ගෝලීය කො‍ටස් වෙලඳපොල නැගීම පිටුපසින්

Behind the global stock market surge

2 April 2012

2012 පලමු කාර්තුව ලෝකය පුරා කොටස් මිලෙහි දැවැන්ත නැගීමක් සලකුනු කර තිබේ. ජපානයේ නිකේ දර්ශකය සියයට 20න් ද බ්‍රිතාන්‍යයේ ෆුට්සි හා ජර්මනියේ ඩැක්ස් යන දර්ශක දෙකෙහි ම සියයට 14කට වැඩි ඉහල නැගීමක් ද වාර්තා විය.

එක්සත් ජනපදයේ දී ඩව් දර්ශකය 994ක් වූ පෙර නොවූ විරූ ඒකක වර්ධනයක් අත්කර ගත්තේය. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 500 දර්ශකය ඒකක 150න් වැඩිම කාර්තුමය ඉහල නැගීම වාර්තා කලේය. ප්‍රතිශතයන් අනුව පිලිවෙලින් දර්ශක දෙක සියයට 8ක් හා 12ක් වූ, 1998 පටන් වසරක් පාසා සිදුවූ විශාලම වැඩිවීම වාර්තා කල අතර 1991න් මෙපිට නැස්ඩැක් දර්ශකය වාර්තා කල හොඳම කාර්තුමය වර්ධනය එනම් සියයට 18කට වැඩි නැගීමක් පෙන්වීය.

කෙසේ වුව ද නඟින කොටස් මිල, ආර්ථිකයේ යටින් පවතින නිරෝගී භාවය පිලිබඳ සැබෑ මානයක් ලෙස එහි වැදගත්කම දිගු කාලකට පෙරම අහිමි කරගෙන සිටියි. පාලක පැලැන්තියේ ආර්ථික කටයුතු මත වඩ වඩාත් අධිකාරය දරන්ට පටන් ගත් මූල්‍ය සමපේක්ෂනයේ දශක තුනක් තිස්සේ මූල්‍ය වෙලඳපොලවල්, සුපිරි හා අධි සුපිරි පුද්ගලික බැංකු ගිනුම්වලට හා ආයෝජන ගිනුම්වලට සමාජ ධනයේ එන්ට එන්ටම වැඩිවන පංගුවක් පොම්ප කරන යාන්ත්‍රනයක් බවට පත්ව තිබේ.

වත්මන් වෙලඳපොල උත්පාතය ඇතිව තිබෙන්නේ, යුරෝපයේ ආර්ථික හැකිලීමේ ද චීනයේ හා ඉන්දියාවේ පහත වැටෙන වර්ධන අනුපාතයේ ද පූර්ව පසුබෑමේ පශ්චාත් ප්‍රකෘතීන්හි මට්ටමෙන් ගත්කල එක්සත් ජනපදය තුල රක්තහීන දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රසාරනයෙහි ද වාතාවරනය තුලය. මහා අවපාතයෙන් මෙපිට ගැඹුරු ම ආර්ථික අර්බුදයේ සිව්වන වසරේදී, නිෂ්පාදනයේ හා නිෂ්පාදන ආයෝජනයෙහි අව්‍යාජ ප්‍රකෘතියක් පිලිබඳ කිසිදු සලකුනක් එක්සත් ජනපදය හෝ යුරෝපය තුල දක්නට නැත.

මාධ්‍ය සිරස්තල සංඛ්‍යාවන්ට පිටුපසින්, වත්මන් කොටස් වෙලඳපොල උත්පාතය අස්ථාවර බවටත් තිරසාර නොවන බවටත් බොහෝ සලකුනු දැකිය හැකිය. එවිට වත්මන් රැල්ල ධාවනය කරනු ලබන්නේ කුමක් විසින් ද?

මේ අවස්ථාවේදී ව්‍යාපාරික හා මූල්‍ය පැලැන්තීන් තුලින් සාර්ථකත්වය කෙරෙහි පලවන ප්‍රතිචාරය, ධනවාදයේ අර්බුදයෙහි මුලු බර ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පැටවීමේ එහි තල්ලුවේ වැඩිමනත් පිලිඹබිඹුවකි. රැකියාවන්ට, වැටුප්, විශ්‍රාමික ගෙවීම් හා සමාජ වියදම් මත එල්ල කෙරෙන වඩ වඩාත් කුරිරු ප්‍රහාර මගින් පියවිය යුතු, බැංකු නඟා සිටුවීමට තව තවත් පිදෙන ඩොලර් ට්‍රිලියන ගනන් මහජන අරමුදල් සමග මෙය අතිනත ගෙන ගමන් කරයි.

දුරදැක්මක් නැති වෙලඳපොලවල සැමරුම් පිටුපස ඇත්තේ, ලේමන් බ්‍රදර්ස් වර්ගයේ නව මූල්‍ය උනුවීමක් අවුලුවා නොගෙන යුරෝපීය සංගමයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා යුරෝපීය මහ බැංකුවට ග්‍රීසියේ පාලිත නය පැහැරහැරීමක් සැලසුම් කරමින් එරට කම්කරු පන්තිය මත සමූහ දරිද්‍රතාවක් පැටවීමට හැකිව තිබීමයි. යුරෝ සංගමයේ සියලු රටවල් ස්ථාවර හා දරුනු කප්පාදු සඳහා කැපකර ගන්නා යුරෝපීය සංගමයේ රාජ්‍ය මූල්‍ය ගිවිසුම මගින් ද ඔවුන් දිරිමත් කර තිබේ.

මේ අතර යුරෝපීය මහ බැංකුව, යුරෝ ට්‍රිලියනයක්, පොලී නැතුව ම වාගේ යුරෝපීය බැංකුවල සේප්පු තුලට පොම්ප කරමින් ඒවා ගලවා ගැනීමට ඉදිරිපත්ව සිටින අතර, එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුව එරට පොලී අනුපාත තවත් වසර එක හමාරක්වත් යන තෙක් ශුන්‍යයට ආසන්න මට්ටමේ පවත්වාගන්නා බවට වෙලඳපොලවලට සහතික විය.

අසීමිත හා මුලුමනින්ම පාහේ නොමිලයේ දෙන නය හා කම්කරු පන්තියේ ජීවන තත්වයන් කාබාසීනියා කිරීමේ මෙම පදනම මත, එක්සත් ජනපදයේ ද අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්හි පාලක පන්තීන්, නිෂ්පාදනයේ බහෙවින් පහත් මට්ටම්වල පදනමෙහි ව්‍යාපාරික ලාභ පිම්බීම සඳහා ආර්ථික මොඩලයක් ක්‍රියාවට නංවමින් සිටියි. මෙම ප්‍රමිතිය පිහිටුවන ලද්දේ, ඇමරිකානු මෝටර් රථ සමාගම් විසිනි. එක්සත් මෝටර් රථ කම්කරු සමිතියේ උද්ද්‍යෝගිමත් සහයෝගය ඇතිව ඔබාමා පාලනයේ 2009 මෝටර් කර්මාන්තයට ඇපදීමේ සැලැස්ම යටතේ පනවන ලද, අලුතෙන් බඳවාගන්නා කම්කරු වැටුප සියයට 50න් කැපීමේ පදනම මත, අවපාතයට පෙරාතුව පැවතියාට වඩා බොහෝ සෙයින් අඩු අලෙවි ධාරිතාවක් සහිතව මහා සමාගම් තුනම පසුගිය වසරේ යලිත් ලාභ ඉපැයීමට පටන් ගත්තේය. ජෙනරල් මෝටර්ස් එහි ඉතිහාසයේ ලොකුම වාර්ෂික ලාභය වාර්තා කලේය.

මෙම ප්‍රහාර එල්ල කිරීම සඳහා පාලක පන්තියට හැකියාව ගෙන දුන්නේ, විරෝධය පෑමට කම්කරුවන් අසමත් වීම නිසා නොවේ. 2011 වසර, ටියුනීසියාවේ හා ඊජිප්තුවේ විප්ලවවාදී ස්වභාවයේ මහජන අරගල ද ග්‍රීසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉතාලිය හා අනෙකුත් රටවල මහජන විරෝධතා හා වැඩවර්ජන ද විස්කොන්සින්හි කම්කරු පන්තියේ විරෝධතා ද ධනපති විරෝධී මනෝගතීන් වැඩී යාමේ කලල රූපයකින් යුත් වෝල් වීදිය වාඩිලාගනු විරෝධතා ද පැන නැ‍‍ෙගනු අත්දැක තිබේ.

එහෙත් මෙම අරගල වෘත්තීය සමිති, නිල “වාම” පක්ෂ හා ඊජිප්තුවේ විප්ලවකාරී සමාජවාදීන් ද ග්‍රීසියේ සිරිසා හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ද ප්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය ද ස්පාඤ්ඤයේ ධනපති විරෝධී වම හා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය ද වැනි විවිධ පැරනි වාම සංවිධානවල සහචරයින් විසින් ක්‍රමානුකූලව පාවාදී මඩිනු ලැබ තිබේ. මෙම ව්‍යාජ වාම කන්ඩායම් මහජන විරෝධය මත සමිතිවල අත යලි ශක්තිමත් කිරීමට වැඩ කල අතර කම්කරු බලය හා සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය වීමට හරස් කැපුවේය.

වැටුප් හා සහන කප්පාදුව, පසුගිය වස‍ෙර් එක්සත් ජනපදය තුල පෙර නොවූ විරූ ව්‍යාපාරික ලාභ ඉපැයීමට කොන්දේසි සැකසූ අතර එය සියයට 8.5න් හෙවත් ඩොලර් ට්‍රිලියන 1.58ක් දක්වා ඉහල ගියේය. ව්‍යාපාරික ලාභ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කට ලඟා විය. එය පශ්චාත් යුද්ධ සමස්ත අවධියේ ඉහලම මට්ටමයි.

මෙම ප්‍රතිපත්තීන්හි ප්‍රතිපල වශයෙන්, සුපිරි ධනපතීන් අත තව තවත් ධනය රාශීබූත කර ඇත. එක්සත් ජනපදය තුල ඉහල විධායකයේ වැටුප් 2011 වසරේදී නව වාර්තාාගත ඉහලකට නැගුනි. ෆෝචූන් 500 සමාගමකට වෙන්කරන ලද අගය තවත් සියයට දෙකකින් ඉහල ගොස් ඩොලර් මිලියන 9.6ක මට්ටමකට ලඟා විය. ඉහලම ගෝලීය ආරක්ෂක අරමුදල් කලමනාකරුවන් 25 දෙනා එකතුව බිලියන 14.4 ක් වෙන්කරගත් අතර එක් අයෙකුගේ පංගුව මිලියන 576ක් විය.

2010 වසරේ එක්සත් ජනපදය තුල වැඩි වූ ජාතික ආදායමේ සියල්ල ඇදී ගියේ ජනගහනයෙන් ඉහලම සියයට 10 අතට ය. කුටුම්භ 15,000ක් හෙවත් ඉහලම සියයට 0.01 ජාතික ආදායමේ වැඩිවූ පංගුවෙන් තුනෙන් එකක්ම ඩැහැ ගත්හ.

එවන් අමූලික කොල්ලයක් මත පදනම්වූ “ප්‍රකෘතිය” ක් වේගයෙන් වාෂ්ප වනු ඇත. අර්බුදයට තුඩු දුන් පතුලේ පැවති ප්‍රතිවිරෝධතා, පාලක පන්තියේ ප්‍රතිපත්ති මගින් උග්‍රකර ඇතුවා පමනි.

මේ අතර ලෝක ජනගහනය දුගී භාවයේ හෙලීමට කැපවූ පාලක පන්තියේ අඛන්ඩ තල්ලුව තුඩුදිය හැක්කේ නව්‍ය සමාජ අරගලයන්ට ය. 2011 පිපිරීම් වඩාත් පුලුල් නැගිටීම් පිලිබඳ සලකුනක් පමනි. ස්පාඤ්ඤයේ දී පසුගිය සතියේ කැඳවන ලද මහා වැඩ වර්ජනයට ලැබුනු මහජන සහයෝගය මතුවෙමින් ඇති පන්ති අරගල පිලිබඳ ඇඟවුමකි.

2011 හා 2012 ආරම්භයේ අත්දැකීම් සලකුනු කරන්නේ, නායකත්වය හා ඉදිරිදර්ශනය පිලිබඳ තීරනාත්මක ප්‍රශ්නය. අනාගත අරගල සමාජවාදී හා ජාත්‍යන්තරවාදී පදනමක ඒකාබද්ධ කිරිම සඳහා කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගිය යුතුය.

ඇන‍්ඩෘ ඩිමෝන් හා බැරී ග්‍රේ

Share this article: