“සමාජ පිපිරීම් ” පිලිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ග්‍රීසි‍ය නය පැහර හැරීම අද්දරට පැමිනෙයි

Greece default closer amid warnings of “social explosion”

By Nick Beams, 6 February 2012

ග්‍රීක සභාග ආන්ඩුවට අනුබද්ධ දේශපාලන පක්ෂවල නායකයෝ, තවත් යුරෝ බිලියන 130ක ඇප නය මුදල් ලබාගැනීම සඳහා හිලව්වට, පුලුල් කප්පාදු පියවර සඳහා කෙරෙන ඉල්ලීම් කෙරෙහි සිය ප්‍රතිචාරය දැනුම් දීම සඳහා අද අපර භාගයේ දී අගමැති ලූකස් පපඩමෝස් හමුවෙති.

යුරෝපීය සංගමය, යුරෝපා මහබැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ඊනියා ත්‍රිමූර්තිය විසින් පැට වූ ඉල්ලීම්වලට ලඟදීම එකඟත්වය පල නොවේ නම්, ලබන මස තරම් මුල දී ග්‍රීසිය තම නය ගෙවීම් පැහර හැරීමට ඉඩ ඇත.

05දා පැපඩමෝස් සමග දීර්ග සාකච්ඡාවලින් පසුව අදහස් දක්වමින් ආන්ඩුවට අයත් පක්ෂ තුනේ නායකයෝ, තමන් කප්පාදු ඉල්ලීම් පිලි නොගත් බව පැවසූහ.

කප්පාදු පියවරයන්ට පෞද්ගලික අංශයේ අවම වැටුප සියයට 25කින් කැපීම හා පරිපූරක විශ්‍රාම දීමනා සියයට 35කින් අඩු කිරිම ඇතුලත් බව විශ්වාස කෙරේ. ඊට අමතරව ක්ෂනික රැකියා අහිමිවීමට මග පාදමින් රජයේ ව්‍යවසායන් 100ක් වසා දැමීම හා 2015 වන විට රාජ්‍ය අංශයේ රැකියා 150,000ක් කප්පාදු කල හැකිය.

අවසන් එකඟත්වයකට එලඹ නැති නමුත්, මෙම වසර තුල දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5කට හෙවත්, යුරෝ බිලියන 3කට සමාන වියදම් කප්පාදුවක් ඇතුලත් “මූලික කාරනාවලට ” සභාග හවුල් කරුවන් එකඟ වී ඇතැ යි පපඩමෝස් පැවසීය.

කෙ‍සේ නමුත් දේශපාලන ප්‍රතිවිපාක පිලිබඳ පැහදිලි බියකින් පෙලෙන සභාග‍යේ සාමාජික‍යෝ, “ත්‍රිමූර්ති‍යේ ” මෑත ම ඉල්ලීම්වල පරිමාව කෙරෙහි විරුද්ධත්වය පල කරති.

මධ්‍ය-දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ‍යේ නායක ඇන්ටෝනිස් සමරාස් සාකච්ඡාවලින් පසුව ‍මෙ‍සේ පැවසී ය: “ඔවුහු රටට දැරිය හැකිවාට වඩා කප්පාදු ඉල්ලා සිටිති.” මේ වන විටත් අවුරුදු පහක් තිස්සේ දිග්ගැස්සෙන අවපාතය, වැටුප් කප්පාදු මගින් ගැඹුරු කරනු ඇතැ යි සමරාස් අනතුරු ඇඟවී ය.

සභාගයේ කනිෂ්ට හවුල් කරුවෙකු වන දක්ෂිනාංශික ලාඕස් පක්ෂයේ නායක ජෝර්ජ් කරට්සාෆේරිස් ඇති විය හැකි ප්‍රතිඵල පිලිබඳව වඩාත් විවෘත ලෙස අදහස් පල කලේ ය. “අපේ ඔද බිඳින හා යුරෝපය ගිනි තියන විප්ලවයකට දායක වීමට මා සූදානම් නැතැයි ” ඔහු පැවසී ය.

ලාඕස් පක්ෂ නායකයා, කප්පාදුවල ප්‍රතිඵලයක් හැටියට ග්‍රීසිය තුල “සමාජ පිපිරීමක් ” පිලිබඳව පසුගිය සතියේ දී අනතුරු ඇඟවී ය. යුරෝපා සංගමයේ සභාපති ජොසේ මැනුවෙල් බරෝසෝ වෙත යැවූ ලිපියක, “දශක ගනනාවක් තුල යුරෝපය නොදුටු ආකාරයේ ” ආර්ථික බිඳවැටීමක් හා සමාජ අසහනයක් කප්පාදු පියවරවල ඊලඟ වටය විසින් ඇති කල හැකි යයි ඔහු පැවසීය.

කරට්සාෆේරිස් මෙසේ ද පැවසී ය. “විශේෂයෙන් ම සමස්ත සමාජයෙහි සංකීර්න ව්‍යුහයේ ම සහභාගිත්වය අවශ්‍ය වෙලාවක, තුවක්කුව පෙන්වා ප්‍රතිසංස්කරන ඇති කල නොහැක. එය මුලු බටහිර යුරෝපයට ම කාල බෝම්බයකි”.

සමාජවාදී පක්ෂයේ මුදල් ඇමති ඉවැන්ජලෝස් වෙනිෂෙලෝස්, විකල්පය බංකොලොත්කම නම් එය වඩාත් නරක විය හැකිය යන පදනම මත, කප්පාදු පිලිබඳ එකඟත්වයක් ලබා ගැනීමට උත්සාහ කරයි. “ඔව්, විශ්‍රාම වැටුප් හා වැටුප් කප්පාදුවලට බල කරනු ලැබීම භයානක නමුත් අප මග හැරීමට උත්සාහ කරන දෙයෙහි ප්‍රතිවිපාක විස්තර කල නොහැකි තරම් ය ” යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වීය.

අවම වැටුපෙහි කප්පාදුව මසකට ඩොලර් 1,000 සිට 750 දක්වා වනු ඇති අතර එය දල වශයෙන් පෘතුගාලයේ මට්ටමට සමාන ය. සාපේක්ෂව පාරිභෝගික මිල ගනන් ඉහල තත්වයක පවතින තත්වය තුල ජනගහනයේ පුලුල් ස්ථරයන්ට මේ මගින් විනාශකාරී බලපෑමක් ඇති කෙරේ. උදාහරනයක් වශයෙන්, පෙට්‍රල් ගැලුමක සිල්ලර මිල ඩොලර් 8කි. මේ වන විටත් ග්‍රීසියේ විරැකියා අනුපාතය සියයට 20කි. දිනපතාම ව්‍යාපාර වැසීයන අතර නිවාස හිගය ඉහල නගී.

තරඟකාරිත්වය නැංවීමට අවශ්‍යය යන පදනම මත වැටුප් කප්පාදු දිරිගැන්වෙයි. කෙසේ වෙතත් එම ප්‍රකාශ විවාදිත ය. “තරගකාරිත්වය මත ඇතිකෙරෙන බලපෑම ඉතාමත් සුලු වන අතර එහි සමාජ බලපෑම දැවන්තය. ” යනුවෙන් අර්ථික විද්‍යාඥ යානිස් ස්ටෝනරස් නිව් යෝක් ටයිම්ස් පුවත්පතට පැවසී ය.

ත්‍රී මූර්තිය තරයේ ම කියා සිටින සිටින්නේ, යුරෝ බිලියන 4.4ක කප්පාදු පැකේජයේ කොටස් ලෙස අලුත් ම කප්පාදු වහාම ඉටු කල යුතු බව ය. එකඟත්වයක් ඇති නොවුන හොත්, මාර්තු 20දාට ගෙවීමට නියමිත යුරෝ බිලියන 20ක බැඳුම්කර නය පැහර හැරීම ආසන්නයට ග්‍රීසිය තවත් පියවරක් තබනු ඇත. නය පැහර හැරීම යුරෝ කලාපය පුරා අර්බුදයක් අවුලුවනවා ඇත. වසංගතය වහාම පෘතුගාලයට හා ඉතාලියට පැතිරෙනු ඇත. ජනවාරිය තුල වෙලඳපොල කැලඹුම සමහන් කරමින් යුරෝපීය මහ බැංකුව මූල්‍ය පද්ධතියට අරමුදල් පොම්ප කර තිබිය දී ම, පෘතුගාල බැඳුම්කරයන්ගේ පොලී රේට්ටු වාර්තාගත මට්ටමේ හෝ ඒ ආසන්නයේ පවතී.

ගැඹුරුවන ග්‍රීක අර්බුදය, නය පැහර හැරීමේ විනාශකාරී ප්‍රතිවිපාක පිලිබඳ යුරෝපීය නිලධාරීන්ගේ අනතුරු ඇඟවීම් සමග අත්වැල් බැඳගෙන ඇත. එවැනි ප්‍රකාශයන්ගේ එක් අරමුනක් ග්‍රීක ආන්ඩුවට සම්බන්ධ පක්ෂ මත හැකි උපරිම පීඩනය යෙදීමයි. එමෙන් ම ඒවා මූල්‍ය අර්බුදය පාලනය කල නොහැකි තරම් වේගයෙන් සර්පිලාකාරව භ්‍රමනය වෙතැ යි යන භීතියේ පිලිබිඹුවන් ය.

යුරෝ කලාපීය මුදල් ඇමතිවරුන්ගේ කන්ඩායමේ ප්‍රධානි ජීන් ක්ලවුඩේ ජුන්කර් ඩර් ස්පීගල් පත්‍රයට පැවසුවේ, බංකොලොත්වීමේ හැකියාව පිලිබඳ අනතුර, කප්පාදු පියවර ක්‍රියාත්මක කල යුතු අවස්ථාව වන විට ඇතන්ස් පාලනයට නව ශක්තියක් ගෙන දෙනු ඇති බව ය.

දීර්ගකාලීන පියවර පිලිබඳ අර්බුදයට අමතරව, ග්‍රීසියේ නය ප්‍රතිව්‍යුහකරනයහි කොටසක් ලෙස, බැඳුම්කර හිමියන් ඔවුන්ගේ ආයෝජනයන්ගෙන් කුමන ප්‍රමානයක් කපාහල යුතු ද යන්න තවමත් විසඳිය යුතුව ඇත.

ග්‍රීසිය සඳහා ස්වේච්ඡා නය ප්‍රතිලේඛනගත කිරිම පිලිබඳ එකඟත්වයකට පැමිනීමට අසමත් වුවහොත්, යුරෝ කලාපීය අර්බුදය පිලිබඳ “නව ප්‍රශ්න මතු කරන ක්‍රියාවලියක් ” විවෘත වනු ඇත යි ඩොයිෂ් බැංකු ප්‍රධාන විධායක නිලධාරී ජෝසප් ඇකර්මාන් සති අන්තයේ දී අනතුරු ඇඟවූයේ ය. “අපි ඇතිවන හෝ නැති වන තත්වයකට මුහුපා සිටින්නෙමු ” යයි ඔහු පැවසී ය.

ග්‍රීසියේ නය පැහර හැරීමක් දෝංකාර දෙනුයේ යුරෝපය තුල පමනක් නොවේ. එය ඇමරිකානු බැංකු හා මූල්‍ය ආයතන මත ද විශාල බලපෑමක් ඇති කල හැකිය. මෙම බැංකු බහුල වශයෙන් සෘජු නය දීම්වලට මැදිහත්ව නැති නමුත් බංකොලොත්කම ප්‍රකාශ කල අවස්ථාවක නය පැහර හැරීම් සඳහා තබා ඇති විශාල ඇප ගෙවීම්වලට මුහුන දෙයි.

නිර්දේශිත කප්පාදු පියවරවල ගැඹුර, යුරෝපයේ ද ජාත්‍යන්තරව ද මූල්‍ය ප්‍රභූව විසින් පටවනු ඇති සමාජ විනාශය පිලිබඳව කම්කරු පන්තියට කෙරෙන අනතුරු ඇගවීමකි.

Share this article: