ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුව යූඑන්එච්ආර්සී යෝජනාව පිලිබඳව ප්‍රෝඩාකාරී විවාදයක

By Sampath Perera, 18 April 2012

විපක්ෂයේ ඉල්ලීමක් මත අපේ‍්‍රල් 3 සහ 4 දෙදින තුල ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) සම්මත කල යෝජනාව විවාදයට ලක් කලේය. දෙමල සුලුතර ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පිලිබඳව ලංකාවේ පාලක පන්තියේ සතුරුකම එලිදරව් කෙරුනු එම විවාදය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව වගකීම් දරන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වහන් කිරීමට කොලඹ දේශපාලන සංස්ථාපිතයම එකඟතාවයෙන් ක‍්‍රියා කරන බවද ප‍්‍රදර්ශනය කලේය.

විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය (යූඑන්පී) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විවාදය ඉල්ලා සිටීමෙන් අරමුනු කලේ දේශපාලනික වාසියක් ලබා ගැනීමයි. එවක පැවති යූඑන්පී ආන්ඩුව 1983දී යුද්ධය ආරම්භ කලේය. යූඑන්පීයත් ජවිපෙත් දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ පරාජයෙන් කෙලවර වූ රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට ද මුලුමනින්ම සහාය දුන්හ. විවාදය තුලදීත් ජාතිකවාදී සහ බටහිර විරෝධී උත්සන්නියක යෙදී ගත් පාලක රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුව, විපක්ෂය රටට එරෙහි යෝජනාවක් සම්මත කර ගැනීමට උපකාර කලේ යැයි ප‍්‍රතිචෝදනා එල්ල කලේය.

එක්සත් ජනපදයේ අනුග‍්‍රහය මත යූඑන්එච්ආර්සී සම්මත කලේ බල රහිත, බැඳීමක් නැති යෝජනාවකි. එය රාජපක්ෂ විසින් පත් කල උගත් පාඩම් හා සංහිඳියාව කොමිසමේ (එල්එල්ආර්සී) නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස කොලඹ ආන්ඩුවෙන් ඉල්ලා සිටි සීමිත යෝජනාවකි. එක්සත් ජනපදයේ අරමුන ලෙස පවතින්නේ ශ‍්‍රී ලංකාව තුල "මානව හිමිකම්” ප‍්‍රශ්නය මත කොලඹ ආන්ඩුවට බලපෑම් කරමින් රට තුල යුද්ධය පැවැති අවධියේ පටන් වර්ධනය වන චීන සබඳතා යටපත් කිරීමයි.

ජවිපෙ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ජනීවාහිදී සම්මත කල යෝජනාව පිලිබඳ රජයේ ස්ථාවරය විමසා සිටියේය. "සමහර අමාත්‍යවරුන්ගේ අදහස් නිසා ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අදාල උදවිය විදුලි පුටුවට ගෙන යනවා යයි මතයක් ඇති වුනා,” යයි මැසිවිලි නැගූ දිසානායක "අධිරාජ්‍යවාදී රටවල් කුඩා රටවල් ගිල ගැනීමට බලාගෙන සිටිනවා” යයි පවසා බොරු අධිරාජ්‍ය විරෝධයක් ආරෝපනය කරගත්තේ ය. තවද ඔහු චෝදනා කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) වෙලඳපල ආර්ථික වැඩපිලිවෙලේදීත් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙනුත් ඇමරිකාව සමග ආන්ඩුව එකට ක‍්‍රියා කරන බවයි.

බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයට එරෙහිව රාජපක්ෂ ක‍්‍රියාත්මක කල හා යුද්ධයේදී දස දහස් ගනනක් සිවිල් ජනයා ඝාතනය කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීම පිලිබඳව වචනයක් හෝ නොපැවසූ දිසානායක, "මානව හිමිකම් ගැන කතා කරන්නවත් ඇමරිකාවට අයිතියක් නෑ” යයි කියමින් එක්සත් ජනපදය ඉරාකය, ඇෆ්ගනිස්තානය, ලිබියාව ආදී රටවල සිදු කල මානව හිමිකම් කඩකිරීම් පෙන්වා දුන්නේය.

මේ පූච්චානම් ප‍්‍රකාශ කුමක් වූවත්, 2001දී ඇෆ්ගනිස්තානයට එරෙහිව ඇමරිකාව ප‍්‍රමුඛ ව දියත් කල ආක‍්‍රමනයට ජවිපෙ සහාය දුන්නේය. රාජපක්ෂ බලයට ගෙන ඒමට ද, 2002දී යූඑන්පී ආන්ඩුව ක‍්‍රියාත්මක කල ඊනියා සාම ගිවිසුම "යලි විමර්ශනයට ලක් කිරීම” නමින් යුද්ධයට පාර කැපීමට ද ජවිපෙ මූලිකත්වය ගත්තේය.

මෑත දී පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී එල්එල්ආර්සී වාර්තාව හෙලා දුටු දිසානායක එය ජනවාර්ගික ප‍්‍රශ්නය පිලිබඳව "ගැඹුරු විශ්ලේෂනයක් කිරීමට” අසමත්ව ඇති බව ප‍්‍රකාශ කලේ බැරෑරුම් ප‍්‍රජාතාන්ති‍්‍රකයෙක් ලෙස මවාපා ගනිමිනි. ඔහු තම පක්ෂයේ ගැඹුරු විශ්ලේෂනය නම් ඉදිරිපත් නොකලේ ය. කොලඹ ධනපති පන්තියේ අනසක උතුරු නැගෙනහිර පිහිටුවීමේ යුද්ධයට සහාය දීමත් එම පලාත් හමුදා වාඩිලාගැනීමට පක්ෂ වීමත් ජවිපෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුස් මවාපෑම බිඳ දමා ඇත.

2004 වසරේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවට ඇතුලු වූ ජවිපෙට 2005 දී ඉවත් වීමට සිදු වූයේ ඔවුන්ගේ ම ඇමතිවරුන් කි‍්‍රයාවට දැමූ වෙලඳපොල ගැති න්‍යාය පත‍්‍රයට ඇතිවූ ජනතා අප‍්‍රසාදය හේතුවෙන් එහි ඡන්ද පදනම් දියවී යාමය. මේ හේතුවෙන් රාජපක්ෂ ආන්ඩුවට ඇතුල් වීමෙන් වැලකී සිටියත් යුද වියදම් බර මහජනයා මත පැටවීමට මෙන්ම ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීමේදීත් සෑම විටම ජවිපෙ නොපැකිල ආන්ඩුවට සහයෝගය දුනි.

යූඑන්පීය විවාදයට සහභාගී වූයේ ඊට නොදෙවෙනි බංකොලොත් බවකිනි. යූඑන්පී තර්කය පදනම් වූයේ රාජපක්ෂගේ විදේශ අමාත්‍යංශය නිසි පරිදි තත්වය නොහැසිරවීම නිසා එක්සත් ජනපදයට යුඑන්එච්ආර්සී යෝජනාව සම්මත කල හැකි වූ බවයි. යූඑන්පී මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල, "රටක් ලෙස අපි වලක වැටී හමාරයි. එයින් ගොඩ එනවා වෙනුවට රජය කරන්නේ ඒ වල තවත් හැරීමයි,” කීවේය.

රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගොස් යූඑන්පීයේ සිටින මංගල සමරවීර "සෑම රටක්ම තව රටක් මත යැපෙන” ගෝලීය සමාජයක "විවිධ ජාත්‍යන්තර ගිවිසුම්වලට යටත් ව සිටින” බැවින් ඒවායින් බැහැර වීමට නොහැකි බවත් එල්එල්ආර්සී වාර්තාවට "ලෝකයෙන් ලොකු පිලිගැනීමක් තිබෙන” බැවින් එය ක‍්‍රියාත්මක කල යුතු බවත් පැවසීය. සමරවීර ගුන වැනූ එල්එල්ආර්සී වාර්තාව මොනයම්ම ආකාරයකින් වත් ස්වාධීන නොවූ අතිශය සීමිත බලැති කමිටුවකින් ජාත්‍යන්තර පීඩනය අපසරනය කරනු පිනිස සැලසුම් කෙරුනු ප්‍රෝඩාවකි.

යූඑන්පියට රාජපක්ෂ ආන්ඩුව සම්බන්ධයෙන් ඇත්තේ එහි විදේශ ප‍්‍රතිපත්තිය පිලිබඳ උපායික මතභේදයක් පමනකි. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සමග ලංකාවේ ආන්ඩුව විරසක වූවොත් එය ආර්ථික සබඳතාවලට බරපතල ලෙස බලපානු ඇතැයි සම්ප‍්‍රදායිකව බටහිර ගැති යූඑන්පිය කල්පනා කරයි. එය ලංකාවේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුගේ ද මතය වී ඇත.

තම රජයට එල්ල වන සියලු චෝදනා බටහිර කුමන්ත‍්‍රන ලෙස හෙලා දකින රාජපක්ෂ පිලිවෙත අනුගමනය කරමින් ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත, "එරික් සෝල්හයිම් [ශ‍්‍රී ලංකාවට පත් කර සිටි නෝර්වේ විශේෂ තානාපතියෙක්] පවසා තිබෙනවා ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක කල වැඩපිලිවෙලෙහි ප‍්‍රථම පියවර ලෙස ජිනීවා යෝජනාව සාර්ථක බව. ඔවුන්ගේ ඊලඟ අරමුන අපගේ රාජ්‍ය නායකයා ප‍්‍රමුඛ ආරක්ෂක අංශවලට යුද අපරාධ චෝදනා එල්ල කිරීම” බව පැවසීය.

විදේශ ඇමති ජී. එල්. පීරිස් රජය එල්එල්ආර්සී වාර්තාව පිලිගන්නා මුත් ක‍්‍රියාත්මක කරන්නේ අවශ්‍ය නිර්දේශ පමනක් බව කීය. "කොමා, තිත් ඇතුලු සියලු” නිර්දේශ ලෝකයේ මොනම කොමිසම් වාර්තාවකින් වත් ක‍්‍රියාත්මක නොකරන බව ඔහු පැවසීය. ඔහු තවදුරටත් දෙමල ජාතික සන්ධානයට (ටීඑන්ඒ) චෝදනා කලේ "මෙම යෝජනාව ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඇමරිකාව පෙලඹවූ එක් පාර්ශවයක්” එය බව පවසමිනි.

තමන්ට එරෙහිව "බටහිර කුමන්ත‍්‍රනයක්” ක‍්‍රියාත්මක වන්නේය යන ව්‍යාජ ප‍්‍රචාරය උමතු මට්ටමට නංවා ගැනීමට ආන්ඩුවට උවමනාය. ජිනීවා හි යෝජනාව ගෙන එන බව ප‍්‍රකාශ වීමත් සමග ම ආන්ඩුව විවිධ උද්ඝෝෂන ව්‍යාපාර කොලඹත් රට පුරාත් ඇවිලවූයේය. මේ විෂ දුමාරය ආන්ඩුවට උවමනා වී ඇත්තේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන්, ගොවීන්, ධීවරයන් හා තරුනයන් අතර පැන නැගුනු විරෝධය මැඩලීමට ය. රාජපක්ෂ ආන්ඩුවේ නායකයන් තෙල් මිල ඉහල දැමීම ඇතුලු ප‍්‍රහාරවලට එරෙහිව පැනනැගුනු අරගල බටහිර කුමන්ත‍්‍රනයට උඩගෙඩි දීමක් යයි හෙලා දකිමින් හමුදාව හා පොලීසිය ලේවැකි ප‍්‍රහාරයකට මෙහෙයවීය.

දෙමල ප‍්‍රභූවේ වරප‍්‍රසාද රැකෙන ආකාරයට කොලඹ ආන්ඩුව සමග බලය බෙදා ගැනීමකට වලිකන ටීඑන්ඒ යුද අපරාධ පිලිබඳ කාරනය මතු කිරීමෙන් වැලකී සිටියේය. කිසිදු ආකාරයක සහනයක් මේතාක් ටීඑන්ඒ ඉල්ලීම්වලට ලබාදීම ප‍්‍රතික්ෂේප කර තිබෙන ආන්ඩුව වෙත එය මැසිවිලි නැගුවේ "දෙමල ජනතාවගේ ගැටලු”වලට ආන්ඩුව "අසංවේදී” ව ඇති බව කියමිනි.

ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් දෙමල ජාතිය දෙවන ගනයේ පුරවැසියන් කිරීම පිලිගත නොහැකි බව ප‍්‍රකාශ කලේය. එහෙත් කොලඹ ආන්ඩුව හා ධනපති පන්තිය ගෙන යන වර්ගවාදී වෙනස්කම්, හිංසනය හා යුද අපරාධ ගැන ඔහු සඳහන් කලේ දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රික අයිතීන් දිනා ගැනීමේ කැක්කුමකින් නොව, ධනපති පන්තියට වරප‍්‍රසාද ලබාගැනීම සඳහා කේවල් කිරීමක කොටසක් ලෙසය. සම්බන්ධන් ජිනීවා යෝජනාව "සාධනීයයි” ප‍්‍රකාශ කලේ ඇමරිකාව ඇතුලු බටහිර අධිරාජ්‍යවාදීන්ගේ හා ඉන්දියාවේ සහාය ලබාගෙන වාර්ගික පදනම මත සූරාකෑමේ වැයික්කියක් උතුරු නැගෙනහිර පලාත්වල තහවුරු කර ගැනීමේ අරමුනෙනි.

රාජපක්ෂ ආන්ඩුව ඊනියා බටහිර විරෝධයට මුවාවීගන්නා ගමන්ම ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සමග සම්බන්ධතා යලි ගොඩනගා ගැනීමේ මංමුලා සහගත වෑයමක යෙදී සිටී. විදේශ ඇමති පීරිස් මැයි 18 දා ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මුනගැසීමට වොෂින්ටනයට යාමට නියමිත ය.

ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අතර එම කි‍්‍රයාවන්ගෙන් සමහරක් "යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ ගනයට වැටෙන” බව කී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් පත් කරන ලද විද්වත් කමිටුව ඉදිරිපත් කල වාර්තාව හෝ කඳු ගනන් ගොඩ ගැසුනු අනෙකුත් සාක්ෂි හෝ සාකච්චාවට නොනැගුනේ කිසිසේත්ම අහම්බයකින් නොවීය.

ආන්ඩුව හා විපක්ෂය ඇතුලු කොලඹ පාලක පන්තියේ සෑම කොටසක් ම ඓතිහාසිකව දෙමල විරෝධී වර්ගවාදී දෘෂ්ටියේ කරවටක් එරී ගෙන සිටිති. එය ඔවුන් යොදාගත්තේ හා යොදාගනු ලබන්නේ කම්කරු පන්තිය ජාතිවාදයෙන් භේද භින්න කර ධනපති පන්ති පාලනය රැක ගැනීමට යි. ලෝක අර්බුදයෙන් උග‍්‍රවන ලංකාවේ ධනපති ආර්ථික අර්බුදයේ බර තමන් මත. පැටවීමට එරෙහිව කම්කරුවන්ගේ හා දුගීන්ගේ විප්ලවකාරී නැගිටීමක් සිදුවෙතැයි භීතියෙන් සිටින පාලක පන්තියේ සෑම කොටසක් ම පොලිස් රාජ්‍ය පාලනයක් තහවුරු කරගැනීමට මිල්ටරිය මත වඩඩාත් යැපී සිටිති. යුද අපරාධ ආවරනය කිරීමට ආන්ඩුව ද විපක්ෂය ද පෙනී සිටින්නේ මෙම පන්ති උවමනාව මත ය.

Share this article: