ශී‍්‍ර ලංකාව: ආරක්ෂක අමාත්‍යංශය වෙත සසපයේ විවෘත ලිපියක්

Sri Lanka: SEP open letter to the defence minister

By the Socialist Equality Party (Sri Lanka) , 11 February 2012

ආරක්ෂක අමාත්‍යංශය වෙත,

ජනවාරි 29 වෙනිදා යාපනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂයේ ප‍්‍රසිද්ධ රැස්වීම තහනම් කල ආරක්ෂක අමාත්‍යංශයේ නීතිවිරෝධී කි‍්‍රයාව සමාජවාදී සමානතා පක්ෂය (සසප) හෙලා දකියි.

හමුදා නිලධාරීන් කැටුව, රැස්වීම පැවැත්වීමට සසප වෙන්කරගෙන තිබු වීරසිංහම් ශාලාවට පැමිනි ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීහු රැස්වීම පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ඔවුන්ට නියෝග කලහ. සිවිල් යුද්ධය අවසන්ව වසර තුනකට ආසන්න කාලයක් ගතව තිබියදීත්, යාපනය තුල මිලිටරිය දිගට ම කි‍්‍රයාත්මක වන්නේ, රටේ ව්‍යවස්ථාව හා නීති පද්ධතිය ගැන මොන ම තැකීමක් වත් නැතිව ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හිතුවක්කාර ලෙස මැඩලන වාඩිලා ගැනීමේ හමුදාවක් ලෙස ය.

සසප ප‍්‍රසිද්ධ රැස්වීම තහනම් කෙරුනේ, ගුරුනගර් ප‍්‍රදේශයේ පෝස්ටර් අලවමින් සිටි සසප සාමාජිකයන් දෙදෙනෙකු හමුදා නිලධාරීන් විසින් රඳවාගෙන ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීමෙන් තෙදිනකට පසුව ය. පක්ෂ සාමාජිකයන් මුදා හැරීමෙන් පසුව ඔවුන් පසුපස ලුහුබැඳ ගිය එම සොල්දාදුවෝ ම ඔවුන්ට එරෙහිව කායික ප‍්‍රහාරයක් සංවිධානය කලහ. වඩාත් මෑත දී, පක්ෂ සාමාජිකයන් තවදුරටත් ත‍්‍රස්ත කිරීම සඳහා හමුදාව ඔවුන්ගේ නිවාසවලට ගොස් තිබේ. මෙම එකදු කි‍්‍රයාවක්වත් නීත්‍යානුකූල නොවේ.

හමුදාවේ කි‍්‍රයාවන් මගින් අඟවනු ලබන අන්තරාය ගැන සසප මනාව දැනුවත් ය. පසුගිය අවුරුදු පහ තුල ආන්ඩුවේ ඝාතක කල්ලි විසින් සිය ගනනක් මිනිසුන් පැහැරගෙන ගොස් ඇති අතර සමහර අවස්ථාවල දී ඔවුන් ඝාතනය කෙරුනි. බහුතරයක් සිද්ධීන් සම්බන්ධයෙන් චුදිතයන්ට දඬුවම් පැමිනවීමක් තබා, නඩු විමසීමක්වත් කර නැත. ආරක්ෂක හමුදාවලට තිබෙන සම්බන්ධතාව නිසා මෙම කල්ලිවලට දන්ඩ මුක්තව කි‍්‍රයා කිරීමට හැකිව තිබේ.

2007 මාර්තු මාසයේ දී, සසප සාමාජික නඩරාජා විමලේස්වරන් සහ ඔහුගේ මිතුරා සිවනාදන් මදිවදනන් වන්නියේ දී අතුරුදහන් වූහ. ඔවුන් අන්තිමට දකිනු ලැබුවේ නාවික හමුදා මුර කපොල්ල දෙසට එමින් සිටිය දී ය. එහෙත් පොලිසිය හෝ උසාවිය විසින් අදාල නාවික හමුදා නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කලේවත් නැත. ඔවුන්ට අත් වූ ඉරනම ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සහ හමුදාව වගකිවයුතු බව සසප දිගට ම අවධාරනය කරයි.

පක්ෂය "බෙදුම්වාදයට සහය දෙන” බවට විකාර සහගත ලෙස චෝදනා කරමින් සසප රැස්වීමට පැන වූ තහනම යුක්තිසගත කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය උත්සාහ කර තිබේ. තත්‍ය වසයෙන් ම ආන්ඩුව සහ මිලිටරිය ගැඹුරින් ම විරුද්ධ වන්නේ, රැස්වීමේ අරමුන වූ දේශපාලන සිර කරුවන් නිදහස් කිරීම සඳහා වූ සසප උද්ඝෝෂනයට ය.

ආන්ඩුව, ඔවුන්ගේ මූලික ව්‍යවස්ථාමය හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් විවෘතව උල්ලංඝනය කරමින්, ප‍්‍රධාන වසයෙන් දෙමල තරුනයන් දහස් ගනනක් "ත‍්‍රස්තවාදී සැකකරුවන්” ලෙස හංවඩු ගසා නඩු විමසීමකින් තොරව දිගට ම රඳවා ගෙන සිටී.

දෙමල විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) බෙදුම්වාදයට සසප සහය දෙන බවට කෙරෙන චෝදනාව ඍජුව ම පක්ෂයේ කි‍්‍රයාමාර්ගයට සහ එහි දිගු කාලීන වාර්තාවට එරෙහිව පිහිටයි. සසප, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශී‍්‍ර ලංකා ශාඛාව ය. සසප සහ එහි පූර්වගාමී විප්ලවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පසුගිය දසක හතර පුරා, සකල රූපාකාර ජාතිකවාදයන්ට හා ස්වෝත්තමවාදයන්ට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදය මත ශී‍්‍ර ලංකාවේ හා දකුනු ආසියාවේ කම්කරු පන්තිය එකමුතු කිරීමේ සටනක වෙහෙස නොතකා යෙදී ඇත.

බලයට පත් ආන්ඩු විසින් දෙමල සුලුතර ජනයාට එරෙහිව ගෙන ගිය වාර්ගික යුද්ධයට සසප හා විකොස ආරම්භයේ සිට ම විරුද්ධ විය. එහෙත්, උතුරු-නැගෙනහිරින් හමුදා ආපසු කැඳවන ලෙස ඉල්ලීමේ දී පක්ෂය එල්ටීටීඊයේ දෙමල බෙදුම්වාදී ව්‍යාපෘතියට සහයෝගය දී නැත. දකුනු ආසියාවේ එක්සත් සමාජවාදී සමුහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා සටන් කිරීම අපගේ ඉදිරිදර්ශනය යි.

වරප‍්‍රසාදිත දෙමල ධනේශ්වරය නියෝජනය කරන එල්ටීටීඊයේ පන්ති ස්වභාවය හා තමන්ගේ ම දෙමල ධනපති රාජ්‍යයක් සඳහා වූ එහි අභිමතය එලිදරව් කිරීමටත් දෙමල බෙදුම්වාදයට එරෙහිවත් සසප නිරන්තරව උද්ඝෝෂනය කර තිබේ. පක්ෂය දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් දෘඪතරව ආරක්ෂා කිරීම තිබිය දී ම, එය නිහඬ කිරීම සඳහා 1998 දී, එල්ටීටීඊ ය සසප සාමාජිකයන් හතර දෙනෙකු සිරගත කලේ එහෙයිනි. ඔවුන් නිදහස් කරනු ලැබුවේ, සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදර පක්ෂ විසින් ගෙනගිය ජාත්‍යන්තර උද්ඝෝෂනයකින් පසුව ය.

දේශපාලනිකව දැනුවත් ශී‍්‍ර ලංකාවේ ඕනෑම කෙනෙකු සසපයෙහි මූලධර්මාත්මක ආස්ථානය ගැන දන්නෙහි ය. සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්, මහින්ද රාජපක්ෂට එරෙහිව 2005 සහ 2010 ජනාධිපතිවරනයන්ට තරග කල අතර සසප මැතිවරන ප‍්‍රකාශන තුල ඉතා පැහැදිලිව ඉහත ආස්ථානයන් ඉදිරිපත් කලේය. ආන්ඩුවේ සහ ප‍්‍රධාන විරුද්ධ පක්ෂවල බිඳ දමන පොරොන්දු මෙන් නොව, පක්ෂය දේශපාලනිකව සටන් කරන පදනම සසප කි‍්‍රයාමාර්ගය යි.

දිවයින පුරා කම්කරු පන්තියේ ඇස් ඉදිරිපිට තමන්ගේ ම පච පොරොන්දු වඩා එලිදරව් වන තතු තුල සසප කෙරෙහි ආන්ඩුවේ සතුරුකම ඉහල නැග තිබේ. යුද්ධය අවසන් වීමෙන් පසුව සාමය හා සමෘද්ධිය ගෙන එන බවට රාජපක්ෂගේ ප‍්‍රකාශයන් සාවද්‍ය බවට සසප අනතුරු ඇඟවී ය. එහි සාපරාධී යුද්ධය සඳහා වියදම් පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නය ගැනීමට ආන්ඩුවට බල කෙරුන අතර දැන් එම අරමුදලේ කප්පාදු න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට දමමින් සිටී. එමෙන් ම, එහි සමාජමය වසයෙන් විනාශකාරී ප‍්‍රතිපත්තිවලට එරෙහිව වැඩෙන මහජන විරුද්ධත්වය බිඳීම සඳහා යුද්ධය තුල ගොඩ නගන ලද පොලිස් රාජ්‍ය විධික‍්‍රම ම යොදා ගනිමින් සිටී.

යුද්ධය අවසන් වී ඇති නමුත් ආරක්ෂක වියදම් කැපීමට, අධිආරක්ෂක කලාප ඉවත් කිරීමට හෝ උතුරු-නැගෙනහිර මිලිටරියේ වාඩිලා ගැනීම අවසන් කිරීමට ආන්ඩුව අසමත් වී තිබේ. හදිසි නීතිය නිල වසයෙන් ඉවත් කර ඇති නමුත් පවත්නා නීති රෙගුලාසි තුල ඒ හා සමාන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලතල ශක්තිමත් කරනු ලැබ ඇත. නගර සැලසුම් වැනි සිවිල් අංශවලට මිලිටරියේ අධිකාරිය පුලුල් කර තිබේ. ආන්ඩුව කි‍්‍රයාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ පාලනයෙන් පිටත, නීතිය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන, නිලධර-මිලිටරි කට්ටුවක් ලෙස ය.

සසප ට එරෙහිව ආරක්ෂක අමාත්‍යංශයේ දඩයමක් සූදානම් කිරීමේ සන්දර්භය මෙය යි. එහි අරමුන, ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් හා ජීවන තත්වයන් මත තීව‍්‍ර කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව මහජනතාව වෙත එක ම වලංගු විකල්පය ඉදිරිපත් කරන සසප නිහඬ කිරීම ය.

සසප ත‍්‍රස්ත නොවනු ඇත. අපව නිහඬ කිරීමට ආන්ඩු හා අපගේ දේශපාලන විරුද්ධවාදීන් දැරූ උත්සාහයන්ට ප‍්‍රතිරෝධය දැක්වීමේ දිගු හා සාඩම්බර වාර්තාවක් අපට තිබේ. ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කිරීමේ වඩා පුලුල් උද්ඝෝෂනයක කොටසක් ලෙස, අතීතයේ දී මෙන් ම පක්ෂය ආරක්ෂා කිරීමට තරුනයන්, කම්කරුවන් හා වෘත්තිකයන්, ජාතිකවත් ජාත්‍යන්තරවත් රැලි වනු ඇතැයි අපි විශ්වාස කරමු.

* විකොස පිහිටුවා යන්තම් වසර තුනකට පසුව, 1971 දී ආන්ඩුව එහි ප‍්‍රකාශන තහනම් කර, ජනතා විමුක්ති පෙරෙමුනේ "ත‍්‍රස්තවාදයට” සහයෝගය දුන් බවට සාවද්‍යව චෝදනා කලේ ය. පොලිස් අත්අඩංගුවේ දී තම සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය කර තිබිය දී ම විකොස සිය අයිතීන් වෙනුවෙන් නැගී සිටිමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධ පාලක සභාගයට එරෙහි එහි දේශපාලන අරගලය අඛන්ඩව පෙරට ගෙන ගියේ ය.

* 1983 ජූලි දෙමල ජන ඝාතන පිටුපස ආන්ඩුවේ හස්තය තිබූ බව විකොස එලිදරව් කිරීමෙන් හා එහි යුද්ධය මුදා හැරීමට විරුද්ධ වීමෙන් පසුව, "එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට සහයෝගය දීමේ” බොරු චෝදනා මත පොලීසිය විකොස පුවත්පතේ ප‍්‍රකාශක ආනන්ද වක්කුඹුර අත්අඩංගුවට ගත්තේ ය. විකොස ඊට එරෙහිව මහජනයා බලමුලු ගැන්වීමෙන් පසුව, චෝදනා ඉවත් කොට ඔහුව නිදහස් කලේ ය.

* නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ රැස්වීමක් පවත්වමින් සිටිය දී 1986 හදිසි නීති යටතේ විජේ ඩයස් සහ තවත් පක්ෂ සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. ඔවුන් නිදහස් කලේ හජාජාක හා විකොස ගෙනගිය බලගතු ජාත්‍යන්තර උද්ඝෝෂනයකින් පසුව ය. ඔවුන් අත්අඩංගුවට ගැනීම මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරනය පසුව තීන්දු කලේ ය.

විකොස/සසප වෙත එල්ල වූ මෙම ප‍්‍රහාරයන් හැම එකක් ම ආන්ඩුවල ගැඹුරු දේශපාලන අර්බුදයත් සමග සම්පාත විය. අදත් තතු එසේම ය.

වර්තමාන තර්ජනය, සසප සරලව නොගනියි. විදේශයන් තුල මිලිටරිවාදයේත්, තම රට තුල සමාජ ප‍්‍රතිවිප්ලවයේත් නිරත වෙද්දී, එක්සත් ජනපදය පෙරමුනේ සිටිමින්, ජාත්‍යන්තරව ම සියලු ධනපති ආන්ඩු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන් කි‍්‍රයාවට දමමින් සිටී. එහෙත්, ප‍්‍රජාත්න්ත‍්‍රීය අයිතීන් සඳහා අධිෂ්ඨානශීලී උද්ඝෝෂනයක් කම්කරු පන්තියේ බලගතු ප‍්‍රතිචාරයක් දිනා ගනු ඇති බව ගැන අප දැනුවත් ය.

ලෝකය සමාජවාදීව ප‍්‍රතිනිර්මානය කිරීම සඳහා කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුනයන් ජාතිකවත් ජාත්‍යන්තරවත් දේශපාලනිකව උගන්වා ගැනීමේ හා බලමුලු ගැන්වීමේ අපගේ නීත්‍යානුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම සඳහා සසප සෑම ප‍්‍රයත්නයක් ම දරනු ඇත. යාපනයේ සසප සාමාජිකයන්ට එරෙහි ආරක්ෂක ආමාත්‍යාංශයේ හිරිහැර කිරීම් හා තර්ජනයන් වහාම නතර කරන ලෙස අපි ආන්ඩුවට කියා සිටිමු.

Share this article: