ඊජිප්තු විප්ලවය, "මුස්ලිම් සහෝදරත්වය” පක්ෂය හා විප්ලවවාදී සමාජවාදීන්ගේ ක්ෂමාලාප

This provides many striking parallels with events today, not least the role of the type of Popular Frontism

By Jean Shaoul, 6 January 2012

දෙවන කොටස

මෙය ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් විප්ලවවාදී සමාජවාදීන් පෙරට දමන දේශපාලනික ක්ෂමාලාප ගැන ලියැවෙන කොටස් තුනකින් සමන්විත ලිපි මාලාවේ දෙවන කොටසයි. මෙහි පලමු කොටස ජනවාරි 28 දින පල කෙරින.

1952 නිදහස් නිලධාරීන්ගේ කුමන්ත‍්‍රනය

විප්ලවවාදී සමාජවාදීන් විසින් මුස්ලිම් සහෝදරත්වයේ "ප‍්‍රගතිශීලී” හා වමට නැඹුරුවීමේ ස්වභාවය ගැන කියා පෑම ප‍්‍රතික්ෂේප කරනු පිනිස 1952 දී මිලිටරිය බලයට ගෙනා දේශපාලන හා සමාජ බලවේග පිලිබඳ ව පරීක්ෂා කර බැලීම වටී. විප්ලවවාදී තත්වයක දී කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමක් වලකා ලීම සඳහා ආර්එස් පක්ෂය විසින් දැන් පෙරට දමන මහජන පෙරමුනුවාදය (Popular Frontism ) ආකාරයේ භූමිකාවට නොඅඩු, වර්තමාන සිද්ධීන් සමඟ සමාන්තර ව යන බොහෝ සිත් ගන්නා සුලු සිද්ධීන් මෙමඟින් පෙන්නුම් කරනු ලබයි.

බොහෝ යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල් මෙන් ම ඊජිප්තුව ද දෙවන ලෝක යුද්ධයෙන් පසුව දේශපාලන පැසවීමකට ලක් විය. එහි ආර්ථිකය කඩා වැටී තිබුනි. සියලු සමාජ ස්තරයන් ම වාගේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී විය ගහෙන් මිදෙන්නට ප‍්‍රයත්න දැරී ය. එහෙත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සිය රූකඩයක් වූ ෆාරුක් රජු හරහා ඊජිප්තුව දිගට ම පාලනය කල අතර ප‍්‍රන්සය සමඟ එක් ව ඊජිප්තුවේ ආදායමේත් රැකියාවලත් ප‍්‍රධාන ප‍්‍රභවය වූ සූවස් ඇල සියතට ගෙන පාලනය කලේ ය.

ආන්ඩුව තුල, අනාගමික ධනේශ්වර ජාතිකවාදී වාෆ්ඩ් පක්ෂය- මෙය බි‍්‍රතාන්‍යයට එරෙහි 1919 නැඟිටීමේ සිට ජාතික ව්‍යාපාරයට නායකත්වය දී තිබූ අතර 1924 දී ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ කම්කරු පන්ති නැඟිටීම බිඳ දමා තිබුනි- බරපතල සමාජ ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට නැංවීමට අසමත් බව ඔප්පු කලේ ය. මෙය කම්කරු පන්තිය බලය ගැනීමේ ප‍්‍රශ්නය මතු කල මහා වැඩවර්ජන, පෙලපාලි, දේශපාලන නොසන්සුන්කම හා අස්ථාවරත්වයකට තුඩු දුනි.

එහෙත් "තනි රටේ සමාජවාදය” ගොඩ නැඟීම නමැති වංචාකාරී වේශය යටතේ ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍ර විසින් ලෝක සමාජවාදී විප්ලවය පාවා දීම හේතු කොට ගෙන් මෙය සාක්ෂාත් කර ගැනීමේ හැකියාව වලක්වා ලන ලදි.

හිට්ලර්-ස්ටැලින් ගිවිසුම බිඳ වැටීමෙන් හා 1941 නාසි ජර්මනිය විසින් සෝවියට් සංගමය ආක‍්‍රමනය කිරීමෙන් පසුව, බි‍්‍රතාන්‍ය හා මිත‍්‍ර හමුදා සමඟ එක්වූ ස්ටැලින් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ට නියෝග කලේ, බි‍්‍රතාන්‍යයන් එලවා දැමීමට යුද්ධය අවස්ථාවක් ලෙස දුටු යටත් විජිත විරෝධී ව්‍යාපාරවලට දෙන ඔවුන්ගේ සහයෝගය අත් හරින ලෙස ය. පසුව පලස්තීනය බෙදා වෙන් කිරීමට හා ඊස්රායලය ස්ථාපිත කිරීමට සෝවියට් සංගමය දුන් සහයෝගය මුලු අරාබි ලෝකය පුරා ම කෝපය දල්වන්නක් විය.

ඊජිප්තුව තුල, කොමියුනිස්ට් පක්ෂය හා එහි විවිධ අතුරිකිලි 1930 ගනන්වල දී අති- වාම ඉදිරිදර්ශනයක් හා මහජන පෙරමුනක් තුල ධනේශ්වර පක්ෂ වැලඳ ගැනීමක් අතර දෝලනය වෙමින් තිබුනි. ඇතැම් අවස්ථාවල ඉස්ලාම්වාදීන් විප්ලවවාදීන් ලෙස සලකා ඔවුන් වැලඳ ගත් අතර එය අවසන් වූයේ ඉස්ලාම්වාදීන් ඔවුනට පහර දුන් පසුව ය. එවිට ඔවුන් ඉස්ලාම්වාදීන් ෆැසිස්ට්වාදීන් ලෙස හැඳින්වී ය.

මෙසේ තිබිය දී වුව ද, 1947 දී ඊජිප්තු කොමියුනිස්ට් පක්ෂය විසින් ආරම්භ කල ජාතික විමුක්තිය සඳහා වූ ප‍්‍රජාතාන්ත‍්‍රික ව්‍යාපාරය (ඩීඑම්එන්එල්) තව මත් සැලකිය යුතු සහයෝගයක් දිනා ගෙන තිබුනි. එහෙත් තමන් "කම්කරු පන්තියේ සටන් සංවිධානයක්” යැයි කියා ගන්නා අතරේ ම, "සියලු පන්තිවල හා ජාතියේ සියලු ජාති හිතෛෂී කන්ඩායම්වල” උවමනාවන් තමන් ආරක්ෂා කරන බව ද එය අවධාරනය කලේ ය. ඩීඑම්එන්එල් ව්‍යාපාරය, ඊජිප්තුව බඳු යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල්වල සමාජවාදය සඳහා අරගලය පලමු ව "ප‍්‍රජාතාන්ත‍්‍රික ධනවාදයේ” අවධිය පසු කල යුතු බව අවධාරනය කල ස්ටැලින්ගේ "අවධි දෙකේ විප්ලව” න්‍යාය පිලිගත්තේ ය.

1948-54 සමාජ නැඟිටීම් තුල, ඩීඑම්එන්එල් තර්ක කලේ මහජනතාවගේ විප්ලවවාදී ප‍්‍රයත්න මර්දනය කොට වාෆ්ඞ් හා මුස්ලිම් සහෝදරත්වය සමඟ "මහජන” හා "ජාතික” පෙරමුනකට එය යටත් කල යුතු බව ය. සමාජවාදය සඳහා අරගලය පටන් ගත හැකි ව තිබුනේ ධනපති ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවය ජය ගැනීමෙන් පසුව බව ඔවුන්ගේ අදහස විය.

මෙම පිලිවෙතට එරෙහි ව සටන් වැදුනු ඊජිප්තුවේ හතරවන ජාත්‍යන්තරයේ සහායකයන් අත්අඩංගුවට හා මර්දනයට ලක්වූ පලමු පිරිස අතර විය. වාෆ්ඩ් පක්ෂය බිඳ වැටුනු පසු, ධනේශ්වරයේ පුලුල් ස්තරයක් කම්කරු පන්තිය තුල වූ කොමියුනිස්ට් බලපෑමට එරෙහි ව සටන් කිරීමේ මාධ්‍යයක් ලෙස මුස්ලිම් සහෝදරත්වය වෙතට මාරු වුනි. රජු කම්කරු පන්තිය මැඩලීමට හමුදාව කැඳවූ නමුත් හමුදාව සිටියේ ඔවුන් පලස්තීනයේ ලද පරාජය ගැන අතෘප්තියෙන් කැකෑරෙමිනි. 1949 දී, හමුදාව තුල කන්ඩායම් නිදහස් නිලධාරී ව්‍යාපාරය ගොඩ නඟා තිබුනි. කර්නල් ගාමල් අබ්දුල් නසාර් ඇතුලත් බොහෝ අය වෙත මුස්ලිම් සහෝදරත්වයේ බලපෑම තිබුනි; අනාගත ජනාධිපති අන්වර් සදාත් එම සංවිධානයේ සාමාජිකයකු විය.

ෆාරුක් රජුට ඇති දේශපාලන විරුද්ධත්වය සමාජවාදී විප්ලවයකට තුඩු දෙනු ඇතැයි නිදහස් නිලධාරීහු බියපත් වූහ. ඊජිප්තු ජාතිකවාදය නමැති ධජය යටතේ පූර්වභංග වැඩවර්ජනයක් කැඳවූ ඔවුහු ෆාරුක් එලවා දැමුහ. ඔවුන්ගේ ජුන්ටාව වන විප්ලවවාදී අන දෙන කවුන්සිලයේ (ආර්සීසී) ජනාධිපති ලෙස ජෙනරල් මොහමඩ් නගුයිබ් පදවි ප‍්‍රාප්ත කෙරින.

බලය ගැනීමෙන් පසුව, ආර්සීසීය ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ රෙදිපිලි කම්කරුවන්ගේ වැඩවර්ජන හා පෙලපාලි මැඩ පැවැත් වී ය. කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන ක‍්‍රියාවක් ඉවසනු නැති බවට අනතුරු අඟවමින් ආර්සීසීය වැඩවර්ජන නායකයන් කර්මාන්ත ශාලා බිම්වල එල්ලා මැරී ය.

ඩීඑම්එන්එල් නගියුබ් තන්ත‍්‍රයට විරුද්ධත්වය පල කරන විට කම්කරු ව්‍යාපාරය තුල එහි බලපෑම අහිමි වී තිබුනි. මෙයින් නිර්මානය කෙරුනු දේශපාලන රික්තය අවසානයේ දී නගියුබ්ට එරෙහි බල අරගලය තුල 1954 නසාර්ගේ ජයග‍්‍රහනයට තුඩු දුන්නේ ය. නසාර් ස්ටැලින්වාදී නායකයන් සිරගත කරමින් ද වෘත්තීය සමිති උග‍්‍ර ලෙස දඬු ගසමින් ද ඩීඑම්එන්එල්, කොමියුනිස්ට් හා සමාජවාදී පක්ෂ හා වාෆ්ඩ් පක්ෂය ඇතුලු සියලු දේශපාලන පක්ෂ නීතිවිරෝධී කිරීමට පියවර ගත්තේ ය.

දේශපාලන තහනමෙන් බේරුනේ මුස්ලිම් සහෝදරත්වය පමනි. සහෝදරත්වයේ නායකයෝ පලමු ව 1952 නිදහස් නිලධාරීන්ගේ කුමන්ත‍්‍රනයට සහයෝගී ව සිටි අතර මිලිටරියට ඇති සහයෝගය වර්ධනය කරලීමට වැඩ කලෝ ය. නසාර් අනාගමික ව්‍යවස්ථාවක් පිලිබඳ ව අවධාරනය කල විට ය, සහෝදරත්වය මිලිටරියට විරුද්ධ වීමටත් නසාර් ඝාතනය කිරීමට ප‍්‍රයත්න දැරීමටත් පටන් ගත්තේ. නසාර් 1954 දෙසැම්බරයේ දී සහෝදරත්වය නීති විරෝධී කලේ ය.

නසාර්ගේ වැනි ව්‍යාපාරයන්ට සෝවියට් සංගමය හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අතර සීතල යුද ගැටුම උපයෝගී කරගෙන පෙනුමට යම් ප‍්‍රමානයක ස්වාධීනත්වයක් රැක ගෙන අධිරාජ්‍ය විරෝධී පැහැ ගැන්වීමකින් යුත් පිලිවෙත් ක‍්‍රියාවට දැමීමට හැකි වීමත් සමඟ බොහෝ වසර ගනනකට සහෝදරත්වය දේශපාලනික පල්ලම් බැසීමකට ගියේ ය. ඊජිප්තුවේ මෙම පිලිවෙත්වලට රාජාන්ඩුව පෙරලා දැමීම, බි‍්‍රතාන්‍ය හමුදා ඉවත් කිරීම, සූවස් ඇල ජනසතුකරනය, 1956 දී සූවස් ඇලෙන් බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්ස හමුදා ඉවත් කිරීම අන්තර්ගත විය. මෙයින් රාජ්‍යයේ සීමිත අනාගමිකකරනයක් ද විශාල වතු බිඳ විසුරුවීමක් ද මූලික කර්මාන්ත ජනසතුකරනයක් ද අධ්‍යාපනයේ, මූලික යටිතල පහසුකම් හා සමාජ සේවාවල වර්ධනයක් ද අඩංගු වූ ආර්ථික හා සමාජ ප‍්‍රතිසංස්කරනවල කාලපරිච්ඡේදයක් ආරම්භ කෙරුනි.

ඉස්ලාම්වාදයේ යලි පැන නැඟීම

1970 ගනන්වල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග අනුග‍්‍රහශීලී දිශාවට ඊජිප්තු ධනේශ්වරයේ අධිෂ්ඨානවත් පෙලගැස්මෙන් වාසි ගැනීමට යොමු වූ සහෝදරත්වය ඇතුලු ඉස්ලාම්වාදී කන්ඩායම්වල දේශපාලනික යලි මතුවීමක් ඇති විය. කෑම්ප් ඩේවිඩ් ගිවිසුම අස්සන් කිරීමත් 1978 දී ඊස්රායලය පිලිගැනීමත් විසින් සමස්ථ අරාබි හා මැද පෙරදිග සඳහා සමාජවාදී විකල්පයක් පිලිබඳ ව පවා වූ ඊජිප්තු මවාපෑම් අවසානයක් කරා ගෙන එන ලදි.

කම්කරු පන්තියට කිරීමට කිසිදු ස්වාධීන දේශපාලන භූමිකාවක් නැතැ යි ස්ටැලින්වාදීන් කල අවධාරනය විසින් නිර්මිත දේශපාලන රික්තය, මැද පෙරදිග පුරා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරවල ආධිපත්‍යය ගැනීමට ඉස්ලාම්වාදීන්ට ඉඩ හලේ ය. විශේෂයෙන් අන්ත දරිද්‍ර ස්තරයන් හා ගම්බද දුප්පතුන් අතරේ වැඩුනු මහජන සහයෝගයක් ඉස්ලාමික කන්ඩායම්වලට ලැබුනි.

ඉරානයේ ෂා ගේ දුෂ්ට තන්ත‍්‍රය පහවීම සහ 1979 විප්ලවය, ලෙබනනයේ අමාල් හා හිස්බුල්ලා ද ඉරාකයේ තන්ත‍්‍රයට එරෙහි ෂියාවාදී විරුද්ධ කන්ඩායම් ද ගල්ෆ් රාජ්‍යවල ෂියාවාදී සුලුතරයන් ද ඇතුලත් ෂියාවාදී කන්ඩායම් ජාලයක් ප‍්‍රබෝධමත් කිරීමටත් ප‍්‍රවර්ධනය කිරීමටත් තුඩු දුනි.

වොෂින්ටනයේ කලාපීය මිතුරා වූ සවුදි අරාබිය මුස්ලිම් සහෝදරත්වය ඇතුලු සුන්නි කන්ඩායම් ප‍්‍රවර්ධනය කිරීමට සහාය විය. සවුදි අරාබියේ පාලක ප‍්‍රභූව හා ගල්ෆ් රාජ්‍යයන් සහෝදරත්වයටත් සවුදි වහාබ්වාදයට සමීප ඉස්ලාම් ස්වරූපයකට බැඳී සිටි සලාෆිස්ට්වරුන්ටත් මුදල් පොම්ප කලේ කම්කරු පන්තියේ ප‍්‍රගතිශීලී දේශපාලන ප‍්‍රවනතාවන්ට විරුද්ධ ව වැඩ කිරීමටත් ඒවා මර්දනය කිරීමටත් ය. ඔවුහු ඊජිප්තුවේ හා මැද පෙරදිග පුරා ව්‍යාපාරයන්ට මුදල් ආයෝජනය කල අතර ඊජිප්තුව, ලන්ඩනය හා ජිනීවා හී බැංකු හා මූල්‍ය ආයතන ස්ථාපිත කලහ. ධනවත් ව්‍යාපාරිකයන්, දේශපාලනික ඉස්ලාම්වාදීන් හා ඉස්ලාමික උගතුන් ඒකාබද්ධ කිරීම සඳහා ඉස්ලාමික මුදල් තීරනාත්මක විය. ආර්ථික ප‍්‍රතිසංස්කරන මත පැන වූ දැඩි කොන්දේසි සහිත ව ආන්ඩුවලට දුන් ආධාර රියාද් මගින් සම්පාදනය කෙරුනි.

මොස්කෝවේ බලපෑමට විරුද්ධ වත් ඉරානයට හෝ සෝවියට් හිතවාදී යැයි සැලකුනු සිරියාවේ හා ඉරාකයේ බාත් පක්ෂ වැනි රැඩිකල් ජාතිකවාදීන්ට විරුද්ධ වූ දේශපාලනික ආයුධයක් හැටියටත් රැඩිකල් වාගාලාප මඟින් පීඩිත ජනතාව පීලි පැන්නවීමට ක‍්‍රියා කරන විවෘත කොමියුනිස්ට් විරෝධී කන්ඩායමක් හැටියටත් වොෂින්ටනය සුන්නි ව්‍යාපාරවල වර්ධනයට උදව් දුන්නේ ය.

1980 සිට 89 දක්වා සෝවියට් සංගමය අස්ථාවර කරනු පිනිස සීඅයිඒ විසින් එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම රහසිගත ආධාර වැඩපිලිවෙලක් ඇෆ්ගනිස්ථානයට සම්පාදනය කලේ ය. කාබුල් හී සෝවියට් පිටුබලය ලැබූ තන්ත‍්‍රය සමඟ සටන් කරන ඔසාමා බින් ලාඩන්ගේ අල් කයිඩා ජාලය ඇතුලු වඩාත් අන්තවාදී මුජාහිදීන් කන්ඩායම්වලට එය මුදල් හා අවිආයුධ සම්පාදනය කලේ ය. ඒ ආකාරයෙන් ම, ජෝර්දානු රාජාන්ඩුව මුස්ලිම් සහෝදරත්වය ධෛර්යවත් කොට 1970 කලු සැප්තැම්බරයේ දී පලස්තීන විමුක්ති සංවිධානයට (පීඑල් ඕ) එරෙහි ව බලමුලු ගැන්වී ය. පීඑල් ඕට එරෙහි ව ගාසා හා බටහිර ඉවුරේ ස්ථාපිත වීමට මුස්ලිම් සහෝදරත්වයට ඊස්රායලය ද උදව් කලේ ය. සහෝදරත්වය පසුකාලීන හමාස් සංවිධානයට පදනම සම්පාදනය කර දුනි. ජෝර්දානය හා ඊස්රායලය සිරියානු සහෝදරත්වයට 1976 සිට 1982 දක්වා බාත්වාදී තන්ත‍්‍රයට එරෙහි ව කෙරුනු ඔවුන්ගේ සිවිල් යුද්ධයට ආධාර කලේ ය.

ඊජිප්තුව තුල, වොෂින්ටනය සමඟ සිය යලි පෙලගැස්ම යටතේ ජනාධිපති අන්වර් සදාත් ආර්ථිකය නිදහස් වෙලෙඳ පොල ප‍්‍රතිසංස්කරනවලට විවෘත කිරීමටත් විදේශ ආයෝජන දිරිගැන්වීමටත් ප‍්‍රයත්න දැරුවේ ය. මෙය ජනගහනයේ පලල් කොටසක ජීවන කොන්දේසිවල වේගවත් කඩා වැටීමකට තුඩු දුන් අතර සහෝදරත්වය සමග පෑහුනු හෝ එය හා අනුග‍්‍රහශීලී වූ බහුතරයකින් යුත් නව ව්‍යාපාරික ප‍්‍රභූවක් පැටව් ගැසී ය.

1980 ගනන් වන විට පුද්ගලික ව්‍යවසායකයන්ගෙන් සියයට 40 ක තරම් ප‍්‍රමානයක් කන්ඩායමට සම්බන්ධ ව තිබිනැ යි ගනන් බලා ඇත. ප‍්‍රධාන වශයෙන් දේපල වෙලඳුන් හා විදේශ මුදල් සමපේක්ෂනයන් ය. මෙලෙස ඉස්මතු වූ ඉස්ලාමික ව්‍යාපාරික පන්තිය ගල්ෆ් තෙල් මුදල් මත පාදක වුනු ආයෝජන සමාගම් ගොඩ නඟමින් බැංකු හා මූල්‍ය සමාගම්හි ආයෝජන කලේ ය. මෙම නව ඉස්ලාමික ව්‍යාපාරික පන්තියට සුලු හා මධ්‍යම ප‍්‍රමානයේ ව්‍යාපාර, වෙලඳුන්, නිපැයුම්කරුවන් හා ශ‍්‍රම කොන්ත්‍රාත්කරුවන් ද අඩංගු විය.

ආර්ථිකයේ සියයට 40ක් මිලිටරිය පාලනය කරන බවට ඇති තක්සේරුව සමඟ ගත් විට මෙම කන්ඩායම් දෙකෙන් ඊජිප්තු ධනේශ්වරයෙන් අතිමහත් ප‍්‍රමානයක් සමන්විත බව පෙනී යයි.

1980 දී සදාත් නීතියේ ප‍්‍රධාන ප‍්‍රභවයක් ලෙස ෂාරියා නීතිය පිලිගත් ව්‍යවස්ථා සංශෝධනයක් ද කලේ ය. මුස්ලිම් සහෝදරයන් හා ඉස්ලාමික ශිෂ්‍ය ක‍්‍රියාධරයන් බඳවා ගත් ඔහු ශිෂ්‍ය ව්‍යාපාරයන්හි නායකත්වය ලබා ගැනීමට ඔවුන් පාවිච්චි කලේ ය. යලි ශක්තිමත් වූ මුස්ලිම් සහෝදරත්වය මෙන් ම, අල්-දාවා කැඳවුම වටා වූ සලාෆිස්ට් කන්ඩායම් හා අල්ගාමා හා අල් ඉස්ලාමියා බඳු අනෙකුත් ඉස්ලාමික කන්ඩායම් පැන නැංෙඟ් ය.

ව්‍යවස්ථාව යටතේ මුස්ලිම් සහෝදරත්වය දිගට ම නීති විරෝධී වූ නමුත් එය පල්ලිවලට සම්බන්ධ සමාජ සුභ සාධන කටයුතු සම්පාදනය කිරීමට කේන්ද්‍රගත වී සිටින තාක් දුරට එයට ක‍්‍රියාත්මක වීමට ඉඩ ලැබින. ජනතාව දිලිඳු භාවයේ ගිලී යාමත් සමඟ මෙයට වඩාත් වැදගත්කමක් ලැබුනි. සියලු නීත්‍යානුකූල විරුද්ධ පක්ෂ බරපතල ලෙස දඬු ගැසීමත් සමඟ, තන්ත‍්‍රයට පවතින එක ම විපාර්ශවය ලෙස ඉස්ලාම්වාදී කන්ඩායම්වලට ඇති සහාය වර්ධනය වන්නට විය.

ඉස්ලාමික ප‍්‍රවනතා වොෂින්ටනයේ හා එහි කලාපීය මිත‍්‍රයන්ගේ මූලෝපායාත්මක උවමනාවන් නොතකා හැරීම ඇරඹූ කල ඔවුන් කෙරෙහි එක්සත් ජනපද ආකල්පය වෙනස් වින. 1979 නොවැම්බරයේ නැඟිටීමක දී සටන්කාමී ඉස්ලාම්වාදී කන්ඩායමක් මෙකාහී ප‍්‍රධාන පල්ලිය අල්ලා ගත් විට සවුදි තන්ත‍්‍රය එය මෘග ලෙස මර්දනය කලේ ය. ඊලඟ වසර කීපය තුල, ෂියාවාදී හමුදා ඛන්ඩ කීපයක් එක්සත් ජනපද නිලධාරීන් හා තවත් බටහිර ජාතිකයන් ප‍්‍රාන ඇපකරුවන් ලෙස ගත් අතර හිස්බුල්ලාවරුන් දකුනු ලෙබනනයේ වාඩි ලා ගත් ඊස්රායෙල් භට කන්ඩායම්වලට එරෙහි ව ප‍්‍රහාරයන් දියත් කලේ ය. 1983 දී ලෙබනනයේ එජ තානාපති කාර්යාලය ඉස්ලාමික ජිහාඞඩ්වරුන් විසින් විනාශ කරන ලදි. ඔක්තෝබරයේ දී මරාගෙන මැරෙන මෙහෙයුමකින් එක්සත් ජනපද නාවික බැරැක්ක විනාශ කෙරුනු අතර 1984 සිට එහි පැවති එජ මිලිටරි කඳවුර ඉන් ඉවත් කර ගැනීමට බල කෙරින.

ඊජිප්තුවේ සහෝදරත්වය සදාත් ආන්ඩුවට එරෙහි සන්නද්ධ නැඟිටීමක් සඳහා කුඩා කන්ඩායම් කැඳවමින් එක්රැස් කරවී ය. 1981 සැප්තැම්බරයේ දේශපාලන විරුද්ධවාදීන් මැඬලීමට සදාත් නියෝග නිකුත් කලේ ය. ටික දිනකට පසුව ඊස්රායලය සමඟ ඊජිප්තුවේ සාම ගිවිසුමට විරුද්ධ වූ ඉස්ලාමික ජිහාඩ් සංවිධානය විසින් ඔහු මරා දමන ලදි. 1970 ගනන් අග භාගයත් 2000ත් අතර සටන්කාමී ඉස්ලාම්වාදීන් ඊජිප්තුව තුල, විශේෂයෙන් ආර්ථික ඉලක්කවලටත් ක‍්‍රිස්තියානි කොප්ට්වරුන්ටත් ප‍්‍රහාර 700කට වඩා එල්ල කර ඇත. 2000කට අධික ජන සමූහයක් ඉන් මිය ගොස් තිබේ.

කෙසේ වෙතත්, සහෝදරත්වයට තවමත් සැලකිය යුතු පාඩුවක් සිදු ව ඇත. එයට මැතිවරනවල දී නිල වශයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ඉඩ දී නැත. එහෙත් සහෝදරත්වයට පක්ෂපාතී අපේක්ෂකයන්ට "ස්වාධීනයන්” ලෙස ඉදිරිපත් විය හැකි ය. 1990 ගනන්වල මුල් භාගය වන විට, ඉස්ලාමික කම්කරු පක්ෂය සමඟ සන්ධාන ගත ව එයට ප‍්‍රාදේශීය මැතිවරනවල දී යම් සාර්ථකත්වයක් ලබා ගැනීමට පුලුවන් විය. ජනාධිපති හොස්නි මුබාරක්ගේ තන්ත‍්‍රය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ සමූහ අත්අඩංගුවට ගැනීම්, සිරභාරයට ගැනීම් හා වධ හිංසා කිරීම්වලින් යුතු ලේ විලක ඔවුන් ගිල්වා දමමින් ය.

1990 ගනන් අවසන් වන විට, සහෝදරත්වය කෙටුම්පත් ප‍්‍රකාශනයක් නිකුත් කරමින් දේශපාලන පක්ෂයක් හැටියට හැඩ ගැසෙන්නට පටන් ගති. එය දිගට ම මැතිවරනවල දී නීත්‍යානුකූල පක්ෂ අභිබවා යන්නට සමත් විය. 2005 මැතිවරනවල දී එය මුබාරක්ගේ පාලක ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට (එන්ඩීපී) විපාක්ෂික සැබවින් ම එක ම සංවිධිත පක්ෂය වූ අතර පාර්ලිමේන්තු ආසනවලින් පහෙන් එකක් පමන වූ ආසන 88ක් දිනා ගත්තේ ය. ආන්ඩුව එහි සාමාජිකයන් දහස් ගනන් අත්අඩංගුවට ගෙන ඉන් බොහෝ සංඛ්‍යාවකට හමුදා අධිකරනයේ නඩු පැවරී ය. පාර්ලිමේන්තු මැතිවරනයට ස්වාධීනව ඉදිරිපත් වීමට නොහැකි වන සේ ආන්ඩුව ව්‍යවස්ථාව සංශෝධනය කලේ ය. මේ හේතුවෙන් දැවැන්ත වංචාවන්ගෙන් සංලක්ෂිත වූ 2010 නොවැම්බර් මැතිවරනයන්ට සහෝදරත්වයට අපේක්ෂකයන් ඉදිරිපත් කල නො හැකි විය.

මතු සම්බන්ධයි.

Share this article: