ඔබාමා ප‍්‍රසිද්ධියේ ඩ්‍රෝන් ඝාතන වැලැඳ ගනී

Obama publicly embrace drone killings

2 February 2012

එක්සත් ජනපදය විසින් 2004 දී පකිස්ථානයට එරෙහිව ආරම්භ කරන ලදුව තම ධවල මන්දිර සම්ප‍්‍රාප්තියෙන් පසු තියුනු ලෙස ඉහල නංවන ලද මිනීමරු ඩ්‍රෝන් මෙහෙයුම ජනාධිපති ඔබාමා පසුගිය සඳුදා ප‍්‍රසිද්ධියේ ආරක්ෂා කලේය.

ඩ්‍රෝන් ප‍්‍රහාර පිලිබඳව මුනිවත රැකීමේ පිලිවෙතක් එක්සත් ජනපද ආන්ඩුව පොදුවේ පවත්වා ගෙන ගියේය. තමාට එරෙහිව මරනීය වරුසා පතිත කරනුයේ කවුරුන්ද යන්න පිලිබඳව පකිස්ථානු මහජනතාවට කවර හෝ සැකයක් නොමැති තතු යටතේ සහ මාධ්‍ය හරහා මෙහෙයුම පිලිබඳ විස්තර පුලුල්ව වාර්තාවී ඇති තතු යටතේ පවා සීඅයිඑ් සංවිධානය විසින් එල්ල කරන ලද මෙම ප‍්‍රහාර සලකනු ලැබුවේ රහස් මෙහෙයුම් ලෙස ය.

ඔබාමාගේ ප‍්‍රසිද්ධ සැඳහුම් ආරක්ෂාව උල්ලංඝනය කිරීමක් නියෝජනය කලේ යැයි ප‍්‍රකාශ වූ උත්සුකයන් පරිපාලන නිලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කල අතර එය ජනාධිපතිගේ තොලගින් නොසිතා ගිලිහුනු දෙයක් නොවන බව අවධාරනය කෙරින.

නිශ්චිතව ම, ඩ්‍රෝන් ඝාතන ප‍්‍රසිද්ධියේ ආරක්ෂා කිරීම සඳහා මෙම අවස්ථාව යොදා ගැනීමට ඔබාමා දැනුවත්ව උත්සාහ දැරූ බව විශ්වාස කිරිමට සෑම හේතූවක් ම පවතී. ඔබාමා විසින් තම අදහස් ඉදිරිපත් කල, ගූග්ල්-සත්කාරිත "අන්තර්ජාල පුරහල” නම් වූ වැඩ සටහනට මහජනයා විසින් ප‍්‍රශ්න 13,000 ක් ඉදිරිපත් කරන ලදුව ඉන් තෝරා ගැනුනේ යන්තම් හයක් පමනි. ඉන් එකක් ඩ්‍රෝන් ප‍්‍රහාර සම්බන්ධයෙනි.

ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමින් ඔබාමා මෙසේ පැවසීය: "ඩෝන් ප‍්‍රහාරවලට සුවිසල් සිවිල් වැසියන් සංඛ්‍යාවක් ගොදුරු වූයේ නැතැයි යන්න මහජනයාට ස්ථිරව ම අවබෝධ කරවීමට මට අවශ්‍යයි”. "එම ප‍්‍රහාරවලින් බොහොමයක් ම, ඉතා නිශ්චිත ඉලක්කයන් මත, අල්-කයිඩාවට සහ ඔවුනගේ සහායකයිනට එරෙහිව එල්ල කෙරුනු නිරවද්‍ය ප‍්‍රහාරයන්.”

ඔහු මෙසේ ද පැවසීය:"මෙය, ඇමරිකාවට ඇතුලු වී ඇමරිකානුවන්ට වින කිරීමට, ඇමරිකානු පහසුකම්වලට සහ ඇමරිකානු යුද කඳවුරු ආදී දේ වලට පහර දීමට වෙර දරන කි‍්‍රයාකාරී ත‍්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවේ සිටිනවුන්ට එල්ල කෙරුනු ඉලක්ක ගත උත්සාහයක්.” මෙම ඝාතන "නීත්‍යනුකූල” බවට ඔබාමා තර්ක කල අතර "අනෙකුත් රටවල ස්වෛරීත්වයට ගරු කරමින්” "තිතටම එල්ල කෙරෙන ප‍්‍රහාර” දියත් කිරීමේ හැකියාව ගැන තවදුරටත් පැවසීය.

ජනාධිපතිගේ ප‍්‍රතිචාරය මුලුමනින්ම බේගල් සහ විකෘතීන් මත නිර්මානය වූවකි.

සත්‍යය නම්, එක්සත් ජනපදය හා යුද වැදී නොසිටින රටක් වන පකිස්ථානය තුලදී මිනිසුන් රහිත යානාවලින් එල්ල කෙරුනු ඩ්‍රෝන් ප‍්‍රහාරවලින් 2,700 කට ආසන්න ජනතාවක් ඝාතනය කෙරුනු බවය. බෲකින්ග්ස් ආයතනයෙන් මෑතක දී පිලියෙල කෙරුනු අධ්‍යනයකින් නිගමනය කෙරී ඇත්තේ ඔබාමා විසින් කියාපාන හරියටම ඉලක්ක ගත කෙරුනු ඝාතනයන් වෙනුවට සෑම සන්නද්ධ ගැටුමක දී ම සිවිල් වැසියන් 10 දෙනෙකු මියගොස් ඇති බවයි. වෙනත් අයුරකින් පැවසුවහොත් මෙම කුරිරු ආකාර දුරස්ත-පාලිත යුද ගැටුමේ දී දරිද්‍රතාවේ ගිලිනු පකිස්ථානු ගම්වාසීන්, මිනිසුන්, ගැහැනුන් සහ දරුවන් එකසේ ඝාතනය කෙරී ඇත.

ලන්ඩනය පදනම් කරගත් ලාභ නොලබන ආයතනයක් වන විමර්ශනාත්මක මාධ්‍යවේදී බියුරෝව විසින්, නිරවද්‍ය බවට සහතික කෙරුනු මාධ්‍ය වාර්තා මත පදනම්ව පසුගිය අගෝස්තුවේ නිකුත් කෙරුනු වඩාත් සම්ප‍්‍රදායික තක්සේරුවකට අනුව ඩ්‍රෝන් ප‍්‍රහාරවලින් මිය ගිය ලමුන් සංඛ්‍යාව 168 කි. ඔබාමාට නම් මෙය සුවිසල් සංඛ්‍යාවක් නොවේ.

සීඅයිඒය විසින්, එක්සත් ජනපද ඉලක්කයන්ට පහර දීම සඳහා යොමු වූ අල්-කයිඩා මෙහෙයුම්කරුවන් ඉලක්ක කරතැයි කෙරෙන සැඳහුම වනාහී සාපරාධී ආක‍්‍රමනය පිලිගනු වස් ඇමරිකානු ජනතාව බිය වැද්දීම සඳහා ත‍්‍රස්තවාදී තර්ජනයක් උසි ගැන්වීම පිලිබඳ වොෂින්ටනයේ තවත් එක් උදාහරනයක් පමනි. ඩ්‍රෝන් ප‍්‍රහාරවලින් මරා දැමුනු "සටන්කාමීන්ගේ” අති මහත් බහුතරය එක්සත් ජනපද ඉලක්කයන්ට යොමුවූවන් නොව අසල්වැසි ඇෆ්ඝනිස්ථානයෙන් එක්සත් ජනපද ආක‍්‍රමනික හමුදාවන් පලවා හැරීම සඳහා යොමුවූ පහල සාමාජිකත්වයේ සටන්කරුවන් ය.

මෙම මිනීමරු මෙහෙයුම ප‍්‍ර‍්‍රසිද්ධියේ ආරක්ෂා කිරීමට ඔබාමා පෙලඹුනේ ඇයි? එමගින් පකිස්ථානු ආන්ඩුවට තව දුරටත් පීඩනය යෙදීමේ මාර්ගයක් සම්පාදනය කෙරෙනු ඇත. මෙම ප‍්‍රහාරයන්ට අනුබල දෙමින් සිටි ඉස්ලාමාබාදය, එක්සත් ජනපද ප‍්‍රකෝපකරන මාලාවක් සහ පකිස්ථානු ජනතාවගේ ඉවෙන් මෙන් වැඩෙන විරුද්ධත්වය හේතුවෙන් මෑත දී රටේ ගුවන් කඳවුරු වල සිට ඩ්‍රෝන් ප‍්‍රහාර එල්ල කිරීමට සීඅයිඒ ය ඉල්ලූ අවසරය ප‍්‍රතික්ෂේප කලේය.

වඩාත් මූලික තලයක දී, ඔබාමාගේ සැඳහුම් සැලසුම් කෙරී තිබුනේ ගෘහස්ථ පරිභෝජනය සඳහා ය. එය, එක්සත් ජනපද මිලිටරි රහස් ඔත්තු යන්ත‍්‍රයේ සාහසික කි‍්‍රයා ප‍්‍රසිද්ධියේ අනුමත කිරීමට සහ එමගින් ඒවා සාධාරනීකරනය හා සාමාන්‍යකරනය කිරීමට ගත් පුලුල් පියවරක කොටසකි.

පසුගිය දෙසැම්බරයේ, ජාතික ආරක්ෂක නිර්දේශකරන පනත ට ඔබාමා අත්සන් තැබීය. එමගින් ධවල මන්දිරයේ තනි නිර්දේශය මත චෝදනාවක් හෝ නඩු ඇසීමක් නොමැතිව පුරවැසියෙකු හෝ පුරවැසියෙකු නොවන්නකු දින නියමයක් නොමැතිව මිලිටරි භාරයේ රඳවා තැබීමේ නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී භාවිතාව ආරක්ෂා කෙරේ.

නිව්ස්වීක් හි ඩැනියෙල් ක්ලයිඩ්මාන් පසුගිය සතියේ වාර්තා කලේ නීතිපති එරික් හෝල්ඩර් ලවා විශේෂ දේශනයක් කර වීමට ඔබාමා පරිපාලනය සූදානම් වන බවත් එහි දී පසුගිය සැප්තැම්බරයේ යේමනයේ දී ඩ්‍රෝන් මිසයිලයකින් සිදු කෙරුනු අන්වර් අල් අව්ලාකි ඝාතනය පිලිබඳ ව්‍යාජ-නීතිමය සාධාරනීකරනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

මෙම සියලු කි‍්‍රයාවන් හරහා ඔබාමා පරිපාලනය විසින් පොලිස් රාජ්‍යයකට අවශ්‍ය ආයතනික රාමුව ඔසවා තබනු ලැබේ.

ඔහු එසේ කරන්නේ තමාගේ යථා "පදනම”, එනම් වෝල් වීදිය, මිලිටරි රහස් ඔත්තු සංකීර්නය සහ වරෙක ලිබරලුන් හෝ "වම්මුන්” ලෙස පවා පෙනී සිටි එනමුදු බුෂ් පරිපාලනය විසින් ගෙන ගියාටත් එහා ගිය ප‍්‍රතිගාමී සහ මර්දන පියවරයන් පිලි ගැනීමට දැන් සූදානම් ධනවත් මධ්‍යම පන්තික කොටස්, දුරස්ථවේයැයි භීතියකින් තොරව ය.

අති දැවැන්ත බහුතරයක් වන වැඩ කරන ජනයාගෙන් ඔවුන් වෙන් කෙරෙන පෙර නොවූ විරූ සමාජ අගාධය සමග සහ පන්ති අරගලයේ යලි පිබිදීමක් පිලිබඳ වැඩෙන සංඥා සමග මෙම ස්ථරයේ දේශපාලනික මාරුව බැඳී පවතී.

අද දිනයේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් රැක ගැනීම සඳහාත් යුද්ධයට එරෙහිවත් කෙරෙන අරගලය සමාජ සමානතාව සඳහා කෙරෙන අරගලය සමග අත්‍යන්තයෙන්ම බැඳී පවතී. එය ඉදිරියට ගෙන යා හැක්කේ සමාජවාදී වැඩ පිලිවෙලක් මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීම තුලින් පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: