එක්සත් ජනපදයේ සසප ජනාධිපති අපේක්ෂක බි‍්‍රතාන්‍යයේ, ජර්මනියේ හා ශී‍්‍ර ලංකාවේ සංචාරයක

SEP presidential candidate to tour Britain, Germany and Sri Lanka

8 August 2012

Whiteවයිට් ඩෙට්‍රොයිට්හි පැවතිරැුස්වීමක් අමතමින්

එක්සත් ජනපද ජනාධිපතිවරනය සඳහා තරග වදින සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂක ජෙරී වයිට්, එලඹෙන මාසය තුල බි‍්‍රතාන්‍යයේ, ජර්මනියේ හා ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන රැස්වීම් මාලාවක් අමතනු ඇත. මෙම රැස්වීම් මාලාව, 2012 එක්සත් ජනපද මැතිවරනය තුල මතුව ඇති දේශපාලන ප‍්‍රශ්න සාකච්ඡා කිරීමේත් කප්පාදු පිලිවෙත්වලට, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් විනාශයට, යුදවාදයට හා යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා අරගලය ඉදිරියට ගැනීමේත් අවස්ථාව වයිට්ට ලබා දෙනු ඇත.

එක්සත් ජනපදයේ ජනාධිපතිවරනයට දැවැන්ත ජාත්‍යන්තර ඇඟවුම් පවතී. 1930 ගනන්වල මහා අවපාතයෙන් පසුව මෙතෙක් පැවති දරුනුම ගෝලීය ආර්ථික අර්බුදය මුදා හැරියේ 2008 දී වෝල් වීදියේ සමපේක්ෂන බුබුල කඩාවැටීමයි. ඇමරිකානු පාලක පන්තිය ලොව පුරා බැංකු ඇප දී ගලවාගැනීම සහ කප්පාදු පිලිවෙත් සඳහා වන ඉල්ලීම් වෙනුවෙන් පෙරමුන ගෙන සිටින අතර ඇමරිකානු මිලිටරිය, නව ලෝක යුද්ධයක් මුදාහැරීමට තර්ජනය කරන, ගෝලීය ආධිපත්‍යය සඳහා ව්‍යායාමයක නිරතව සිටී.

මෙම මැතිවරනයේ දී, ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා -- ඩිමොක‍්‍රැටික් පක්ෂයේ බරක් ඔබාමා සහ රිපබ්ලිකන් පක්ෂයේ මිට් රොම්නි -- සියලු සාරභූත ප‍්‍රශ්න සම්බන්ධයෙන් එකඟය. ලොව වටා මිලියන සංඛ්‍යාත ජනයා 2008 දී ඔබාමාගේ තේරී පත්වීම දෙස බලා සිටියේ එය ඇමරිකානු විදේශ හා දේශීය පිලිවෙත් තුල සැලකිය යුතු වෙනසක් ඇති කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. එහෙත් ඔබාමා එතෙර යුද්ධය පුලුල් කොට, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය ගැඹුරු කොට එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව වැඩ කරන ජනතාවට එරෙහි ප‍්‍රහාරයට නායකත්වය දුන්නේය.

පසුගිය වසර එකහමාරක කාලය තුල ලොව වටා රටවල -- ඊජිප්තුවේ සිට ගී‍්‍රසිය හා එක්සත් ජනපදය දක්වා -- සමාජ විරෝධතා පැනනගිනු දැක ගත හැකි විය. මෙය ආරම්භය පමනි. කෙසේවෙතත්, මෙම සියලු අරගලවල දී, අතිමූලික කාරනය වී ඇත්තේ, ස්වාධීන විප්ලවවාදී නායකත්වයක අවශ්‍යතාවයි.

වයිට් මෙසේ පැවසීය: "අපගේ උද්ඝෝෂනයේ ආරම්භයේ පටන්ම, සමාජවාදී සමානතා පක්ෂය, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා අරගලය අපගේ කි‍්‍රයාමාර්ගයේ හරි මැද තබා ඇත. යුරෝපයේ, ආසියාවේ හා ලොව වටා කම්කරුවන් සමග සමීපතම සබඳතා ගොඩනගාගැනීමෙන් ද සිය අරගලවල දී ඔවුන් සමග සහයෝගීවීමෙන් ද තොරව, ඇමරිකානු කම්කරුවන්ට ජීවන මට්ටම් හා මූලික සමාජ අයිතීන් මත එල්ල වන ප‍්‍රහාර පරාජය කල නොහැකිය.

"ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගැඹුරින් මුල් බැස ඇත්තා වූ ද දකුනු ආසියානු ධනේශ්වරයේ වර්ගෝත්තමවාදී දේශපාලනයට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා වීරෝදාර අරගලයක් සිදු කර ඇත්තා වූ ද රටක් වන ශී‍්‍ර ලංකාවේ කම්කරුවන්ට හා තරුනයන්ට කතා කිරීමේ අවස්ථාව එනතෙක් මම පුලපුලා සිටිමි.”

චීනය හිර කිරීමේත් ආසියානු-පැසිෆික් කලාපය තුල සිය ආර්ථික හා මිලිටරි ආධිපත්‍යය පවත්වාගෙන යාමේත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප‍්‍රයත්නයන්ගේ භූ-දේශපාලනික සුලිය තුලට ඉන්දියානු සාගරයේ පිහිටි මෙම කුඩා දිවයින ද ඇද ගනු ලැබ තිබේ. වයිට්, නව ලෝක යුද්ධයක අන්තරායට එරෙහිව ඇමරිකානු හා ආසියානු කම්කරුවන් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය දේශපාලන කි‍්‍රයාමාර්ගය සාකච්ඡා කරනු ඇත.

යුරෝපයේ දී, ගෝලීය බැංකු සහ යුරෝපා සංගමය වැනි ආයතන, බැංකු ඇප දී ගලවාගැනීමේ හා ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත හෙලීමේ දරුනු කප්පාදු පිලිවෙත් බලාත්කාරයෙන් පටවා ඇත. පර්ජො සිට්‍රොන්, ෆියට් හා ෆෝඩ් වැනි ප‍්‍රධාන සංගත, වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය සහිතව, ඇමරිකානු ශෛලියේ කම්හල් වසාදැමීම්, දැවැන්ත දොට්ටදැමීම් හා වැටුප් කප්පාදු කි‍්‍රයාවට දමමින් සිටී. බර්ලින්, ලන්ඩන් හා මැන්චෙස්ටර් රැස්වීම්වල දී, වයිට් එක්සත් ජනපද මැතිවරනයේ අර්ථභාරය ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ සසප ඉදිරිදර්ශනය ද සාකච්ඡා කරනු ඇත.

රැස්වීම් පිලිබඳ විස්තර:

කොලඹ, ශී‍්‍ර ලංකාව
අගෝස්තු 26 වන ඉරිදා, සවස 3.00
නව නගර ශාලාව
සිතියම

කෑගල්ල, ශී‍්‍ර ලංකාව
අගෝස්තු 28 වන අඟහරුවාදා සවස 3.00

හොටෙල් හෂානි -- උත්සව ශාලාව

ගාල්ල, ශී‍්‍ර ලංකාව
අගෝස්තු 30 වන බ‍්‍රහස්පතින්දා සවස 3.00

නගර ශාලාව

මැන්චෙස්ටර්, බි‍්‍රතාන්‍යය
සැප්තැම්බර් 4 වන අඟහරුවාදා සවස 7.00
ද මැකනික්ස් සෙන්ටර්, ජෝන් ටව්චර් රූම්
103 පි‍්‍රන්සස් ස්ටී‍්‍රට්, මැන්චෙස්ටර් එම්අයි 6ඩීඩී
සිතියම

ලන්ඩන්, බි‍්‍රතාන්‍යය
සැප්තැම්බර් 6 වන බ‍්‍රහස්පතින්දා සවස 7.00
යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් යූනියන්
මැලට් ස්ටී‍්‍රට්, ලන්ඩන් ඩබ්ලිව්සීඅයිඊ 7එච්වයි
ලඟම උමං දුම්රිය ස්ථානය: ගුඩ්ග් ස්ටී‍්‍රට්
සිතියම

බර්ලින්, ජර්මනිය
සැප්තැම්බර් 8 වන සෙනසුරාදා
වේලාව හා ස්ථානය පසුව නිවේදනය කරනු ලැබේ

Share this article: