ලිබියාවේ කායික හිංසනය: අධිරාජ්‍යවාදී "විමුක්තියේ” අවලක්ෂන යථාර්තය

Torture in Libya: The ugly reality of imperialist “liberation”

1 February 2012

අධිරාජ්‍යවාදී පිටුබලය සහිත ලිබියානු නව පාලන තන්ත‍්‍රය හා නැටෝවේ "කැරලිකරුවන්” විසින් පවත්වාගෙන යනු ලබන රැඳවුම් මධ්‍යස්ථාන තුල පුලූල්ව සිදු කෙරෙන කායික හිංසනය ගැන පලවන විවිධ වාර්තා මානව හිමිකම් සහ "විමුක්තියේ” නාමයෙන් පසුගිය වසරේ යුද්ධය සාධාරනීකරනය කල හැමෝ ම බොරුකාරයන් බව පෙන්නුම් කරයි.

අටමාසයක එක්සත් ජනපද-නේටෝ යුද්ධයේ කුලූ ගැන්වීම සලකුනු කල පිලිකුල් සහගත කි‍්‍රයාවක් වූ, ලිබියාවේ හිටපු පාලකයා මුවම්මර් ගඩාෆි, නඩු විභාගයකින් තොරව මැර කන්ඩායමක් විසින් ඝාතනය කර ගත වී ඇත්තේ යන්තම් දින සියයකි. ඝාතනය "නව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලිබියාවක” සම්ප‍්‍රාප්තිය ලෙස හුවා දැක්වීමට එම අවස්ථාවේ, ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ පෙනී සිටියේ ය.

පසුගිය සතිය පුරා සහන කන්ඩායම් සහ මානව හිමිකම් සංවිධාන තොරතුරු හා සාක්ෂි මගින් පෙන්නුම් කරන්නේ බෙහෙවින් ම වෙනස් පින්තූරයකි. මුර්ග ඝාතනයකින් කෙලවර කෙරුන සාපරාධී අධිරාජ්‍යවාදී යුද්ධයක් එහි ඵලය වසයෙන්, අපේක්ෂිත ලෙස ම ත‍්‍රස්තයේ, කායික හිංසනයේ හා මර්දනයේ තන්ත‍්‍රයක් ලබාදී ඇත.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (ඒඅයි) නිකුත් කල වාර්තාවකට අනුව, "නිලවශයෙන් හඳුනාගත් මිලිටරි හා ආරක්ෂක කන්ඩායම් මෙන් ම විධාකාර සන්නද්ධ භට කන්ඩායම් විසින් කායික හිංසනය පවත්වාගෙන යනු ලබයි.

මැරෙන තුරු වධ දුන් රැඳවියන් සම්බන්ධ බොහෝ සිද්ධීන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වාර්තා කලේ ය. "මෑත දිනවල දී සහ සතිවල දී කායික හිංසනයට ලක් කල බවට සලකුනු දැකිය හැකි” සෙසු අය හමු වූ බව ද එය වාර්තා කලේ ය. "ඔවුන්ගේ තුවාලවලට හිස, අත් පා, පිටුපස හා ශරීරයේ අනිකුත් කොටස්වල කට අරුන තුවාලයන් ද ඇතුලත් වූ” බව වාර්තාව තව දුරටත් සඳහන් කලේ ය.

ක්ෂමා ආයතනයේ වාර්තාවට අනුව, සිරකරුවෝ "විකෘති ආකාරයට සිටුවා කස, වයර්, ප්ලාස්ටික් නල, ලෝහ දම්වැල් සහ පොලූ හා ලී කෝටුවලින් පහර දීම හා සජීවී විදුලි රැහැන් සහ ටාසර් වැනි විදුලි කම්පන ආයුධ යොදාගෙන විදුලි කම්පන දීම කර ඇත. එක්සත් ජනපදයේ හා නේටෝවේ පිටුබලය ලබන ජාතික සංක‍්‍රමනික කවුන්සිලයට (එන්ටීසි) කායික හිංසනයට එරෙහිව යම් අවම කි‍්‍රයා මාර්ගයක් ගැනීම තබා ඒ ගැන පරීක්ෂනයක් කිරීමට වත් අපොහොසත් වීම "බිය දනවන” බව ක්ෂමා ආයතනයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කලේ ය.

කායික හිංසනය බෙහෙවින් පවතින බව ආරක්ෂක කවුන්සිලයට ප‍්‍රකාශ කල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප‍්‍රධානි නැවි පිල්ලෙයි විසින් ක්ෂමා ආයතනයේ සොයා ගැනීම් සනාථ කරනු ලැබ ඇත. "කායික හිංසනය, නීතියට පිටින් කෙරෙන ඝාතන පිරිමි හා කාන්තාවන් දෙපාර්ශවය ම ලිංගිකව දූෂනය කිරීම” සිදුවන බව ඇය පැවසුවා ය.

හුදෙක් ම ඔවුන්ගේ සමේ වර්නය නිසා ගඩාෆි පාක්ෂිකයන් යයි සැක කොට සන්නද්ධ භට කන්ඩායම් විසින් වට ලනු ලැබූ උප සහරානු අපි‍්‍රකානු සංක‍්‍රමනිකයන් හා කලු ලිබියානුවන්ගේ ඉරනම ගැන පිල්ලෙයි විශේෂ අවධානයක් දැක්වී ය.

හුදෙක් ම තවත් ප‍්‍රශ්න කිරීමේ වාරයකට ඔරොත්තු දෙන ආකාරයට ඔවුන්ව සකස් කිරීමේ අරමුන ඇතිව කායික හිංසනයේ වින්දිතයන්ට ප‍්‍රතිකාර කරන ලෙස ඔවුන් ගෙන් ඉල්ලීම නිසා වෛද්‍ය සහන කන්ඩායමක් වන මෙඩිසින් සයන්ස් ෆ්‍රොන්ටියර්ස් (දේශසීමා රහිත වෛද්‍යවරු-එම්එස්එෆ්) ලිබියාවේ මිස්රාටා නගරයේ පිහිටි රැඳවුම් කඳවුරුවලින් එහි ස්වෙච්චා සේවකයන් ඉවත් කරගෙන තිබේ. "අපගේ කාර්යභාරය වන්නේ යුද තුවාල කරුවන්ට හා රෝගී වූ රැඳවියන්ට ප‍්‍රතිකාර කිරීම මිස කායික හිංසන වාරයන් අතරතුර එකම රෝගීයාට යලි යලිත් ප‍්‍රතිකාර කිරීම නොවේ” යැයි කන්ඩායමේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටෝෆර් ස්ටොක්ස් පැවසුවේ ය. එම්එස්එෆ් නැවත නැවතත් ප‍්‍රශ්නය මතුකල නමුත් ලිබියන් බලධාරීන් විසින් කිසිදු කි‍්‍රයා මාර්ගයක් නොගත් බව ඔහු තවදුරටත් සඳහන් කලේ ය.

නේටෝ බෝම්බ හෙලීම් හා විශේෂ බලකා "උපදේශකයන්” විසින් බලයට ගෙන එන ලද "කැරලිකරුවන්” විසින් සිදුකල දුෂ්ටකම් සහ කායික හිංසනයනය, සිරකරුවන් නිදහස් කර ගැනීමට හා එන්ටීසී ය විසින් ස්ථානගත කරන ලද සන්නද්ධ භට කන්ඩායම් පලවා හැරීම සඳහා නගර වැසියන් විසින් ආයුධ අතට ගත් බානි වාලිඩ් නගරය තුල පසු ගිය මාසයේ කැරැල්ලක් අවුලුවා ලී ය.

ලිබියාවේ පාලන තන්ත‍්‍ර මාරුව සඳහා වූ යුද්ධය ප‍්‍රවර්ධනය කිරීමේ හා සාධාරනීකරනය කිරීමේ තීරනාත්මක භූමිකාවක් ඉටු කල "වාම” සංවිධාන හා ශාස්ත‍්‍රාලිකයන් හා මාධ්‍යවේදීන් කන්ඩායම විසින් මෙම සියලු වර්ධනයන් උවමනාවෙන් ම නොතකා හැර තිබේ.

ගඩාෆි තන්ත‍්‍රයේ මර්දනය විසින් මෙහෙය වුන දැවැන්ත සමූල ඝාතනයක් බෙන්ගාසි නගරය තුල සිදුවිය හැකි බවට අවුරුද්දකට ටික කලකට ඉහත දී ඔව්හු අනතුරු ඇඟවූ අතර පැරනි යටත් විජිත රට තුල අධිරාජ්‍යවාදී බලයන් විසින් සිදු කරනු ලබන මිලිටරි මැදිහත් වීමකට ඉඩ සැලසීමක් ලෙස සිවිල් ජනයා "ආරක්ෂා කිරීමේ වගකීම” පිලිබඳ ධර්මතාවට ආයාචනා කලේ ය.

අධිරාජ්‍ය ගැති "කැරලිකරුවන්ට” සහයෝගය දෙමින් හා සිවිල් ජනයා ආරක්ෂා කිරීමේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේ කුරුස යුද්ධයක් ලෙස තෙල් සහ මූලෝපායාත්මක උත්සුකතාවයන් සඳහා නිරුවත් මැදිහත් වීමක් වහංගු කිරීමට උදව් කරමින් ඉරාක යුද්ධයේ විවේචකයෙක් ලෙස ඔහුගේ පිම්බුනු කීර්තියේ වාසිය මත ලිබියාව තුල යුද්ධයට උඩ ගෙඩි දුන් මිචිගන් විශ්වවිද්‍යාලයේ ජුවාන් කෝල් වැනි ශාස්ත‍්‍රාලයික අවලමුන් මෙන් ම ප‍්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂයේ සිට ජර්මනියේ වාම පක්ෂය සහ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය දක්වා වූ බොරු වම්මු අධිරාජ්‍යවාදයට තීරනාත්මක සේවයක් සම්පාදනය කල හ.

මෙම බොරු වම්මුන් සහ ලිබරලුන්ට ලිබියාව තුල කෙරෙන කායික හිංසනයන් ගැන දෑස පියාගෙන සිටීමට හා ඊට ආවරනයක් සැපයිය හැකිවීමට නොවරදින සුලු අර්ථභාරයක් ඇත. මෙම සමාජ දේශපාලන ස්තරය අධිරාජ්‍යවාදී කඳවුර තුලට තීරනාත්මකව ලුහුටා ගොස් තිබේ.

ඔවුන්ගේ දේශපාලනය පිලිබිඹු කරන්නේ මධ්‍යම පන්තියේ පොහොසත් කොටස්වල උත්සුකතාවයන් ය. ගෝලීය අර්බුදය විසින් තීව‍්‍ර කරනු ලැබ ඇති පෙර නොවූවිරු සමාජ ධ‍්‍රැවාන්තගත වීමේ කොන්දේසි යටතේ ඔවුන් ඔවුන්ගේ වග කිවයුතු පාලක ප‍්‍රභූන් වටේට ගැලතී ගනිමින් එකී පාලනය ආරක්ෂා කිරීමට අවශ්‍ය කවර හෝ විධික‍්‍රමයන්ට සුදානම් වී සිටිති.

ලිබියාව අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. අධිරාජ්‍යවාදයේ උත්සුකතාවයන් රැකීම සඳහා මෙම සමාජ ස්තරය හා සංවිධාන විදේශයන් තුලදී මර්දනය හා කායික හිංසනය අනුමත කරන්නේ නම් සිය රටේ කම්කරු පන්තිය අභිමුක කිරීමේ දී ඒ හා සමාන විධික‍්‍රමවලට පිටුබලය දීමට පසුබට වන්නේ නැත.

බිල් වැන් ඕකන් විසිනි

Share this article: