එක්සත් ජනපද සසප ජනාධිපති අපේක්ෂකයා ලසසපය මුනගැසීම ප්‍රතික්ෂේප කරයි

US SEP presidential candidate declines to meet LSSP

29 August 2012

පහත අප පලකරන්නේ ලංකා සම සමාජ පක්ෂය (ලසසප) එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් මුන ගැසීම අවශ්‍ය යයි ඉල්ලා සිටිමින් එවන ලද ලිපියකි. වයිට්ගේ පිලිතුර ඔහු එම ආරාධනය ප්‍රතික්ෂේප කරන්නේ මන්දැ'යි පැහැදිලි කරයි.

දැනට වයිට් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ එක්සත් ජනපද සසපයේ සහෝදර ශ්‍රී ලංකාවේ සසපයේ ආරාධනය මත ප්‍රසිද්ධ රැස්වීම් තුනක් ඇමතීම සඳහා ය. ශ්‍රී ලංකාවේ සසපහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්‍ට් සංගමය (විකොස),1968 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාව ලෙස ආරම්භ කරන ලද්දේ 1964 දී ලසසපය ධනේශ්වර හවුල් ආන්ඩුවකට ඇතුලු වෙමින් කරන ලද පාවාදීමේ පාඩම් උකහා ගැනීමෙන් ය.

1935 දී ආරම්භ කරන ලද ලසසපයේ නායකයෝ 1942 දී හතර වන ජාත්‍යන්තරයේ ඉන්දියානු ශාඛාව වූ ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂප (බීඑල්පීඅයි) ස්ථාපනය කිරීමට මුල් වූහ. බීඑල්පීඅයි යුද්ධය සමයේත් ඉන් පසුවත් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහි අරගලයේ දී ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කලේ ය. එහෙත් 1950 දී බීඑල්පීඅයි, පුනස්ථාපනය කල අවස්ථාවාදී සංවිධානයක් වූ ලසසපය සමග ඒකාබද්ධ විය. 1964 ලසසප පාවාදීම, අවස්ථාවාදී පැබ්ලෝවාදී ජාත්‍යන්තරයේ ආධාරය හා පිටුබලය ලද ලසසප නායකත්වයේ දිග්ගැස්සුනු දේශපාලන පල්ලම් බැසීමේ නිෂ්පාදනයක් විය. එතැන් පටන් ලසසප වර්තමාන මහින්ද රාජපක්ෂ තන්ත්‍රය ද ඇතුලු ධනේශ්වර ආන්ඩු කිහිපයකට ම සේවය කර ඇත.

දකුනු ආසියාව තුල ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ තීරනාත්මක දේශපාලන පාඩම් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් යන කෘතියේ සාරාංශගත කෙරී පවතී.

හිතවත් සහෝදරය,

ශ්‍රී ලංකාවේ ආරම්භක දේශපාලන පක්ෂවලින් එකක (ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජවාදී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය) සාමාජිකයෙකු වන මම ඔබගේ ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව හා අගෝස්තු 26 ඉරිදා රැස්වීමක් පවත්වන බව දැන ගතිමි.

අපගේ දේශපාලන අදහස් බෙදාහදා ගැනීම සඳහා මගේ පක්‍ෂයේ නායකයාත් මමත් ඔහු මුනගැසීමට කැමැත්තෙන් සිටිමු. එම නිසා ඔබට එවැනි හමුවකට අවස්ථාව සලසා දියහැකි නම් අතිශයින් කෘතඥ වෙමි.

ස්තුති පූර්වකව ඔබගෙන් ඉක්මන් සතුටුදායක පිලිතුරක් අපේක්ෂා කරන,

නුරේෂ් රාජපක්ෂ,

විදේශ කටයුතු ලේකම්,

ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාව.

* * *

හිතවත් රාජපක්ෂ සහෝදරය,

මුනගැසීමක් සඳහා ඔබ කර ඇති ආරාධනය මට පිලිගැනීමට නො හැක. එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මා ශ්‍රී ලංකාවට පැමිනියේ අපගේ සහෝදර සමාජවාදී සමානතා පක්ෂයේ ආරාධනය මත වන අතර අනෙකුත් කිසිදු දේශපාලන පක්ෂයක් සමග පුද්ගලික සාකච්ඡා පැවැත්වීමට අදහස් නො කරමි. ලංකා සම සමාජ පක්ෂයත් එය 1930 ගනන් හා 1940 ගනන්වල දකුනු ආසියාවේ සමාජවාදී ව්‍යාපාරය තුල ඉටු කරන ලද භුමිකාවත් පිලිබඳව මම හොඳින් දනිමි. එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය බිහි කරන ලද්දේ ද ඔබගේ පක්ෂය වරක් සටන් කල විප්ලවවාදී මූලධර්ම පසුව පාවාදීමේ දේශපාලන පාඩම් උකහාගැනීමේ පදනම මත ය.

විශේෂයෙන් ම, එහිදී සැලකිල්ලට ලක්වූයේ තමන් ම ට්‍රොට්ස්කිවාදී යයි කියා ගන්නා පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුල් වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව වන ලසසපය 1964 දී බන්ඩාරනායක මැතිනියගේ ආන්ඩුවට එක් වීමට ගත් තීන්දුවයි. එම තීන්දුව ලංකාවේත් ආසියාවේත් කම්කරුවන්ට හා පීඩිත ජනතාවන්ට ඛේදජනක විපාක නිපදවා තිබේ.

අපගේ දේශපාලන ප්‍රවනතා වෙන්ව දශක ගනනාවක් ගත වී ඇත. එහෙයින්, අප පක්ෂ අතර සාකච්ඡාවකින් කිසිදු ප්‍රතිඵලයක් ඇති වෙතැ'යි මම විශ්වාස නො කරමි.

ඔබ‍ට ගෞරවයෙන්,

ජෙරී වයිට්.

Share this article: