සම්මානනීය ඉන්දියානු සංගීතඥ රවි ශංකර් වයස 92දී මියයයි

Ravi Shankar, acclaimed Indian musician, dies at 92

By Kapila Fernando and K. Ratnayake and Peter Symonds, 20 December 2012

ඉන්දීය සංගීතඥයෙකු මෙන් ම නිපුන සංගීත නිර්මාපකයෙකු හා ඇදුරෙකු වන 92හැවිරිදි රවි ශංකර් කැලිෆෝනියාවේ සැන්ඩියාගෝහි රෝහලක දී හදවත් සැත්කමකින් පසු දෙසැම්බර් 11වැනිදා මිය ගියේ ය. ඔහු සිතාර් වාදනයේ විශාරදයෙකු වන අතර සම්භාව්‍ය ඉන්දියානු සංගීතය ලෝකයට හඳුන්වාදීමේ ඔහුගේ කාර්යභාරය නිසා චිරප‍්‍රසිද්ධ ය.

ශංකර් ජාත්‍යන්තර ප්‍රෙක්ෂකයන්ට මෙන් ම සම චින්තන සංගීතඥයන්ට ද ලඟාවි ය. ඔහු ඉන්දියානු සම්භාව්‍ය සංගීතය බටහිර ප්‍රෙක්ෂකයන්ට හඳුන්වා දීමට වෙහෙස වූ මහා සංගීතඥයෙකි, උට්ඨානවත් ඇදුරෙකි. ඔහු ජෑස් සංගිතඥ ජෝන් කොල්ට‍්‍රන්, සම්භාව්‍ය වයලීන වාදකයෙකු වන යෙහුඩි මෙනුහින්, පෙරටුගාමී ප‍්‍රබන්ධක පිලිප් ග්ලාස් හා බීට්ල්ස් සංගීත කන්ඩායමේ ගිටාර් වාදක ජෝජ් හැරිසන් වැනි විවිධාකාර පුද්ගලයන් සමග සහයෝගීව ක‍්‍රියා කල අතර නවීකරනයන් ද කලේ ය.

එම කර්තව්‍යය නො වැදගත් එකක් නො වේ. සංගීතමය ප‍්‍රස්තාර හා සංකීර්න සුසංයෝග සමග බටහිර සංගීතය බොහෝ ස්වර හෝ විවිධාකාරයේ වාද්‍ය භාන්ඩ එකට ගෙන ඒමේ හැකියාව ලබා දෙයි. එනිනෙකට වෙනස් පරිමාවන් හා සංඝටනා ප‍්‍රදර්ශනය කරන ඉන්දියානු සම්භාව්‍ය සංගීතය බොහෝ විට ආරම්භයේ දී බටහිරට කර්න කටුක ය. එය පදනම් වනුයේ ස්වර මාධූර්යයෙන් යුතු මුඛ්‍ය ස්වර සංගති හෝ රාගාලංකාරයන් කරන එක් එක් ගාන්ධර්වයෙකු හෝ ගායකයයෙකු මත ය. ශන්කර් ශික්ෂනය කෙරුනු උත්තර භාරතීය නැතිනම් හින්දුස්තානී සම්ප‍්‍රදාය තුල රාග මන්දස්වරයෙන් ආරම්භ වී, අනුවාදනය කරන තබ්ලාව හෝ බෙරයේ තාල සමග මුසු ව, සංකීර්නත්වය තුල සමුච්චිත වී උච්චාවස්ථාවට පැමින ඊට පසු අනුක‍්‍රමයෙන් බැසය යි. ඔහුගේ හෝ ඇයගේ ක්ෂන නිර්මාන හරහා රාගයේ සංඝටනාවට ජීවය පිඹින එක් එක් සංගීතවේදීන්ගේ හැකියාව මත එහි සූක්ෂ්ම ප‍්‍රබෝධක ස්වභාවය රඳා පවතී.

රවි ශංකර් 2009 දී වාදනයක් ඉදිරිපත් කරමින්

හින්දුස්තානි සංගීතය සමග දීර්ග සබැඳියාවක් සහිත නගරයක් වන උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ බරනැස් හි දී 1920 අපේ‍්‍රල් 7දා රවීන්ද්‍ර ශංකර් චෞද්රි ලෙස රවි ශංකර් උපත ලැබී ය. ධනවත් පවුලක බාලම පුද්ගලයා වූ ඔහු වයස අවුරුදු 10දී පැරීසියට ගොස් ඔහුගේ සහෝදරයාගේ සුප‍්‍රසිද්ධ ඉන්දියානු නර්තන කන්ඩායමට එක් විය.

තරුන ඉන්දියානුවාට එය විශිෂ්ට අත්දැකීමක් විය. මෙම අකාලපරිනත ගැටවරයා චිත‍්‍රපට නලුනිලියන් සහ ජෑස් හා සම්භාව්‍ය සංගීතඥයන් මුන ගැසෙමින් යුරෝපය හා ඇමරිකාව තුල සංචාරය කලේ ය. පැරීසියේ දී ඔහු බැලේ නාටිකාංගනාවක වන ඇනා පැව්ලෝවා, ප‍්‍රබන්ධක හා ගීත රචක කෝලේ පෝටර්, වයලීන වාදක ජෂා හේෆෙට්ස් හා සම්භාව්‍ය ගිටාර් වාදක ඇන්ඩ්‍රේස් සෙගෝවියා ඇතුලු සුධීමත් සංස්කෘතික ප‍්‍රබුද්ධයින් දැනහැඳින ගත්තේ ය.

සම්මුඛ සාකච්ඡාවක දී ශංකර් එම සිදුවීම් මෙසේ සිහිපත් කලේ ය: "මගේ සහෝදරයාට පැරීසියේ නිවසක් තිබුනි. බොහෝ බටහිර සංගීතඥයෝ එහි පැමිනුනහ. මෙම සංගීතඥයින් සියල්ලෝ ම එක ම කාරනයක් මතු කලහ.‘ඉන්දියානු සංගීතය නර්තනය සමග එකට සවන් දෙන විට අපට එය සුන්දර යි. වෙන්ව ගත් විට එය පුනරාවර්ත යි, ඒකාකාර යි.’ ඔවුන් කතා කලේ නිකම් ම තවත් කෞතුක භාන්ඩයක් මෙන් ඉන්දියානු සංගීතය වාර්ගික ප‍්‍රපංචයක් ලෙස සලකා ය. ඔවුන් ටිකෙන් ටික සුනම්‍යව කරුනාවන්ත වුනත් මම කෝප වී සිටියෙමි. ඒ අතර ම ඔවුන් ගැන කනගාටු වීමි. ඉන්දියානු සංගීතය බොහෝ පොහොසත් වන අතර විවිධායිත යි, ගැඹරු යි. මෙම පුද්ගලයන් පිට සිවිය වත් විනිවිද ගොස් නො තිබිනි.”

ටික කාලයකට නර්තන කන්ඩායම සමග එක් වූ ඉන්දියානු සම්භාව්‍ය සංගීතඥ, සරෝද් වාදක උස්තාද් අලාඋද්දීන් ඛාන් සමග රවි ශන්කර්ගේ මුනගැසීම තීරනාත්මක සන්ධිස්ථානයක් බව ඔප්පු කෙරුනි. ඛාන් කෙලින් ම තරුනයාට පැවසුවේ ඔහු තම දක්ෂතා නාස්ති කරමින් සිටින බවත් බොහෝ දේවල් අත පත ගානවා වෙනුවට එක් දෙයක් ඉගෙන ගැනීම වෙත යොමුවිය යුතු බවත් ය. වයස 18දී ශංකර් ආපසු ඉන්දියාවට පැමිනෙන අතර වසර ගනනාවක් ඛාන්ගේ මග පෙන්වීම යටතේ සිතාරය ප‍්‍රගුන කිරීමට ආයාසකර හා දෘඪතර පුහුනුවක් ලැබුවේ ය.

ශංකර් ඔහුගේ ගුරුවරයාගේ දියනිය වන අන්නපූර්නා දේවි සමග විවාහ වී පසුව වෙන් වූ අතර ඛාන්ගේ පුත‍්‍රයා වන, සරෝද් වාදනයේ නිපුන උස්තාද් අලි අක්බර් ඛාන් සමග දීර්ගකාලයක් පවතින සංගීත සමායෝජනයක් ඔවුහු පිහිටුවා ගත්හ. ඔවුන් දෙදෙනා ඉන්දියාව තුල හා විවිධ ජාත්‍යන්තර වේදිකාවල එක් ව වැයූහ. ඔවුන්ගේ සංගීත සමායෝජනය වඩා ප‍්‍රසිද්ධ නැති ජුගල්භාන්දි සංගීත රටාව සුපෝෂනය කල අතර, ඒ තුල ප‍්‍රවීනයන් දෙදෙනො සමාන පදනමක ශිල්ප දක්වමින් රාගය යුගල වාදනයක් ලෙස වර්ධනය කලේ ය.

බොහෝ ප‍්‍රවීන ඉන්දියානු සම්භාව්‍ය සංගීතඥයන්ගෙන් එක් අයෙකු ලෙස ශංකර් තහවුරු විය. නමුත් ශංකර්ගේ විශිෂ්ටත්වය වූයේ ඔහුගේ උත්සුකයන්ගේ පෘථුලතාව, අද්හදා බැලීමට හා නවීකරනයට වූ ඔහුගේ ලැදියාව හා සියල්ලට ම ඉහලින් ඉන්දියාව තුල හා සමස්ත ලෝකයේ ම පුලුල් පේ‍්‍රක්ෂකයන්ට සංගීතය රස විඳිය හැකි දෙයක් බවට පත්කිරීම සඳහා වූ ඔහුගේ උද්යෝගය හා ලාලසාව යි.

සිය පුහුනුව අවසන් කිරීමෙන් පසු ශංකර් ඉන්දියානු මහජන රංග කලා සංවිධානයට එක් වී 1945 සිට 46 දක්වා බැලේ නාට්‍ය සඳහා සංගීත ප‍්‍රබන්ධනය කලේ ය. 1947දී ඉන්දියාව බි‍්‍රතාන්‍යයෙන් නාමිකව ලබාගත් නිදහසෙන් පසු ව ඔහු සමස්ත ඉන්දීය ගුවන් විදුලියේ (ඒඅයිආර්) සංගීත අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී. ගුවන් විදුලිය හා එල්පී තැටි ඔස්සේ ඉන්දියානු සම්භාව්‍ය සංගීතය බහුජන පේ‍්‍රක්ෂකයන් වෙත ලඟා කරවීමේ ගාමක බලවේගය බවට ඔහු පත්වි ය.

නව මාධ්‍යයන්ගේ හා පේ‍්‍රක්ෂකයන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ ඌරුව වෙනස් කල යුතුව ඇතැයි ශංකර් හඳුනා ගත්තේ ය. නිදහසට පෙර ඉන්දියාවේ සංගීතය විශාල වශයෙන් රාජකීය මැදුරුවල හා පටු ප‍්‍රභූවකගේ උරුමයක්ව තිබුනි. වංශාධිපති යුරෝපීය ආරට අනුව සංගීතඥයින් හැම විට ම අනුග‍්‍රාහයකයන් මත යැපුනි. පැය ගනනාවක් පවත්නා තනි රාග සමග බොහෝ විට සංගීත ඉසව්ව රාත‍්‍රිය පුරා පැවත්වුනි.

රාග කෙටි කිරීම මගින් ගුවන් විදුලිය හා පටිගත කිරීම සඳහා ශංකර් සංගීතය මුවහත් කලේ ය. "මම එය හෝ කිසිදෙයක් විචිත‍්‍රවත් කලේ නැති නමුත් එය සංස්කරනය කලෙමි, කාරනයෙන් පිට නොගියෙමි. ආරම්භයේ දී අපගේ ගතානුගතිකවාදීන්ට එය තරමක් විස්මයකර වී” යයි වතාවක් ඔහු ඔටාවා සිටිසන් පත‍්‍රයට පැවසී ය. සංගීතඥයන් කාලය මතට පැමිනිය යුතු අතර තමන්ගේ රාග සැලැසුම් කල යුතු යයි ඔහු අවධාරනය කලේ ය. මුල් කාලීන ප‍්‍රතිරෝධය නොතකා විනාඩි 20 සිට 30 දක්වා, සමහර විට ඊටත් කෙටි රාග දැන් සම්මතයක් වී තිබේ. වැදගත් ඒඅයිආර් ප‍්‍රසංගයන්ගේ තැටිගත කිරීම් සම්භාව්‍ය අර්ථයෙන් සැලකීමට සුදුසුවන අතර ඒවා සවන් දීමට නිරන්තර ඉල්ලුමක් තිබේ.

හින්දුස්තානී සංගීත සම්ප‍්‍රදාය තුල ඉහලින්ම සංතෘප්තවී සිටිය ද ශංකර්ට පුලුල් හා විවෘත ආකල්ප තිබුන අතර ඉන්දීය සංගීතයේ සුපුරුදු ඝරානාවන්ට හෙතෙම සීමා වූයේ නැත. පවුල හෝ නිවස යන අර්ථය දෙන ‘ඝර්’ යන්නෙන් ඝරානා ව්‍යුත්පන්න වන අතර සංගීතයේ දී එය විශේෂ ශික්ෂනයක් හෝ ශෛලියක් ඇඟවුම් කරයි. තමන්ගේ ගුරුකුලයේ හෝ ප‍්‍රදේශයේ සංගීතය පෞද්ගලික දේපලක් ලෙස සලකන අයට ශංකර් හතුරු විය.

සමස්ත ඉන්දීය ගුවන් විදුලිය තුල, එයට ම ආවේනික නමුත් අසමාන කර්නාටක සම්ප‍්‍රදාය ගැබ්ව තිබුනු අතර දකුනු ඉන්දීයාවේ සංගීතඥයින් දිරිමත් කලේ ය. හින්දුස්තානි හා කර්නාටක සංගීඥයින් අතර සංයෝජනය පෙරට ගියේ ය. ශංකර් ඉන්දීය ජාතික වාදක වෘන්දය ද ආරම්භ කල අතර එය බටහිර හා ඉන්දීය සම්භාව්‍ය සංගීත භාන්ඩ සංකලනය අත්හදා බැලී ය. ඔහු චිත‍්‍රපට අධ්‍යක්ෂ සත්‍යජිත් රායිගේ පාතර් පන්චාලි, අපූ සන්සාර් හා අපරාජිතෝ යන උත්කෘෂ්ට අපූ ත‍්‍රිත්වය සඳහා සිත් කාවදින සුලු රමනීය නාද රටා ප‍්‍රබන්ධ කලේ ය.

සිය සංචාරය අරඹන කාලය වන විට, ශංකර් ඒ වන විටත් ඉන්දීය සංගීත ලෝකයේ පිලිගත් බලවේගයක් විය. 1954දී ඉන්දියාව ජාත්‍යන්තර ක්ෂේත‍්‍රය තුල හඳුන්වාදීම සඳහා අගමැති ජවහර්ලාල් නේරු විසින් යවන ලද සංස්කෘතික දූත මන්ඩලයක ඔහු කොටස්කරුවෙකු විය. ඔහු 1956දී ඉන්දීය ගුවන් විදුලියේ තම රැකියාවෙන් අස් වූ අතර, ඔහුගේ ජීවිතයේ ඉතුරු භාගයෙන් වැඩි කොටස පිටරට ජීවත්වීමට හා සංචාරය සඳහා ගත කලේය. 1950 ගනන්වල යි ශංකර් වයලින් විශේෂඥ යෙහුදි මෙනුහින් ඇතුලු අය සමඟ වැගදත් සමායෝජන මාලාවක් අරඹන්නේ.

ශංකර් මෙන් ම මෙනුහින් ද බටහිර හා ඉන්දීය සංගීතය ඒකාබද්ධ කිරීමේ හැකියාවන් මගින් උනන්දු කෙරින. ඉන්දීය සම්භවයක් සහිත ජිප්සීස් කන්ඩායමේ සංගීතය ද ඇතුලූ බටහිර සංගීතයේ දැක ගත හැකි ක්ෂන නිර්මානයේ නොයෙකුත් සම්ප‍්‍රදායන් ඔහු හැදෑරී ය. ශන්කර් හා මෙනුහින් අතර සංයෝජනයන් 1967 අපරදිග පෙරදිග මුන ගැසෙයි (වෙස්ට් මීට්ස් ඊස්ට්) නම් ඇල්බමයේ අන්තර්ගත විය, මෙහි දී ඔවුහු වෙනස් ආකාරයේ සම්ප‍්‍රදායන් දෙකෙහි සංස්ලේෂනයක් ගවේෂනය කලහ. ශංකර් සිතාරය සඳහා කෙටි සංගීත ප‍්‍රසංග කීපයක් ප‍්‍රබන්ධ කරමින් ලන්ඩන් හා නිව් යෝක් සංගීතකාමී වාදක වෘන්දය සමග සිතාරය වැයී ය. යමෙකුට මෙම අත්හදාබැලීම්වල සාර්ථකත්වය තමාටම විනිශ්චය කල හැකි නමුත් ඉන්දියානු සම්ප‍්‍රදායන් බටහිරට හඳුන්වාදීමේ දී හා පෙරලා අනෙක් අතට ද මෙම සාරවත් ක්ෂේත‍්‍රය තුල වැඩිදුර ආරම්භකත්වයන් දිරිගන්වමින් ඔවුහු වැදගත් භූමිකාවක් ඉටු කලහ.

1969 ඉන්දියානු සංගීතඥයාගෙන් සිතාරය හැදෑරීම ඇරඹූ බීට්ල්ස් සංගීත කන්ඩායමේ ගිටාර් වාදක ජෝජ් හැරිසන් සමග වූ මිත‍්‍රත්වය ශංකර්ගේ සුප‍්‍රකට ඇසුර විය. කාලයක් තිස්සේ නොයෙකුත් රොක් සංගීත කන්ඩායම් ඔවුන්ගේ සංගීතයට පෙරදිග බලපෑම යෙදීම සඳහා සිතාරය සමගින් කල අත්හදා බැලීම් අතර ශංකර් ප‍්‍රසිද්ධ පුද්ගලයෙකු විය. වුඩ්ස්ටොක් සංදර්ශනය, මොන්ටෙනෙරි පොප් සංදර්ශනය හා බංග්ලාදේශ ප‍්‍රසංගය වැනි ප‍්‍රසංග තුල ඔහු කැපී පෙනුනි. කෙසේ නමුත්, ඔහු රොක් සංස්කෘතිය සමග, විශේෂයෙන් ම මත් ද්‍රව්‍ය භාවිතය පිලිබඳව කලකිරීමට පත්ව සිටියේ ය. ජිමී හෙන්රික්ස් මොන්ටෙනෙරිහි දී ඔහුගේ සිතාරයට ගිනි තැබූ වේලේ ඔහු තැතිගත් බව වාර්තා විය.

1978දී ශන්කර් ප‍්‍රමුඛ ජපන් සංගීතඥයන් වන ෂකුහාචි වාදක හෙසාන් යමමොටෝ හා කෝටෝ වාදකයකු වන සුසුමු මියෂිටා සමග ඉන්දියානු හා ජපාන බලපෑම් ඒකාබද්ධ කිරීමේ උත්සාහයක් ලෙස ඇල්බමයක් නිර්මානය කිරීමේ දී සැලකිය යුතු සහයෝගයකින් වැඩ කලේ ය. රිචඩ් ඇටෙන්බරෝගේ ගාන්ධි(1982) චිත‍්‍රපටය සඳහා සංගීතය ප‍්‍රබන්ධ කිරීම ඇතුලුව ජාත්‍යන්තර සම්මාන පෙලක් ඔහුට හිමිවිය. ඔහුගේ ග‍්‍රැමී සම්මාන තුන අතර මෙනුහින් සමග ප‍්‍රබන්ධ කල අපරදිග පෙරදිග මුනගැසෙ යි නම් ඇල්බමය සඳහා හොඳ ම කුඩා වාදක මන්ඩල සංදර්ශනය වෙනුවෙන් පිරිනැමුන සම්මානය ද ඇතුලත් ය.

ශංකර්ගේ පෞද්ගලික ජීවිතය සංකීර්න විය. අන්නාපූර්නා දේවි සමග ඔහුගේ විවාහය 1960 ගනන් අවසන් වසරවල නිමා විය. නාටිකාංගනා කමලා ශාස්ත‍්‍රි, සංදර්ශන සංවිධායිකා ෂූ ජෝන්ස්, ඇයගෙන් ඔහුට ගායිකා නෝරා ජෝන් යන දියනිය ලැබිනි; හා සුකන්‍යා රාජන් සමග ඔහුට දීර්ගකාලීන සම්බන්ධකම් තිබුනි. ඔහු 1989දී රාජන් විවාහ කර ගත් අතර ඔවුන්ගේ දියනිය වන අනුෂ්කා ශංකර් ද ප‍්‍රවීන සිතාර් වාදිකාවක ලෙස බොහෝ විට ඇයගේ පියා අසලින් වාදනයෙහි යෙදුනා ය.

ඔහුගේ වෘත්තිය පුරාම ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ ශුද්ධ ආකෘති අතහැර දැමීම සම්බන්ධයෙන් නොයෙකුත් විචාරකයෝ ශංකර්ට චෝදනා කලහ. ඔහු මෙසේ උත්තර දුන්නේ ය: "මම ඉලෙක්ට්‍රොනික උපකරන වන ඉන්දියානු නොවන භාන්ඩ සමග පවා අත්හදා බලා ඇත්තෙමි. එහෙත් මගේ සියලු ම අත්හදා බැලීම් ඉන්දියානු රාග මත පදනම් වුනි. මිනිසුන් රාග ගැන කතා කරන විට ඔවුන් කතා කරන්නේ මොනවා ගැන දැයි මට නොතේරේ. ශත වර්ෂ ගනනාවක් පුරා සම්භාව්‍ය සංගීතය හැමවිටම එහි සම්ප‍්‍රදායානුකූල පදනම් වලට ඇලෙමින් එකතු කිරීම්, අලංකරනය හා වෙනස්කම් අත්වින්දේ ය. අද පවතින වෙනස නම් වෙනස්කම් වඩා වේගවත් වීම යි.”

ඉන්දියානු සංස්ථාපිතයට නම් ඉන්දියාව සෙසු ලෝකයාට ප‍්‍රවර්ධනය කිරීමේදී ශංකර් ප‍්‍රයෝජනවත් සුරුවමක් විය. 1986 සිට 1992 දක්වා ඉන්දියානු පාර්ලිමේන්තුවේ උත්තර මන්ත‍්‍රී මන්ඩලයේ අසුනකට ඔහු පත් කෙරුනේ බොහෝ කොටම සංකේතාත්මක අගැයීමක් ලෙසය. ඔහුගේ වෘත්තීය ජීවිතය සාක්ෂි දරන පරිදි සංගීතය පිලිබඳ ඔහුගේ ආකල්පය ජාත්‍යන්තරවාදී ය. සැබවින් ම, ඔහු පුහුනු කෙරුනු හින්දුස්තානී සංගීතය, බි‍්‍රතාන්‍ය කිරීටයට පෙර ඉන්දියාවේ ආධිපත්‍යය දැරූ මෝගල් අධිරාජයන්ගේ මාලිගා තුල නිර්මානය කෙරුනු සංස්කෘතික කෝවේ නිර්මානයකි.

ශංකර්ගේ ප‍්‍රසිද්ධිය හා වාසනාව නොතකා, විශේෂයෙන් ම සංගීතයට සම්බන්ධව ඔහු නිතර ම එක්තරා නිහතමානිත්වයක් රඳවා ගත්තේ ය. 1950 මුල් කාලයේ සිට බොහෝ සැලකිය යුතු ඉන්දියානු සම්භාව්‍ය සංගීතඥයෝ ජාත්‍යන්තරව සංචාරය කල අතර ශිල්ප දැක්වූහ. එකිනෙකට වෙනස් ජාත්‍යන්තර සම්ප‍්‍රදායන්ගේ සංගීතය සංස්ලේෂනය කරමින් අනෙකුත් අය ඔහුගේ අඩිපාරේ ගොස් ඇත. බොහෝ ආකාරයන්ගෙන් ඔහු මෙම මාර්ග ආලෝක කල අතර සමස්ථයක් වශයෙන් මනුෂ්‍යත්වයේ සංගීත උරුමය පොහොසත් කලේ ය.

ඉන්දියානු සම්භාව්‍ය සංගීතයට නුහුරු අයට ඔහුගේ සම්භාව්‍ය ඉන්දියානු රාගයක තැටිවලින් එකක් තෝරා ගෙන එය ආරම්භයේ සිට අවසානය දක්වා ඉවසීමෙන් හා අවධානයෙන් එය තුල ගැලී සිටීමට හා ඔහුගේ ජීවිතයට හා නිර්මානයන්ට පෙලඹ වූ අපූර්ව සුන්දරත්වය ආස්වාදනය කිරීම සඳහා දිරිගැන්වීමට වඩා රවි ෂන්කර්ට ගෞරව කිරීමට වෙනත් ආකාරයක් සොයා ගත නොහැකි බව යමෙකු සිතිය හැක.

Share this article: