වොෂින්ටනය සිරියාව තුල ත‍්‍රස්තවාදීන් සොයා ගනියි

Washington discovers terrorists in Syria

12 December 2012

එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව බෂාර් අල් අසාද් ගේ පාලන තන්ත‍්‍රය පෙරලා දැමීම සඳහා සටන් වදින ප‍්‍රධාන සන්නද්ධ කල්ලිවලින් එකක් "විදේශීය ත‍්‍රස්තවාදී සංවිධානයක්” ලෙස අඟහරුවාදා නිලවශයෙන් නම් කලේ ය.

ජභාත් අල් නුස්රා හෙවත් අල් නුස්රා පෙරමුන නමින් හඳුන්වන කන්ඩායම සිරියාව තුල සිදුවන ලේවැකි අරගලයේ දී වඩාත් බලගතු සටන් සංවිධානය ලෙස ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. මෑත දී එය අවම වසයෙන් සිරියානු මිලිටරි කඳවුරු තුනක් අත්පත් කර ගනිමින් රටේ නැගෙනහිර කොටසේ දේශසීමාවේ පාලනය අල්ලා ගත්තේය.

අල් නුස්රා විසින් සිරියාවේ ප‍්‍රධාන නගරවල සිදු කරන ලද 600 ආසන්න ප‍්‍රහාර මගින් "බොහොමයක් අහිංසක සිරියානුවන් මරනු ලැබ හා තුවාල කරනු ලැබ ඇතැයි” චෝදනා කරමින් නම සදහන් නොකල රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් තෝරා ගත් මාධ්‍ය සාමාජිකයන් සමග අඟහරුවාදා පැවති ටෙලි සම්මංත‍්‍රනයක දී, එම නම් කිරීම සාධාරනීකරනය කලේ ය.

"ඇත්ත වසයෙන් ම, ඉරාකයේ දී අල්කයිඩාව කල ආකාරයට තම දුෂ්ට උවමනාවන් වෙනුවෙන් සිරියානු මහජනතාවගේ අරගලය කොල්ලකෑමට උත්සාහ කරන ගමන් එය සිරියානු විරුද්ධ පක්ෂයේ කොටසක් ලෙස තමන්ව මවා පෑමට අල් නුස්රා උත්සාහ කර තිබේ”යයි කලින් නිකුත් කල ප‍්‍රකාශයක දී රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා වික්ටෝරියා නුලාන්ඩ් සඳහන් කලා ය.

කොල්ලකෑම පිලිබඳ කාරනයේ දී, එහි අතීත ගුරු වොෂින්ටනය යි. වසර දෙකකට පෙර සිරියාව තුල විරෝධතා ඇරඹුන විට, එය ජනතා අතෘප්තිය කොල්ල කෑ අතර පාලන තන්ත‍්‍රය වෙනස් කර රූකඩ ආන්ඩුවක් ඇටවීමේ උත්සාහය තුල දී කට්ටිවාදී සිවිල් යුද්ධයක් උසිගැන් වී ය. මෙය භූ-මුලෝපායාත්මකව වැදගත් වූ ද තෙල් සම්පත් බහුල වූ ද පර්සියානු ගල්ෆ් හා මධ්‍යම ආසියානු ප‍්‍රදේශ තුල එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ පුලුල් මූලෝපායක කොටසකි. නව යටත් විජිත පාලනයක් තහවුරු කිරීමට පවතින ප‍්‍රධාන බාධකයක් ලෙස වොෂින්ටනය විසින් හඳුනා ගෙන ඇති ඉරානය සමග පවතින සමීප සබඳතා නිසා අධිරාජ්‍යවාදයේ මෙම පුලුල් ව්‍යාපාරයේ දී සිරියාව කේන්ද්‍රීය ස්ථානයකි.

අල් නුස්රා ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමේ නිල වැදගත්කම් වන්නේ එයට සහයෝගය දෙන කවර හෝ එක්සත් ජනපද පුරවැසියෙකු අපරාධ නඩු විභායකට යටත් කිරීමට නියමිත වීමයි. එවැනි කි‍්‍රයාකාරකම්වල යෙදෙන එකම ඇමරිකානුවන් වන්නේ එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවයේ (සීඅයිඒ) රහසිගත මෙහෙයුම්වල නිරතවන්නන් නිසා එවැනි චෝදනා ගෙන ඒම බෙහෙවින් ම නො විය හැකි දෙයකි.

බොහෝ එක්සත් ජනපද හා යුරෝපීය මාධ්‍ය වාර්තාවලට අනුව සිරියානු පාලන තන්ත‍්‍රයට අභියෝග කරන මැනවින් සන්නද්ධ හා අවශ්‍ය උපකරන සහිත කන්ඩායම් වන්නේ අල් නුස්රා හා ඒ හා සමාන සුන්නි ජිහාඩ්වාදී කන්ඩායම් ය. වාර්තාවන ආකාරයට කලාපය තුල වොෂින්ටනයේ සමීපතම සගයන් වන කටාර් සහ සෞදි අරාබියෙන් විසාල වසයෙන් ආයුධ හා සෙසු සැපයුම් ලැබෙන අතර මෙම ආයුධ හා සෙසු ද්‍රව්‍ය කැරලිකරුවන්ට බෙදීම සම්බන්ධීකරනය කිරීමේ අරමුන ඇතිව සීඅයිඒ සංවිධානය මෙම වසර මුල දී උතුරු තුර්කියේ අනදෙන හා පාලන මධ්‍යස්ථානයක් පිහිටු වී ය.

පසුගිය වසරේ මුඅම්මර් ගඩාෆි ගේ පාලන තන්ත‍්‍රය පෙරලා දැමීමේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයෙන් පසුව සෙසු ආයුධ හා සටන් කරුවන් රට තුලට ගලා ආවේය. සිරියාවේ දී මෙන් ම එහි දී ද සටනට මූලිකව කර ගැසුවේ අල් කයිඩාවට සම්බන්ධ ලිබියානු ඉස්ලාම්වාදී සටන් කන්ඩායම් වලින් මතු වූ ජිහාඩ්වාදී සටන් කන්ඩායම් විසිනි.

ඇමරිකානු තානාපති හා තවත් තිදෙනෙකුගේ ජීවිත බිලි ගත් එක්සත් ජනපද නිලධාරීන් හා ලිබියාවේ මෙම ඉස්ලාම්වාදී සටන් කරුවන් කොටසක් අතර ඇති වූ ගැටුමට ස්තුති වන්නට සීඅයිඒ සංවිධානය බෙන්ගාසියේ නැගෙනහිර වරාය ආශ‍්‍රිත නගරයේ සෑහෙන්න විසාල රහසිගත මධ්‍යස්ථානයක් පිහිටුවා තිබුන බව දැන් හොඳින් එලිදරව් වී තිබේ. නිසැකව ම මෙම මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරීත්වයක් වන්නට ඇත්තේ සිරියාව තුලට ආයුධ හා සටන්කරුවන් යැවීම සම්බන්ධීකරන කිරීම ය.

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කන්ඩායම් ප‍්‍රහාරයට තමන් ගොදුරු වී ඇති බවට සිරියානු ආන්ඩුවේ චෝදනා "නොමග යැවීමක්” ලෙස ප‍්‍රතික්ෂේප කරමින් එක්සත් ජනපදය අල් කයිඩා කන්ඩායම්වලට උපකාර කිරීමේ හා ඒවා සන්නද්ධ කිරීමේ කටයුත්තෙහි ඍජුවම යෙදී ගෙන සිටී. රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අල් නුස්රා සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම දරුනු ස්වයං-දෝශාභියෝගයක් ලෙස නැගී සිටියි. එහිම පිලි ගැනීම හේතුකොට ගෙන ත‍්‍රස්තවාදයේ වඩාත් ම රාජ්‍ය අනුග‍්‍රාහකයා ලෙස වොෂින්ටනය යලි වතාවක් එලිදරව් වී තිබේ.

මෙම නරුම නම් කිරීම එක්සත් ජනපද උවමනාකම්වලට සේවය කරන්නේ කෙසේ ද? කල්බැලීම අතිශයින් ම අර්ථභාරීය. අල් නුස්රා සංවිධානයේ භූමිකාව මාධ්‍ය තුල මාස ගනනාවක් පුරා පුලුල්ව වාර්තා වී ඇති අතර ආන්ඩුවේ මූලාශ‍්‍රයන්ට අනුව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හා ඇගේ නිලධාරීන් විසින් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස එය නම් කිරීම කර ඇත්තේ මාසයකට පෙරාතුව ය.

එහෙත්, නිවේදනය එලියට ආවේ මොරොක්කෝවේ මාර්රාකේශ් හි දී "සිරියාවේ මිතුරෝ” සම්මේලනය කැඳවීමට හරියටම දිනකට පෙරාතුවය. සිරියානු විප්ලවවාදී ජාතික කවුන්සිලය හා විරුද්ධ බලවේග සිරියානු ජනතාවගේ "එකම සුජාත නියෝජිතයන්” ලෙස ප‍්‍රන්සය, තුර්කිය හා පර්සියානු ගල්ෆ් ප‍්‍රදේශයේ රාජාන්ඩු විසින් දැනටමත් පිලිගෙන ඇති අතර එක්සත් ජනපදය එය අනුගමනය කරන බව ජානාධිපති ඔබාමා අඟහරුවාදා පැවති රූපවාහිනි සාකච්චාවක දී කීවේය. මාර්රාකේශ් රැස්වීමේ දී වොෂින්ටනය නිල නිවේදනයක් කරනු ඇතැයි අපේක්ෂා කරති.

එහෙත්, මේ හවුල එවැන්නක් බවට මොනම ඇඟවුමක්වත් නැත. පසුගිය මාසයේ දෝහා හි සුඛෝපභෝගී හෝටලයක දී එය එකට පුරුද්දනු ලැබුවේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා සිරියාවේ ඇමරිකානු තානාපති රොබර්ට් ෆෝර්ඩ් ගේ උපදෙස් යටතේ ය. වොෂින්ටනය හා බටහිර මාධ්‍ය විසින් එහි නායක, අහමඩ් මොෂ් අල්-ඛාටිබ් ගාන්ධිගේ පුනර්භවයක් හා "මධ්‍යස්ත” හා "එකමුතු කරන්නෙකු” ලෙස විස්තර කරන ලදී.

ඇත්ත වසයෙන් ම, අල්-ඛාටිබ් සිරියාවේ මුස්ලිම් සහෝදරත්වය සමග සන්ධාන ගත වී සිටින අතර සුන්නි නොවන කන්ඩායම්ගැන ගිනි අවුලුවන කට්ටිවාදී දෝෂාරෝපන කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් තිබේ. නායකයෙකු ලෙස ඔහුගේ මූලික ආකර්ෂනයට හේතුව ෂෙල් තෙල් සමාගම සමග ඔහුට පවතින දිගුකාලීන හා සමීප සම්බන්ධකම බව පෙනෙන්නට තිබේ.

සම්මේලනයට පෙර අල්-නුස්රා සංවිධානයෙන් දුරස්ථ වීම මගින් වොෂින්ටනය උත්සාහ කරන්නේ අන්තර්කාලීන ආන්ඩුවක තත්වය ප‍්‍රදානය කිරීමට ඉඩ තිබෙන සභාගයේ උපදෙස් මත කි‍්‍රයා කරන "අනාගමික” හා "ප‍්‍රජාතන්ත‍්‍රවාදී” සන්නද්ධ කන්ඩායම්වලට පමනක් එය ආධාර දෙන බව ඇඟවීම යටතේ "කැරලිකරුවන්” සන්නද්ධ කිරීමේ දී වඩාත් ඍජුව මැදිහත් වීම සඳහා වූ වාසිදායක කොන්දේසි නිර්මානය කර ගැනීමට ය.

එක්සත් ජනපදයේ ඍජු මැදිහත්වීමකට ව්‍යාජ හේතුවක් සම්පාදනය කරන තවත් අරමුනකට මෙම නම් කිරීම සේවය කරයි. සිරියානු ජනතාවට එරෙහිව රසායනික අවි පාවිච්චි කිරීමට අසාද් තන්ත‍්‍රය සුදානම් වන බවට තහවුරු නොකල චෝදනාව වොෂින්ටනය ඉදිරිපත් කලේ එවැනි ආයුධ අල්කයිඩාවට සම්බන්ධ බලවේග අතට පත්වනු ඇතැයි ඔබාමා, ක්ලින්ටන් හා සෙසු අය විසින් කරන ලද ප‍්‍රකාශ වලින් පසුව ය. එවැනි ආයුධවලට රැකවරන සැපයීම සඳහා 75,000 ක හමුදාවක් සිරියාවට යැවීමට සිදු වනු ඇතැයි පෙන්ටගනය ප‍්‍රකාශ කර තිබේ.

ඉරාකයට එරෙහි යුද්ධය දියත් කලේ "මනුෂ්‍ය නාශක අවි” අල් කයිඩාව අතට පත්වීමේ දැවැන්ත තර්ජනයක් පිලිබඳ ව්‍යාජ හේතුව මත ය. සිරියාවට එරෙහි ඍජු මිලිටරි මැදිහත්වීමක් සාධාරනීකරනය කිරීම සඳහා මෙම ව්‍යාජ හේතුව ම යලි උපයෝගී කරගෙන තිබේ.

සිරියානු සිද්ධීන් හා පසුගිය දසකය පුරා කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සමස්ත වාර්තාව තුලින් ඉස්මතුවන්නේ, වොෂින්ටනය විසින් පෙරලා දැමීම සඳහා ඉලක්ක කරගත් සියලුම තන්ත‍්‍රයන් අනාගමික හා අල් කයිඩාවට විරුද්ධ ඒවා බවය. ඉරාකය, ලිබියාව හා සිරියාව තුල එක්සත් ජනපද මැදිහත්වීමේ බල පෑම විසින් අල් කයිඩාවේ ආනුභාවය වැඩි කර තිබේ. පසු කී රටවල් දෙක තුල, පාලන තන්ත‍්‍ර වෙනස් කිරීම සඳහා සහායක බලවේගයක් ලෙස එක්සත් ජනපදය ඉස්ලාම්වාදී සංවිධාන යොදාගෙන ඇත.

පලමුව ලිබියාවේ හා දැන් සිරියාවේ වර්ධනයන් පලමුව ජෝර්ජ් බුෂ් හා ඉක්බිතිව බරක් ඔබාමා විසින් ප‍්‍රවර්ධනය කල ඊනියා "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ප්‍රෝඩාව එලිදරව් කර තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය අල් කයිඩාව සමග පෙල ගැසී සිටින බව තේරුම් ගැනීමෙන් තොරව මැද පෙරදිග තුල එක්සත් ජනපද පිලිවෙත අවබෝධ කර ගත නොහැකි ය. ඇෆ්ගනිස්තානයේ සෝවියට් රුසියාවට පක්ෂපාතී ආන්ඩුවට එරෙහිව 1980 ගනන්වල මුදා හල එක්සත් ජනපද පිටුබලය සහිත යුද්ධයේ දී මෙම සංවිධානය පිහිටුවීමට උපකාර කිරීමෙන් පසුව, 9/11 ත‍්‍රස්ත ප‍්‍රහාරයේ පටන් විදේශයන්ට එරෙහි මිලිටරිවාදය හා රට තුල ප‍්‍රජාතාන්ති‍්‍රක හා ව්‍යවස්ථාමය අයිතීන් පාගා දැමීම සාධාරනීකරනය කිරීම සඳහා එය දුෂ්ට භූතයෙක් ලෙස උපයෝගී කරගෙන තිබේ.

බිල් වැන් ඕකන්

Share this article: