හොස්ටස් සමාගමේ බංකොලොත්කම: ඇමරිකානු ධනවාදයේ ම්ලේච්ඡ පෙනුම

Hostess bankruptcy: The brutal face of American capitalism

21 November 2012

එක්සත් ජනපදයේ හොස්ටස් බ‍්‍රෑන්ඩ් සමාගම එහි බේකරි නිෂ්පාදන ව්‍යාපාරය ඈවර කිරීමට හා කම්කරුවන් 18,500ගේ රැකියා හා විශ‍්‍රාම වැටුප් අතු ගා දැමීමට බංකොලොත්කම පිලිබඳ උසාවියෙන් අවසර ඉල්ලා ඇත. අවුරුදු 82ක් පැරනි සුප‍්‍රසිද්ධ වොන්ඩර් බ්‍රෙඩ් හා ට්වින්කීස් නිෂ්පාදක සමාගම බේකරි 33ක්, බෙදාහැරීම් මධ්‍යස්ථාන 565ක්, දලවශයෙන් බෙදාහැරීම් මාර්ග 5,500ක් හා එක්සත් ජනපදය පුරා බේකරි නිෂ්පාදන බෙදාහැරීම් ගබඩා 570ක් වසා දැමීමට සැලැසුම් ඉදිරිපත් කලේ ය.

සමාගමේ විධායකයන් ඒ සඳහා දොස් පැවරුවේ සමාගමේ විශාල ම වෘත්තීය සමිතිවලින් එකක් වන බේකරි, රසකැවිලි හා දුම්කොල කම්කරුවන්ගේ හා ධාන්‍ය අඹරන්නන්ගේ වෘත්තීය සමිතියේ සාමාජිකයන් 5,600කගේ සතියක් දිග වැඩවර්ජනයට ය. දරුනු වැටුප් කප්පාදු හා තවදුරටත් වැඩබිම් වසාදැමීම ― නැත්නම් ඈවර කිරීම පිලිගැනීමට කලමනාකරනය නොවැම්බර් 15දා දක්වා වැඩ වර්ජකයින්ට කල් දුන්හ.

නමුත් දශකයක් තුල ඔවුන්ගේ දෙවැනි සමාගම් බංකොලොත්වීමට මුහුන දී සිටින කම්කරුවෝ ඇති හෙඳට ම ඇති යි කීහ. 2004 බංකොලොත්කම හරහා සමාගමේ පලමු වැටීමෙන් පසු ප‍්‍රවීන කම්කරුවෙක් ඔහුගේ වැටුප ඩොලර් 48,000 සිට ඩොලර් 34,000 දක්වා අඩුකිරීම නැත්නම් පැයකට ඩොලර් 16.12ක වැටුප් කප්පාදුවක් අත්දුටුවේ ය.

සෞඛ්‍ය රක්ෂනය සඳහා වියදම් සැලකිය යුතු ලෙස කපා දැමීම සමග අලුත් ම කොන්ත‍්‍රාත්තු ඉල්ලීම් යටතේ වැටුප් ඩොලර් 25,000 දක්වා පමන කපා දමනු ඇත.මෙය බොහෝ කම්කරුවන් විරැකියා දීමනා යටතේ ලැබීමට ඉඩ ඇතිවාට වඩා අඩු දරිද්‍රතා මට්ටමේ වැටුපකි.

කම්කරුවන් මෙම තර්ජනය ප‍්‍රතික්ෂේප කල විට, එහි ගේට්ටු වසමින්, විශාල දොට්ට දැමීම් නිවේදනය කරමින් හා විශ‍්‍රාම සැලැස්ම අත්හිටවමින් සමාගම කුරිරු ලෙස ප‍්‍රතිචාර දැක් වී ය. වැඩවර්ජන කිරීම ගැන කම්කරුවන් හෙලා දකිමින් හා ආර්ථික යතාර්ථය පිලිගැනීමට වඩා ඔවුන් සාමූහික සිය දිවි නසාගැනීම තෝරා ගෙන ඇතැ යි අඟවමින් මාධ්‍යය මුලුමනින් ම කලාමනාකාරිත්වයේ පැත්ත ගත්තේ ය.

ඉරිදා, ෆෙඩරල් බංකොලොත්කම පිලිබඳ විනිසුරුවා සමාගම සමග සමතයකට ඒමේ සාකච්ඡා සඳහා බේකරි වෘත්තීය සමිතියට නියෝග කරමින් ඈවර කිරීම තාවකාලිකව අත්හිටවි ය. තව ද උසාවිය වෘත්තීය සමිති ගිවිසුම් අත්හිටවීමට එකඟ වූ අතර කලමනාකරනයේ වැටුප් හා ප‍්‍රතිලාභ සහන අතුගා දැමීමේ "අවසාන පොරොන්දුව” අනුමත කලේ ය. අඟහරුවාදා වන විට සාකච්ඡා කිරීමේ උත්සාහයන් අසාර්ථක වී ඇති බව හා ඈවර කිරීමේ පියවර අද ආරම්භවනු ඇති බව හොස්ටස් පැවසී ය.

සමාගම තුල එහි කම්කරුවන් 6,700කගේ පුලුල් විරෝධය මත සැප්තැම්බරයේ දී කලමනාකරනයේ ඉල්ලීම් සාමාජිකත්වය මත පැටවූ ද හොස්ටස්හි විශාල ම වෘත්තීය සමිතිය වූ ද ටීම්ටස් සමිතිය අනුගමනය කරන ලෙස බේකරි වෘත්තීය සමිතියට පීඩනය යෙදීම උසාවි තීන්දුවේ එල්ලය විය. හිලව් වශයෙන්, අධ්‍යක්ෂ මන්ඩලයේ අසුනක්, සමාගමේ කොටස්වලින් සියයට 25ක්, බංකොලොත්කම තුල ඩොලර් මිලියන 100ක දීමනාවක් ටීම්ටස් ලැබී ය.

හොස්ටස් කම්කරුවන් අද මුහුන දෙන්නේ පසුගිය දශක තුන මුලුල්ලේ ගිනිය නොහැති තරම් ඇමරිකානු කම්කරුවන්ගේ පොදු අත්දැකීමට ය. වෘත්තීය සමිතිවල සහාය ඇතිව සමාගම් වටයකින් පසු තව වටයක් බැගින් කප්පාදු පටවා ඇති අතර හැම එකක් ම ඊට පෙර එකට වඩා දුෂ්කර ය.

සැබවින් ම සංගත ආර්ථිකයේ සෑම අංශයක් තුල ම, එනම් මෝටර් රථ, පතල් කැනීම, වානේ, මස් ඇසුරුම්, ගුවන් සේවා, සිල්ලර වෙලඳාම හා ප‍්‍රවාහන අංශ කම්කරුවන්ගේ වැටුප්, ප‍්‍රතිලාභ හා සේවා තත්වයන් විනාශ කිරීමට බංකොලොත්කම පිලිබඳ උසාවි යොදා ගෙන ඇත.

පෞද්ගලික කොටස් සමාගම් හා රැකවරන අරමුදල්වල මූල්‍ය මෝරුන් කඩාවැටෙන සමාගම් "බේරා” ගැනීමට අත්පත් කර ගැනීම් සංවිධානය කර ඇති අතර, ඒ ඒවා නයවලින් තෙරපීමට, විශ‍්‍රාම හා සෞඛ්‍ය ප‍්‍රතිලාභ කොල්ලකෑමට හා ඒවායේ සම්පත් කැබලි කිරීමට හා මිලියන ගනන් ලාභ සමගින් ව්‍යාපාරයෙන් පිටමං වීමට පමනි.

කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්වයන් හාම්පුතුන්ට පුදකිරීම මගින් වෘත්තීය සමිති විධායකයන්ට ලොකු වැටුප් හා වරප‍්‍රසාද ආරක්ෂා කර ගැනීමට සමිති උත්සාහ කර ඇත. අන්තිමේ දී, වන්දි ගෙවීම් වශයෙන්, වෘත්තීය සමිති විසින් පොරොන්දු වුන "රැකියා රැකීමෙන්” දුරස්තව වැඩකරන ජනතාව හා සම්පූර්න නගර විනාශ කරමින් වඩ වඩා දොට්ට දැමීමට හා වැඩබිම් වැසීමට පහසුකම් සපයති.

මෙම අවස්ථාවේ දී හොස්ටස් කම්කරුවන් එසේ කිරීමට ඉඩ දෙන්නේ "නැත” යි පවසා ඇත. ඔවුන් කතා කරන්නේ හුදෙක් ඔවුන් වෙනුවෙන් නොවේ. ඔවුහු සමස්ථයක් වශයෙන් කම්කරු පන්තිය තුල වැඩෙන විරෝධයේ මනෝගතියට හඬක් සපයති.

ස්ථීර ආර්ථික අනාරක්ෂිත තත්වයන් යටතේ, එනම් ජනාධිපති ඔබාමාගේ උපකල්පිත ආර්ථික සුවපත්වීමේ "නව සාමාන්‍ය” යටතේ ජීවත්වීම අපහසු බව මිලියන සංඛ්‍යාවක් හඟිති. මේ අතර, සංගත ලාභ, කොටස් වෙලඳපොල හා විධායක පාරිතෝෂික ඉහල යන අතර පොහොසතුන් හා දුප්පතුන් අතර පරතරය කවරදාවත් නැති ලෙස පුලුල් ව වැඩේ.

මෙම තත්වයන් හෙලිදරව් කොට ඇත්තේ ධනේශ්වර පද්ධතියේ රාමුව හා ඩෙමොක‍්‍රටික් පක්ෂයට කම්කරු පන්තිය දේශපාලනිකව යටපත් කිරීම සම්පූර්නයෙන් ම පිලිගන්නා නිල වෘත්තීය සමිතිවල බංකොලොත්කම යි. හොස්ටස් කම්කරුවන් මත ඔබාමා පාලනයේ ප‍්‍රහාරයෙන් ඈත්වනු පිනිස ඒඑෆ්එල්-සීඅයි ඕ සභාපති රිචඩ් ට්රුම්කා "බේන් මෝස්තරයේ වෝල් වීදි ගිජුලිහිනියන් ඇමරිකාව දුප්පත් කරමින් ඔවුන් ම පොහොසත් වන්නේ” කෙසේ ද යන්න පිලිබඳ උදාහරනයක් ලෙස එය හෙලාදුටුවේ ය. බේන් යනු රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂක මිට් රොම්නි වසර ගනාවක් තිස්සේ මෙහෙයවූ පෞද්ගලික කොටස් සමාගමකි.

හොස්ටස් කොල්ලකෑම තුල පැටලූනු පෞද්ගලික කොටස් සමාගම් හා රැකවරන අරමුදල්වලට රිපබ්ලිකානුවන්ට වඩා ඩෙමොක‍්‍රටික් පක්ෂයට බොහෝ කිට්ටු සම්බන්ධකම් ඇත. සමාගම නයවලින් පිර වූ, විශ‍්‍රාම ගෙවීම් නතර කල හා බෙලහීන කරන වැටුප් සහිත පෞද්ගලික කොටස් සමාගමක් වන රිපල්වුඩ් හෝල්ඩින්ග් සභාපති ටොම් කොලින්ස් හිටපු නියෝජිත මන්ත‍්‍රී මන්ඩල බහුතර නායක ඩික් ගෙපාර්ට් සමග හා ඔහු හරහා ටීම්ටස් සමග සම්බන්ධකම් ඇති ප‍්‍රමුඛ ඩෙමොක‍්‍රටිකයෙකි.

හොස්ටස් මත අවසාන පේනුව (ප්ලග් එක) ගැල වූ රැකවරන අරමුදල්වලින් එකක්, එනම් මෑන්හැටන්හි පාදක මොනාච් ඕල්ටනේටිව් කැපිටල් යනු ක්වෝඩ‍්‍රන්ගල් ගෘප් නම් පෞද්ගලික කොටස් සමාගමේ අතුරු ඵලයක් වන අතර ක්වෝඩ‍්‍රන්ගල් ගෘප්හි සමාරම්භකයා වූයේ ජෙනරල් මෝටර්ස් හා ක‍්‍රයිස්ලර් මත පැට වූ බංකොලොත්කම සහ එය ප‍්‍රතිව්‍යුහකරනය භාරව ඔබාමා විසින් පත්කරන ලද වත්කම් පැහරගන්නෙකු වන කෝටිපති ස්ටීවන් රැට්න ය. එම හැකියාව තුල රැට්නර් දසදහස් ගනනක් රැකියා අතු ගා දැමීම, සෞඛ්‍ය හා විශ‍්‍රාම ප‍්‍රතිලාභ කප්පාදුව හා අලුතින් බඳවාගන්නන් සඳහා වැටුප් හරි අඩකින් කැපීම අධීක්ෂනය කලේ ය.

මහා ව්‍යාපාරයන්ගේ පක්ෂ දෙක විසින් සහාය දෙනු ලබන ඇමරිකානු ධනවාදයේ ම්ලේච්ඡ පෙනුම මෙය යි. ලාභ පද්ධතියේ අසාර්ථකත්වය සඳහා කම්කරු පන්තිය එහි වන්දිය ගෙවන්නන් බවට පත්කිරීමට හා මූල්‍ය කතිපයාධිකාරයේ මේ වන විටත් අශිෂ්ට ධන සම්පත් වැඩිකිරීමට වන තල්ලුව තුල ආන්ඩුව, සංගත, සංගත පාලිත මාධ්‍ය හා වෘත්තීය සමිති ඒකාබද්ධව සිටිති.

බොහෝ අයගේ වියදමින් ටික දෙනෙකු පොහොසත් කිරීමට බිය ගැන්වීම් හා ආර්ථික ප‍්‍රචන්ඩත්වය යොදා ගන්නා පද්ධතියකට කම්කරු පන්තියට ඇත්තේ එක උත්තරයක් පමනි, එනම් අතිමූලිකව සමාජය ප‍්‍රතිසංවිධානය කිරීමේ විප්ලවවාදී අරගලයකි. කම්කරු පන්තියේ සමාජ අයිතීන්, එනම් ධනවත් වැටුප් සහිත රැකියා හා ඒවා රැකගැනීමට, ගෞරවාන්විත විශ‍්‍රාම සුවයක් සහ නිවාස, අධ්‍යාපන හා සෞඛ්‍ය ආරක්ෂාව සහතික කර ගැනීමට බැංකුවල හා පෞද්ගලික කොටස් සමාගම්වල ඒකාධිපතිත්වය බිඳදැමීමට අවශ්‍ය ය.

මහජන අයිතිය යටතේ බැංකු හා මූල්‍ය කර්මාන්ත ජනසතු කිරීම හා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය හරහා දැවන්ත මූල්‍ය සම්පත් කොල්ලකෑම හා කර්මාන්ත කොටස් කිරීම නැවත් විය යුතු ය. සංගත විධායකයන්, මූල්‍යකරුවන් හා වෘත්තීය සමිති නිලධාරීන් අතර යාන්ත‍්‍රනය හෙලිදරව් කිරීම හා සමාගම් ජනසතු කිරීමට පදනම දැමීම සඳහා හොස්ටස් සමාගමේ මුදල් පොත් ප‍්‍රසිද්ධියට පත් කල යුතු ය. රැකියා, නිවාස, වැටුප් හා විශ‍්‍රාම වැටුප් අහිමි වූවන් යථා තත්වයට පත් කිරීම සඳහා ඩොලර් ටි‍්‍රලියන ගනනක අරමුදලක් පිහිටුවීමට මූල්‍ය අපරාධකරුවන්ගේ වංචාවෙන් උපයන ලද ආදායම් පවරා ගත යුතු ය.

හොස්ටස් බංකොලොත්කම ප‍්‍රදර්ශනය කරන්නේ කම්කරු පන්තිය තුල නව, සමාජවාදී ඉදිරිදර්ශනයක හා නායකත්වයක අවශ්‍යතාව යි. හොස්ටස්හි සටන ඔබාමා පාලනය හා එය ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට එරෙහිව දිගහැරෙනු ඇති දැවන්ත සමාජ අරගලයන්ගේ ආරම්භය පමනි. මෙම අරගලයන්ට සූදානම්වීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයට බැඳී හා එය ගොඩනගන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලමු.

Share this article: