ශ‍්‍රී ලංකාවේ මිනිරන් පතල් කම්කරුවෝ සසප උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කරති

Sri Lankan graphite miners speak to SEP campaigners

By Paninee Wijesiriwardhana, 9 August 2012

සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කය සඳහා පක්ෂයේ මැතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂයේ උද්ඝෝෂන කන්ඩායම පසුගිය සති අන්තයේ බෝගල මිනිරන් පතලට ගියේය. සසප උද්ඝෝෂකයෝ පතල් කම්කරුවන්ට හා පතල ආසන්නයේ පිහිටි ආරුගම්මන ගමේ ජීවත් වන විශ‍්‍රාමික පතල් කම්කරුවන්ට කතා කලහ.

දේශපාලන කමිටු සාමාජික ආනන්ද දවුලගලගේ මූලිකත්වයෙන් අපේක්ෂකයන් 21 දෙනෙකු ඉදිරිපත් කරමින් මැතිවරනයට සසප තරග කරයි. ආන්ඩුව පලාත් සභා තුනක මැතිවරනය අවුරුද්දකට පෙරාතුව කැඳවුම් කර තිබේ. ආන්ඩුවේ කප්පාදු පිලිවෙත කෙරෙහි වර්ධනය වන මහ ජන විරෝධය මැඩලීමේ මාධ්‍යයක් ලෙස පැහැදිලි මැතිවරන ජයග‍්‍රහනයක් වාර්තා කිරීමේ ව්‍යායාමය සඳහා ජනාධිපති රාජපක්ෂ රාජ්‍ය උපකරන උපයෝගී කර ගනියි.

සසප උද්ඝෝෂකයන් බෝගල පතලෙන් පිටත කම්කරුවන් සමග කතාකරමින්

කොලඹින් කිලෝ මීටර් 130 දුරින් පිහිටා තිබෙන බෝගල මිනිරන් පතල වසර 200 ට වඩා පැරනිය. ආරම්භයේ දී පුද්ගලික එකක් වූ පතල, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප), ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හා ස්ටැලින්වාදී ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ (කොප) සභාග ආන්ඩුව විසින් 1971 දී ජනසතු කලේය.

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ආන්ඩුව විසින් 1991 දී පතල යලි පුද්ගලීකරනය කල අතර වර්තමානයේ එය අයිති ජර්මන් සමාගමකට ය. 1970 ගනන්වල 1,000 ට වැඩි ශ‍්‍රම බලකායක් එහි සිටි නමුත් දැන් ඉන් ඉතිරිව සිටින්නේ 168 ක් පමනි. වසරකට මිනිරන් ටොන් 5,000 ට වඩා නිපදවනු ලබයි. මූලිකව ඒවා නිපදවන්නේ අපනයනය සඳහා ය.

බොහෝ අය මැතිවරනය ගැන උනන්දුවක් නොදැක් වූහ. "අපි මේ මැතිවරනය ගැන උනන්දු නැහැ. මේ ප‍්‍රාදේශීය සභාව යටතේ අපි දසක ගනනාවක් ඉන්නවා. ශ‍්‍රීලනිප, එජාප ප‍්‍රධාන පක්ෂ දෙකම මේක පාලනය කලා. ඔවුන්ගේ පොරොන්දු කෙසේ වුවත් ඩිස්පෙන්සරියක්, ප‍්‍රවාහනය හා ජලය වැනි මූලික අවශ්‍යතාවයන්වත් සම්පාදනය කරලා නැහැ” තරුනයෙකු උද්ඝෝෂකයන්ට පැවසුවේය.

1970 ගනන්වල උපන් මෙම තරුනයා පතලෙහි සුරක්ෂිත ස්ථීර රැකියාවක් බලාපොරොත්තු වුයේය. එහෙත්, පතල පුද්ගලීකරනය කිරීමෙන් පසු වැඩ කොන්දේසි වඩා නරක අතට හැරුනි. බොහෝ පතල් කම්කරුවෝ ශ්වසන රෝගවලින් මරනයට පත් වූහ. හිටපු පතල් කම්කරුවෙක් වන ඔහුගේ පියා ද එවැනි රෝගයකින් පීඩා විඳිනු ලබයි. පවුල නඩත්තු කිරීම සඳහා මෙම තරුනයාට හමුදාවට බැඳීමට බල කෙරුනි.

"සමහර පරන කම්කරුවන් මැරුන. අනෙක් අය අසරන වුනා. තරුනයන්ට හමුදාවට බැඳෙන්න බල කෙරුනා, ගෑනු ලමයින්ට අඩු පඩියට ගාමන්ට්වල වැඩට යන්න සිද්ධ වුන” බව ඔහුගේ සහෝදරිය විස්තර කලා ය.

ප‍්‍රදේශය කලින් ලසසප බල කඳවුරකි. ශ‍්‍රී ලංකාව තුල සමාජවාදය ගොඩනැගීම ගැන කතා කරමින් යටත් විජිත විරෝධී පක්ෂයක් ලෙස ඉස්මතු වූ ලසසපයේ ඉතිහාසය ගැන සාකච්ඡා කිරීමට උද්ඝෝෂකයෝ එය අවස්ථාවක් කර ගත් හ.

ලසසපය පිහිටවූ අය දෙවන ලෝක යුද්ධ කාල පරිච්ඡේදයේ දී එහි ජාතිකවාදී ක‍්‍රියාමාර්ගයෙන් බිඳී ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ධජය යටතේ සටන් වැදුනු ඉන්දියානු බෝල්ශවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) පිහිටු වූ හ. එහෙත්, දසකයක දේශපාලන පරිහානියකට තුඩු දෙමින් බීඑල්පීඅයි 1950 දී ලසසපය තුලට දියකර හැරියේය. එහි අවසාන ප‍්‍රතිපලය වූයේ 1964 දී ලසසපය ධනේශ්වර සභාග ආන්ඩුවකට සම්බන්ධ වෙමින් සිදුකල ඓතිහාසික පාවාදීමයි.

Ariyasenaආරියසේන

විශ‍්‍රාමික පතල් කම්කරුවෙකු වූ 70 වියැති ආරියසේන මෙසේ පැවසුවේ ය: "මගේ තාත්තා පතලේ වැඩ කලා. මේ කම්කරුවන් දුක් විඳපු හැටි මට මතකයි. මගේ තාත්තා තද සමසමාජකාරයෙක්. එන්.එම්. පෙරේරාගෙ, කොල්වින් ආර්. ද සිල්වාගේ කතා මට මතකයි. ඔවුන් ධනවාදයට එරෙහිව සමාජ සමානතාවය සඳහා කතා කලා. ඒ අදහස්වලට මමත් ආකර්ෂනය වුනා. ඒ නායකයන් අපව අත හැර දැම්මත්, ඒ විප්ලවවාදී දවස් තවමත් අපේ හිත් තුල දෝංකාර දෙනවා.”

1953 හර්තාලයේදී පතල් කම්කරුවන් වර්ජනය කර සිටිය දී, වාතාශ‍්‍රය ලබා දෙන පද්ධතිය තුලින් පොලීසිය පතලට මිරිස් කුඩු පොම්ප කල හැටි ආරියසේන විස්තර කලේය. ලසසප නායකයෝ වර්ජනය නතර කල හ. කම්කරුවන් පතලෙන් පිටතට ආ විට පොලීසිය ඔවුන්ට හොඳටම පහර දුන් හ. පහරදීම නිසා ඇති වූ හෘදයාබධයකින් අරියසේනගේ පියා පසුව මිය ගියේ ය. "මගේ තාත්තාගේ පරම්පරාවේ අය වැඩ කලේ වහල්ලු වගේ. වැඩට ඇන්දේ අමුඩයක් විතරයි. අපිට අපේ අයිතීන් දිනා ගන්න පුලුවන් වුනේ අරගල කරලා විතරයි” ආරියසේන කීවේය. 1971 පසුව පතල් කම්කරුවන්ට කොට කලිසම් ඇඳීමට අවසර ලැබුන අතර හොඳ ආහාර වේලක් ලැබුනි. ඊට පෙර ඔවුන්ට ලැබුනේ පැය අටක සේවාකාලය තුල බනිස් ගෙඩියක් සහ කහට තේ එකක් පමනි.

"පතල් ජනසතු කලාට පස්සේ එන්. එම්. පෙරේරයි, කොල්වින් ආර්. ද සිල්වයි අපිට කිව්වා සමාජවාදෙට තියෙන්නේ තව මයිලය යි කියල. එහෙම කියල අපිව අස්වසන්න උත්සාහ කලා. නමුත් 1990 ගනන්වල දී පතල ආපහු පුද්ගලීකරනය කලා.” විශ‍්‍රාමික කම්කරුවා අපට පැවසුවේ ය.

ලසසප ශ‍්‍රීලනිප සභාගයට සම්බන්ධ වූ පසු ඇති වූ ව්‍යාකූලත්වය ආරියසේන යලි මතක් කලේය. ලසසපය විසින් ශ‍්‍රීලනිපය ගුනාංගීකරනය කලේ වාමාංශික පක්ෂයක් ලෙසය. පක්ෂ සාමාජිකයන්ට ශ‍්‍රීලනිප ශාඛා සමිති සමග වැඩකිරීමට උපදෙස් දුන්හ. පසුව ඔහු ගමේ ශ‍්‍රීලනිප සමිතියේ නායකයා වුයේය. ලසසප ශාඛා දියකරනු ලැබීය. අවසානයේදී වසර 42 ට පසුව 1977 මැතිවරනයේ දී එන්.එම්. පෙරේරාට ආසනය අහිමි විය.

ගමේ පැරනි පරම්පරාවේ බොහෝදෙනෙකුට ලසසප සම්බන්ධයෙන් තිබුනේ මිශ‍්‍ර හැඟීමකි. ඔවුන් බීඑල්පීඅයි විප්ලවවාදී සම්ප‍්‍රදායන් ගැන උද්‍යෝගිමත් වූ නමුත් තමන්ව පාවාදුන් නායකයන්ට ඔවුහු වෛර කලා හ.

"1930 ගනන්වල මැලේරියාව පැතිරෙන කොට ඒ අය (ලසසප) ලඟ තිබුන ඉස්කෝල ඉස්පිරිතාල බවට පරිවර්තනය කරලා ලෙඩ්ඩුන්ට ප‍්‍රතිකාර කලා. ප‍්‍රතිකාරවලට මුදල් ගෙවන්න සූරිය මල් විකුනලා ආධාර එකතු කලා.” තවමත් පතලේ වැඩකරන කම්කරුවෙකු වන 52 හැවිරිදි පියදාස මතක් කලේය.

2009 අවසන් වූ දිග් ගැස්සුන සිවිල් යුද්ධය ගැන විමසූ විට වැඩිමහල් ගම්මු ගැටුම සම්බන්ධ සිය නො එකඟතාව ප‍්‍රකාශ කල හ. සිංහල හ දෙමල වර්ගවාදයට අතීතයේ දී ලසසප විරුද්ධ වූ ආකාරය 75 හැවිරිදි විශ‍්‍රාමික කම්කරුවෙකු විස්තර කලේය. පක්ෂය ශ‍්‍රීලනිපයේ සිංහල පමනක් භාෂා ප‍්‍රතිපත්තියට විරුද්ධ වූ නමුත් පසුව එහි විරුද්ධත්වය අතහැර දැමීය. "ඇත්තටම අපි යුද්ධයට සහයෝගය දුන්නේ නැහැ. නමුත් අවාසනාවකට අපේ ගමේ හුඟක් තරුනයෝ හමුදාවට බැඳිලා මරුන” බව ඔහු කීවේය.

සසප උද්ඝෝෂන කන්ඩායම පතලේ ප‍්‍රධාන ගේට්ටුව ලඟ උද්ඝෝෂනය කලේය. ඔවුන්ට ආන්ඩුව හෝ විපක්ෂය කෙරෙහි කිසිම විස්වාසයක් නැති බව බොහෝ කම්කරුවෝ ප‍්‍රකාශ කල හ. ඉහල යන ජීවන වියදම හා දරිද්‍රතා ජීවන කොන්දේසි ගැන කෝපය පලකල ඔව්හු මැතිවරනයේ දී කිසිවෙකුටත් ඡන්දය නොදීමට තීන්දු කර ඇති බව කී හ.

සසපයේ විප්ලවවාදී වැඩපිලිවෙල හා සෙසු පක්ෂවල ධනවාදී පිලිවෙත් අතර තිබෙන වෙනස සසප උද්ඝෝෂකයින් විසින් පැහැදිලි කල විට ඔවුන්ගේ ආකල්පය වෙනස්වීමට පටන් ගත්තේ ය.

හතලිස් හැවිරිදි තුෂාර මෙලෙස පැවසුවේ ය. "අපි ඒවගේ ව්‍යාපාරයක් හොයමින් ඉන්නේ. මගේ දෙමව්පියෝ කතාකරනවා ලසසපයේ අතීත අරගල ගැන. නමුත් ඒ ගැන මගේ අත්දැකීම් කටුකයි. ඔවුන් අපිව පාවල දුන්න. මේ අත්දැකීම් එක්ක අපි කොහොමද ඔයාලා අව්‍යාජ පක්ෂයක් කියල විස්වාස කරන්නේ”?

එම ප‍්‍රශ්නය ලසසප ට හා පාවාදීමට එරෙහි සසප සහ එහි පෙර ගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගෙන ගිය දීර්ඝ දේශපාලන අරගලය පිලිබඳ සාකච්ඡාවකට මග පෑදී ය. සසප යලි මුන ගැසීමට තුෂාර එකඟ විය.

පතල් කම්කරුවන් මුහුන දෙන දුෂ්කරතා පිලිබඳව තරුන කම්කරුවෙකු වූ සිසිර විස්තර කලේ ය. ඔහුගේ මාසික වැටුප රුපියල් 20,000 කි. අහාර, තෙල් සහ ප‍්‍රවාහනය ඇතුලුව ඉහල යන මිලගනන් සමග කම්කරුවකුට පවුලේ වියදමට රුපියල් 40,000 අවශ්‍යයි.

පතල් කම්කරු වෘත්තීය සමිතිවල භූමිකාව පිලිබඳව සිරිසේන සිටියේ කෝපයෙනි. බොහෝ කම්කරුවෝ ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන වෘත්තීය සමිතියේ සාමාජිකයෝ ය. "මේ ජවිපෙ සමිතිය අපි වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ. පාලනාධිකාරිය කිව්වහම පාඩුයි කියල ඔවුන් ඒක පිලි අරගෙන වැටුප් ඉල්ලීම් සම්බන්ධ අරගලය අතහැරිය. නමුත් වාර්තාවලට අනුව 2010 දී සමාගමේ ලාබය සියයට 159 න් ඉහල ගිහිල්ල තියෙනවා” ඔහු කීවේය.

"ඔබේ (සසප) වැඩපිලිවෙල අපිට නැවුම් හුස්මක් ලබා දෙනවා. ඔබ සමග මගේ එකඟතාවය ප‍්‍රකාශ කිරීමට මා ඔබේ පක්ෂයට ඡන්දය දෙනවා.”

Share this article: