සිරියාවට එරෙහි එක්සත් ජනපදයේ යුද ප්‍රකෝපකරන

US war provocations against Syria

6 February 2012

වොෂින්ටනය හා එහි යුරෝපීය අධිරාජ්‍යවාදී හවුල්කරුවෝ සිරියාවට එරෙහිව පූර්න පරිමානයේ මිලිටරි මැදිහත්වීමක් සඳහා සූදානම දැඩි කරති. පසුගිය වසරේ ලිබියාවට එරෙහි නේටෝවේ යුද්ධයෙන් ද සිරියාවේ ප්‍රධාන කලාපීය හවුල්කරුවා වන ඉරානයට එරෙහිව හදිසි ඊස්රායල ප්‍රහාරයක තර්ජනයෙන් ද පසුව පැනනැගෙන මෙම තත්වය, බලහත්කාරයෙන් කලාපය පුරා එක්සත් ජනපද ගැති පාලන තන්ත්‍ර ඇටවීම මගින් මැද පෙරදිග යලි හැඩ ගැන්වීමෙහි වොෂින්ටනෙය් අරමුනු පැහැදිලි කරයි.

මිලිටරි මැදිහත්වීමක් සඳහා නිමිත්ත සම්පාදනය කිරීමේ වෑයමක් ලෙස සිරියාවට එරෙහිව ගෙන ආ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල යෝජනාවට 04දා රුසියාව හා චීනය නිෂේධ බලය යෙදීම, එක්සත් ජනපද නිලධාරීන්ගේ හෙලා දැකීමට ලක් විය. ඒ ආකාරයට ම පසුගිය වසරේ ලිබියාවට එරෙහිව ගෙන ආ එක්සත් ජාතීන්ගේ යෝජනාවට නි‍ෙෂ්ධ බලය නොයෙදූ බීජිනය හා මොස්කෝව, වොෂින්ටනය මෙම ක්‍රමෝපායන් තමන්ට ම එරෙහිව යෙදීමට උත්සාහ දරන දිනය වැඩි ඈතක නොවේ යයි භීතියට පත්ව සිටිති.

නාසි අවධියෙන් හෝ එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කල 2003 වසරෙන් මෙපිට දක්නට නොලැබුනු තරමේ කපටිකම් ද කුහකත්වය ද සමග වෙලුනු සිරියාවට එරෙහි එක්සත් ජනපද සූදානම, බෙහෙවින් සූක්ෂම ය. "මානවවාදී” මැදිහත්වීමක් යන කාවුන් කෑ ලේබලය යට එක්සත් ජනපදයේ පිලිවෙත සැඟවීමට උත්සාහ කරමින් එහි රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල යෝජනාව පිලිබඳ ඡන්දය "විකාරයක්” ලෙස හෙලා දුටුවාය. ඇය මෙසේ ද පැවසුවාය. "ලෝකය වටා සිටින ප්‍රජාතන්ත්‍ර සිරියාවේ මිතුරන් ද සමඟ එක්ව වැඩ කරමින් අපි, වෙනසක් සඳහා වන විපක්ෂයේ සාමකාමී දේශපාලන සැලසුම්වලට සහයෝගය දෙන්නෙමු.”

ප්‍රන්ස විදේශ ඇමති ඇලෙන් ජුප්පේ රුසියානු හා චීන නිෂේධ බලය හැඳින්වූයේ එක්සත් ජාතීන් මත ඇතිකල "පැල්ලමක්” ලෙස ය. ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි කඩිනමින්ම සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ට එරෙහිව තවත් යෝජනා ඉදිරිපත් කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සියල්ල වනාහි, එක්සත් ජනපදයේ හා යුරෝපයේ කම්කරු පන්තිය තුල මෙම ප්‍රතිපත්ති මගින් අවුලුවා තිබෙන ප්‍රගාඪ විරුද්ධත්වය නොතකමින්, සිරියාවට එරෙහිව ප්‍රචන්ඩ මැදිහත්වීමක් සඳහා සදාචාරමය නීත්‍යානුකූල භාවයක් ලබාදීමේ අරමුනෙන් දෙසනු ලබන නරුම බේගල්ය. තුර්කිය හා ප්‍රන්සය ඇතුලු එක්සත් ජනපද ගැති බලවතුන් සිරියාවේ විපක්ෂ බලවේග වෙත ආයුධ හා ආධාර සපයන බව බටහිර මාධ්‍යයන්හි පවා පුලුල් ලෙස වාර්තාකර තිබුනි. එක්සත් ජනපදය හා එහි සගයින් "සාමකාමීව” කටයුතු කරනවා නොවේ. ඔවුන් සිවිල් යුද්ධයක ගිනිසිලු අවුලුවන අතර එහි ප්‍රතිපල වශයෙන් ඇතිවන ලේ හැලීම්, අසාද් මෙන්ම, නව යුද්ධයක් කෙරෙහි එක එල්ලේ පවතින මහජන විරුද්ධත්වය හෙලාදැකීම පිනිස ද යොදා ගනියි.

සන්නද්ධ ත්‍රස්තවාදයකට එරෙහිව සටන් කිරීම නිසා අසාද් විවේචනය කිරීමට හැකි තත්වයක නොවේ එක්සත් ජනපදය පවතින්නේ. ගනන් බලා ඇති පරිදි එක්සත් ජනපදය විසින් ඉරාකයේ දී 12 ලක්ෂයකගේ ද ඇෆ්ගනිස්ථානයේ තවත් ලක්ෂ ගනනකගේ ද ජීවිතවල වියදමින් දෙරටහි අටවන ලද සිය රූකඩ තන්ත්‍රයන්ට එරෙහි කැරලිකාරිත්වයන් ලේ වැකි අයුරින් මඩිනු ලැබේ. මෙහිදී ප්‍රධාන "පැල්ලම” වැදී ඇත්තේ සිය දෑත්වල දශ ලක්ෂ ගනනකගේ ලේ තවරාගෙන තිබෙන වොෂින්ටනය හා එහි මිතුරන් මතය.

සිරියානු තන්ත්‍රය කර ඇති කිසි දෙයක්, 2004දී ෆලුජා යන ඉරාක නගරයට එරෙහිව එක්සත් ජනපදය සිදුකල සංහාරය සමග සැසැඳිය නොහැකි ය. එක්සත් ජනපද වාඩිලෑමට ෆලුජාහි දී එල්ල වූ ප්‍රතිරෝධයට පලිගැනීම් වශයෙන් කාන්තාවන් හා ලමුන් බලහත්කාරයෙන් නගරයෙන් ඉවත්කර එහි සෑම ගෙයක්දොරක් ම හා ගොඩනැඟිල්ලක් ම බිමට සමතලා කරනු ලැබුනි.

සිරියාවට එරෙහි තම ව්‍යාපාරය තුලදී අධිරාජ්‍යවාදී බලවත්තු යලි වතාවක් විශ්වාසය තබා ඇත්තේ, රාජ්‍යප්‍රචාරනයේ හොරනෑවක් ලෙස ක්‍රියාකරනවාට අඩු කිසිවක් නොවන, කීකරු මාධ්‍ය මතය.

"(තවමත්) අප සිරියාවට පහර දී නැත්තේ මන් ද?” යන සිරස්තලය යටතේ 03දා නිර්ලජ්ජිත ලෙස නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයෙහි රොබට් පෙපි විසින් පලකල ලිපිය මේ සම්බන්ධයෙන් කැපී පෙනෙයි. බෙන්ගාසි මූලස්ථානය කර ගත් විපක්ෂයට මුක්කුව දීමට මෙන්ම ලිබියාවට බෝම්බ හෙලීම සඳහා ද නිමිත්ත ලෙස නේටෝව, බෙන්ගාසිහි ත්‍රස්තවාදීන්ට එරෙහි කර්නල් මුවම්මර් ගඩාෆිගේ තර්ජන යොදාගනිමින්, පසුගිය වසරේ ලිබියාවට එරෙහිව ගෙන ගිය යුද්ධයේ ක්‍රමෝපායන් සිරියාවට එරෙහිව ද පාවිච්චි කල හැක්කේ කෙසේ දැයි පෙපි විස්තර කරයි.

"සිරියාවේ ආඥාදායක ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහි විපක්ෂය, කිසිදු ප්‍රධාන ජනාකීර්න ප්‍රදේශයක තිරසාර පාලනයක් පිහිටුවාගෙන නැති බැවින්, නගර තුල කඳවුරු බැඳගෙන සිටින අසාද් පාක්ෂිකයින් තලා දැමීම සඳහා ගුවන් බලය පමනක් නොසෑහීමට පුලුවන. එසේ ම බිම් මට්ටමේ බලගතු මෙහෙයුමක් පවා දැඩි හා ලේවැකි ප්‍රතිරෝධයකට මුහුන දිය හැකි බව” ද පෙන්වා දෙමින් ඔහු, "විශාල ප්‍රදේශයක් සහමුලින්ම වාගේ ආන්ඩුවේ ග්‍රහනයෙන් කැඩී ගියහොත්, ජාත්‍යන්තර මානවවාදී මැදිහත්වීමක් සාදරයෙන් පිලිගැනීමට ඉඩ තිබේ. කනගාටුවෙන් නමුත් කිව යුත්තේ, එතෙක් සිරියාව, තවත් ලිබියාවක් නොවනු ඇතැයි” ප්‍රකාශ කර තිබේ.

සිරියානු ත්‍රස්තවාදයේ සහකරුවෙකුගේ මෙම ප්‍රකාශය, ත්‍රස්තවාදයේ පන්ති ස්වභාවය ගැන වෙලුම් ගනනක් කතා කරයි. පුලුල් ජනතා සහයෝගයකින් තොර මෙම බලවේගය, අසාද්ට එරෙහි යුද්ධයක් දියත් කිරීමේ දී, සිරියාව තුල පය ගසාගැනීම පිනිස අධිරාජ්‍යවාදී බලවතුන්ට මඳ අවකාශයක් සලසන උපකරනයකි.

පුවත්පතේ ප්‍රධාන ලිපිය ලිවීම පිනිස ටයිම්ස්, පෙපි වැනි පුද්ගලයෙකුට ආරාධනය කිරීමේ කාරනය ම, එක්සත් ජනපද මාධ්‍යයේ හා ශාස්ත්‍රාලික ප්‍රජාවේ ජරාජීර්නත්වය පිලිබඳව කතා කරයි. ටයිම්ස් විසින් චිකාගෝ විශ්ව විද්‍යාලයේ "දේශපාලන විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙක්" ලෙස මුදු බසින් හඳුන්වාදෙන පෙපි, රාජ්‍යයේ නිර්මානයකි. ගුවනේ සිට එල්ල කෙරෙන ජනසංහාරයේ තර්ජනය හමුවේ, යටත්වන ලෙස රාජ්‍යයන් බියෙන් ත්‍රස්ත කරන්නේ කෙසේ ද යන්න පෙන්නුම් කරන, "බලහත්කාරයේ ගුවන් බලය” ගැන විශේෂඥ අධ්‍යයනයක යෙදෙන Bombing to Win (ජයගැනීම පිනිස බෝම්බ හෙලීම) කෘතියේ කතුවරයා ඔහු ය.

අධිරාජ්‍යවාදී විදෙස් පිලිවෙත පිලිබඳ වත්මන් මූලෝපායඥයින්ගේ භාවිතාවන්, නයට ගෙන ඇත්තේ මුලුමනින්ම, දෙවන ලෝක සංග්‍රාමයට තුඩුදුන් නාසි ක්‍රමවේදයන්ගෙන්ය. අසාද් හෙලා දැකීමේ කඩතුරාව යටතේ සිරියාව කැබලි කර යටත්කිරීම පිනිස කෙරෙන එක්සත් ජනපද කුමන්ත්‍රන සිහියට නංවන්නේ අන් කිසිවක් නොව, නාසීන් විසින් පලමුව සුදතෙන්ලන්තය වාඩිලාගැනීම මගින් චෙකොස්ලොවේකියාව යටත්කිරීම හෝ වෝර්සෝව මතින් හිට්ලර්ගේ යුද්ධ ටැංකි ඇදී යද්දී ඔවුන් පෝලන්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දෙනවා පමනක් බවට කල ප්‍රකාශයන් ය.

අසාද් තන්ත්‍රය සමග ගනුදෙනු බේරාගැනීමේ කටයුත්ත අයත් වන්නේ, සිරියානු කම්කරු පන්තියට මිස, රට තුල රුධිර ස්නානයක් සූදානම් කරමින් සිටින වොෂින්ටනය හා එහි මිතුරන්ගේ බලල් අතක් සේ කටයුතු කරන සන්නද්ධ දක්ෂිනාංශික විපක්ෂයකට නොවේ. අසාද් පෙරලා දැමිය යුත්තේ, ටියුනීසියාවේ ද ඊජිප්තුවේ ද එක්සත් ජනපදයේ පිටුබලය ලත් ආඥාදායකයින්ට එරෙහිව පැන නැගුනු මහජන නැගිටීම් තුල දැනටමත් ආරම්භක අවධීන් පෙන්නුම් කර තිබෙන, සියල්ලටත් වඩා අධිරාජ්‍යවාදයට එල්ල කෙරෙන, සමස්ත අරාබියානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයක කොටසක් ලෙස පමනකි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: