ඊජිප්තු ව්‍යවස්ථාව පිලිබඳ ජනමත විචාරනය අඩු සහභාගිත්වය හා වංචා ගැන චෝදනාවන්ගෙන් සලකුනු කෙරේ

Egyptian constitutional referendum marked by low turnout, allegations of fraud

By Johannes Stern, 17 December 2012

ඊජිප්තු ඉස්ලාම්වාදීන්ගේ හා හමුදාවේ අනුබලය ලත් නව ව්‍යවස්ථාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ පලමු වටය 15දා ඊජිප්තුවේ විශාල ම නගර වන කයිරෝ අගනුවර හා වෙරලාසන්න ඇලෙක්සැන්ඩ්‍රියාව ඇතුලු එරට පාලන ප්‍රදේශ 27න් 10ක පැවත්වුනි. අනෙකුත් බල ප්‍රදේශයන්හි ඡන්දය දෙසැම්බර් 22 දින පැවැත්වීමට නියමිතය.

ඊජිප්තුවේ නව ඉස්ලාමීය ජනාධිපති මොහමඩ් මෝසි හා පාලක ඉස්ලාමීය සහෝදරත්වයට එරෙහි ව සති තුනක මහජන විරෝධයට පසු පැවත්වෙන ජනමත විචාරනය ඡන්දදායකයන්ගේ අඩු සහභාගිත්වය, ප්‍රෝඩාව, ප්‍රචන්ඩත්වය හා චෝදනාවලින් සලකුනු වුනි.

ජනමත විචාරනය පැවත්වුන කොන්දේසි ප්‍රජාතන්ත්‍රවාදය සම්ච්චලයකට ලක් කර යි. ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමට 300,000කට වඩා හමුදා හා පොලිස් භටයින් යෙදවූ බව වාර්තා විය.

සතියකට පෙර "වැදගත් රාජ්‍ය ආයතන” ආරක්ෂා කිරීමට හා ජනමත විචාරනය අතරතුර දී "රජයේ නීතිය පවත්වාගෙන යාම හා ඡන්දය දෙන ස්ථාන ආරක්ෂා කිරීම සඳහා” පොලීසියට උදව් කරන ලෙස නියෝග කරමින් මෝසි හමුදාවට ජනාධිපති ආඥාවක් නිකුත් කලේ ය. මෙම නීතිය අනිවාර්යයෙන් ම හදිසි නීතිය නැවත හඳුන්වාදෙන අතර ඊජිප්තුව තුල හමුදා ආඥාදායකත්වයේ නිල ප්‍රකාශනය දෙසට තබන පලමු පියවර සනිටුහන් කර යි. ජනමත විචාරනය අතරතුර දී මහජනයා අත්අඩංගුවට ගැනීමට හා නඩු දැමීමට ඉඩ සලසන "නීති නිලධාරීන් සතු සියලු ම බලතල” එමගින් හමුදාවට ලබාදී ඇත.

ඡන්දය දීමෙන් වැලකී සිටීම ප්‍රදර්ශනය කරන්නේ ඊජිප්තු ධනේශ්වරයේ ප්‍රතිගාමී සැලැසුම් පිලිබඳ ව කම්කරු පන්තියේ තීරනය යි. ඊජිප්තු දේශපාලන සංස්ථාපිතය හා කම්කරු පන්තිය වෙන් කරන අගාධය පලල්වීම පෙන්නුම් කරමින් සුදුසුකම් ඇති මිලියන 25කින් ඡන්දය පාවිච්චි කර ඇත්තේ සියයට 33ක් පමනී.

ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීම නාගරික මධ්‍යස්ථාන තුල හා කම්කරුවන් අතර විශේෂයෙන් ම ඉහල මට්ටමක පැවතුනි. ඊජිප්තු රාජ්‍ය රූපවාහිනියට අනුව කයිරෝවේ හා ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිලිවෙලින් සියයට 68ක් හා 72ක් "නැතැ” යි ඡන්දය දී ඇත.

කයිරෝ නගර මධ්‍යයේ ඡන්ද මධ්‍යස්ථානයක දී 63 හැවිරිදි ආබ්දීන් මෙසේ පැවසී ය, "ව්‍යවස්ථාව රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන්නෙ නැතුවා මෙන් ම අපගේ දරු මුනුපුරන්ටත් හොඳ නෑ. විප්ලවයෙන් පස්සේ ආහාර මිල ගනන් ඉහල ගිහින්. සහෝදරත්වයේ ව්‍යාපෘතිය අසාර්ථක වෙලා. මෝසි මුබාරක්ට වඩා නරකිනුත් නරක යි. ”

ඡන්දදායකයන් ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කල අනෙකුත් පලාත් අතර ඊජිප්තුවේ රෙදිපිලි කර්මන්තයේ වැඩි කොටසක් පිහිටි නයිල් ඩෙල්ටාවේ ගාර්බියා හා ඩකාලියා පාලන ප්‍රදේශ අයත් විය.

ජනමත විචාරනයත් සමග ඊජිප්තු පාලක පන්තිය බලාපොරොත්තු වන්නේ, 2011 පෙබරවාරියේ මහජන විප්ලවවාදී අරගල අතරතුර හිටපු ඒකාධිපති හොස්නි මුබාරක් පලවා හැරියාට පසුව, බලාධිකාරී පාලනය නැවත ව්‍යවස්ථාගත කිරීමට ය. ඊජිප්තු හමුදාවේ අඛන්ඩ ඒකාධිපතිත්වය සඳහා වඩා දක්ෂිනාංශික හා මුලුමනින් ම ඉස්ලාමීය පදනමක් සැපයීම සහ කම්කරු පන්තිය මත උග්‍ර මර්දනයක් ක්‍රියාවට නැඟීම සඳහා ව්‍යවස්ථාව නීතිමය මූනිස්සන් සපය යි.

"ඉස්ලාමීය නීතියේ (ෂාරියා නීතිය) මූලධර්ම ව්‍යවස්ථාවේ ප්‍රධාන උල්පත” යයි පවසන පැරනි ව්‍යවස්ථාවේ 2වැනි ඡේදය ඉතුරු කිරීම මගින් මෝසි හා සහෝදරත්වය තව දුරටත් ආන්ඩුව ඉස්ලාමීය කරනය සදහා දොර විවෘතව තබති.

ව්‍යවස්ථාවේ ඉතාමත් වැදගත් අංගය වනුයේ ඩොලර් බිලියන 1.3ක වොෂින්ටනයේ වාර්ෂික ආධාර හරහා බොහෝකොටම මුදල් සැපයෙන ඊජිප්තු හමුදාවේ වරප්‍රසාද හා බලය එමගින් මුදුන්පමුනුවා තිබීම යි.

ව්‍යවස්ථාවේ 197වැනි ඡේදය මගින් ජනාධිපති ප්‍රධානත්වය දරන හා වැදගත් ඇමතියන්, ඔත්තුසේවා ප්‍රධානින්, සන්නද්ධ හමුදාවන්ගේ මාන්ඩලික ප්‍රධානින් හා ප්‍රධාන හමුදා ආඥාපතීන් ඇතුලත් ජාතික ආරක්ෂක කවුන්සිලයක් (එන්ඩීසී) අනුමතකර යි. එය "රටේ ප්‍රවේශම හා ආරක්ෂාව සහතික කිරීමේ ක්‍රමවේදයන්ට සහ සන්නද්ධ හමුදාවන්ගේ අයවැයට අදාල කාරනයන් සඳහා වගකිව යුතු ය.”

මේ ආකාරයෙන් එන්ඩීසීය පාර්ලිමේන්තුව විසින් පාලනය නොකෙරෙන අතර සාරභූතව ම සීමාරහිත බලතල සහිතව ආන්ඩුව තුල ආන්ඩුවක් ලෙස ක්‍රියා කරන්නේ ය.

197වැනි ඡේදය අනුව හමුදාවට සම්බන්ධවන අනාගත නීති, තවදුරටත් නම් නොකල බලතල ප්‍රධානය කිරීමට ඉඩ ඇති එන්ඩීසීයේ අනුමැතිය ලබා ගත යුතු ය. ආරක්ෂක ඇමති හමුදා නිලධාරියෙකු විය යුතු අතර ඔහු සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කල යුතු යයි ව්‍යවස්ථාව තවදුරටත් පවස යි. 198 වැනි ඡේදය "සන්නද්ධ හම්‍රදාවන්ට හානි පමුනුවන අපරාධ සඳහා” මහජනයාට එරෙහිව හමුදා නඩුවිභාගවලට ඉඩකඩ සලස යි.

තම කම්කරු විරෝධී හා අධිරාජ්‍යවාදී ගැති ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැක්කේ ම්ලේච්ඡ ආඥාදායකත්වයකින් පමනක් බව ඊජිප්තු ධනේශ්වරය හා එහි වොෂින්ටනයේ අනුග්‍රහයකයෝ හොඳින් දනිති. මෑත සති තුල දී, මෝසිගේ තන්ත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හා ලෝක බැංකුවෙන් නය ලබා ගැනීමට සමත් ව ඇත. ඊජිප්තු ආර්ථිකය තවදුරටත් පෞද්ගලීකරනයට සහ දිලිඳු ඊජිප්තු ජනතාව යැපෙන ඉන්ධන හා පාන් සහානාධාර කැපීමට එය සූදානම් වෙමින් සිටී. මෝසි සිරියාවට හා ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද තල්ලුවට ද සහාය දෙයි.

ගාසාවට එරෙහි ඊස්රායල් කඩාවැදීම පිලිබඳව මෝසිගේ නොතැකීම හා ඒකාධිපති බලතල ප්‍රකාශ කරන නොවැම්බර් 22 ආඥාවන්ට එරෙහිව අලුත් වූ මහජන විරෝධය මර්දනය කිරීමට පසුගිය සති කීපයේ දී මුස්ලිම් සහෝදරත්වයේ ඉස්ලාමීය කාර්යධරයින්, හමුදාව, හා පොලීසිය හවුල්වූහ. කයිරෝවේ තරීර් චතුරශ්‍රය හා ජනාධිපති මාලිගය අවට සහ අනෙකුත් ප්‍රධාන නගරවල දරුනු ගැටුම් වලදී අඩු වශයෙන් 10දෙනෙකු ඝාතනය කෙරුනි, සිය ගනනක් අත්අඩංගුවට ගැනුනු අතර දහසකට වඩා තුවාල ලදහ.

ව්‍යවස්ථාව පිලිබඳ ජනමත විචාරනයේ පලමු වටයේ ප්‍රතිඵල අනුව ඊජිප්තුවේ දේශපාලන පක්ෂ දෙදරා ගියේය. මුස්ලිම් සහෝදරත්වයේ දේශපාලන හස්තය වන මෝසිගේ නිදහස හා සාධාරනත්වයේ පක්ෂය (එෆ්ජේපී) ඊයේ ඔවුන්ගේ වෙබ් අඩවිය තුල ප්‍රකාශ කලේ ඡන්දවලින් සියයට 56.5ක් ව්‍යවස්ථා කෙටුම්පතට පක්ෂ බවත් සියයට 43.5 විරුද්ධ බවත් ය.

ජාතික ගැලවීමේ පෙ‍රමුනෙහි (ජාගැපෙ) වඩාත් අනාගමික නැඹුරුවක් සහිත විපක්ෂය කියා සිටියේ පලමු වටයේදී ඊජිප්තු වැසියන්ගෙන් සියයට 66 ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිව ඡන්දය දී ඇති බවයි. ජාගැපෙ වනාහි හිටපු එක්සත් ජාතීන්ගේ නිලධරයෙකු වන මොහමඩ් එල් බරාඩෙයි, හිටපු නසාර්වාදී ජනාධිපති අපේක්ෂක හැම්ඩේන් සබාහි හා හිටපු මුබාරක් තන්ත්‍රයේ නිලධරයෙකු වන අමීර් මවුසා විසින් නායකත්වය දෙනු ලබන, විවිධ ලිබරලුන්, නසාර්වාදීන් හා ව්‍යාජ වාම පක්ෂ වලින් සැදුම්ලත් සන්ධානයකි.

ඡන්දයට සහභාගී වූ පාලන ප්‍රදේශ පුරා මැතිවර නීති කඩකිරීම් 750ක් වාර්තාවී ඇති බව පවසමින් එන්එස්එෆ් “කිසිදා නොවූ විරූ වංචාවන්” සම්බන්ධයෙන් ආන්ඩුවට චෝදනා කලේ ය.

මානව හිමිකම් කන්ඩායම් නැවත ඡන්දය පවත්වන ලෙස ඉල්ලා සිටියහ. මානව හිමිකම් අධ්‍යයනය පිලිබඳ කයිරෝ ආයතනයේ නායක බාහි එල්-ඩින් 16දා පැවැත්වූ මාධ්‍ය සමුලුවක දී ප්‍රකාශ කලේ, "විප්ලවය තිබියදී වුවත් අපට ලැබුනේ මුබාරක්ගේ කාලයේ පැවත් වූ ආකාරයේ ජනමත විමසුමක්” බවය.

නිල විරුද්ධ පක්ෂය ව්‍යවස්ථාව පිලිබඳ එහි විවේචන තිබියදීම එය සම්මත කර ගැනීම සඳහා ඉස්ලාම්වාදීන් හා හමුදාව දරන උත්සාහය තුල ගැඹුරින් පැටලී ඇත. මෙම ව්‍යාජ මෙහෙයුම සඳහා සම්මාදම් වන ලෙස කම්කරුවන්ට හා තරුනයන්ට පවසමින් එන්එස්එෆ් හා විප්ලවවාදී සමාජවාදීන් වැනි ව්‍යාජ වාම කන්ඩායම් ජනමත විචාරනයට නීත්‍යානුකූල බවක් දීමට උත්සාහ කරති.

ලිබරල් වේවා සුලු ධනේශ්වර "වම”වේවා ධනේශ්වර විපක්ෂයේ සියලු ම පක්ෂ ඔවුන් සමග පන්ති අවශ්‍යතාවන් බෙදාහදා ගන්නා ඊජිප්තු පාලක ප්‍රභූවේ ඉස්ලාමීය කන්ඩායම්වලට වඩා කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයකට බියවෙති.

එන්එස්එෆ් නායක හා ආරම්භකායා වන අමර් මූසා නව කයිරෝවේ ඡන්ද පොලක දී මුස්ලිම් සහෝදරත්වයේ හිටපු අග්‍ර නායකයා වන මාදි අකෙෆ් මුනගැසීම කැපී පෙනෙන අවස්ථාවකි. ඔවුන් අතට අත දී ඡායාරූපයකට පෙනී සිටි අතර එය ඊජිප්තු දිනපතා අල්-ආහ්රම් පත්‍රයේ අරාබි වෙබ් අඩවියෙහි පලකෙරුනි.

ඊට සුලු මොහොතකට පසු කුපිත වූ ඡන්දදායිකාවන් පිරිසක් ප්‍රකෝටිපති ධනකුවේරයෙකු වන කයිරාට් අල්-ෂාටර් පලවා හැරියහ.

Share this article: