ශ්‍රී ලංකාව: ගුරු-විදුහල්පති ලෙඩ නිවාඩු උද්ඝෝෂනය: ගුරු විරෝධය දියකර හැරීමේ වෘත්තීය සමිති උගුලක්

By Socialist Equality Party teachers faction, 30 November 2012

වැටුප් වැඩි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන දෙසැම්බර් 04 දින ගුරු-විදුහල්පති සංගම් එකතුවක් විසින් කැඳවා ඇති ලෙඩ නිවාඩු උද්ඝෝෂනය, තම ජීවන තත්වයන් විනාශ කිරීමට සහ අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව ගුරුවරුන් අතර වැඩෙන විරෝධය සහ සටන්කාමිත්වය දිය කර, රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිප්‍රහාරයන්ට එරෙහි සැබෑ දේශපාලන අරගලයක් වර්ධනය වීම වැලක්වීම සඳහා අටවන ලද උගුලකි.

ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, උසස්වීම් වහාම ක්‍රියාත්මක කිරීම, අධ්‍යාපනයට කරන ප්‍රතිපාදන වැඩි කිරීම හා අධ්‍යාපනයේ දේශපාලනීකරනය නතර කිරීම සමිතිවල අනෙකුත් ඉල්ලීම් අතර වේ. අවශේෂ කම්කරුවන්ගේ මෙන් ම ගුරුවරුන්ගේ ඉල්ලීම් ද ආන්ඩුව විසින් දිගින් දිගට ම ප්‍රතික්ෂේප කර ඇති තත්වය යටතේ ලංකා ගුරු සංගමය (ලංගුස), විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට (එජාප) සම්බන්ධ ජාතික අධ්‍යාපන සේවක සංගමය හා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) ඇතුලු තවත් ගුරු හා විදුහල්පති සංගම් 15 ක් විසින් කැඳවා ඇති මෙම උද්ඝෝෂනයේ සැබෑ අරමුන කුමක්ද යන්න එය කැඳවා ඇති දිනය, එය සංවිධානය කිරීම සඳහා දැරූ උත්සාහයේ පරිමාව සහ යෝජනා කර ඇති කාර්මික ක්‍රියාවේ ස්වභාවයෙන් ම පැහැදිලි වේ.

විරෝධයේ පරිමාව ගැන ඉතා දැනුවත් සමිති නායකත්වය පාසැල් නිවාඩු කාලය ආරම්භ වීමට යන්තම් දින තුනකට පෙර දිනයක් මේ සඳහා යොදා ගෙන ඇත්තේ ම අරගලය දුර දිග ඇදී යාම වලක්වා විරෝධය දිය කර හැරීමට ය. දෙවනුව, මෙම ක්‍රියාවට ගුරුවරුන් සහභාගි කරවීම සඳහා සමිති විසින් ගෙන ගිය ඇල් මැරුනු උද්ඝෝෂනයෙන් පෙන්නුම් කෙරෙන්නේ දැවැන්ත කම්කරු සහභාගිත්වයකින් සිදු කෙරෙන කාර්මික ක්‍රියාවකට සමිති නායකත්වය දක්වන මාරක භීතිය සහ විරෝධය යි. එවැන්නක් දුර දිග යන දේශපාලන ප්‍රශ්න මතු කරන බැව් නායකත්වය හොඳින් දනී. තෙවනුව, නායකත්වය විසින් ගුරුවරුන්ට යෝජනා කරනුයේ දෙසැම්බර් 4 වන දා ලෙඩ නිවාඩු දමා නිවසේ නතරව සිටීමට යි. මෙහි අරමුන වනුයේ එදින තම අරගලය ඉදිරියට ගෙන යාමේ සාකච්ඡා, රැස්වීම්, පෙලපාලි හා පිකටින් ඇතුලු කවර හෝ සාමූහික ක්‍රියාවකින් ගුරුවරුන් වලකා ඔවුන් හුදෙකලා කොට තැබීම යි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගුරුවරුන්ගේ අරගලයට සහාය පල කරන අතර, වෘත්තීය සමිති විසින් තොරොම්බල් කරන ආන්ඩුවට බලපෑම් දැමීම මගින් ඉල්ලීම් දිනාගත හැකිය යන මුලුමනින් ම අයථාර්තවත් වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරයි. මෙම බංකොලොත් වැඩ පිලිවෙල මගින් ගුරුවරු දේශපාලනිකව නිරායුධ කර ආන්ඩුවේ ප්‍රහාර සඳහා අවස්ථාව ලබා දෙන අතර ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට කැපවුනු දක්ෂිනාංශික එජාප හා සිංහල ස්වෝත්තමවාදි ජවිපෙ වැනි පක්ෂවලට ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි කම්කරු පන්තියේ විරෝධය ගසා කෑමට වේදිකාව සකසා දෙනු ඇත.

දස දහස් ගනනක් ජීවිත බිලි ගත්තා වූ ද අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන ඉහල නැංවීම සඳහා යොදා ගත හැකිව තිබූ බිලියන සංඛ්‍යාත මුදල් විනාශ කර දැමුවා වූ ද වර්ගවාදී යුද්ධය එජාප පාලන සමයේ ආරම්භ කෙරුනු අතර යුද්ධය වෙනුවෙන් කම්කරුවන් තම අයිතීන් කැප කල යුතු යයි පවසමින් දෙමල ජනතාවට එරෙහි යුද්ධය සමස්ත කම්කරු පන්තියට එරෙහිව යොදා ගැනීමේ පාලක පන්ති පිලිවෙතට ජවිපෙ පූර්න පිටු බලය ලබා දුනි. අධ්‍යාපනයේ විනාශය සඳහා මෙම පක්ෂ දෙක ද අති මූලිකව වග කිව යුතු ය.

ගුරුවරුන් ද ඇතුලු කම්කරු පන්තියේ ඉල්ලීම් නොතකා හැර ඇති රාජපක්ෂ ආන්ඩුව, ලොව පුරා අනෙකුත් ආන්ඩු මෙන් ම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාව මත අධ්‍යාපනය ඇතුලු මහජන සුභසාධන වියදම් කප්පාදුව වේගවත් කරමින්, පාරිභෝගික භාන්ඩ මත ඉහල බදු පනවමින් හා පුද්ගලීකරනය වේගවත් කරමින් ගෝලීයව වර්ධනය වන ආර්ථික අවපාතයේ බර මහජනයා මත පටවමින් සිටී.

තම ප්‍රහාරවලට එරෙහිව වැඩෙන කම්කරු පන්තියේ අරගල මැඬීම එල්ල කර ගනිමින් වඩ වඩාත් පොලිස් මිලිටරි ආඥාදායකත්වයක් දෙසට පියවර ගනු ලබන රාජපක්ෂ ආන්ඩුව මෙවර අයවැයෙන් ආරක්ෂක වියදම් රුපියල් බිලියන 290 ක් දක්වා සියයට 29 කින් ඉහල දමා ඇත. සිදුකෙරී ඇති විනාශයට කිසිසේත් ප්‍රමානවත් නොවන සොච්චම් වැඩිවීමක් අධ්‍යාපනය සඳහා සිදු කර තිබේ. ශ්‍රී ලංකාව ආසියාවේ “දැනුම් කේන්ද්‍රයක්” බවට පත් කිරීමේ ව්‍යාපෘතිය නමින් ආන්ඩුව ක්‍රියාවට නංවා ඇත්තේ, අධ්‍යාපනය ආයෝජකයන්ගේ ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීමේ පුද්ගලීකරන වැඩපිලිවෙල යි.

2006 සිට ගුරුවරුන් ද ඇතුලු සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදුකර නැති තත්වයක දී රාජ්‍ය සේවකයන්හට ලබන ජනවාරි මාසයේ සිට රුපියල් 750 ක අමතර දීමනාවක් ලබා දෙන බවට අයවැයෙන් ප්‍රකාශ වූ අතර එය කම්කරුවකුගේ දිනක වියදමින් තේ කෝප්පයක් සඳහා යන වියදමට සමාන මුදලකි. ගුරු-විදුහල්පති සමිතිවල ප්‍රධාන ඉල්ලීමක් වන 2008 අතුරු වැටුප් යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් පිම්මේ ඉහල යන ජීවන වියදම හමුවේ ගුරුවරුන්ට අත්වන සහනයක් නොමැති තරම් ය. එමගින් පහල ම ශ්‍රේනිවල ගුරුවරුන්ගේ වැටුප වැඩි වන්නේ රුපියල් තුන්දහසකටත් අඩු මුදලකිනි.

මේ වසර තුල අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්, ආචාර්යවරු, ශිෂ්‍යයන් හා පාසැල් ගුරුවරුන් වැටුප් ඉල්ලීම් සඳහාත් අධ්‍යාපන කප්පාදුවලට එරෙහිවත් අරගලයට පිවිසි අතර ඒ සෑම අරගලයක් තුල ම වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය වූයේ අරගල හුදකලා කොට සීමිත වර්ජන හෝ විරෝධතා කීහිපයකින් පසු කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමෙන් තොරව ආන්ඩුවේ බොරු පොරොන්දු මත වර්ජන පාවා දෙමින් කම්කරුවන් තමන්ගේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් මත සංවිධානය වීම ඇහිරීම යි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය මේ සඳහා බලගතු ම හා ආසන්නත ම උදාහරනය යි.

ජූනි මාසය පුරා ඇදී ගිය විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ වැටුප් අරගලයේ දී, ශ්‍රේනිවාදී ආස්ථානයක් ගනිමින් එම අරගලය සමග ඒකාබද්ධ නොවූ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (විආසස) දින 100 ක තම වර්ජනය සඳහා කිසිදු කම්කරු පන්තික කොටසක් සහායට නොකැඳවූ අතර අවසානයේ දී ආන්ඩුවේ බොරු පොරොන්දු මත වර්ජනය පාවා දුන්නේ ආන්ඩුවේ වැඩ පිලිවෙල සමග එකඟත්වයකිනි.

සසප එම අරගලය ආරම්භයේ සිට ම කියා සිටියේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව බලගතු දේශපාලන ප්‍රහාරයක් සඳහා ආන්ඩුවේ ප්‍රහාරවලින් බැට කන අවශේෂ කම්කරුවන් හා පීඩිතයන් බලමුලු ගැන්විය යුතු බව යි. මෙයට මුලුමනින් ම සතුරුව සිටි විආසස නිර්ලජ්ජිත ලෙස කියා සිටියේ, තම අරගලය කිසි විටෙකත් ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් නොවන බව යි. විරුද්ධ පක්ෂ හා ව්‍යාජ වාම පක්ෂ සමග එක්ව ආචාර්ය වර්ජනය පාවාදීමට ඒකාබද්ධ වු ගුරු සංගම් දැන් උත්සාහ දරන්නේ, ගුරුවරුන් ද ආන්ඩුවට බලපෑම් දැමීමේ පාර්ශ්වීය අරගලයකට කොටු කර ඔවුන් අධෛර්යමත් කොට අරගලය පාවා දීමට යි.

විරෝධතාව කැඳවමින් ගුරු සංගම් විසින් බෙදාහල පත්‍රිකාවකින් කියැවෙන්නේ අධ්‍යාපන ඇමැති සහ ලේකම් ඇතුලු බලධාරීන් සමග කල සාකච්ඡා සියල්ල අසාර්ථක වූ බව සහ මෙවර අයවැයෙන් තම ඉල්ලීම් ලබා දීම වෙනුවෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් කොට නොමැති බව යි. ඒ සමග ම ඔවුන් කියා සිටින්නේ “මේ වන විට ගුරු-විදුහල්පතිවරුන්ට ඉතිරි වී ඇති එක ම විකල්පය සටන් ක්‍රියාමාර්ගයට අවතීර්න වීම” පමනක් බව යි. සමිතිවල මෙම “සටන් ක්‍රියා මාර්ගය” ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ඔබ්බට නොයන්නක් වන අතර එබැවින් ම එය පාවාදීමකින් අවසන් වීමට ද නියමිත ය.

සසප නැවතත් කියා සිටින්නේ, ජීවන වියදමට සරිලන වැටුපක් හා ගුනාත්මක නිදහස් අධ්‍යාපනයක් දිනාගත හැක්කේ ධනපති අතලොස්සකගේ ලාභ පොදිය රැක දීමට කැප වී ගත් රාජපක්ෂ ආන්ඩුවටත් සමස්ත ධනපති ක්‍රිමයටත් එරෙහි දේශපාලන අරගලයකින් පමනක් බව යි. ගුනාත්මක ඉහල අධ්‍යාපනයක් තහවුරු කිරීමට අවශ්‍ය බිලියන සංඛ්‍යාත මුදල් වෙන්කිරීම කල හැක්කේ ලාභ ගරන ධනපති මහා ව්‍යාපාර, බැංකු, වතු කම්කරු පාලනයට නතු කෙරෙන ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි.

අප ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පාලක පන්තියේ උපකරන වන වෘත්තීය සමිතිවලින් හා ව්‍යාජ වාම පක්ෂවලින් බිඳී වෙන් වී තම දැවෙන ඉල්ලීම් සඳහා අරගලය තමන්ගේ ම අතට ගන්නා ලෙස යි. ඉහත දේශපාලන අරගලය ඉදිරියට ගෙන යාමට නම් සිසුන්ගේ හා දෙමව්පියන්ගේ සහයෝගය ගොනු කර ගත් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගත යුතු ය.

එලැඹෙන විරෝධතාවයට සහභාගී වන හා සමිති පිලිබඳ විශ්වාසය භංගවීමෙන් එයට සහභාගි නොවන සියලු ගුරුවරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අපගේ වැඩපිලිවෙල බැරෑරුම්ව අධ්‍යනය කරමින් සසප ගොඩනැගීමට ඉදිරියට එන ලෙස යි.

Share this article: