‍ශ්‍රී ලංකාවේ ආන්ඩුව විශ්වවිද්‍යාල ආරක්ෂක කටයුතු ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනී

By Kapila Fernando, 22 September 2011

විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට හා අනෙකුත් සේවකයන්ට එරෙහි මර්දනකාරී පියවර ඉදිරියට ගෙන යමින් ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව, සරසවි ආරක්ෂක කටයුතු ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින සමාගම් දෙකකට පවරා ඇත. මෙය ශිෂ්‍යයන්ගේ ද අනෙකුත් සේවකයන්ගේ ද ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට බරපතල තර්ජනයකි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න විසින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවටත් උපකුලපතිවරුන්ටත් පසුගිය මස 29 දා යවන ලද ලිපියක් මගින් ඔක්තෝබර් පලමුවන දා සිට විශ්වවිද්‍යාල සියල්ලේ ම ආරක්ෂක කටයුතු ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවත්වා ගෙන යන "රක්නා ලංකා” හා "එල්ආර්ඩීසී” නම්වූ ආරක්ෂක සමාගම් දෙක යටතට ගත යුතු බව දන්වා තිබේ.

රක්නා ලංකා ආරක්ෂක සමාගම ආරක්ෂක අමාත්‍යංශය හා ඍජුව සම්බන්ධ මූලික වශයෙන් පොලිස් මිලිටරි අරමුනු සඳහා ක‍්‍රියාත්මක වන්නකි. සමාගමේ මෙහෙවර ලෙස එහි වෙබ් අඩවියේ දක්වා තිබෙන්නේ "ප‍්‍රාදේශීය හා ජාතික වශයෙන් වැදගත් රජයේ හා පුද්ගලික අංශවල ආරක්ෂාව සැලසීම මගින් රටේ ආර්ථිකය අඩපනවීමකින් තොරව පවත්වා ගෙන යෑමයි.”

"ආර්ථිකය අඩපනවීමකින් තොරව පවත්වා ගෙන යෑම” වනාහි අන් කිසිවක් නොව වැඩ වර්ජන හා විරෝධතා ඇතුලු කම්කරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ සටන් මර්දනය කොට එකී ආයතන පවත්වා ගෙන යාමයි. ආයුධ පුහුනුව, ඉහල තාක්ෂනික උපකරන භාවිතය හා ත‍්‍රිවිධ හමුදාවේ හා විශේෂ කාර්ය බලකා පුහුනු නිලධාරීන්ගේ පහුනුව ලැබූ, බොහෝ විට හමුදාවේ හා පොලීසියේ සේවය හැර ගිය හා විශ‍්‍රාමික සාමාජිකයන්ගෙන් මෙම ආරක්ෂක අංශ සමන්විතව තිබේ.

එල්ආර්ඩීසී සමාගම ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව නමින් සිය ආරක්ෂක අංශය පවත්වා ගෙන යයි. ආන්ඩුව ආයෝජකයන් සඳහා ඉඩම් නිදහස් කරනු පිනිස කොලඹ නගරයෙන් පැල්පත්වාසී පවුල් 75,000 ක් ඉවත් කිරීම සූදානම් කිරීම සඳහා පසුගිය වසරේ දී නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන මන්ඩලය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගන්නා ලදී. ජයවර්ධනපුර, පේරාදෙනිය, වයඹ, ඌව වෙල්ලස්ස, රුහුන හා රජරට යන විශ්වවිද්‍යාල රක්නා ලංකා සමාගමටත් ඉතිරි විශ්වවිද්‍යාල එල්ආර්ඩීසී සමාගම වෙතත් භාර දීමට නියමිතව තිබේ.

මෙම තීන්දුව යුක්ති සහගත කිරීමට නවරත්න පුහු තර්කයක් ඉදිරිපත් කර ඇත. සන්ඩේ ලීඩර් පත‍්‍රයට ඔහු ප‍්‍රකාශ කලේ "මෙතෙක් පැවති ආරක්ෂක අංශවල පුද්ගලයන් වයසක හා බීමත් පුද්ගලයන් ගෙන් සමන්විත වූ හෙයින් මෙම තීන්දුව ගත් බවයි.”

සත්‍යය මෙය නොවේ. ටෙන්ඩර් කැඳවීමකින් තෝරා ගැනෙන ආරක්ෂක සමාගමකට අදාල විශ්වවිද්‍යාලයේ පරිපාලන සභාවේ අවසරය සහිතව ආරක්ෂක අංශවල වැඩ කටයුතූ පැවරීමේ මෙතෙක් පැවති සාමාන්‍ය පටිපාටිය උල්ලංඝනය කරමින් මෙම තීන්දුව ගෙන ඇත. නව ආරක්ෂක සේවා කි‍්‍රයාත්මක වනු ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට හා රජයේ විශ්වවිද්‍යාලවල අඩු පහසුකම් වලට එරෙහිව වර්ධනය වන ශිෂ්‍ය විරෝධතා ද ඇතුලු සරසවි පද්ධතිය පුරා නැගෙන අරගලවලට එරෙහිවයි.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාස දෙකකට අධික කාලයක් ගෙනගිය අරගලයෙන් පසු, දැන් දිවයින පුරා සරසවි අනධ්‍යන සේවකයින් තම වැටුප් විෂමතා ඉවත් කර ඉහල වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂනයට අවතීර්න වී ඇත. ආරක්ෂක අංශ මාරුව ප‍්‍රකාශයට පත් වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය උපාධිය (එම්බීබීඑස්) පිරිනැමීමට අවසර දීමට එරෙහිව අලුතින් මතුවන විරෝධයත් සමගයි.

රක්නා ලංකා දැනටමත් රජයේ ආයතන හා අමාත්‍යාංශවල ආරක්ෂක කටයුතු භාරව සිටී. පෙට්ට්‍රෝලියම් සමාගම, කොලොන්නාව කර්මාන්ත පුරය, සෙත්සිරිපාය, ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි ගාල්ල, මාතර, නුවර ඇතුලු ශාඛා කිහිපයක් හා රූපවාහිනි සංස්ථාව ඒ අතර ප‍්‍රධාන වේ. ආන්ඩුවේ කුප‍්‍රකට ඇමතියෙකු වන මර්වින් සිල්වා රූපවාහිනි සංස්ථාවේ නිලධාරීන්ට හා සේවකයන්ට ඔහු ඇමතු රැස්වීමක් වාර්තා නොකෙරුවා යයි පවසමින් එල්ල කල මැර ප‍්‍රහාරයකට එරෙහිව සේවකයන් එල්ල කල ප‍්‍රතිප‍්‍රහාරයෙන් පසුව රූපවාහිනි සංස්ථාවේ ආරක්ෂාව රක්නා ලංකා වෙත භාර කලේ ය. ඇමති සිල්වාට හා ඔහුගේ මැරයන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගත් නමුදු රූපවාහිනි සංස්ථාවේ සේවකයන්ට එරෙහිව දඩයමක් ක‍්‍රියාත්මක විය.

ආන්ඩුව කම්කරුවන්ගෙන් හා සිසුන්ගෙන් නැගෙන කිසිදු විරුද්ධත්වයක් හෝ නොතකා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කි‍්‍රයාත්මක කිරීමට තීරනය කර ඇත. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය උපාධිය පිරිනැමීමට අවසර දීම මගින් යලි නිකුත් කර ඇති පනිවිඩය එයයි.

අයවැය වියදම් කප්පාදුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි කි‍්‍රයාවට දමන රාජපක්ෂ ආන්ඩුව රජයේ විශ්වවිද්‍යාලවලට කෙරෙන වියදම් ද කපා හෙලමින් ඒවා පිරිහෙලීමට කි‍්‍රයාත්මක වෙයි. මේ ප‍්‍රහාරවලට එරෙහිව සිසුන්ගේ ආචාර්යවරුන්ගේ හා අනෙකුත් සේවකයන්ගේ අරගල තවතවත් තියුනුවනු ඇති බව දන්නා ආන්ඩුව ඒවා මැඩීමට සූදානම් වීමේ කොටසක් ලෙස නව ආරක්ෂක සේවය පිහිටුවා ඇත.

ශිෂ්‍යයන් හා සමස්තයක් ලෙස කම්කරු පන්තිය මත එල්ල කෙරෙන ප‍්‍රහාරවල මූලය වන්නේ ලාභය මත නිෂ්පාදනය පදනම් වූ ලෝක ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදයයි. 1930 ගනන් වලින් පසු මුහුන දුන් දරුනුම අර්බුදයට මුහුන දී සිටින ලොව පුරා පාලක පන්තීන් එම අර්බුදයේ සියලු බර කම්කරු පීඩිත මහජනතාව මත පටවමින් සිටී. රාජපක්ෂ ආන්ඩුව මෙම ජාත්‍යන්තර ප‍්‍රහාරයේ කොටසක් ලෙස කම්කරුවන් තරුනයන් හා දුගීන් මත මේ අර්බුදය පැටවීමේ අත් ගෙඩිය ලෙස ලංකාව තුල කි‍්‍රයාත්මක වේ.

අලුත් ආරක්ෂක සේවා සිසුන් හා අනෙකුත් සේවකයන් හසුරුවා ලීමට තැත් කරමින් ප‍්‍රකෝපකාරී ලෙස ක්‍රියා කිරීමේ ද පොලීසිය මැදිහත් කරවීමේ ද සරසවි තුල දේශපාලන කි‍්‍රයාකාරීන් ගැන ඔත්තු බැලීමේ ද යෙදෙමින් රාජ්‍ය මර්දන හස්තයේ උපකරනයක් ලෙස කි‍්‍රයා කරනු ඇත.

පසුගිය අවුරුද්දේ සිට ආන්ඩුව සිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මැඩලීමේ පියවර ඉදිරියට ගෙන යමින් සිටී. ආන්ඩුව පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ දී සියලු සිසු විරෝධතා තහනම් කරන "නවකවද විරෝධී” පනත යලි හඳුන්වා දුන්නේ ය. ඒ යටතේ පුද්ගලීකරනයට, අඩු පහසුකම්වලට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව පැවති ශිෂ්‍ය විරෝධතාවලට දරුනු පොලිස් ප‍්‍රහාර එල්ල කල අතර දුසිම් ගනනක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සිසුන් ඇප මත නිදහස් කල මුත් නැවත විරෝධතාවලට සහභාගී නොවන ලෙසට උසාවිය ඔවුන්ට අවවාද කලේ ය.

ශිෂ්‍යන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇත්තේ ආන්ඩුවේ ප‍්‍රහාරයන් ය. ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට ද, නිලවරන නො පැවැත්වීම්වලට ද එහා යමින් ශිෂ්‍යයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව පෙර නොවූ විරූ ප‍්‍රහාර ආන්ඩුවේ අවශ්‍යතාවය මත පත් වු විශ්වවිද්‍යාලවල සමහර උපකුපතිවරු ගෙන තිබේ. ජයවර්ධනපුර සරසවියේ උපකුලපති එන්.එල්.ඒ. කරුනාරත්න විසින් මේ වසරේ දී කිසිදු සාක්ෂියකින් හා වගවිභාගයකින් තොරව සිසුන් කීපදෙනෙකු පොලිස් අත්අඩංගුවට භාරදුන් අතර ඔවුන් අතරින් සිසුන් තිදෙනෙකුට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කිරීමට ද උත්සාහ ගැනුනි.

කොලඹ හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සීසීටීවී කැමරා සවි කර ඇති බවද පසුගිය මාසවල ජයවර්ධනපුර සරසවියේ විරෝධතාවලට සම්බන්ධ ශිෂ්‍යයන් සියයකට අධික පිරිසකගේ පන්ති තහනම් කිරීමට මෙම කැමරා උපයෝගී කර ගත් බවද වාර්තා විය.

විශ්වවිද්‍යාල මත මිලිටරීකරනය පැටවීමේ පියවරක් ලෙස මේ වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුලු කර ගන්නා සිසුන් මිලිටරි කඳවුරුවල හා පොලිස් ස්ථානවල සති තුනක පුහුනුවකට යටත් කෙරුනි. පුහුනුවට සම්බන්ධ වූ ශිෂ්‍යයන් ලෝසවෙඅ පැවසූ පරිදි විශ්වවිද්‍යාල තුල කිසිදු දේශපාලනයක් නොකරන ලෙස හමුදාවේ හා පොලීසියේ ඉහල නිලධාරීන් ඔවුන්ගේ දේශනවලදී ශිෂ්‍යයන්ට අවධාරනය කොට ඇත.

තිස් අවුරුදු යුද්ධය තුල ගොඩනගාගත් පොලිස් රාජ්‍ය විධික‍්‍රම පාවිච්චියට ගැනීමකින් තොරව ධනපති පන්තියට ද එහි රාජපක්ෂ ආන්ඩුවට ද පාලනය ගෙන යා නොහැකි ය. පසුගිය දා හදිසි නීති ඉවත් කිරීමේ විජ්ජාවක් කල ආන්ඩුව වෙනත් මගකින් එම මර්දන නීති ම ගෙනවුත් ඇත.

සිසුන් ආචාර්යවරුන් හා අනෙකුත් සේවකයන් ඉදිරියේ මතු වී ඇති මේ අන්තරායන් පිලිබඳව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය ඇතුලු සිසු සංගම් ද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ද අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ද මෙතෙක් නිල ප‍්‍රකාශයක් හෝ නිකුත් කර නැත. ඉන් පෙන්නුම් කෙරෙන්නේ වර්ධනය කෙරෙන රාජ්‍ය මර්දනයට ඒවායේ අනුගතවීම යි.