ඉන්දියානු සංස්ථාපිතය ෆැසිස්ට් ශිව් සේනා ආරම්භක-නායකයා ගැන වැලපෙයි

Indian establishment mourns founder-leader of fascist Shiv Sena

By Nanda Wickremasinghe, 15 December 2012

ෆැසිස්ට් ශිව් සේනා (එස්එස්) පක්ෂයේ ආරම්භක-නායක බාල් තැකරි පසු ගිය මස සිය 86 වන වියේ දී මිය ගියේ ය. ඉන් පසුව ඔහුට ගෞරවය පුද කරමින් ඉන්දියාවේ දේශපාලනික සහ ව්‍යාපාරික සංස්ථාපිතය ශෝකය පල කිරීම බෙහෙවින්අර්ථභාරීය. ඉන්දියානු පාලක පන්තිය හින්දු අධිපතිවාදී දක්ෂිනාංශය සමග දශක ගනනාවක් තිස්සේ පවත්වා ගෙන එන සම්බන්ධතා කොතරම් අවශ්‍යව ඇත් ද කුලුපග ද යන්න එය පැහැදිලි කරයි. එසේ ම, වැඩෙන සමාජ අසහනය මැඩලීම සඳහා ප‍්‍රචන්ඩත්වය සහ ආඥාදායක විධික‍්‍රම යොදා ගැනීමට ඉන්දියාවේ පාලකයන් ලකලෑස්ති වෙමින් සිටින බවට එය කම්කරු පන්තියට අනතුරු අඟවයි.

බටහිරදිග ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය පදනම් කර ගත් ශිව් සේනාව මරාති සහ හින්දු ස්වෝත්තමවාදය වැලඳ ගත්තකි. එය පසු ගිය දශක දෙක පුරා භාරතීය ජනතා පක්ෂය (බීජේපී) සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇත. මෙම සම්බන්ධය එම පක්ෂය විෂඝෝර හින්දුත්වා ප‍්‍රජාගනවාදී දෘෂ්ටිය සරන යාමක් වැනි විය. එහෙත්, පක්ෂය ආරම්භ කල මොහොතේත් එතැන් සිට වසර ගනනාවක් තිස්සේත් ඊට කොන්ග‍්‍රස් පක්ෂ නායකත්වයේ අනුග‍්‍රහය ලැබින. කම්කරුවන්ට සහ වාමාංශික සංවිධානවලට එරෙහිව ප‍්‍රචන්ඩ ප‍්‍රහාර ඇවිලවීමට කොන්ග‍්‍රසය එම පක්ෂය ප‍්‍රයෝජනයට ගත්තේ ය. රටේ මූල්‍ය සහ වානිජ මධ්‍යස්ථානය ද කම්කරු සටන්කාමිත්වයේ චිරාගත රඟමඬල ද වන මුම්බායිහි මෙම තත්ත්වය විශේෂයෙන් ප‍්‍රදර්ශනය විය.

පාර්ලිමේන්තුව ශෝක පනිවුඩ යැවූහ. මධ්‍යම මුම්බායිහි ශිවාජි උද්‍යානයේ දී රාජ්‍ය අවමංගල්‍යෝත්සවයක් පැවැත්වින. ඉන්ඩියා සමාගමේ ප‍්‍රධානීහු ද ආන්ඩුවේ නිලධාරීහු ද කොන්ග‍්‍රස් පක්ෂයේ නායකත්වය ද ඇතුලු දේශපාලනඥයෝ ද නොමඳව ඔහුගේ ගුන ගැයූහ. මේ හැම දෙයකින් ම අවධාරනය වූයේ මෙම ප‍්‍රදේශවාදී, හින්දු ස්වෝත්තමවාදී දේශපාලනඥයා ධනේශ්වර පාලනයට කොතරම් වැදගත් වී ද යන්න යි. මහාරාෂ්ට‍්‍රයේ කොන්ග‍්‍රස් මහ ඇමති ප‍්‍රීතිවිරාජ් චවාන්, මහාරාෂ්ට‍්‍රය පදනම් කර ගත් ජාතිකවාදී කොන්ග‍්‍රස් පක්ෂයේ නායක සහ කොන්ග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් යුතු ඉන්දියාවේ එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන (යූපීඒ) ආන්ඩුවේ කෘෂිකර්ම ඇමති ෂරාඩ් පවාර්, බීජේපීයේ ඉහල නායකයින්, ප‍්‍රමුඛ පෙලේ නලුවන් සහ වෙනත් කීර්තිමතුන් සහ බිලියනපති ව්‍යාපාර අධිපති අනිල් අම්බානි ඇතුලු සංගත ප‍්‍රධානීන් යන මේ සියල්ලෝ ම තැකරිගේ අවමගුලට සහභාගි වූහ.

තැකරිගේ මලගම පිලිබඳව තැවෙමින් මෑතක් වන තෙක්ම සන්ධාන ආන්ඩුවේ දෙවැනි නායකයාව සිටි ඉන්දියානු ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි සිය ශෝක පනිවුඩයෙහි සඳහන් කලේ එය "මහාරාෂ්ට‍්‍රයේ සහ ඉන්දියාවේ ජනතාවට පාඩුවක්” බව යි. ශිව් සේනාවේ බලවන්තයාව සිටි තැකරිගේ සාහසික ප‍්‍රාදේශීය ස්වෝත්තමවාදය යුක්ති සහගත කරමින් අගමැති මන්මෝහන් සිං මෙසේ පැවසුවේ ය: "ඔහුට මහාරාෂ්ට‍්‍රයේ අවශ්‍යතා විශේෂයෙන් වැදගත් විය. ප‍්‍රාන්තයේ ජනතා සිත් තුලට ගර්වයක හැඟීමක් කා වැද්දීමට ඔහු හැම විට ම පරිශ‍්‍රම දැරුවේ ය.

තැකරිගේ සාහසික උද්ඝෝෂන ව්‍යාපාරවලින් වාසි ලද්දෝ ෂිවාජි උද්‍යානයෙහි රංචු ගැසී සිටි වික්ෂිප්ත භාවයට පත්, දිශානතිය වැලහී ගිය දුප්පත්තු රැස් නො වෙති. පොහොසත්තු සහ වරප‍්‍රසාදිතයෝ ය. තැකරි ගැන ඉන්දියාවේ සංගත ප‍්‍රධානීන් අධික ලෙස ගුන ගයන්නේ එබැවිනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මෙම කූට ජනනායක මැරයා තමන්ට පිදූ සේවය පමනක් නො ව ඔහු පිලිබඳව තම සිත් රජයන ප‍්‍රිය මතකයන් ද සිහි කලහ.

බජාජ් ඔටෝ සමාගමේ සභාපති රාහුල් බජාජ්ට සිහි වූයේ බජාජ් කම්හලක හට ගත් කාර්මික මතභේදයක් කෙලවර කර ගැනීමට ශිව් සේනා නායකයා උපකාර කල ආකාරය යි. "මා ඔහු සමග එකට හිඳ භුක්ති විඳි නොයෙක් රාත‍්‍රී භෝජන සංග‍්‍රහවලින් සහ දිවා භෝජන සංග‍්‍රහ කීපයෙන් [තැකරි] මහත් සතුටට පත් වුනා, බොහෝ දේ ඉගෙන ගත්තා,” යන වැකිය ද බජාජ් එහි දී එක් කලේ ය. තවත් ප‍්‍රධාන මෝටර් රථ ලොක්කෙකු වන මහින්ද්‍ර සමාගමේ සභාපති ආනන්ද මහින්ද්‍ර පැවසුවේ, "තැකරි සම්මානිත සහ භ‍්‍රාන්ත පුද්ගලයෙක්” බව යි.

මහාරාෂ්ට්‍රයේ කොන්ග‍්‍රස් සහ ජාතිකවාදී කොන්ග‍්‍රස් පක්ෂවල සන්ධාන ආන්ඩුව තැකරි ඉන්දියානු ධනේශ්වරයට කල සේවාව පිලිබඳ සිය අගැයීම විශදව සලකුනු කලේ ය. තැකරිගේ රාජ්‍ය අවමංගල්‍යෝත්සවය දා මුලු මුම්බායි නගරය ම වසා තැබීම (බන්ද් ව‍්‍රතය) සිය ෆේස්බුක් අදහස්වල දී ප‍්‍රශ්නයට බඳුන් කල තරුනියන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට එය පොලීසියට නියෝග කලේ ය. පසුව කලහකාරී ශිව් සේනා සාමාජිකයෝ 2,000ක් පමන ගොස් ඉන් එක් තරුනියකගේ මාමා කෙනෙකු සතු සායනයකට පහර දී එය කොල්ල කෑහ.

නිවැරදිව කිවහොත් 17වන සියවසේ මරාති යුදකාමියෙකුවූ ශාවාජිගේ හමුදාව ලෙස සැලකෙන ශිව් සේනා පක්ෂයේ දෘෂ්ටිමය මුල් තිබෙන්නේ සම්යුක්ත මහාරාෂ්ට‍්‍ර (එක්සත් මහාරාෂ්ට‍්‍ර) ව්‍යාපාරය තරම් ඈතක ය. එහ මරාති බස රාජ්‍ය භාෂාව කල, මුම්බායි (එවක බොම්බාය) නගරය අගනුවර කල වෙන ම මහාරාෂ්ට‍්‍ර රාජ්‍යයක් උදෙසා එම ව්‍යාපාරය උද්ඝෝෂනය කලේ ය. 1956 දී පිහිටුවුනු සම්යුක්ත මහාරාෂ්ට‍්‍ර කමිටුව වාම හා දක්ෂිනාංශික බලවේගවල එකමුතුවක් විය. කවර ධජයක් යටතේ ද යත්, 1947 ප‍්‍රජාගනවාදී බෙදීමෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය මර්දනය කිරීමෙන් නිර්මානය වුනු ඉන්දියානු රාජ්‍යයේ මරාති බස කතා කරන බහුතරයක් සහිත ප‍්‍රදේශ එක්සත් කිරීමේ ධජය යටතේ ය. ඊට හින්දු මහාසභාවේ උග්‍ර වර්ගවාදීන් ද ඇතුලත් විය. තැකරිගේ පියා වූ ප‍්‍රබෝධන්කර් තැකරි සම්යුක්ත මහාරාෂ්ට‍්‍ර කමිටුවේ නායකයන්ගෙන් කෙනෙක් විය.

වත්මන් මාක්ස්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඑම්) ආරම්භක නායකයන් ද එවකට ඇතුලත්ව සිටි ස්ටැලින්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) මෙම ව්‍යාපාරය තුල ප‍්‍රධාන ක‍්‍රියා කලාපයක් ඉටු කලේ ය. ඒ අනුව ප‍්‍රතිගාමී මරාති භාෂාමය ප‍්‍රාදේශීයවාදය නීත්‍යනුකූල කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරීමට එය සහාය දුන්නේ ය.

තම අතිදක්ෂිනාංශික අදහස් ප‍්‍රවර්ධනය කිරීම සඳහා බාල් තැකරි දියත් කල මාමික් නම් මරාති සතිපතා පුවත්පතේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ඉහල පෙලේ කොන්ග‍්‍රස් නායක වයි.බී. චවාන් ය. 1960 මැයි මාසයේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත රාජ්‍යය නිර්මානය කර ඒ වන විට ගතව තිබුනේ යන්තම් මාස තුනකි. ගුජරාටීන් සහ දකුනු ඉන්දියානුවන් මුම්බායි ආර්ථිකය තුල දැරී යැයි කියන ලද ආධිපත්‍යයට තැකරි මුල සිට ම දැඩි විරෝධය පෑවේ ය.

1966 දී ඇරඹුනු තැකරිගේ ශිව් සේනා පක්ෂය සමාජ තත්ත්වයන් පිරිහීම සම්බන්ධයෙන් මහාරාෂ්ට‍්‍රයේ සුලු ධනේශ්වර තට්ටු අතර පැන නැගි කෝපාග්නිය වෙනතකට යොමු කිරීමට සේවය කලේ ය. ඒ පිරිහීමේ සැබෑ මූලයව තිබුනු ධනවාදී පාලනය වෙතින් මුස්ලිම් සුලුතරයට, පීඩිත කුලවලට සහ වෙනත් ප‍්‍රාන්තවලින් සංක‍්‍රමනය වූවන්ට එරෙහි ප‍්‍රජාගනවාදී, ආගමික වෛරයක් වෙතට යි.

මුල දී ශිව් සේනාව මැතිවරනවලට තරග නොකලේ ය. එහි අවධානය යොමුව තිබුනේ ආර්ථිකව අපේක්ෂා භංගත්වයට පත් තරුනයන් අතරින් පිරිසක් උකහා ගෙන මැර කල්ලි සංවිධානය කර මුම්බායිහි සිය අධිකාරය තහවුරු කර ගැනීම වෙතයි. ප‍්‍රහාරය සඳහා දකුනු ඉන්දියානු සංක‍්‍රමනිකයන් ඉලක්ක කර ගත් ශිව් සේනාව ඔවුන් සතුව තිබුනු අවන්හල් සහ වෙනත් ව්‍යාපාර විනාශ කර මරාතිවරුන් සේවයට ගන්නා ලෙස හාම්පුතුන්ට බල කිරීමට උත්සාහ කලේ ය. කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ට, රැලිවලට සහ කාර්යාලවලට එරෙහිව ද ඔවුහු ප‍්‍රහාර සංවිධානය කලහ.

1970 මැයි මාසයේ දී මුම්බායිහි මුස්ලිම් විරෝධී කැරලි උසි ගැන්වීමට තැකරි ක‍්‍රියා කලේ ය. ඉන් 82 දෙනෙක් ඝාතනයට ලක් වූහ. දැවැන්ත දේපල විනාශයක් සිදු විය. 1984 මැයි මාසයේ දී ද එවැනි ම වර්ගවාදී උද්ඝෝෂනයක් ඇවිලවින. භිවන්ධි නමින් හැඳින්වුනු එම ව්‍යාපාරයෙන් 278 දෙනෙකු ඝාතනය වී දහස් ගනනකට තුවාල සිදු විය.

තැකරි ඇඩොල්ෆ් හිට්ලර්ගේ නිර්ලජ්ජිත රසිකයෙක් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රකට විරුද්ධවාදියෙක් ද විය. කම්කරු පන්තියට එරෙහිව කලහකාරී පිරිස් ඇවිස්සීම සඳහා ඔහු මරාති ප‍්‍රදේශවාදය සහ මුස්ලිම් විරෝධී ස්වෝත්තමවාදය යොදා ගත්තේ ය. ප‍්‍රාන්ත රාජ්‍යයේ දේශපාලන කරලියෙහි ආධිපත්‍යය දැරූ ව්‍යාපාරික ආයතනවල සහ කොන්ග‍්‍රස් ලොක්කන්ගේ අනුග‍්‍රහය ලබා ගැනීමට ඔහු සමත් වූයේ මේ හේතු කොට ගෙන ය.

ශිව් සේනාව කම්ගාර් සේනා (කේඑස්) නමින් තමන්ගේ ම වෘත්තීය සමිතියක් පිහිටුවා ගත්තේ ය. එහි සාමාජිකත්වය මරාති බස කතා කරන්නන්ට පමනක් සීමා විය. මරාති බස කතා කරන්නන් කුලියට ගන්නා ලෙස එය පීඩනය යෙදී ය. ස්ටැලින්වාදීන්ගේ නායකත්වය යටතේ පැවති වෘත්තීය සමිති බිඳීමේ වුවමනාවෙන් සිටි කොන්ග‍්‍රස් පාලනාධිකාරය සහ ව්‍යාපාරික ප‍්‍රභූව කම්ගාර් සේනාවට රුකුල් දුන්නේ ය. කම්කරුවන් සහ ශිව් සේනා මැරයන් අතර විවෘත ඝට්ටන වර්ධනය වෙද්දී අපරාධ නඩු නොපවරන බවට කොන්ග‍්‍රසය තැකරි සහ ඔහුගේ අනුගාමිකයන්ට සහතික විය.

1975 ජූනි මාසයේ අගමැති ඉන්දිරා ගාන්ධි හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කල විට ශිව් සේනාව ඇයට සහාය දුන්නේ ය. හදිසි නීති යටතේ මූලික සිවිල් නිදහස මර්දනය කෙරින. වෘත්තීය සමිති සාමාජිකයන්, වාමාංශිකයන් සහ වෙනත් දේශපාලන විරුද්ධවාදීහු දස දහස් ගනනක් අත් අඩංගුවට ගැනුනහ. 1977 සහ 1980 ජාතික මැතිවරනවල දී ශිව් සේනාව කොන්ග‍්‍රසයට මුක්කුව දුන්නේ ය.

1982 ජනවාරි මාසයේ මුම්බායිහි 50කට වැඩි රෙදිපිලි කම්හල් වල 250,000කට වැඩි කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා වැඩ නතර කලහ. ශිව් සේනාව ප‍්‍රසිද්ධියේ වර්ජනයට විරුද්ධත්වය පෑ ය. වර්ජනය බිඳීමේ ද හොරිකඩකමේ ද නිරත විය. අවසානයේ වර්ජනය පරාජය විය. ඊලඟ වසරවල දී කම්කරුවන් දසදහස් ගනනකට සිය රැකියා අහිමි විය.

1990 ගනන් මුල නරසිම්හ රා ඕ කොන්ග‍්‍රස් ආන්ඩුව යටතේ ඉන්දියානු ධනේශ්වරයේ රාජ්‍ය මූලික සංවර්ධන මූලෝපාය අත් හලේ ය. ඊට ස්ටැලින්වාදීන්ගේ සහාය ලැබින. එමගින් රා ඕ ආන්ඩුව අනුග‍්‍රහ දැක්වූයේ කවර මූලෝපායකට ද? නව ලිබරල් වැඩ පිලිවෙලට යි. එනම් පෞද්ගලීකරනය, නියාමනය ඉවත් කිරීම සහ සමාජ වියදම් කැපීම යි. බීජේපීය ද ඇතුලු හින්දු ස්වෝත්තමවාදී බලවේග සමග එක් වුනු ශිව් සේනාව තීව‍්‍ර ප‍්‍රජාගනවාදී උද්ඝෝෂනයක් දියත් කලේ ය. අරමුන වූයේ ප‍්‍රතිගාමිත්වය ප‍්‍රවර්ධනය කිරීම සහ කම්කරු පන්තිය භේද කිරීම යි. 1992 දෙසැම්බරයේ මෙම ව්‍යාපාරය කුලු ගැන්වින. අයෝධ්‍යාවේ බබ්රි මස්ජිඩ් පල්ලිය සුන්බුන් කර දැමින. ඒ හේතුවෙන් උසි ගැන්වුනු ප‍්‍රජාගනවාදී ප‍්‍රචන්ඩත්වය ඉන්දියාව බෙදීමෙන් මෙපිට ඇති වුනු දැවැන්ත ම ප‍්‍රචන්ඩත්ව රැල්ල විය. ශිව් සේනාව මුම්බායිහි සහ මහාරාෂ්ට‍්‍රයේ අනෙක් කොටස්වල මුස්ලිම් විරෝධී සංහාර මාලාවක් ම සංවිධානය කලේ ය. 1993 මාර්තු මස තෙක් පැවතී ගෙන ගිය මෙම සංහාරයෙන් 900 දෙනෙක් ඝාතනය වූහ.

1995 මාර්තුවේ ශිව් සේනාව මහාරාෂ්ට‍්‍රයේ ප‍්‍රාන්ත ආන්ඩුවක් පිහිටුවී ය. මනෝහර් ජෝෂි මහ ඇමති ද බීජේපීයේ ගෝපිනාත් මුන්ඬේ නියෝජ්‍ය මහ ඇමති ද වූහ. 1998 සිට 2004 දක්වා ශිව් සේනාව දිල්ලියේ බීජේපී නායකත්වයෙන් යුතු ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධාන (එන්ඩීඒ) ආන්ඩුවේ කොටස්කරුවෙක් විය. මෙම ආන්ඩුව රා ඕ ආන්ඩුව මුල පිරූ වෙලඳ පොල හිතැති ප‍්‍රතිසංස්කරන පෙරට ගෙන ගියේ ය.

සීපීඅයි සහ සීපීඑම් යන පක්ෂ දෙකේ ස්ටැලින්වාදීහු ක‍්‍රමානුකූලව කම්කරු පන්තිය ධනේශ්වර පක්ෂවලට යටත් කිරීම මගින් ශිව් සේනාව මහාරාෂ්ට‍්‍රයේ ප‍්‍රමුඛ දේශපාලන පක්ෂය ලෙස මතු වී ඒමට පහසුකම් සපයමින් තීරනාත්මක ක‍්‍රියා කලාපයක් ඉටු කලේ ය. දශක ගනනාවක් තිස්සේ ඔවුන් එවැනි සන්ධානගත වීම් යුක්ති සහගත කලේ වැඩවසම්වාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව ජාතික ධනේශ්වරයේ "ප‍්‍රගතිශීලී” කොටසට සහාය දීමේ නාමයෙනි. දැන් ඔවුන් කොන්ග‍්‍රස් පක්ෂයට සහ නානාවිධ ප‍්‍රාදේශීයවාදී සහ කුලවාදී පක්ෂවලට දෙන සහාය යුක්ති සහගත කරන්නේ හින්දු අධිපතිවාදී බීජේපීය සහ ශිව් සේනාව බලය ගැනීම වැලැක්වීමේ නාමයෙනි.

1974 දුම්රිය කම්කරු වර්ජනය බිඳ හදිසි අවස්ථාව පනවන විට සීපීඅයි සිටියේ ඉන්දිරා ගාන්ධි ආන්ඩුවේ වාඩි ගෙන ය. එසමයේ ම සීපීඑම් කම්කරු පන්තිය ජනතා පක්ෂයට යටත් කලේ ය. එය එහෙන් මෙහෙන් ඇහිඳගත් කොන්ග‍්‍රස් නොවන ධනේශ්වර පක්ෂවල සන්ධානයක් විය. බීජේපීයේ පූර්වගාමියා වුනු ජන සංග් පක්ෂය එහි ප‍්‍රධාන ක‍්‍රියා කලාපයක් ඉටු කලේ ය.

(ස්ටැලින්වාදී) පක්ෂ දෙක ම ශිව් සේනාවේ මැර ප‍්‍රචන්ඩත්වයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ප‍්‍රතික්ෂේප කලේ ය. ඒ ඔවුන් සමස්ත දේශපාලනික සංස්ථාපිතය සමගත් උසාවි සහ පොලීසිය සමගත් ගැටුමකට යෑමට එයින් ඉඩ සැල‍සිය හැකිව තිබූ බැවින්ය.

ස්ටැලින්වාදියෝ ජාතික සහ ප‍්‍රාදේශීය මට්ටමේ දී කම්කරු පන්තිය ධනේශ්වරයේ පක්ෂවලට දේශපාලනිකව අභියෝග කිරීම වැලැක්වූහ. ධනේශ්වර පාලනයේ අසාර්ථකත්වයට තමන් ම සම්මාදම් වීමේ ප්‍රතිපලය වූයේ සුලු ධනේශ්වර කොටස්වල අපේක්ෂා භංගත්වය ගසා කෑම සඳහා ශිව් සේනා වැනි දක්ෂිනාංශික, ෆැසිස්ට් පක්ෂවලට දොර විවර කිරීම යි.

තැකරිගේ දේශපාලනික ජීවිතය ඉන්දියානු ධනේශ්වරය කම්කරු පන්තිය මර්දනය කිරීමේ උපක‍්‍රමයක් ලෙස ප‍්‍රජාගනවාදය සහ ජනවාර්ගික දේශපාලනය වගාදිගා කල ආකාරය පෙන්නුම් කරන ග‍්‍රාපික සටහනකි. එසේ ම, එය කොන්ග‍්‍රසයේ ක‍්‍රියා කලාපයට ද උදාහරනයකි. එය අනාගමික ආරක්ෂක පවුරක් නො ව හින්දු දක්ෂිනාංශයේ අපරාධ දුටු තැන නිහඬව සිටිමින් හින්දු දක්ෂිනාංශයට දරදිය ඇදීමක් විය.

Share this article: