ඉන්දීය ආන්ඩුව හා හමුදාව අතර වැඩෙන ආතතීන්

Mounting tensions between India’s army and civilian government

By Kranti Kumara, 18 April 2012

"ලෝක බලවතෙකු” වීමේ අභිලාෂය හමුවේ ඉන්දීය පාලක පැලැන්තිය මිලිටරිය වෙනුවෙන් පෙර නොවූ විරූ ආකාරයෙන් අරමුදල් හා අවධානය යොමුකරමින් සිටින අතර අලුතෙන් හිමිවූ මෙම වැදගත්කම නිසා දිරිමත්ව සිටින ඉන්දීය මිලිටරිය සිය බලපෑම වඩාත් දැඩි කරයි.

පසුගිය වසර ගනනාවක් තිස්සේ ඉන්දීය මිලිටරි ආඥාපතීන් චීනයට හා පකිස්ථානයට එරෙහිව නැවත නැවතත් නිකුත් කල ප්‍රකෝපකාරී ප්‍රකාශ හේතුකොටගෙන කොන්ග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රගතිශීලී සන්ධාන ආන්ඩුවේ (යූපීඒ) ප්‍රතිපත්ති සමග ගැටී තිබේ. නිදසුනක් ලෙස පසුගිය වසරේදී ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමට එක්සත් ජනපදය පකිස්ථානය අභ්‍යන්තරයට නීති විරෝධීව සිදුකල ආක්‍රමනය වැනි දෙයක් අනුගමනය කිරීමට ඉන්දියාව උත්සාහ නොකරනු ඇති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට අගමැති මන්මෝහන් සිං හට සිදුවූයේ, එවන් මෙහෙයුමක් කිරීමට ඉන්දීය මිලිටරියට ද හැකි බවට එරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ප්‍රසිද්ධියේම කයිවාරු ගැසීමෙන් පසුවය.

විශේෂයෙන්ම ආන්ඩුව හා හමුදාවේ ඉහල තට්ටු අතර සම්බන්ධතා කඩතොලුවී තිබේ. ඒවා කෙතරම් පලුදුවී ඇත්දැයි කිවහොත්, පසුගිය ජනවාරියේදී නව දිල්ලි අගනුවර සමීපයේ මිලිටරිය විසින් සිදුකල අනවසර හමුදා ක්‍රියාවලියක් හේතුකොටගෙන ආන්ඩුවේ සමහරුන් කලබලයට පත්වූ බව මනා සම්බන්ධකම් සහිත ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත මෑතකදී මුල් පිටේ පලකල විශේෂාංගයකින් හෙලිකර තිබුනි. පුවත්පත සුවිශේෂව සඳහන් කර නොතිබුන ද එය ඇඟවුම් කලේ, පාලක පන්තියේ කොටසක් සැලසුම් නොකල කුමන්ත්‍රන ව්‍යායාමයක් සිදුවෙමින් ඇති බව කල්පනා කල බවයි.

පුවත්පතට අනුව, ඉන්දියානු හමුදාවේ සේනාංක දෙකක් ආන්ඩුවට දැනුම් නොදී ජනවාරි 16-17 දින උදෑසන නව දිල්ලිය දෙසට ගමන්ගැනීම නිසා ආන්ඩුවේ නායක‍යෝ කලබලයට පත්වූහ. පැය 18ක් තුල ආන්ඩුව හමුදාවේ හැසිරීම නිරීක්ෂනය කිරීමට තැනින් තැන පුද්ගලයින් ස්ථානගත කරමින් හා ත්‍රස්තවාදී අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පොලිසියට මාර්ග බාධක ඉදිකොට වාහන තදබදයකට ඉඩ සලස්වා හමුදාවේ ගමන බාලකිරීම වැනි ප්‍රතිකර්ම සෙවීමට උත්සුක විය.

පුවත්පතට අනුව හමුදාවේ හැසිරීම, පෙර නොවූ විරූ ආකාරයකට ආන්ඩුවට අභියෝග කර එහි තීරනයට එරෙහිව ඉන්දීය හමුදා නායක වී. කේ. සිං විසින් ජනවාරි 16දා ශ්‍රෙෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනුකිරීම සමග සම්පාත විය. සිය වාර්තාවලට අනුව සිං ඉපිද ඇත්තේ 1950 වසරේ බවට ආරක්ෂක අමාත්‍යාංශය කල අවධාරනය පෙත්සම මගින් අභියෝගයට ලක්කල අතර හමුදා නිලධාරීන් කියා සිටියේ ඔහුගේ උපන් වර්ෂය 1951 බවය. සිංගේ පෙත්සම නිෂ්ප්‍රභා කෙරුනු අතර ඔහු බලාපොරොත්තු වූ පරිදි 2013 නොව මේ වසරේ මැයි මාසයෙහි ඔහු විශ්‍රාම යායුතු බව ඉන් ඇඟවුම් කෙරුනි.

පුවත්පත් වාර්තාව ආන්ඩුවේ කවයන් තුල සැලකිය යුතු කැලඹීමක් ඇතිකල නමුත් අවසානයේදී ආන්ඩුවත් හමුදාවත් එය කුනුකූඩයට දැමීම සඳහා අත්වැල් බැඳගත්හ.

ආරක්ෂක ඇමති ඒ. කේ. ඇන්තනි පුවත්පත් විශේෂාංගය "පදනම් විරහිත” යයි හෙලාදුටු අතර "හමුදා භට කන්ඩායම්වල එවන් හැසිරීම් අමුතු ඒවා නොවේ. හමුදාව මෙය පැහැදිලි කර ඇත. හමුදාවේ දේශමාමකත්වය පිලිබඳව අපි විශ්වාසය තබන්නෙමු. ඉන්දියානු හමුදාව ප්‍රජාතන්ත්‍රය කඩාකප්පල් කරන කිසිවකට මැදිහත් නොවනු ඇත.” යනුවෙන් ද පැවසීය.

හමුදා නායක සිං පුවත්පතේ පලවූ ලිපිය හෙලාදැකීමේදී ඊටත් වඩා කර්කෂ විය. හින්දු පුවත්පතට කතාකරමින් ඔහු මෙම කතාන්තරය "මන්ද බුද්ධික ප්‍රබන්ධයක්” ලෙසත්, ප්‍රශ්නයට භාජනයවී ඇති හමුදාවේ හැසිරීම "සාමාන්‍ය ව්‍යායාමයක්” ලෙසත් හැඳින්වීය. එවන් සාමාන්‍ය චරියාවන් පිලිබඳව ආන්ඩුවට දැනුම් දීම අවශ්‍ය නොවන බව ද ඔහු පැවසීය.

අගමැති මන්මෝහන් සිං මෙම වාර්තාව "කුලප්පුවක්” ලෙස හැඳින්වීය. හමුදා ප්‍රධානියාගේ "උත්කෘෂ්ඨ සේව‍ෙය්” ගරුත්වය කෙලෙසීමට කිසිවක් නොකල යුතුයි ද ඔහු කියා සිටියේය.

ඉන්ඩියන් එක්ස්ප්‍රස් වාර්තාව හුදෙක් ආන්ඩුව හා සන්නද්ධ හමුදා අතර වැඩී යන ආතතිය සුවිශේෂව පෙන්නුම් කරන එක් සිද්ධියක් පමනි.

රටේ ආර්ථික පදනමෙහි දුබලතාවය සැලකිල්ලට ගත් කල, මෙම ආතතීන් තුල පවත්නා ප්‍රධාන සාධකය, ලෝක බලවතෙකුගේ තත්වය කරා දිවෙන ඉන්දියානු ධනේශ්වරයේ චාරිකාව තුල මිලිටරිය ඉටුකල යුතු මුඛ්‍ය ක්‍රියාකලාපයයි. ඉන්දීය ප්‍රභූ පැලැන්තිය එරට ලෝක බලවතෙකුගේ තත්වයෙහි හිනි පෙත්තෙහි සිටින බවට කයිවාරු ගැසුව ද සෑම අර්ථයකින්ම පාහේ එරට පසුවන්නේ දුගී හා අතිශයින්ම පසුගාමී රාජ්‍යයක් ලෙස ය. කෝටි 102ක ජනගහනයකින් යුත් ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදිතය, ජනගහනය දශ ලක්ෂ 35ක් පමන වන කැනඩාවට සමාන ය. 2010-11 වසරේ ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම යාන්තම් ඇමරිකානු ඩොලර් 1100ක් පමනි.

න්‍යෂ්ටික මිසයිල්වලින් සන්නද්ධ වීමේ එහි උත්සාහයට අමතරව ඉන්දියානු ආන්ඩුව, සාගර නාවික හමුදාවක් ගොඩනැගීමේ සැලසුම් ද ක්‍රියාවට නගා ඇත. තමන්ට පෙරමුනු දෙකක යුද්ධයක, එනම්, එක්වරම චීනයටත් අනෙක් පසින් පකිස්ථානයටත් එරෙහි යුද්ධයක, යෙදීමට හැකිවිය යුතු බව නිවේදනය කරන අතර එය අවධාරනය කරන්නේ, ඉන්දියානු සාගරය තුල පොලිස්කාරකමේ යෙදීමේ ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටුකල යුතු බවයි. 2001-02 කාලයේ පකිස්ථානය සමග හටගත් යුද අර්බුදය හමුවේ වේගයෙන් හමුදා බලමුලු ගැන්වීමට අසමත් වීමෙන් පසුව මිලිටරිය, "සීතල ආරම්භය” නමැති නව මූලෝපායක් වර්ධනය කලේය. සඳහන් කෙරෙන පරිදි එමගින් පැය ගනනක් තුල හෝ වැඩිම වුනොත් දින ගනනක් තුල, විශාල පරිමානයේ ප්‍රහාරක මිලිටරි මෙහෙයුම් සඳහා හමුදා බලමුලු ගැන්විය හැකි වනු ඇත.

නවීන හා සූක්ෂම අවි පද්ධතීන් ඉක්මනින් අත්පත්කර ගැනීම පිනිස සොච්චම් රාජ්‍ය භාන්ඩාගාරයෙන් වඩ වඩාත් විශාල අරමුදල් මිලිටරිය විසින් ඉල්ලා සිටියි. එහෙත් ඉන්දීය කර්මාන්තයේ හා තාක්ෂනයේ පසුගාමිත්වය නිසා මෙම අවිවලින් වැඩි පංගුවක් විදේශයන්ගෙන් මිලට ගැනීමට සිදුව තිබේ.

මෙම වසරේදී ඉන්දීය මිලිටරි අයවැය සියයට 17න් ඩොලර් බිලියන 41 දක්වා වැඩිකර තිබේ. මෙය සිදුවන්නේ සහශ්‍රකය ආරම්භයේ පටන් සංඛ්‍යාන දෙකකින් වාර්ෂිකව ඉහල දැමූ අයවැය ක්‍රියාවලියේ මුදුන ලෙසය.

පෙන්ටගනයේ ඩොලර් බිලියන 662ක වාර්ෂික මිලිටරි අයවැය සමග සැසඳූ කල ඉන්දියානු පාලක පන්තිය මිලිටරියට වෙන්කරන්නේ සොච්චමක් වන නමුදු, ඉන්දියාවේ මිලිටරි පිරිවැය, ඩොලර් බිලියන 153ක් වන මධ්‍යම ආන්ඩුවේ සම්පූර්න ආදායමෙන් සියයට 27කට ද සියලු ප්‍රාන්ත ආන්ඩුවල ඩොලර් බිලියන 263ක අදායමෙන් සියයට 15කට ද සමාන වේ.

ස්ටොක්හෝම් සාම පරියේෂන ආයතන‍යට අනුව ඉන්දියාව, 2007-11 වසරවල ගෝලීය ආයුධ වෙලඳාමෙන් සියයට 10කට වග කියමින් චීනය පසුකර ගොස් ලෝකයේ ලොකුම ආයුධ ආනයනකරුවා බවට පත්ව සිටියි.

කෙසේ වුව ද ඉන්දීය මිලිටරිය පොර අල්ලන පරිදි ආයුධ අත්පත්කර ගැනීම, ඇතිතරම් කඩිනමින් කල නොහැකිව තිබේ. මක්නිසා ද යත්, දූෂනය, මිලට ගැනීමේ ක්‍රියාවලියෙහි ඇති නිලධාරිවාදී ප්‍රමාද හා නොසෑහෙන අරමුදල් නිසාය.

පසුගිය මාසයේදී හින්දු පත්‍රයට දුන් සම්මුඛ සාකච්ඡාවක දී හමුදා නායක සිං, බාල වර්ගයේ ට්‍රක්රථ මිලට ගැනීම අනුමත කරවා ගැනීමට බලපෑම් කරන හිටපු හමුදා නිලධාරියෙක්, 2010 වසරේදී තමන්ට රුපියල් මිලියන 140ක් හෙවත් ඩොලර් මිලියන 2.8ක අල්ලසක් පිරිනැමීමට උත්සාහ කල බව පැවසුවේය. මෙම නින්දා සහගත සිද්ධිය හෙලි කිරීමට ඔහු වසර දෙකක් කල් ගත කලේ මක් නිසා ද යන්න හමුදා ප්‍රධානියා පැහැදිලි නොකලේය. එහෙත් එම නිලධාරියා පිලිබඳව ආරක්ෂක අමාත්‍යාංශයට පැමිනිලි කල බවක් ඔහු පැවසුවේය. එමගින් ආන්ඩුව දූෂනය මුලිනුපුටා දැමීමට යොමුවී සිටින බවට ඔහු ඉඟි කලේය.

ඉහල ආඥාපති මන්ඩල ආන්ඩුව සමග සන්නිවේදනයේ යෙදෙන සාමාන්‍ය පරිපාටියෙන් බැහැර වෙමින්, ආරක්ෂක ඇමති මගහල හමුදා ප්‍රධානියා, අගමැතිවරයා වෙත යැවූ ලිපියෙන් කොටසක් මාධ්‍ය වෙත මුදා හැරියේය. එම ලිපියෙන්, හමුදාව තීරනාත්මක සැපයුම් රහිතව සිටින අතර යුද්ධයක් සඳහා ඛේදජනක ලෙස නොසූදානම් බවට චෝදනා නගා තිබුනි. වාර්තාවූ පරිදි හමුදා ප්‍රධානියා, යුද ටැංකි සමූහයට අවශ්‍ය මූනිස්සම් නොමැති බවත්, රටේ ගුවන් ආරක්ෂක පද්ධතිය "සියයට 97ක් යල්පැන ඇති” බවත්, පාබල සේනාංක "රාත්‍රී කාලයේ කෙරෙන සටන් හැකියාවෙන් තොර” බවත්, විශේෂ කාර්ය බලකායන් "ඛේදනීය ලෙස අත්‍යවශ්‍ය අවිවලින් සන්නද්ධ නැති” බවත් කියා තිබුනි.

හමුදා ප්‍රධානියා‍ කාන්දු කල ලිපිය හා ඉන් පසුව පෙරමුනු දෙකක යුද්ධයක් සඳහා ඉන්දියාවේ ධාරිතාවය ප්‍රශ්නයට බඳුන් කල බවට සැලකෙන, ගුවන් හා නාවික අනු නායකයින්කැඳවා පැවති සාකච්ඡා මගින් ප්‍රකුපිත කල අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, ඉන්දීයාවේ ආරක්ෂාව පිලිබඳ පාර්ලිමේන්තු කමිටුව පෙර නොවූ විරූ ආකාරයේ පියවරක් ගිනිමින් රටේ ත්‍රිවිධ හමුදා නායකයින් කමිටුව හමුවට කැඳවා මිලිටරියේ සූදානම පිලිබඳව සාක්ෂි විමසීය.

සන්නද්ධ හමුදා අතර විශේෂයෙන්ම ආන්ඩුව හා හමුදාව අතර ඝර්ෂනයේ තවත් මූලාශ්‍රයක් වන්නේ, අභ්‍යන්තර නොසංසුන්තා මැඩීමේදී මිලිටරිය ඉටුකරන මුඛ්‍ය ක්‍රියාකලාපයයි. බීබීසී සේවය නිකුත් කල ලිපියකට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තා, 1990 ගනන් මැද භාගය වන තෙක් ඉන්දීය හමුදාව, "සිවිල් අධිකාරියේ සහාය පිනිස” සාමාන්‍යයෙන් සෑම දින හයකදීම ස්ථානගත කර තිබුන බව පෙන්නුම් කලේය. එතැන් පටන් ගත්වූ වසරවල සංඛ්‍යා ප්‍රසිද්ධ කර නැත.

මෑත වසරවලදී මිලිටරිය, ඉන්දියාව අයත්කරගෙන සිටින කාෂ්මීරයේ හා ඊසාන දිග දී, බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව දියත් කල ක්‍රියාන්විතයන්හි දී සිදුකරන ලද නීති විරෝධී ක්‍රියාවන් පිලිබඳ චෝදනාවන්ගෙන් තමන් මුදා හල නීති සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමට පිලිගත් දේශපාලන නායකයින් විසින් ‍ෙග‍නෙන සියලු යෝජනාවන්ට තරයේ ම විරුද්ධ වී තිබේ. දශක ගනනාවක් තිස්සේ ඉන්දියාවේ දේශපාලන නායකයින් ස්ත්‍රී දූෂනය, පැහැරගෙනයාම්, වධ බන්ධන හා සමූහ ඝාතනයන් ඇතුලු විවිධාකාර අයිතීන් උල්ලංඝනය කිරීම් නොදුටුවාක් සේ සිටි නමුත් දැන් දැන් සමහර පිලිගත් පුද්ගලයින් ත්‍රස්තවාදය පැතිරයාමට හා ඉන්දියානු රාජ්‍යයේ උරුමයට වල කපන ප්‍රධාන සාධකය මෙම පීඩාවන්ගේ පරිමාව බවට තර්ක කිරීමට පටන් ගෙන තිබේ.

තමන්ගේ පැත්තෙන් හමුදාව, මාවෝවාදීන් මෙහෙයවන ගෝත්‍රික පදනමකින් යුත් ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියානු රාජ්‍යයේ යුද්ධ පෙරමුනේ හරිත දඩයම නම් ක්‍රියාන්විතයේ දී, 2009-10 වසරවල ඉන්දීය ආන්ඩුව යෙදූ පීඩනයට සාර්ථකව ප්‍රතිරෝධය දැක්වීය. මාවෝවාදීන් සමග කෙලින්ම ගැටෙනවා වෙනුවට මිලිටරිය, හරිත දඩයම ක්‍රියාන්විතය ගෙනයාමට සම්බන්ධ කරගත් පැරා මිලිටරි හමුදාවන්හි මූලෝපාය තීන්දු කිරීමේ ද පුහුනුව හා වෙනත් සහායක කර්තව්‍යයන්හි ද වැදගත් භූමිකාවක් තමන් වෙත පවරාගෙන තිබුනි.

ලෝකයේ බලගතුම මිලිටරියක් ගොඩනැගීමේලා ඉන්දියානු පාලක පන්තියට හා හමුදාවට ඇති ආසක්ත සැලසුම් කෙරෙහි මහජන සහයෝගය කඩාකප්පල් කරනු ඇතැයි යන බිය නිසා, දුෂ්කර හා මතභේදාත්මක ත්‍රස්ත විරෝධී යුද්ධය සමග කෙලින්ම අනන්‍ය වීමට පැහැදිලිව ම හමුදාව කැමැත්තක් නොදක්වයි.

Share this article: