මන්නාරමේ මහේස්ත‍්‍රාත්වරයාට එරෙහි මැර ප‍්‍රහාරයට ඇමතිවරයෙකුගේ සම්බන්ධයක් ඇඟවුම් කෙරෙයි

By W.A.Sunil, 15 August 2012

මන්නාරම උසාවියේ මහේස්ත‍්‍රාත්වරයාට ඇමතිවරයෙකු විසින් තර්ජනය කිරීම සහ ඔහුගේ ආධාරක මැර කන්ඩායමක් විසින් උසාවියට පහර දීම පෙන්නුම් කරන්නේ රජයේ සෑම ප‍්‍රධාන ආයතනයක් ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සහ එහි දේශපාලනඥයන් විසින් පාලනය කිරීමට අතපොවන බවකි.

ජුලි 18 කර්මාන්ත හා වානිජ ඇමති රිෂාඩ් බදියුදීන්ගේ මැර කන්ඩායමක් විසින් මන්නාරමේ උසාවියට පහර දෙනු ලැබීය. ප‍්‍රදේශයේ දෙමල සහ මුස්ලිම් ධීවරයන් කොටසක් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් අන්තොනිපිල්ලෙයි ජුදේසන් විසින් දෙන ලද නියෝගයක් වෙනස් කරන ලෙස බල කරමින් උසාවි සංකීර්නය තුල ඔව්හු උද්ඝෝසෂනය කල හ. විරෝධතා කරුවෝ උසාවියට කඩාවැදීමට උත්සාහ කල අතර ගල්වලින් පහර දීම මගින් උසාවි සංකීර්නයට අලාභ සිදු කල හ.

නියෝගය වෙනස් නොකලොත් "බරපතල ප‍්‍රතිවිපාකවලට” මුහුන දීමට සිදුවනු ඇතැයි තමන්ට ඇමතිවරයා තර්ජනය කල බවට ජුදේසන් විසින් අධිකරන සේවා කොමිසම (අසේකො) ට පැමිනිලි කර තිබේ. සිද්ධියට කෙලින් ම අත පෙවීමක් ලෙස, බදියුදීන් අසේකො ලේකම් මංජුල තිලකරත්න හමු වී මහේස්ත‍්‍රාත්වරයා මාරු කරන ලෙස ඉල්ලා සිටියේය. "මාරු කිරීම් අධිකරන සේවා කොමිසමට අයත් කටයුත්තක් නිසා ඉල්ලීම ප‍්‍රතික්ෂේප කල” බව තිලකරත්න පිලිගත්තේය.

ප‍්‍රහාරයට විරෝධය පාමින් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවන් හැර සෙසු විනිසුරුවෝ සහ නීතිඥයෝ ජුලි 19 රට පුරාම අධිකරන කටයුතු වර්ජනය කලහ. මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කිරීම "අධිකරනයට කල ඍජු අත පෙවීමක්” බව විනිශ්චයකාරවරුන්ගේ සංගමයේ ලේකම් ප‍්‍රදීප් ජයතිලක ඒඑෆ්පී ප‍්‍රවෘත්ති සේවයට කීවේය.

උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත නීතිඥයන් කන්ඩායමක් විසින් බදියුදීන්ට විරුද්ධව නඩුවක් පවරා ඇති අතර උසාවියට පහරදුන් මැරයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තිබේ. නීතිඥවරුන්ගේ සංගමය නඩුවට සහයෝගය දීමට තීන්දුකර ඇත. නඩුව විභාග කල අභියාචනාධිකරනය සැප්තැම්බර් 5 පුද්ගලිකව උසාවියේ පෙනී සිටිමින් "උසාවියට අපහාස කිරීමට එරෙහිව” ඔහුට විරුද්ධව චෝදනා ගොනු නොකල යුත්තේ මන්දැයි පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරනය ඇමති බදියුදීන් ට නියෝග කලේ ය.

මන්නාරම උසාවියේ නඩුවට හේතු වුයේ ජුලි 13 උප්පුකුලම් හි පදිංචි දෙමල ධීවරයන්ගේ නිවාස ගිනි තබමින් ඔවුන්ට එල්ල කල මැර ප‍්‍රහාරයයි. ඔව්හු මුහුදු යාමෙන් වැලැක්වූ අතර වහාම ප‍්‍රදේශයෙන් පිටවන ලෙස තර්ජනය කල හ. ප‍්‍රහාරකයන් ඇමති බදියුදීන් ගේ ආධාර කරුවන් බව වින්දිතයෝ චෝදනා කල හ.

වින්දිතයන්ට සිදුවී ඇති අලාබය මිලියන 1.4 ක් බව පොලීසිය පැවසූ හ. පොලීසිය සැකකරුවන් 16 ක් මන්නාරම උසාවියට ඉදිරිපත් කල හ. දෙමල ධීවරයන්ට ආරක්ෂාව සැපයීමට හා සති තුනක් ඇතුලත සුදුසු ස්ථානයක ඔවුන් යලි පදිංචි කිරීමට පියවර ගන්නැයි මහේස්ත‍්‍රාත් ජුදේසන් පොලිසියට නියෝග කලේ ය. බදියුදීන් ගේ සහයෝගය ඇතිව විරෝධතාවය සංවිධානය කෙරුනේ මෙම නියෝගවලට එරෙහිවය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) ට එරෙහි යුද්ධයේදී ජනවර්ග දෙකටම අයත් පවුල් අවතැන් වූ හ. දසක තුනක සිවිල් යුද්ධය තුල දී උතුරු නැගෙනහිර දහස් ගනන් ජනයා සමුහ වසයෙන් පදිංචි ස්ථානවලින් පලාගිය අතර 1990 දී එල්ටීටීඊය මුස්ලිම් පවුල් දහස් ගනනක් බලහත්කාරයෙන් උතුරෙන් පලවා හැරියේය.

ප‍්‍රහාරයට ගොදුරු වූ දෙමල ධීවර පවුල් යුද්ධයේ ප‍්‍රතිවිපාකයක් ලෙස එම කාලය තුලදී ම මන්නාරමේ ව්දට්ටතිවූ ප‍්‍රදේශයෙන් අවතැන්ව උප්පුකුලම් හි පදිංචි වූවන් වන අතර එහි ජීවත් වූ මුස්ලිම් පවුල්වලට එල්ටීටීඊයේ තර්ජනය නිසා ප‍්‍රදේශය අතහැර යාමට සිදු වූ හ.

අවතැන් වූ සියලුම මුස්ලිම් ජනයා 2000 දී සහ 2001 දී උප්පුකුලමට නැවත පැමිනිය හ. එහෙත් යලි පදිංචිවීමේ දී සහ සිය ජීවන වෘත්තියේ යෙදීමේ දී ඔව්හු දුෂ්කරතා වලට මුහුන දුන් හ. මුස්ලිම්වරුන්ට යලි පදිංචිවීමට ඉඩ සැලසෙන පරිදි ඔවුන්ගේ ප‍්‍රදේශවල සිටින දෙමල පවුල් වෙනත් ස්ථානවල පදිංචි කරන ලෙස ඔව්හු දිසාපතිගෙන් ඉල්ලා සිටියහ. එහෙත් ආන්ඩුව ප‍්‍රශ්නය විසඳුවේ නැත. ඒ වෙනුවට මිලිටරි වාඩිලා ගැනීම දිගටම පවත්වා ගැනීම සඳහා මුස්ලිම් සහ දෙමල ජනයා අතර වාර්ගික ගැටුම් ඇති කිරීමට ආන්ඩුව මෙය පාවිච්චි කලා ය. දුප්පත්කමෙන් පීඩා විඳින වාර්ගික ජනයාගේ දුග්ගැනවිලි ගසා කෑමට මුස්ලිම් දේශපාලනඥයෝ උත්සාහ කරති.

"මන්නාරමේ විරෝධතාවය සංවිධානය කිරීමට ඔහුගේ මැදිහත් වීම හා මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කිරීම සම්බන්ධව බදියුදීන් ඇමතිවරයාට එරෙහිව පෙනෙන ආකාරයට චෝදනාවක් තිබෙන බව රහස් පොලීසියේ මුලික පරීක්ෂන වාර්තාවෙන් ඇගවුම් කෙරෙන” බව අගෝස්තු 6 ඩේලි මිරර් පත්තරය වාර්තා කලේ ය. "රජයේ ජ්‍යෙෂ්ට නීති උපදේශකවරයා විසින් වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවත් අවසන් තීන්දුවක් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු වනු ලබන” බව වාර්තාව තව දුරටත් සඳහන් කලේ ය.

ඇමතිවරයෙකු කැපකිරීමේ කවර හෝ පියවරක් ආන්ඩුවට අර්බුදයක් නිර්මානය කල හැකි බැවින් බොහෝවිට "අවසන් තීන්දුවක්” බලාපොරොත්තු විය නොහැක. අධිකරනය ආන්ඩුවේ පදේට නටන්නේ නැත්නම් ඊට තර්ජනය කිරීම නතර නොවනු ඇත. මෙම ප‍්‍රකෝපකරනය වඩ වඩා අධිකරනය දේශපාලනීකරනය වීමේ ප‍්‍රකාශනයක් මිස හුදකලා සිද්ධියක් නොවේ:

සිද්ධිය පුලුල්ව හෙලා දැකීම හා සිද්ධියට ඇමතිවරයෙකුගේ මැදිහත්වීම එලිදරව්වීම නිසා "කඩිනම් පරීක්ෂනයක්” පවත්වන ලෙස රාජපක්ෂ පොලීසියට නියෝග කලේ ය. "දේශපාලන ඇඟලි ගැසීම් වලින් තොරව අධිකරන පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා හැකි හැම දෙයක් ම කරන” බව ජුලි 21 පැවති රැස්වීමක දී රාජපක්ෂ කීවේ ය. දැහැමි තාපසයෙක් මෙන් අ‍ඳෝනා නගමින් "කැබිනට් ඇමතිවරයෙකු ගැන අධිකරනයේ සැකයක් මතුවීම කනගාටුවට කරුනක්” බව ඔහු පැවසුවේ ය.

අවම වසයෙන් කීවොත් රාජපක්ෂගේ ප‍්‍රකාශය කුහක එකකි. මෙම ප‍්‍රකෝපකාරිත්වය ආන්ඩුවේ දේශපාලන අර්බුදයට තෙල් දැමීමකි. මහජන පිලිකුලට තුඩු දුන් තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ කුප‍්‍රකට කි‍්‍රයාවන් අතර බදියුදීන් ගේ කි‍්‍රයාව ගැන සඳහන් කරමින් රාජපක්ෂ "ආන්ඩුවේ ප‍්‍රතිරූපය යලි නගා සිටු වීමට පියවර ගෙන ඇත” යි සන්ඩේ ටයිම්ස් පත්තරය ලිවී ය.

එහි විවෘත, නොහික්මුනු ස්වභාවය මිස මන්නාරමේ සිද්ධිය අහඹුවක් නොවේ: කලින් පැවති ආන්ඩු විසින් අධිකරනය දේශපාලනීකරනය කිරීම වාර්තා ගත වූ දෙයකි. එල්ටීටීඊය මිලිටරිමය වසයෙන් පරාජය කිරීමෙන් අවසන් වූ වාර්ගික යුද්ධය පවත්වා ගෙනයන අතර තුර රාජපක්ෂ ආන්ඩුව යටතේ මෙම කි‍්‍රයාවලිය වඩාත් තීව‍්‍ර කෙරී ඇත.

රාජ්‍ය ආයතන දේශපාලනිකරනය කිරීම 1990 ගනන් අග භාගයේ අපකීර්තියට පත් වූ විට අධිකරනය ඇතුලු රාජ්‍ය ආයතනවල ප‍්‍රධාන නිලතල වලට පත් කිරීමේ දී එකී පත්වීම් ගැන වගබලා ගැනීම සඳහා ව්‍යවස්ථා මන්ඩලයක් පත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේ ය. ආන්ඩුව එම නීතිය කටුගා දමා 18 වන සංශෝධනය ගෙන ඒම මගින් මෙම නිලධාරින් ඍජුව ම පත් කිරීම සදහා ජනාධිපතිට ආඥාදායක බලය ලබා දුන්නේ ය. තවත් එවන් පියවරක් ලෙස, කලින් ස්වාධීන ආයතනයක් ලෙස සැලකුන නීතිපති දෙපාර්තමේන්තුව රාජපක්ෂ ඔහු යටතට ගත්තේය.

විනිසුරුවන් හා නීතිඥයන් ඇමතිගේ ප‍්‍රහාරයට එරෙහිව විරෝධය පෑම අධිකරනය පාලනය කිරීම සදහා ආන්ඩුවේ නො හික්මුනු හැසිරීම පිලිබඳව පාලක ප‍්‍රභූවේ හා දේශපාලන සංස්ථාපිතයේ කොටසක් තුල පවතින අතෘප්තියේ ප‍්‍රකාශනයකි. ධනපති රාජ්‍යය කෙරෙහි විස්වාසය තව දුරටත් ඛාදනය වනු ඇතැයි ඔව්හු බියට පත්ව සිටිති.

"සාධාරනත්වය වහාම ආරක්ෂා කරමින්” ප‍්‍රහාරකයන් සහ ඇමතිවරයා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව එක්සත් ජාතික පක්ෂය කියයි. එමෙන් ම ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් නිකුත් කරමින් "අධිකරනයේ ස්වාධීනත්වය සහතික කිරීම සදහා පියවර ගන්න” ලෙස ජනතා විමුක්ති පෙරමුන ඉල්ලා සිටියේ ය.

මහජනයා තුල පවතින පිලිකුල ගසාකන අතර ම ධනේශ්වර අධිකරනය හා රාජ්‍යය කෙරෙහි මහජන විස්වාසය නැතිවනු ඇතැයි මේ පක්ෂ බිය පල කරති. 1977-94 එහි පාලන කාලය තුල අධිකරනයට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් එජාප කුප‍්‍රකටය.

මන්නාරමේ සිද්ධිය කම්කරු පන්තියට හා තරුනයන්ට අනතුරු ඇඟවීමකි. ජීවන කොන්දේසි හා සමාජ අයිතීන්ට එල්ල වන ප‍්‍රහාර කෙරෙහි වර්ධනය වන මහජන විරුද්ධත්වයකට මුහුන දී සිටින ආන්ඩුව පොලිස් රාජ්‍ය ක‍්‍රම වේගයෙන් ඉදිරියට ගෙන එමින් සිටී. මෙහි කොටසක් ලෙස හමුදාව, පොලීසිය, හා අර්ධ මිලිටරියේ බලකායන් සහ දේශපාලන මැරයන් සිය දේශපාලන විරුද්ධවාදීන්ට හා කම්කරු පන්තියට එරෙහිව මුදා හැර ඇත.

සිය අරමුනු ඉටුකර ගැනීම සඳහා ආන්ඩුව සහ එහි සහචරයෝ රටේ නීතිය විවෘතව උල්ලංඝනය කරති. කම්කරු පන්තියට සහ දුගීන්ට සිය ප‍්‍රජාතන්ති‍්‍රක අයිතීන් රැක ගත හැක්කේ ආන්ඩුවේ පොලිස් රාජ්‍ය පියවරවලට එරෙහිව සමාජවාදී පිලිවෙත් සඳහා සටන් වැදීම මගින් පමනි.

Share this article: