ග්‍රීක ආන්ඩුව ගොරතර කප්පාදුවලට එකඟ වෙයි, එහෙත් ‍ත්‍රිත්වය තව තවත් කප්පාදුවලට බල කරයි

Greek government agrees to savage cuts, but troika demands more

By Robert Stevens , 8 February 2012

ග්‍රීක අගමැති ලුකාස් පපඩිමොස්ගේ ආන්ඩුවට පිලියම් යෙදීමට ‍ත්‍රිත්වය (යුරෝපියානු සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපියානු මධ්‍යම බැංකුව) විසින් අඟහරුවාදා රාත්‍රියේ පැවැති සාකච්ඡාවන් යු‍රෝ බිලියන 130ක ගලවා ගැනීමේ පැකේජය ලබා දීමට හිලව් ලෙස‍ ග්‍රීක ආන්ඩුව ගෙවිය යුතු යැයි ඉල්ලා සිටිනු ලැබූ කප්පාදු පිලිබඳ එකඟතාවකට ඒමට නොහැකි වීමෙන් අසාර්ථකත්වයට පත් විය. මුදල් නොමැති වුවහොත්, යුරෝ බිලියන 14.5ක බැඳුම්කර නය වසයෙන් ගෙවීමට තිබිය දී, ග්‍රීසියට මාර්තු 20 වෙනි දින පටන් එහි නය මත බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට බල කරනු ඇත.

නාකපන වැසි නොතකා විරෝධතාවේ යෙදෙමින් ඇතන්ස්හි රැස් වූ දස දහස් ගනනක් විරෝධතාකරුවන්ගේ ජාතික පරිමානයේ එක්-දින වැඩවර්ජනය මධ්‍යයේ සන්ධාන පක්ෂ මුන ගැසුනහ. වැඩවර්ජනය කැඳවා තිබුනේ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සම්මේලනය වන ජීඑස්ඊඊ හා රාජ්‍ය-අංශයේ ඒඩීඊඩීවයි සම්මේලනය විසිනි. වැඩවැරුම රටපුරාම ප්‍රවාහනයට බලපෑම් එල්ල කල අතර බොහෝ පාසැල්, අමාත්‍යංශ, රෝහල් හා බැංකු වසා දැමුනේය, නොඑසේ නම් ඒවායේ වැඩ කටයුතු ඉතාම සුලු කාර්ය මන්ඩලයකින් පවත්වා ගැනීමට බල කෙරුනි. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුලු ගෑස් එල්ල කලේ ය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පැසොක් පක්ෂය, කොන්සර්වැටිව් නිව් ඩිමොක්‍රටික් හා නව-ෆැසිස්ට් එල්ඕඒඑස් පක්ෂ අතර පැවැති සාකච්ඡාවන් සමාජ සේවාවන්, රැකියා හා වැටුප් මත නව වටයකින් දරුනු ප්‍රහාර එල්ල කිරීමට පක්ෂ තුන එකඟ වුවත් "ත්‍රිත්වය" විසින් ඉල්ලා සිටි පුලුල් පරිමානයේ කප්පාදුව පිලිබඳ එකඟතාවකට ඒමට ඔවුන්අසමත් වීම නිසා සාකච්ඡා කඩා වැටුනි. පක්ෂ නායකයින් යලි වතාවක් අද හමු වීමට නියමිත අතර යුරෝ කලාපයේ මුදල් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා පැකේජයක් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

ත්‍රිත්වය බල කර සිටි පිටු 50කින් සමන්විත "මධ්‍යම-පරිමානයේ මූල්‍ය වැඩපිලිවෙල” පිලිබඳ සාකච්ඡාව සඳුදා කල් දමනු ලැබුවේ එහි අන්තර්ගතය පිලිබඳව සලකා බැලීමට ග්‍රීක ආන්ඩුවේ පක්ෂ සඳහා තව කල් ලබා ගැනීමට හැකි වනු පිනිස ය. එහෙත් පක්ෂ කම්කරු පන්තිය මත පෙර නුවූ විරූ ප්‍රහාර එල්ල කිරීමට එකඟවීමේ පදනම මත සාකච්ඡාවන් යලි ආරම්භ කර තිබිනි.

පපඩිමොස් ආන්ඩුව මෙම වර්ෂය සඳහා යුරෝ බිලියන 3.3කින් වියදම් කපා දැමීමට අත්සත් කර ඇතැයි දැන ගැනීමට තිබේ. එහෙත් ප්‍රසිද්ධියේ නිරූපනය කරන්නේ යුරෝ 1.1ක සෞඛ්‍ය වියදම් කප්පාදු හා ප්‍රාදේශීය ආන්ඩුවල දීමනාවන් යුරෝ මිලියන 440කින් පමනක් කපා දමා ඇති බවකි.

එමෙන්ම එය, ත්‍රිත්වයේ මූලික ඉල්ලීම්වලින් එකක් වන ක්ෂනික රැකියා අහිමි කිරීමක් සඳහා වන ඉල්ලීම මෙම වසරේ දී රාජ්‍ය අංශයේ රැකියා 15,000ක් කපා හරිනු ඇතැයි නිවේදනය කිරීම හරහා පිලිගෙන තිබේ. ආන්ඩුව, රාජ්‍ය අංශයේ මුලු රැකියා ප්‍රමානය වන 750,000ක් රැකියාවලින් 150,000ක් 2015 වසර වන විට අතුගා දැමීමට දැනටමත් අදිටන් කර ගෙන සිටියි.

ක්‍රියාවට දැමීමට සැලසුම් කරමින් සිටින අනෙකුත් පියවරයන් වන්නේ පෞද්ගලික අංශයේ යුරෝ 750ක අවම වැටුපෙන් සියයට 25ක් කපා දැමීම, පරිපූරක විශ්‍රාම වැටපෙන් සියයට 35ක් අඩු කිරීම හා අතිරේක මාසයක වැටුපට සමානව තිබෙන නිවාඩු දින බෝනස් අත්හිටුවීම යනාදිය යි.

කිසිදු සැකයකින් තොරව පක්ෂ තුන ම ‍ත්‍රිත්වය විසින් ඉල්ලා සිටින කවර ඉල්ලීමකට වුව සහය පල කරනු ඇත. එහෙත් සැලසුම් කරමින් සිටින ප්‍රහාරයන්වල ඉමහත් බව කොතෙක් ද යත් ත්‍රිත්වයේ ඉල්ලීම් ලේශ මාත්‍ර සංකේතාත්මක විරෝධතා දැක්වීමකින් හෝ තොරව පිලිගැනීම දේශපාලන දිවි නසා ගැනීමක් වනු ඇතයි ඔවුහු ගනන් බලති. "අවාසනාවකට සාකච්ඡාවන් කොච්චර දැඩි ද යත්, එක් ජවනිකාවක් නිමා වන විට තව එකක් විවෘත වෙනවා” යනුවෙන් විස්තර කරමින් ග්‍රීක මුදල් ඇමැති එවැන්ජෙලෝ වෙනිසොලොස් විසින් ත්‍රිත්වය සමග සාකච්ඡාවන් හැඳින්වූයේ (කපන කපන හැම කොටසකින් ම යලි සම්පූර්න සත්වයා වැඩෙන) "හයිඩ්‍රාවෙකුගේ හිසක්” වසයෙනි.

ග්‍රීක ආර්ථිකය මංකොල්ලකමින් තිබෙන අතර බැංකු හා ගෝලීය සමපේක්ෂකයින් ආරක්ෂා කර ගැනීමට මිලියන ගනනක් දරිද්‍රතාවට තල්ලු කරමින් තිබේ.

යුරෝපියානු නිලධාරීන් අවධාරනය කරමින් සිටින්නේ නව නය ග්‍රීක ආන්ඩුවට සෘජුව ම ලබා දීම වෙනුවට ඕනෑම වියදමක් පලමුකොට ග්‍රීක නය සඳහා යෙදවීමට ඉල්ලා සිටින තුන්වන පාර්ශවයක ගිනුමක ඒවා තැන්පත් කල යුතු බවයි. ඉන් අනතුරුව පමනකි, ඉතිරි වෙන දෙයකින් වැටුප්, විශ්‍රාම වැටුප් හා සෞඛ්‍ය දීමනාවන්වලට ගෙවීම සහ ප්‍රවාහනය, විදුලි බල ජනනය හා අනෙකුත් මූලික සේවාවන් නඩත්තු කිරීම කල හැකි වන්නේ.

ග්‍රීසිය සඳහා රටේ ඉහල ම මූල්‍ය ප්‍රමුඛතාව ලෙස නයට පිලියම් යෙදීම නීති ගත කිරීමේ කාරනය සලකා බලමින් පවතින තවත් විසඳුමක් බව ප්‍රන්ස ජනාධිපති නිකොලාස් සාකෝසිගේ පුද්ගලික සහකාරයෙක් පැවසුවේ ය.

ජර්මනිය හා ප්‍රන්සය විසින් තල්ලු කරන ලද යෝජනාව ජර්මනිය විසින් ඉදිරිපත් කරල ලද එහෙත් පසුගිය සතියේ යුරෝපානු සංගම් සමුලුවේ දී පසෙකට තල්ලු කරන ලද යෝජනාවේ මූලික අංගවලින් බොහෝමයක් යලි ඉදිරිපත් කරයි. එම යෝජනාවේ දී ජර්මනිය, ග්‍රීසියේ වියදම් තීන්දු ගැනීම්වල දී නිෂේධ බලය යෙදවිය හැකි තෝරාපත් කර නොගත් "අයවැය කොමිසාරිස්වරයෙක්” ස්ථාපිත කිරීම සඳහා කැඳවුම් කලේය. මූල්‍යමය ආඥාදායකයෙක් සඳහා එම විවෘත යෝජනාව මේ දක්වා ඉවතට දමා තිබෙන අතරේ යුරෝපීය සංගම්- ජාමූඅ විසින් පිරිනැමූ නය ග්‍රීසිය ප්‍රථමයෙන් එහි බැංකුකරුවන්ට ගෙවීමට භාවිතා කල යුතු ය යන්න ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ ඉල්ලීම වන අතර නව සැලසුමට බැඳුම්කර හිමියන් ද ඇතුලත් කර තිබේ.

වාර්තා වන පරිදි ප්‍රන්ස - ජර්මානු යෝජනාවට යුරෝපීය සංගමය හා යුරෝ කලාපයේ තවත් රටවල් කීපයක් විසින් පිටුබලය සපයනු ලැබේ.

යෝජනාව "මූල්‍යමය ලෝහ සැට්ටයක්” වසයෙන් වොෂිංටන් පෝස්ට් පුවත්පත නම් කලේය. ෆිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත කීවේ, "නව ප්‍රතිසංස්කරන ඉල්ලීම්වලට ඇතැන්ස් තදබල ලෙස කැප වන්නේ නැති නම් ග්‍රීක ආන්ඩුව පවත්වා ගෙන යාමට අමතර මුදල් යෙදවීම තවදුරටත් අත්හිටුවිය හැකි ය” යනුවෙනි.

ඇප බැඳීම හා පටිතද කිරීමේ පියවර එක්ව ගත් විට අඩු කිරීමට ඉලක්ක කර තිබෙන ග්‍රීක නය ප්‍රතිශතය, වත්මන් දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 160ක සිට 2020 වසර වනවිට සියයට 120ක ප්‍රතිශතයක් දක්වා පමනි. ත්‍රිත්වය විසින් යෙදවීමට නියමිත යුරෝ බිලියන 130 පවා රැඳී ඇත්තේ ග්‍රීසිය පෞද්ගලිකව දරන ෆ්රෑන්ක් බිලියන 200ක් වන නයෙන් යුරෝ බිලියන 100ක ප්‍රමානයක් කපා දැමීම වටා ග්‍රීසිය හා ජාත්‍යන්තර බැංකු හා පුද්ගලික බැඳුම්කර හිමියන් අතර වෙන් වෙන්ව පැවතී ගෙන යන සාකච්ඡාවල ප්‍රතිපලය මත ය. කෙසේ වෙතත්, බැංකු මෙම නය "කැපීම”ට හිලව් වසයෙන් ඉහල පොලී රේට්ටුවක් ගෙවන නව බැඳුම්කර සඳහා ඔවුන්ගේ පරන බැඳුම්කර හුවමාරු කරන්නැයි ග්‍රීසියෙන් ඉල්ලා සිටී.

බොහෝදුරට ම විය හැකි දෙය වන්නේ ග්රීසිය සිය නය නිසාවෙන් බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරනු ඇති බවත් යුරෝ කලාපයෙන් පිටමං කරනු ඇති බවත් ය. ජර්මනියේ ප්‍රන්සයේ හා නෙදර්ලන්තයේ ඉහල ම දේශපාලකයෝ මෙම විකල්පය විවෘතව ඉස්මතු කොට ඇත.

යුරෝ කලාපයෙන් ග්‍රීසිය ඉවත් කිරීමක් ප්‍රමුඛ ප්‍රශ්න පැන නංවනු නැතැයි නෙදර්ලන්තයෙන් පත් ව ආ යුරෝපීය කොමසාරිස් වන නීලි ක්රෝස් ඊයේ ඩෙවොල්ක්‍රාන්ට් වෙත කීවේ ය. "ඔවුන් සැමවිටම කීවේ, ඔබ රටක් පහත වැටීමට ඉඩ දෙන්නේ නම් හෝ පිටමං වීමට කියන්නේ නම් මුලු මන්දිරය ම කඩා වැටෙනු ඇති බව යි. එහෙත් එය සරලව ම සත්‍යය නොවේ,” යයි ඔහු කීවේ ය.

යුරෝපියානු කොමිෂමේ සභාපතිවරයා වන ජෝසේ මැනුවල් බරෝසෝට මෙම ප්‍රකාශයට විරුද්ධ වීමට බල කෙරුනි. " ග්‍රීසිය බංකොලොත්භාවයට යාමේ වියදම මෙන් ම යුරෝවෙන් ග්‍රීසිය පිටමං වීමේ ශක්‍යතාවක වියදම ග්‍රීසියට අනවරතව සහය දීමේ වියදමට වඩා බෙහෙවින් අධික වනු ඇත,” යි ඔහු සඳහන් කලේ ය.

කෙසේවතුදු, පැපඩිමොස් ග්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත් වීමෙන් වියහැකි බලපෑම සෙවීම අධ්‍යයනය කිරීමට සැලසුම් තනද්දී ආන්ඩුව යුරෝ කලාපයෙන් ශක්‍ය ඉවත්ව යාමක් සූදානම් කරමින් සිටී.

ආන්ඩුවේ පක්ෂ මෙන් ම විරුද්ධත්වය දැක්වීමට ග්‍රීක වෘත්තීය සමිතිවලට බල කෙරී ඇත. එහෙත් ඔවුන් හාම්පුතුන් විසින් ඉල්ලා සිටින කවරක් වුවද සිදු කරනු ඇති අතර කප්පාදු ක්‍රියාවට දමමින් සිටින තේරී පත් නොවූ පපඩිමොස්ගේ "තාක්ෂන විශේෂඥ" ආන්ඩුව බලයෙන් හෙලීමට කිසිදු අදහසක් නැත. ග්‍රීක ධනවාදයට හා සංගත-මූල්‍ය ප්‍රභූව වෙත ඔවුන්ගේ යටත් වීම නොවරදින ලෙස ප්‍රදර්ශනය කරමින් වෘත්තීය සමිති පසුගිය සතියේ දී පපඩිමොස් වෙත යැවීමට හාම්පුතුන්ගේ සම්මේලනය සමඟ ඒකාබද්ධ ලිපියක් අත්සන් කලහ. ඒ‍ ත්‍රිත්වයේ ඉල්ලීම්වලට යම් විරුද්ධත්වයක් දැක්වීමටත් කම්කරු පන්තියේ කොන්දේසිවලට පහර දීමේ වෙනත් ක්‍රම යෝජනා කිරීමටත් ය.

යුරෝ කලාපයෙන් ග්‍රීසිය ඉවත්ව යාමක් සඳහා පාලක කව තුල සූදානම් වීම් කෙරී ගෙන යද්දී, ඊනියා ව්‍යාජ-වාම කල්ලි සියල්ල ම -- ග්‍රීසියේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කේකේඊ), සිරිසා හා ඇන්ටාස්යා-- යුරෝවෙන් ඉවත්ව යාම හා ග්‍රීසියේ ඩ්රැක්මා මුදල් ඒකකය වෙත ආපසු යාම "ජාතික ස්වයං- නිර්නයේ” ප්‍රගතිශීලි සහතික කිරීමක් ලෙස උතකර්ෂයට නංවති. එවැනි ප්‍රතිපලයක්, ඇත්ත වසයෙන්ම නම්, වත්මන් කප්පාදු වැඩපිලිවෙල යටතේ ග්‍රීක ක කම්කරු පන්තිය මුහුන දෙමින් සිටින කොන්දේසිවලට නොඅඩු ලෙස ව්‍යසනකාරී වනු ඇත. එය අති-උද්ධමනයක් මුදා හරිනු ඇතිවාක් මෙන් ම මධ්‍යම පන්තියේ කොටස් අතුගා දමන අතරේ කම්කරුවන්ගේ සැබෑ වැටුප් හා විශ්‍රාම වැටුප් දරුනු ලෙස පිරිහෙලනු ඇත.

මෙම පක්ෂ හා සන්ධාන සියල්ල ම, යුරෝපානු සංගමය හා එහි පාර්ශවකාර ආන්ඩුවලට එරෙහිව ග්රීක, යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ ප්‍රහාරයක් මත පදනම් වූ මොනයම්ම හෝ අරගලයක් ප්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට ඔවුහු නය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ග්‍රීක ධනවාදය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරයක් තුලට වැඩෙන මහජන විරුද්ධත්වය පීලි පැන්නවීමටත් වෘත්තීය සමිති නිලධරය විසින් අධිකාරිය දරනු ඇති මැතිවරන පෙරමුනක් පිහිටුවීම සඳහාත් අඛන්ඩ සාකච්ඡාවල නිරත වෙමින් සිටිති.

Share this article: