කොලඹ පුවත්පත් සාකච්ඡාව එක්සත් ජනපද සසප ජනාධිපති අපේක්ෂකයාගේ ශ‍්‍රී ලංකා සංචාරය නිවේදනය කරයි

Colombo press conference announces US SEP presidential candidate’s visit to Sri Lanka

By our correspondents, 23 August 2012

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඊයේ (අගෝස්තු 22) එක්සත් ජනපදයේ සසප ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට්ගේ ශ‍්‍රී ලංකා සංචාරය නිවේදනය කිරීමට පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වී ය. වයිට් අගෝස්තු 26, 28 හා 30 දිනවල පිලිවෙලින් කොලඹ, කෑගල්ල හා ගාල්ලේ දී ප‍්‍රසිද්ධ රැස්වීම් ඇමතීමට නියමිත ය.

වයිට්ගේ සංචාරයේ අර්ථභාරය විස්තර කරන පත‍්‍රිකා දහස් ගනනින් බෙදා හරිමින් සසප මෙම රැස්වීම් සඳහා බලගතු උද්ඝෝෂනයක් දියත් කර ඇත. නිපොන් හෝටලයේ සම්මන්ත‍්‍රන ශාලාවේ පැවැත්වූ පුවත්පත් හමුව මෙම උද්ඝෝෂනයේ කොටසක් විය. දිනපතා දෙමල පුවත්පතක් වන තිනක්කුරල් හා සතිපතා සිංහල පුවත්පතක් වන රාවය යන පුවත්පත්වලින් මාධ්‍යවේදීහු පැමින සිටිය හ. තවත් දෛනික දෙමල පුවත් පතක් වන සුඩර් ඔලි ලිපියක් පලකිරීමට තොරතුරු ඉල්ලා සිටියේ ය.

සාකච්ඡාවේ මුලසුන දැරූ සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් මෙසේ පැවසුවා ය: "එක්සත් ජනපද සසප ජනාධිපතිවරන උද්ඝෝෂනයේ ඉලක්කය වන්නේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත ධනවාදයට එරෙහිව ලෝක කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් වැදීම යි. වයිට් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නේ මෙම අරගලය ඉදිරියට ගෙන යාමට යි.” එක්සත් ජනපද සසප ලෝක ට්‍රොට්ස්කිවාදී පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සමග සහයෝගීව කි‍්‍රයා කරන බව ඇය විස්තර කලා ය.

සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් මාධ්‍ය හමුව අමතමින්

සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්, වයිට්ගේ ශ‍්‍රී ලංකා සංචාරයේ වැදගත්කම විස්තර කලේ ය: එය, ඔහු බි‍්‍රතාන්‍යයේ හා ජර්මනියේ දී ද ප‍්‍රසිද්ධ රැස්වීම් අමතන ලෝක සංචාරයක කොටසකි. 52 හැවිරිදි වයිට් දශක තුනකට අධික කාලයක් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැද ඇති අතර ඔහුගේ උප ජනාධිපති අපේක්ෂිකා ෆිලිස් ෂෙරර්ට ද සමාජවාදී ඉදිරි දර්ශනයට සටන් කිරීමේ දශක ගනනක වාර්තාවක් ඇති බව ඩයස් කීවේ ය.

"එක්සත් ජනපද ජනාධිපතිවරනය ජාත්‍යන්තර දේශපාලන ඇඟවුම් සහිතයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පිලිවෙත් සමස්ත ලෝකයට ම බලපානවා” යයි ඩයස් කීවේ ය. "මෙම තතු යටතේ එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් මෙම පිලිවෙත් පරාජය කිරීම ජාත්‍යන්තර කර්තව්‍යයක් බවට පත්ව තිබෙනවා... අපගේ ව්‍යාපාරයේ ලෝක සමාජවාදී ඉදිරි දර්ශනය මත එක්සත් ජනපද ජනාධිපති තනතුරට තරග කරන ජෙරී වයිට් ජාත්‍යන්තරව කම්කරුවන් හා පීඩිතයන් ආමන්ත‍්‍රනය කිරීමට තීරනය කොට ඇත්තේ මේ නිස යි.”

ස්ටැලින්වාදීන්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා විවිධාකාර මාධ්‍යමික නායකත්වයන් ලෝක කම්කරු පන්තිය සමාජවාදය ගොඩ නැගීමේ ඓතිහාසික කර්තව්‍යයෙන් වැලැක්වීමට දරන ලද ප‍්‍රයත්නයන්ට එරෙහිව එම කර්තව්‍යය සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට 1938 දී ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ ගොඩ නගන ලද හතරවන ජාත්‍යන්තරයේ උරුමය, හජාජාක විසින් ඉදිරියට ගෙන යනු ලබන බව සසප ප‍්‍රධාන ලේකම් අවධාරනය කලේ ය.

ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ ආක‍්‍රමනයන්ගේ පටන් ලිබියාවේ තන්ත‍්‍ර මාරු කිරීම හා සිරියාවට හා ඉරානයට එවැනි ම මැදිහත් වීම් සූදානම් කිරීම් දක්වා එක්සත් ජනපද ආන්ඩුවේ වැඩෙන මිලිටරි ප‍්‍රචන්ඩත්වය වෙත ඩයස් අවධානය යොමු කලේ ය. යුද්ධයේ තර්ජනයට මුහුන දිය හැක්කේ ඇමරිකානු කම්කරුවන් හා ලොව පුරා පීඩිත මහ ජනතාවන් ඇතුලු කම්කරු පන්තියේ ඒකාබද්ධ ජාත්‍යන්තර ව්‍යාපාරයකින් පමනක් බව ඔහු කීවේ ය.

"මෙම තතු යටතේ, එක්සත් ජනපද කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදින සසප, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ජාත්‍යන්තර ශාඛාවන් සමග සහයෝගීව ජෙරී වයිට්ගේ සංචාරය හරහා ලෝක සමාජවාදයේ වැඩපිලිවෙල සඳහා සටන ලෝක කම්කරු පන්තිය වෙත ගෙන යමින් සිටිනවා” යයි ඩයස් කීවේ ය.

වයිට් අමතනු ඇත්තා වූ රැස්වීම්වල දේශපාලන අර්ථභාරය වැඩිදුර විස්තාරනය කරමින් ඩයස් කියා සිටියේ, චීනයේ වැඩෙන දේශපාලන හා ආර්ථික බලපෑම වැලැක්වීමේ අරමුනින් එක්සත් ජනපදය ආසියාව වෙත සිදු කර ඇති ප‍්‍රකෝපකාරී හැරීම තුල ශ‍්‍රී ලංකාව සිරවී සිටින බවයි. චීනයෙන් දුරස්ථ වී එක්සත් ජනපදයේ පිලිවෙතට අනුකූලව කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මත පීඩනය යෙදීමෙන් ඔබ්බට එක්සත් ජනපදය ගමන් කරනු ඇතැයි ඔහු අනතුරු ඇඟවී ය.

"මෙම තත්ත්වය තුල එක්සත් ජනපද කම්කරු පන්තියේ සමාජවාදී නියෝජිතයෙක් දකුනු ආසියාව තුලට මැදිහත් වීම අතිශය තීරනාත්මක” යයි ඩයස් පැහැදිලි කලේ ය. "එය අධිරාජ්‍යවාදයේ ආක‍්‍රමනකාරී මූලෝපායට එරෙහි සමාජවාදී ජාත්‍යන්තරවාදී මූලෝපායක් සඳහා අපගේ ව්‍යාපාරය ගෙන යන අරගලයේ කොටසක්.”

1940 ගනන්වල හතරවන ජාත්‍යන්තරයේ ඉන්දියානු ශාඛාව වූ ඉන්දියානු බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) උප-මහාද්වීපය පුරා කම්කරු පන්තිය ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් මත බලමුලු ගැන්වීමට ගෙන ගිය සප‍්‍රතිපත්තික අරගලය ඩයස් සිහිපත් කලේ ය. සසප වනාහි, ලංකා සම සමාජ පක්ෂය (ලසසප) මෙම ප‍්‍රතිපත්ති පාවා දීමට එරෙහි අරගලය තුල 1968 දී ගොඩ නැංවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) පසුප‍්‍රාප්තිකයා බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඇමරිකානු සසප ජනාධිපති අපේක්ෂකයාගේ සංචාරය "එම ඓතිහාසික පාඩම් පුනර්ජීවන කිරීමට හා අධිරාජ්‍යවාදයේ යුද සැලසුම්වලට විරුද්ධව මේ රටේ ද දකුනු ආසියාවේ ද කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට” උපකාරී වනු ඇතැ’යි සසප ප‍්‍රධාන ලේකම් පැවසී ය.

පලාත් සභා තුනක සැප්තැම්බර් 8 දා පැවැත්වෙන මැතිවරන මත වයිට්ගේ සංචාරය බලපෑමක් ඇති කරනු ඇත්දැ’යි තිනක්කුරල් මාධ්‍යවේදිනිය විමසුවා ය. එය බලපෑමක් ඇති කරනු ඇති වුවත් "සසප වයිට්ගේ සංචාරය සංවිධානය කලේ මෙම මැතිවරනය එල්ල කරගෙන නෙවෙයි. ඉන් ඔබ්බට යන බැරෑරුම් දේශපාලන ඉදිරිදර්ශනයක් අපට සාකච්ඡා කිරීමට තිබෙනවා” යයි ඩයස් විස්තර කලේ ය.

Share this article: