පාර්ට් ටයිම් ඇමරිකාව

Part-time USA

, 21 July 2012

පසුගිය සතියේ පලවූ එක්සත් ජනපද කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්තාවක ඍතුව සඳහා සැකසුනු විරැකි සහන ඉල්ලීම් සංඛ්‍යාව 386,000 දක්වා 34,000 කින් ඉහල නැංගේ ය. මේ අතර ජුනි මාසයේදී සියයට 8.2 ක්ව පැවති නිල විරැකි සංඛ්‍යාව පිටපිට 41 වන මාසයටත් සියයට 8 ට ඉහලින් රැඳී තිබුනි.

දීර්ඝකාලීන විරැකියාව ඉහල මට්ටමක පවතින බවට ත් එක්සත් ජනපද ආර්ථිකය නොනැවතීම පහත වැටෙන බවට ත් සියලුම ලකුනු පහලව ඇත. පසු ගිය මාසයේ දී පඩි ලැයිස්තුවලට අලුතින් එකතු කරන ලද්දේ රැකියා 80,000 ක් පමනකි. මෙය ආර්ථික විශේෂඥයන් විසින් පෙරදක්නා ලද සංඛ්‍යාවට අඩුවූ අතර රැකියා වැඩිවීම ලක්ෂයකට පහලින් පැවති පිටපිට තුන්වන මාසය මෙය ය.

කෙසේ වෙතත් මෙම අඳුරු සංඛ්‍යා පවා පෙන්නුම් කරන්නේ සැබවින්ම පවත්නා තත්වය ට වඩා සුන්දර තත්වයකි. ඇමරිකාවේ අර්ධකාලික (දිනකට පැය අටකට අඩුවෙන් කරන අස්ථිර) රැකියාවල නිරතවූ අය මිලියන අටක් වෙති. ඒ සිය කැමැත්තෙන් නොවේ: පූර්න කාලීන රැකියා සොයා ගත නොහැකි නිසා අකැමත්තෙන් අර්ධ කාලීක වැඩ කරන සංඛ්‍යාව මාර්තු මාසයේ පමනක් පන් ලක්ෂයකින් ඉහල නැග තිබේ. මෙම අර්ධකාල රැකියා නියුක්තිකයන් ද ගනන් ගනු ලබන්නේ රැකියා සහිතයන් ලෙස ය.

දැන් එක්සත් ජනපදයේ රැකියා නියුක්ත සංඛ්‍යාව, 2002 ජුනි මාසයේ සංඛ්‍යාවට වඩා මිලියන දෙකකින් වැඩි නමුත්, අර්ධකාල කම්කරු සංඛ්‍යාව මීට දසකයකට පෙර තිබුනා ට වඩා මිලියන හතරකින් ඉහල නැග ඇත. මෙම මිලියන හතර ද රැුකියා සහිතයන් සේ ගනන් ගත් පසුව වුවද අවුරුදු දහයකට පෙර ට වඩා දැන් රැකියා විරහිත කම්කරු සංඛ්‍යාව වැඩි වී තිබේ.

මෙහි තේරුම නම් දැන් ඇමරිකාව තුල සිටිනා පූර්නකාලික කම්කරුවන් සංඛ්‍යාව 2002 ට වඩා මිලියන දෙකකින් අඩු බව ය. මේ වනාහී පෙර නුවුවිරු වෙනසකි. පූර්නකාලිකව බඳවා ගන්නවා වෙනුවට කම්කරුවන් වැඩි සංඛ්‍යාවක් අර්ධ කාලික මට්ටමකට බඳවාගැනීම ට හාම්පුතුන් සිතා මතා ම පියවර ගත් පසුගිය දශකය තුල සිදුවී ඇති වෙනස විස්තර කල හැක්කේ, ඇමරිකානු කම්කරු බලකායේ සංයුතිය භූමි කම්පාවක් සමාන වෙනසක් ලෙස ය.

2012 ජුනි, එක්සත් ජනපද කම්කරු සංඛ්‍යාලේඛන බියුරෝවට අනුව 8,210,000ක් දෙනා "ආර්ථික හේතු” නිසා සතියකට පැය එකක සිට පැය තිස් හතර දක්වා අර්ධකාල රැකියාවල නිරතව සිටියෝ ය: ඒ වැඩ හිඟකම හෝ අවාසිසහගත වාපාරික තතු, පුර්න කාලීන රැකියා සොයාගැනීමට බැරිකම හෝ ඉල්ලුමේ කාලීන පහත වැටීම් නිසා ය. මෙයට ආන්ඩුවේ ද, පුද්ගලික සමාගම් ද කෘෂිකාර්මික අංශයේ ද කම්කරුවන් ඇතුලත් ය.

2008 වර්ෂයේ පුපුරාගිය ආර්ථික අර්බුදයේ ඉක්බිත්තේ මහා සමාගම් ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් කන්දරාවක් ගොඩ ගසා ගෙන සිටින අතර රැකියා නිර්මානයට අදාල වන කිසිදු සැලකියයුතු ආයෝජනයක් නො කර සිටිති. ඔබාමා පාලනාධිකාරයේ අවම උත්තේජක වේලී ගොස් බොහෝ කල් ය: ප‍්‍රාන්ත රාජ්‍ය සහ ප‍්‍රාදේශීය ආන්ඩු කම්කරුවන් ලක්ෂ ගනන් හලමින් සිටිති. සමාගම් කම්කරුවන් කුලියට ගන්න කල්හි වැඩිවැඩියෙන් බඳවා ගෙන ඇත්තේ අර්ධකාලික, තාව කාලික හෝ කොන්ත‍්‍රාත් කම්කරුවන් ය.

බීඑල්එස් වාර්තාවට අනුව බොහෝවිට අර්ධකාලික කම්කරුවන් පුර්නකාල කම්කරුවන්ට වඩා ලාබාල බව දක්නට ලැබේ. ඔවුන් වඩාත් සංකේන්ද්‍රිතව ඇත්තේ සිල්ලර, සමාජ සේවා, සහ ආහාර සේවාවන් හි වන අතර ආර්ථිකයේ සියලුම අංශ වල සහ සියලූ වයස් කන්ඩායම්වල ඔවුන් දක්නට ලැබේ. රැකියා නැතිව ගිය, අර්ධකාල වැඩ හැර අන් කිසිවක් සොයාගත නො හැකි වැඩිහිටි සහ විශ‍්‍රාමාසන්න කම්කරුවන් ඔවුන්ගේ සමස්ත සංඛ්‍යාවට අනුපාතිකව වැඩි ප‍්‍රමානයක් අර්ධකාලික වැඩෙහි නිරතව සිටිති. බොහෝවිට අර්ධකාල කම්කරුවන්ට රැකියා දෙකක හෝ ඊට වැඩි ගනනක් කිරීමට සිදු වේ.

2011 ජුලි මාසයේ දී - එක් අර්ධකාල අඩු පඩි රැකියාවකින් තවත් එකකට දුවමින් එකවිට එක රැකියාවකට වඩා කල, සිය පවුල් සඳහා හෝ වෙනත් යුතුකම් සඳහා කාලයක් නොතිබුනු ජනයා මිලියන 6.8 ක් වූ හ. මෙම කම්කරුවන්ගෙන් බහුතරයකට සෞඛ්‍ය හෝ වෙනත් පහසු කම් ඇත්තේ නැත.

සමාගම් අර්ධකාල වැඩ බලකාය වැඩිවත්ම පුර්න කාලීන කම්කරුවන් ගෙන් එන්න එන්නම වැඩි වැඩ ප‍්‍රමානයක් සූරාකනගමන් - වියදම් කපති. වෘත්තීය සමිතිවල සහ ධවල මන්දිරයේ සහයෙන් ඇමරිකානු කම්කරුවන්ගේ එන්නෙන්නම වැඩි සංඛ්‍යාවකට හිඟන වැටුප් පැටවේ. 2009 ආන්ඩුව ක‍්‍රයිස්ලර් සමාගම ඇප දී ගලවාගත් කොන්දේසි උඩ එම සමාගම සිය කම්කරු වැටුප් සහ 2010 අතරතුරේදී සියයට 35 කින් අඩු කරගති.

ජුනි මාසයේ දී ෆෙඩරල් රිසර්ව් බැංකුව (ඇමරිකානු මහා බැංකුව) විසින් නිකුත් කරන ලද සංඛ්‍යා අනුව, ඇමරිකානු කම්කරුවන්ගේ සැබෑ මධ්‍යන්‍ය වැටුප් සියයට 7.7 කින් වැටුනි.

ඔබාමා පාලනාධිකාරයේ "අභ්‍යන්තර ආයෝජන” සැලසුම අනුව සමාගම් මෝටර් කර්ම්නාන්තයේ බඳු වැටුප් කැපිල්ලක් වැඩ කරන ජනතාවගේ වඩා පුලූල් කොටස් මත පැටවීමට කි‍්‍රයාකරනකල්හි ඇමරිකානු කම්කරුවන්ගේ වැටුප් සහ සේවාතත්වයන් තව දුරටත් පාතාලයට ඇද දැමෙනු ඇත.

අර්ධකාල වැඩ ක‍්‍රමය වනාහී මහා ජාවාරම් සහ ආන්ඩුව විසින් එවන් තත්ත්වයන් පැටවීමට ගෙනයන ප‍්‍රහාරයේ මූලික සංරචකයකි. පහසුකම් රහිත අර්ධකාල රැකියා දෙක තුනක එල්බී ඉන්නා කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙක් ම, අඩු පඩි ලබන්නා වූ ද විරැකියාවට ඇද වැටීමේ නිරන්තර තර්ජනයට ලක්වී සිටින්නා වූ ද පූර්නකාලීන කම්කරුවන් ට එරෙහිව පිහිටුවනු ලැබේ.

මනා වැටුප් සහිත පූර්නකාලීන රැකියා සම්පාදනය කිරීමට ධනපති ක‍්‍රමයට ද, එහි මහා සංගත වල ද දේශාපාලන නියෝජිතයන් වන පක්ෂ දෙකම අසමත් වීම වනාහී ධනේශ්වර ක‍්‍රමයට එල්ල වන්නාවූ තීරනාත්මක අභිචෝදනයකි.

ඉතා මුලික අයිතියක් වන, රැකියාවකට අයිතිය සඳහා සටන් වැදිය හැකිවන්නේ ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපක්ෂයේම ධනේශ්වර වැඩ පිලිවෙල ප‍්‍රතික්ෂේප කොට සමාජ වාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දෙශපාලන ක‍්‍රියාමාර්ගයක් ගොඩනැගීම තුලින් පමනි.

සමාජවාදී සමානතා පක්ෂයත් 2012 ජනාධිපති තරගයේ දී අපේ අපේක්ෂකයින් වන ජෙරී වයිට් සහ ෆිලිස් ශරර් එම මතිවරනයට ඉදිරිපත්වන්නේ ජනගහනයේ වඩා පුලූල් කොටස් තුලට මෙවන් සමාජවාදී වැඩපිලිවෙලක අත්‍යවශ්‍ය තාවය කාවැද්දීම සඳහා සටන් වැදීම ට ය.

සියලු වැඩ කරන ජනතාවගෙන් ද, ශිෂ්‍යයන්ගෙන් ද, තරුනයන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ අපගේ ව්‍යායාමයට ආධාර දෙන ලෙස ය, මෙම ප‍්‍රයත්නය ට සම්බන්ද වන ලෙස ය. වැඩිදුර තොරතුරු සඳහා විමසන්න:http://www.socialequality.com/.

කේට් රැන්ඩල්

Share this article: