ශ්‍රී ලංකාවේ සසප කෑගල්ලේ දී මැතිවරන රැස්වීමක් පවත්වයි

Sri Lankan SEP holds election meeting in Kegalla

By our reporter,11 August 2012

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය(සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) පසුගිය ඉරිදා කෑගල්ල නගරයේ දී සාර්ථක මහජන රැස්වීමක් පැවත් වූහ. සැප්තැම්බර් 8දා පැවත්වෙන සබරගමුව පලාත් සභා මැතිවරනය සඳහා වන රැස්වීම් මාලාවක පලමුවැන්න වූ මෙම රැස්වීමට බැංකු, තැපැල්, රාජ්‍ය පරිපාලන හා පෞද්ගලික අංශ කම්කරුවෝ, තරුනයෝ හා ශිෂ්‍යයෝ සහභාගී වූහ.

දෙමල බස කතාකරන රබර් වතු කම්කරුවන්, බෝගල මිනිරන් පතල් කම්කරුවන්, මෙන් ම ගොවීන්, ගෘහනීන් හා රැකියා නොමැති තරුනයන් ඇතුලත් කම්කරු පන්තියේ එකිනෙකට වෙනස් කන්ඩායම් අතර රැස්වීම සඳහා සසප-සසජාශි කන්ඩායම් උද්ඝෝෂනය කලහ. පක්ෂයේ මැතිවරන ක්‍රියාමාර්ගය පැහදිලි කරන අත්පත්‍රිකා දහස් ගනනක් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වෙනත් ලියවිලි ද බෙදා හැරුනි.

ශ්‍රී ලංකාවේ සසජාශි කැඳවුම්කරු වන කපිල ප්‍රනාන්දු රැස්වීමේ මුලසුන දැරී ය. සසප මැතිවරන උද්ඝෝෂනය හුදෙක් ඡන්ද දිනීමට නොව කම්කරු පන්තිය සඳහා ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් සැපයීම සඳහා අරමුන කල එකක් බව පැහදිලි කරමින් ඔහු කතාව ආරම්භ කලේ ය. නැගෙන තරුන විරැකියාව, අධ්‍යාපන පද්ධතියේ තීව්‍ර‍ෙවන කප්පාදු හා අනෙකුත් සමාජ ප්‍රහාරයන්ට මුහුන දිය හැක්කේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කිරීම හා සමාජයේ සියලු ම පීඩිත කොටස්වලට නායකත්වය සැපයීමට කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම හරහා පමනි යයි ඔහු කීවේ ය.

කෑගල්ලේ රැස්වීමේ කොටසක්

21දෙනෙකුගෙන් යුත් සසප අපේක්ෂක කන්ඩායමට නායකත්වය දෙන ආනන්ද දවුලගල ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කලේ ය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය "ආන්ඩුවේ සම්පත් හා දේශපාලන බලය නිහීන ලෙස පාවිච්චි කිරීම” හරහා ඡන්දය ජයගැනීමට උත්සාහ ගන්නවා ඇතැ’යි ඔහු කීවේ ය. ඊට පසු එය "ජනතාව තමන් පිටුපස යයි ප්‍රෝඩාකාරීව කියනු ඇති අතර එහි ප්‍රතිපත්තිවලට එරෙහිව වැඩෙන විරෝධය බිය ගැන්වීමට උත්සාහ ගන්නවා ඇත.”

2006 දෙමල සුලුතරයට එරෙහිව යුද්ධය නැවත ආරම්භ කල රාජපක්ෂ ආන්ඩුව, සියලු ම ජන කන්ඩායම්වලට අයත් වැඩ කරන ජනතාවට එරෙහිව ආර්ථික යුද්ධයක් මුදාහරිමින් සිටී යයි ඔහු අනතුරු ඇඟවී ය. "සමාජ වියදම් බරපතල ලෙස කැපීමට හා කම්කරුවන්ගේ වැටුප් කැටිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බලකරන ලද කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමේ දී රාජපක්ෂ ආන්ඩුවට සීමා නැතැ” යි ඔහු පැවසී ය.

ආනන්ද දවුලගල

රාජපක්ෂගේ ආර්ථික පියවර ලෝක ධනවාදී පර්යායේ ගැඹුරුවන අර්බුදයෙන් ඍජුව ම ගලා එන බව දවුලගල පැහදිලි කලේ ය. "ශතවර්ෂ භාගයක් පුරා අනේකවිධ කැපකිරීම් සහිත අරගලයන් හරහා උපයා ගත් සමාජ ජයග්‍රහනයන් අතු ගා දමන නිර්දය පියවර හරහා කම්කරු පන්තිය මත විනාශකාරී බර පැටවීමට සෑම රටක ම පාලක පන්තියට මෙම අර්බුදය විසින් බල කෙරෙමින් පවතී.”

සටනකින් තොර ව මෙම ප්‍රහාරයන් පිලිගැනීමට කම්කරු පන්තිය සූදානම් නැතැ යි දවුලගල පැවසී ය. උතුරු අප්‍රිකාවේ හා මැද පෙරදිග සිට එක්සත් ජනපදය හා යුරෝපය තුල ලෝක ධනවාදයේ කේන්ද්‍රයන් දක්වා පසුගිය 18 මාසය පුරා පැවති ලෝක පරිමාන අරගල තුල මෙය ප්‍රදර්ශනය කෙරුනි. ටියුනීසියානු හා ඊජිප්තු මහජනතාව දශක ගනනාවක් පැරනි අධිරාජ්‍යවාදී ගැති ආඥාදායකත්වයන් පෙරලා දමා තිබුන ද, එක්සත් ජනපද හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවත්තු රූකඩ තන්ත්‍රයන් නැවත ස්ථාපිත කිරීමට මැදිහත්වෙමින් සිටින බවට දවුලගල අනතුරු ඇඟවීය.

"සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් හා විප්ලවවාදී නායකත්වයකින් තොර ව කම්කරු පන්තියට ධනවාදයට එරෙහි සටන ජය ගත නොහැකි බව ඇති තරම් පැහදිලි ය” යයි දවුලගල පැවසී ය. මෙම ක්‍රියාමාර්ගයට සටන් කරන එක ම සංවිධානය නම් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, හා එහි ලෝක සමාජවාදී වෙබ් අඩවිය යයි ඔහු කීවේ ය.

ලෝකය පුරා අපගේ සම-චින්තකයන් සමග සසප අරගලය, මෙම ඉදිරිදර්ශනයේ පදනම මත කම්කරුවන් හා තරුනයන් උගන්වා ගැනීමට හා ඒකරාශී කිරීමට ය. මෙම මැතිවරන ව්‍යාපාරයේ දී මහජනතාවට අප ගෙනයන පනිවුඩය මෙය යි.”

තම පලමු සසප රැස්වීමට සහභාගී වෙමින් ලෝක තත්වය පිලිබඳව විස්තරාත්මක විශ්ලේෂනයක් අසන්නන්ට මෙය "නව අත්දැකීමක්” වෙන්නට ඇතැ’යි රැස්වීම අමතමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් පැවසී ය. "අනෙකුත් සියලු ම පක්ෂවල මැතිරන වේදිකාවල මෙම ලෝක වර්ධනයන් සඳහන් කිරීමක් පවා මුළුමනින් ම ඇත්තේ නැත” යි ඔහු කීවේ ය.

"අප ජීවත්වන්නේ ගෝලීයකරනය වූ ආර්ථිකයක හා ලෝක දේශපාලනයේ කාලපරිච්ඡේදයක් තුල බැවින් ශ්‍රී ලංකාව හා ගිනිකොන දිග ආසියාව තුල තත්වය පිලිබඳ අපගේ විශලේෂනය අප ආරම්භ කරන්නේ ලෝක තත්වය පිලිබඳ අවබෝධයක පදනම මත ය. එ බැවින් මෙම කලාපයේ පන්ති අරගලය , ලෝක අධිරාජ්‍යවාදයට සහ එහි දේශීය ධනේශ්වර ඒජන්තයින්ට හා එහි හිටපු රැඩිකල් පන්දමුන්ට එරෙහිව කම්කරු පන්තිය හා තරුනයන් විසින් ගෙන යනු ලබන අරගලයන්ගේ ජාත්‍යන්තර සන්දර්භය තුල තක්සේරු කල යුතු ය.”

2008 සිට ඇදෙමින් පවතින මූල්‍ය අර්බුදය සහ එක්සත් ජනපද හා අනෙකුත් අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමනකාරී නව යටත් විජිත ප්‍රතිපත්ති සමස්ත ධනේශ්වර පද්ධතියේ මරලතෝනියේ ප්‍රකාශනයකැ යි ඩයස් පැහදිලි කලේ ය.

"2011 වර්ෂය ආරම්භවූයේ අධිරාජ්‍යවාදයේ ඒජන්තයින් ලෙස එම රටවල් පාලනය කල දීර්ග කාලීන ආඥාදායකයින් පලවා හැරීමට ටියුනීසියාවේ හා ඊජිප්තුවේ කම්කරු පන්තිය හා තරුනයන් විසින් ගෙන යන ලද ප්‍රතිප්‍රහාරයක් සමගිනි. මෙම කලාපයේ කම්කරු ජනතාව පාලක පන්තියට හා එහි ආන්ඩුවට එරෙහිව වෙනත් මගක් ගනු ඇතැ’යි විශ්වාස කිරීමට කිසි ම හේතුවක් නැත.

"ඒ අතර ම, එම රටවල කැරලිකාරී මහජනතාව මුහුන දෙන තීරනාත්මක ගැටලුව සමාජවාදී ඉදිරිදර්ශනය හා නායකත්වයේ අර්බුදය බව, සමාජවාදයේ විප්ලවවාදී පක්ෂය ලෙස අපි හඳුනාගන්නවා.” සසප මැතිවරන මැදිහත්වීම, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම්ව එවැනි විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම සඳහා යැ’යි ඩයස් තවදුරටත් පැසී ය.

මෙම වාර්තවෙන් පසු සජීව ප්‍රශ්න නැගීමේ හා පිලිතුරු දීමේ වාරය එලඹුනි. එක් තරුනයෙක් "සියලු වාම බලවේග එක්සත් කරන” ක්‍රියාමාර්ගයක් පිලිබඳ සසපයේ ආකල්පය ගැන ප්‍රශ්න කලේ ය.

විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ද ඇතුලත්ව සෑමතැන ම කම්කරු පන්තිය, මෙම ව්‍යාජ මාවත ඔස්සේ ගොස් කටුක පරාජයන් අත්විඳ ඇතැ’යි ඩයස් විස්තර කලේ ය. එවැනි එක් උදාහරනයක් නම්, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා පිලිප් ගුනවර්ධනගේ මහජන පක්ෂය විසින් 1963 වාමාංශික එක්සත් පෙරමුන පිහිටුවීම යයි ඔහු විස්තර කලේ ය.

"වාමාංශික පෙරමුන, 1964 දී ධනේශ්වර සභාග ආන්ඩුව සඳහා ප්‍රවේශවීමේ නවාතැන් පොලක් වුනා. මෙකී සභාග ආන්ඩුව කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය විනාශ කිරීමට තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල අතර එය සමස්තයක් වශයෙන් මහජනතාවට ඛේදනීය ප්‍රතිවිපාක ගෙන ආවා” යයි ඩයස් පැවසී ය..

මහජනයා අතර එක්සත්කම සඳහා පෙලඹවීමට ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ධනේශ්වර පාලනයට එරෙහිව කම්කරුවන්ගේ හා ග්‍රාමීය දිලින්දන්ගේ විප්ලවවාදී සන්ධානයක් අවශ්‍ය යයි ඩයස් සඳහන් කලේ ය. "කම්කරු පන්තිය නොයෙකුත් ආකාරයන්ගෙන් පාලක පන්තියට ගැටගැසීමට වැඩකරන සියලු ම පක්ෂ හා කන්ඩායම් එලිදරව් කිරීමට හා පරාජය කිරීමට, විප්ලවවාදී පක්ෂයක් විසින් ගෙන යනු ලබන දේශපාලන සටනක් හරහා පමනක් මෙම එක්සත්කම පෙරට ගෙන යා හැක.”

ද්‍රෝහී පැරනි "වාමාංශික” පක්ෂවලට විකල්පයක් ලෙස මවා පෑ ජනතා විමුක්ති පෙරමුන, එක්සත් වාමාංශික පෙරමුන මෙන් ම එක ම ගමන් මග අනුගමනය කලේ කෙසේ දැ යි ඩයස් විස්තර කලේ ය. 2004දී එය කුමාරතුංග ආන්ඩුවට එක්වුන අතර, ඊට පසු දෙමල ජනතාවට එරෙහිව මෘග යුද්ධය තීව්‍ර කල රාජපක්ෂට බලයට ඒම සඳහා සහාය දුන්නේ ය.

ව්‍යාජ- වාම නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධවීමේ නාමයෙන් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය සමග එකම දේශපාලන වේදිකාව මත පෙනීසිටි බව ද ඔහු ප්‍රකාශ කලේ ය. "ඔවුන් ඔක්කොම ‘වමේ’ යයි කියාපාන නමුත් යථාර්ථයේ දී කම්කරු ජනතාවගේ හා තරුනයන්ගේ අපේක්ෂාවන් මෙම පෙරමුනු විසින් අතහැර දැමෙනවා” යයි ඩයස් කීවේ ය.

ද්‍රවිඩ ප්‍රශ්නය පිලිබඳ සසප ආකල්පය, රාජපක්ෂ ආන්ඩුවේ "උගත් පාඩම් හා සංහිඳියා කොමිසම”, වෘත්තීය සමිතිවල භූමිකාව හා සසප මහජන සහාය දිනා ගනු ඇත්තේ කෙසේ ද යනාදී ප්‍රශ්නවලට විස්තරාත්මක පිලිතුරු දෙන ලදී. පක්ෂයේ ක්‍රියාමාර්ගය මත වැඩිදුර සාකච්ඡා සඳහා කම්කරුවන් හා තරුනයන් කීප දෙනෙක් රැස්වීමෙන් පසු රැඳී සිටියහ.

Share this article: