ක් -- පිරිමින්, ගැහැනුන් හා ලමුන් -- රැඳවුම් මධ්‍යස්ථාන හෝ "සුබසාධක ගම්මාන” තුලට ගාල් කල අතර, එය තථ්‍ය වසයෙන් ම ඔවුන් චෝදනා නොමැතිව සිරගත කිරීමක් විය. හමුදාව රැඳවියන් "යලි පදිංචි කිරීම” ඇරඹූවේ, "එල්ටීටීඊ සැකකරුවන්” දහස් ගනනක් නොදන්නා සිරකඳවුරුවලට ඇද ගෙන යාමෙන් පසුව පමනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඩලය තුල විද්වත් කමිටුවේ වාර්තාව පිලිබඳ සාකච්ඡාවක් ඇති වීම වලකාලීම පිනිස රාජපක්ෂ මංමුලා සහගත ප‍්‍රයත්නයක යෙදී සිටී. ආන්ඩුව, එල්ල වී ඇති චෝදනා ප‍්‍රතික්ෂේප කරනු පිනිස කිසිදු සාක්ෂ්‍යයක් සැපයීමකින් තොරවම, එම වාර්තාව මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කර තිබේ.

ඊලඟ මාර්තුවේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඩලයේ සැසිවාරයේ දී සාකච්ඡාවට ගනු පිනිස ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ කාරනාව ලැයිස්තු ගත කිරීමට තමන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉඟිකර තිබේ. එහෙත් එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාව වෙනුවට, වොෂිංටනය යෝජනා කර ඇත්තේ, සිය යුද අපරාධවලට සුදුහුනු ගානු පිනිස පිහිටුවන ලද කොලඹ ආන්ඩුවේ උගත් පාඩම් සහ සංහිඳියා කොමිෂම (එල්එල්ආර්සී) නම් ව්‍යාජ කමිටුවේ වාර්තාව පිලිබඳ "අන්තර්කි‍්‍රයාකාරී සාකච්ඡාවක්” පැවැත්වීමටයි. මෙම උපාමාරුවේ එල්ලය වන්නේ, රාජපක්ෂ මත පීඩනය පවත්වා ගෙන යන අතරම, ඔහු එක්සත් ජනපද පිලිවෙත අනුව යන තාක් කල් වෙනත් හැකි විසඳුමක් ඉදිරිපත් කිරීමයි.

එක්සත් ජාතීන්ගේ කමිටුවේ දී මොන යම් හෝ විවාදයක් ඇතිවීම වලකාලීම පිනිස සහයෝගය පෙලගැස්වීමෙහි ලා ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව පියවර ගනිමින් සිටී. "ලතින් ඇමරිකානු රටවල් සමූහය සමග සබඳතා පවත්වා ගෙන යන” ලෙස ජිනීවාහි ශී‍්‍ර ලංකා තානාපතිට උපදෙස් දී ඇතැයි සන්ඬේ ටයිම්ස් පත‍්‍රය වාර්තා කලේය. විදේශ කටයුතු ඇමති ජී.එල්. පීරිස්, සිංගප්පූරුවේ, ජෝර්දානයේ, දකුනු කොරියාවේ හා නොබැඳි ව්‍යාපාරයට අයත් සෙසු රටවල නායකයන්ගේ සහයෝගය ගොනු කරගැනීමේ ප‍්‍රයත්නයක් සඳහා ඉරිදා සති දෙකක සංචාරයක් ඇරඹීය.

එක්සත් ජනපදය සහ ඉන්දියාව, හදිසි නීතිය ඉවත් කිරීමේ රාජපක්ෂගේ තීන්දුව සාදරයෙන් පිලිගනිමින් දැනටමත් නිවේදන නිකුත් කර තිබේ. එජාප හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන ප‍්‍රධාන විරුද්ධ පක්ෂ ද ඔවුන් සමග එක් වී තිබේ. මෙම පක්ෂ රාජපක්ෂගේ යුද්ධයට සහයෝගය දුන් අතර හදිසි නීතිය මාස් පතා දීර්ඝ කිරීම පිනිස නිතිපතා ඡන්දය දුනි, ඔවුන් එය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ බොහෝ කල් පසුවීමෙන් අනතුරුවය.

රාජපක්ෂගේ නිවේදනයට ලැබී ඇති මෙම පසුබිම් සහයෝගය මගින් හුදෙක් අවධාරනය කෙරෙන්නේ, මෙම කාරනාව දේශපාලන අරමුනු උදෙසා ජාත්‍යන්තරව හා ශී‍්‍ර ලංකාව තුල ගසාකන නරුම ආකාරයයි. ශී‍්‍ර ලංකා ආන්ඩුව වොෂිංටනය සමග පෙලගැසී සිටින තාක් කල්, එක්සත් ජනපදය සහ ඔවුන්ගේ සගයෝ එහි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධික‍්‍රම නොතකා හරිනු ඇත. එජාපය "ජාත්‍යන්තර පීඩනයට” මුහුන දෙනු පිනිස ආන්ඩුවට සිය සහයෝගය පුද කිරීම පිනිස අවස්ථාව යොදාගති. මිලිටරියේ සියලු යුද අපරාධ ඝෝෂාකාරී ලෙස ආරක්ෂා කල ජවිපෙ නායකයෝ, දැන් පීටීඒ ද අහෝසි කරන ලෙස ඉල්ලමින්, "ප‍්‍රජාතන්ත‍්‍රවාදී” වෙස්පෑමක යෙදී සිටිති.

සියවස් කාර්තුවක සිවිල් යුද්ධය තුල දී ගොඩනගන ලද පොලිස් රාජ්‍ය යාන්ත‍්‍රනය, බිඳවිසිරීමක් නොව, ඒ වෙනුවට. එය දිගටම පවත්වා ගෙන යන අතර, කම්කරු පන්තිය සිය මූලික අයිතීන් හා ජීවන මට්ටම් රැකගනු වස් ඉදිරියට එන කල, එය ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන් ම හැරවෙනු ඇත.