ශ්‍රී ලංකාවේ සසප අපේක්ෂකයා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කථා කරයි

Sri Lankan SEP candidate speaks to WSWS

By Panini Wijesiriwardene, 31 July 2012

64 වියැති ආනන්ද දවුලගල අපේක්ෂකයින් 21 දෙනෙකුගෙන් යුත් අපේක්ෂක ලැයිස්තුවේ නායකත්වය දරයි. ඔහුට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ධජය යටතේ ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගය සඳහා සටන් වැදීමේ දශක තුනකට අධික කාලයක වාර්තාවක් ඇත. ඔහු සසප දේශපාලන කමිටුවේ සාමාජිකයෙකු වන අතර ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහා සිංහල පරිවර්තනයේ නියුතු පක්ෂ කමිටුවේ නායකත්වය දරයි.

Ananda Daulagalaආනන්ද දවුලගල

දවුලගල සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමයට (විකොස) සම්බන්ධ වුනේ, හදිසි නීති බලතල පාවිච්චි කරමින් රාජ්‍ය අංශයේ කම්කරුවන් ලක්ෂයක් රැකියා වලින් නෙරපා හැරීමට කටයුතු කල එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ආන්ඩුවට එරෙහි 1980 වැඩවර්ජනයේ කටුක අත්දැකීම් මධ්‍යයේය. වැඩවර්ජන ව්‍යාපාරය ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් බවට පත් කිරීමට විකොස සටන් වදිද්දී, විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා මධ්‍යම පන්තික රැඩිකල් සංවිධාන වැඩවර්ජනය "අදේශපාලනික” යයි අවධාරනය කරමින් එවක ජනාධිපතිව සිටි ජයවර්ධනගේ නියෝගයන්ට අභියෝග කිරීම ප්‍රතික්ෂේප කලහ. ඔවුන්ගේ ද්‍රෝහීත්වයේ ප්‍රතිපල වශයෙන් එජාප, කිසිදු බාධාවකින් තොරවම කම්කරුවන් ලක්ෂයක් රැකියාවලින් නෙරපා හලේය.

දවුලගල සිය මූලධර්මාත්මක දේශපාලන ආස්ථානයන් හේතුකොට ගෙන අවස්ථා ගනනාවක දී ම දඩයමට ලක්ව ඇත. අධ්‍යාපනය පුද්ගලිකරනය සඳහා ආන්ඩුව ගෙන ආ "ධවල පත්‍රිකාවට” එරෙහිව විකොස 1984දී ගෙන ගිය උද්ඝෝෂනය මධ්‍යයේ ඔහු අත්අඬංඟුවට ‍ෙගන දින 21ක් රඳවා තබනු ලැබීය. බොරු චෝදනා මත සමූපකාර දෙපාර්තමේන්තුවේ ඔහු කල රැකියාවෙන් නෙරපනු ලැබුනි. දඩයමට එරෙහිව විකොස ගෙන ගිය අරගලයේ ප්‍රතිපලයක් වශයෙන් අවසානයේදී සියලු හිඟ වැටුප් ද සහිතව ඔහු යලි සේවයේ පිහිටුවීමට ආන්ඩුවට බල කෙරුනි.

1988-89 කාලයේදී එජාප ආන්ඩුවේ රාජ්‍ය ප්‍රචන්ඩත්වයට මෙන්ම කම්කරු පන්තික සටන්කාමීන් හා සමාජවාදීන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ගෙන ගිය ෆැසිස්ට් වර්ගයේ ඝාතන රැල්ලට ද එරෙහිව විකොස දෘඪතර ජාත්‍යන්තර උද්ඝෝෂනයක් ගෙන ගියේය. එවක දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කම්කරුවෙක්ව සිටි පී.එච්. ගුනපාල ද ඇතුලු විකොස සාමාජිකයින් තිදෙනෙක් දිවයිනේ විවිධ ප්‍රදේශවල දී ජවිපෙ විසින් මරා දමන ලදී. විකොස මහනුවර ශාඛාවේ නායකත්වය දැරූ දවුලගල ධෛර්යමත්ව මෙම ප්‍රචන්ඩ ප්‍රහාරයන් පසුබස්වමින්, වැඩකරන ජනතාව හා තරුනයින් ආරක්ෂා කිරීමට කම්කරු පන්තියේ පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා ගෙන ගිය විකොස උද්ඝෝෂනය තුල ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කලේය.

පානිනී විජේසිරිවර්ධන (පාවි): කම්කරුවන් හා අනෙකුත් දුගී ජනතාව අතර සසප මැතිවරන ප්‍රකාශනයට ලැබී ඇත්තේ කුමන ප්‍රතිචාරයක් ද?

ආනන්ද දවුලගල (ආද) : අප වෙත ඉතා උනුසුම් ප්‍රතිචාරයක් ලැබෙමින් තියෙනවා. පලමුවෙන්ම අපට සසප සාමාජිකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් උද්‍යෝගිමත් පිලිගැනීමක් ලැබිලා තියෙනවා. අපි දැන් ඔවුන්ගේ සහභාගිත්වයෙන් බලගතු උද්ඝෝෂනයක් දියත් කරලා තියෙනවා. අපි කෑගල්ල ප්‍රදේශය තුල මැතිවරන ප්‍රකාශනයේ පිටපත් දහස් ගනනක් බෙදාහැරියා. පලමු සතිය තුල අපි රෝහල් සේවකයින්, සිසුන් හා කුඩා ගොවීන් හමුවුනා.

බොහෝ දෙනෙක් සිය දුෂ්කර ජීවන කොන්දේසි විස්තර කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආන්ඩුව හා එහි කප්පාදු පිලිවෙත් කෙරෙහි පිලිකුල පල කලා. මෙම මැතිවරනය තුලින් සිය ජීවන තත්වයන්ගේ කිසිදු වෙනසක් ඔවුහු අපේක්ෂා කරන්නෙ නැහැ. බොහෝ දෙනෙක් පැවසුවේ යුද්ධය අවසන් වී තෙවසරක් ගතවී ඇතත් කිසිදු ප්‍රගතියක් තමන් අත් නොදකින බවයි. ජනාධිපති පොරොන්දුවූ සාමය හා සෞභාග්‍ය තමන් දකින්නේ මහා බොරුවක් ලෙස බව ඔවුන් කිව්වා.

අප ඔවුන් මුහුනදෙන ප්‍රහාරයන්ගේ සැබෑ මූලයන් පැහැදිලි කල විට, ගෝලීය ධනවාදයේ බිඳ වැටීම තුලින් ගලාඑන ආර්ථික හා දේශපාලන අර්බුදය පැහැදිලි කරන එකම පක්ෂය සසප පමනක් බව ඇතැම් අය කිව්වා.

එක්සත් ජනපදය හා චීනය අතර වැඩී යමින් තිබෙන එදිරිවාදිකම් පිලිබඳ අපගේ විශ්ලේෂනය කෙරෙහි සමහර කම්කරුවන් හා තරුනයින් දැඩි උනන්දුවක් දක්වනවා. චීනයේ නැඟී ඒමට හරස් කැපීම පිනිස ආසියා පැසිෆික් කලාපය වෙත ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ හැරීම හා තම පිරිහෙන ලෝක ආධිපත්‍ය රැකගැනීම පිනිස මිලිටරි ශක්තිය මත පදනම් වීම තුලින් කලාපයේ මොනයම්ම හෝ සථාවරත්වයකට එය සෘජුවම තර්ජනය කරනවා. 1950 හා 1960 ගනන් කාල පරිද්ඡේදය තුල වියට්නාමයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ක්‍රියාකලාපය පිලිබඳ ජනතාවගේ බිහිසුනු මතකයන් එම තත්වය විසින් යලි සිහි ගන්වනවා.

වැඩකරන ජනතාවට සිය සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂාකරගත හැක්කේත්, යුද්ධයේ තර්ජනය පරාජය කල හැක්කේත්, අධිරාජ්‍යවාදයටත් එහි ජාතික ඒජන්තයින්ටත් එරෙහි ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැංවීමෙන් පමනක් බව අප පැහැදිලි කලා. එවන් සාකච්ඡාවක් ආරම්භ කිරීම අපගේ උද්ඝෝෂනයෙහි එක් මූලික කර්තව්‍යයක්. එනම් අනෙකුත් පක්ෂවල ජාතිකවාදයටත් ප්‍රාදේශීයවාදයටත් එරෙහි සාකච්ඡාවක්.

පාවි- අනෙකුත් පක්ෂවලිනුත් ඒවායේ අපේක්ෂකයින්ගෙනුත් ඔබගේ උද්ඝෝෂනය වෙනස්වන්නේ කෙසේ ද?

ආද- මෙම මැතිවරනය තරඟ කරන එකම කම්කරු පන්තික පක්ෂය අපි. කම්කරුවන්, දුගීන් හා තරුනයින් මුහුනදෙන දුෂ්කර කොන්දේසි විසඳීමේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් අප ඉදිරිපත් කරනවා. කෑගල්ල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු හා ඒ සඳහා සමාජවාදී විසඳුම්, ජාතික, කලාපීය හා ජාත්‍යන්තර වැඩකරන ජනතාවගේ අවධානයට යොමු කිරීමට අප බලාපොරොත්තු ‍ෙවනවා. ‍ෙමාකද, මෙම අභියෝගයන් ජයගැනීම පිනිස කම්කරු පන්තියේ එවන් ජාත්‍යන්තර අවධානයක් හා මැදිහත් වීමක් අවශ්‍යයි.

සමාජ ගැටලුවලට හේතුව, දූෂනය ‍හෝ වැරදි ප්‍රතිපත්ති බව පවසන අන් සියලු පක්ෂවලට වෙනස් ලෙස සසප, මෙම අර්බුදය ධනවාදය තුල විසඳිය නොහැකි බව අවධාරනය කරනවා. සසප කන්ඩායමේ නායකයා වශයෙන් මා, ජනාතාවගේ පුලුල් අවධානයක් මේ සඳහා දිනාගත හැකි බව දැඩිව විශ්වාස කරනවා.

පාවි- අනෙකුත් පක්ෂ කෙරෙහි වැඩකරන ජනතාව දක්වන්නේ කුමන ආකල්පයක් ද?

ආද- සාපරාධී දෙමල විරෝධී යුද්ධයත් වෙලඳපොල ගැති ආර්ථික ප්‍රතිව්‍යුහකරනයත් ආරම්භ කලේ එජාපය බව ජනතාව වටහාගෙන තියෙනවා. සිංහල වර්ගවාදී ජවිපෙ, රාජපක්ෂ සමග ආන්ඩුව තුල එකට වැඩ කලා. ඔහු ජනාධිපති කරවීමටත් ඔහු යලි ඇරඹූ යුද්ධයටත් පූර්න පිටුබලය දුන්නා. මෙම ආන්ඩුව වැඩකරන ජනතාවට හා පීඩිත ජනතාවන්ට එල්ල කරන ප්‍රහාරයන්ට ජවිපෙත් වග කිව යුතුයි.

ලංකා වතු කම්කරු සංඟමය හෙවත් සීඩබ්ලිව්සී හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ආන්ඩුවේ අපේක්ෂක ලැයිස්තුවලට ඇතුලත්ව ඉන්නව. කම්කරුවන් බෙදීමේ අරමුනෙන් ඔවුන් දෙමල කථාකරන වතු කම්කරුවන් අතර දෙමල ජතිකවාදය වපුරනවා.

ආන්ඩුවට විරුද්ධ බව කියා සිටින ව්‍යාජ වාම සංවිධාන නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) එජාපය සමග එකම වේදිකාවකට නැගගෙන ඉන්නෙ. කම්කරු පන්තිය හා පීඩිතයින් මෙම පක්ෂ සිය සතුරන් ලෙස සැලකිය යුතුයි.

පාවි- ඔබට කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාජ ආර්ථික තත්වයන් ගැන පැහැදිලි කල හැකි ද?

ආද- කෑගල්ල දිස්ත්‍රික්කය සිංහල, දෙමල හා මුස්ලිම් ජනතාවගේ සම්මිශ්‍රනයක්. ඔවුන්ගේ ජීවෙනෝපායන් විවිධයි. වතු කම්කරුවන්, රජයේ හා පෞද්ගලික අංශ සේවකයින්, සුලු ගොවීන්, කුඩා ව්‍යාපාරිකයින් හා තරුනයින් විශාල සංඛ්‍යාවක් කෑගලු දිස්ත්‍රික්කය තුල ඉන්නවා.

නිල සංඛ්‍යාලේඛන වලට අනුව පවා දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් සියයට 20ක් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවට පහලින්. දුප්පත්ම සිසුන් ඉගෙනුම ලැබූ පාසැල් ගනනාවක්ම වහලා.

අරමුදල් කපාහැරීම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ මහ රෝහලෙ වෛද්‍ය පහසුකම් හිඟය නිසා රෝගීන්ට කුරුනෑගල දිස්ත්‍රික්කයේ මහ රෝහලට යන්න සිදුවෙලා ති‍ෙයනව.

ආන්ඩුව විසින් ගොවීන්ට දෙන පොහොර සහනාධාරය බරපතල ලෙස කප්පාදු කරලා. ඒ නිසා ඔවුන්ගේ ඉඩම්, ජලය, පොහොර හා නිෂ්පාදන සඳහා සහතික මිල ක්‍රමයක් වැනි ගැටලුවලට එකම විසඳුම කම්කරු පන්තියේ නායකත්වය යටතේ සමාජවාදී ක්‍රියාමාර්ගයකට සටන් වැදීම සමග බැඳී ඇති බව පැහැදිලි කිරීමට මෙම උද්ඝෝෂනය ඉතා වැදගත් වෙයි.

දශක ගනනාවක් තිස්සේ කෑගල්ල දිස්ත්‍රික්කය පැබ්ලෝවාදී ලංකා සම සමාජ පක්ෂයේ බලකොටුවක් විදිහට තිබුනේ. 1977 දක්වා අඛන්ඩව වසර 42ක් ලසසප නායක එන්.එම්. පෙරේරා කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල හා යටියන්තොට ආසන නියෝජනය කලා. එහි විප්ලවකාරී අවධියේදී පක්ෂය දිනා සිටි කීර්තිය එතෙක් පෙන්නුම් කරනවා. 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට ඇතුලු වෙමින් ට්‍රොට්ස්කිවාදය මුලුමනින්ම පාවාදීමේ ප්‍රතිපල වශයෙන් පක්ෂයට එම ගෞරවය සහමුලින්ම නැතිව ගියා.

එම පාවාදීමට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදීන් ගෙනගිය අරගලය නියෝජනය කරන්නේ අපේ පක්ෂයයි. ලෝක පරිමානව වර්ධනය වන පුපුරනසුලු සමාජ අරගලයන් හමුවේ වෙන කවරදාකටත් වඩා අද ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය සඳහා ගෙනගිය අරගලයේ පාඩම් උකහා ගැනීම වැදගත්. අපගේ උද්ඝෝෂනය තුලදී වත්මන් පරම්පරාව උගන්වා ගැනීම සඳහා මෙම ඓතිහාසික පාඩම් අප සාකච්ඡාවට යොමු කරනවා.

ඒ නිසා දකුනු ආසියාවේත් ජාත්‍යන්තරවත් ගොඩනගන සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස කම්කරු ගොවි ආන්ඩුවක් පිහිටුවීමට සටන් වදින සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන ලෙසත් මෙම පක්ෂයට බැඳෙන ලෙසත් කම්කරුවන් හා තරුනයින්ගෙන් මා ඉල්ලා සිටිනවා.

Share this article: